2019 මාර්තු 23 වන සෙනසුරාදා

මම කී දේ ආණ්ඩුව ඇහුවේ නෑ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

වංචා දූෂණවලට ඇතැම් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් හවුල්

- විගණකාධිපති

රජයේ විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා ලබන මාසයේ විශ්‍රාම ගැනීමට නියමිතය. මෑත කාලයේ පත්වූ විගණකාධිපතිවරුන් අතර වඩාත් කතාබහට ලක්වූයේ ගාමිණි විජේසිංහ යැයි පැවසුවහොත් එය බොහෝ දුරට සත්‍යයකි. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහු කිසිදු බලපෑමකට යට නොවී සෘජුව රාජකාරි කිරීම මෙන්ම වරද දුටු තැන නිර්භයව ඒ පිළිබඳ විවේචනය කිරීමය. ඒ නිසා ඔහු ඇතැම් දේශපාලනඥයන්ගේ සහ උසස් නිලධාරීන්ගේ නුරුස්සීමට හේතු වූ බවද අපට මතකය.

ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම සහ ඒ අනුව විගණන කොමිෂන් සභාවක් ඔස්සේ ස්ථාපිත කිරීමට ඔහු විශාල මෙහෙවරක් ඉටු කළේය. එසේ වුවද විශ්‍රාම යනතුරුම විගණන කොමිෂම සක්‍රීය කිරීමට ඔහුට හැකිවූයේ නැත. සමහර රාජ්‍ය නිලධාරීන්ගේ  අකාර්යක්ෂමතාව වගකීම් පැහැර හැරීම සහ ඇතැම් දේශපාලනික කිරණ නිසා සිදුවූ වංචා දූෂණ, අකාර්යක්ෂමතා පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ඔහු සැදී පැහැදී සිටියේය. රාජ්‍ය ගිණුම් කාරක සභාවට අවශ්‍ය සහට දීමට ඔහු නොපසුබටව කටයුතු කිරීම විශේෂයෙන් කැපී පෙනේ.

රාජකාරි කාලයේදී ඔහුට මුහුණ පාන්නට සිදුවූ බාධක සහ දැනටමත් කතාබහට ලක්ව ඇති විවිධ චෝදනා පිළිබඳ ඔහු දේශය පුවත්පත වෙනුවෙන් මෙසේ අදහස් පළ කළේය.

ඔබ පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණා අපේ රට බංකොළොත් කියලා. එවැනි ප්‍රකාශයක් මගින් ඔබ අදහස් කළේ කුමක්ද?

මා එවැනි ප්‍රකාශයක් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ විගණකාධිපති වශයෙන් රට බංකොළොත් කියලා කියන්න මට අයිතියක් නැහැ. මා කිව්වේ රටට වෙලා තියෙන තත්ත්වයයි.

එහෙනම් ඔබ පැවසුවේ කුමක්ද?

මා කිව්වේ රටේ ආර්ථික කළමනාකරණ අකාර්යක්ෂම බවයි. රට සංවර්ධනය කරන්න නම් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා කළමනාකරණය විධිමත් කළ යුතු බවයි මා පැවසුවේ. එම පුවත්පත රට බංකොළොත් යැයි මා පැවසූ බවට වැරදි ශීර්ෂපාඨයක් යොදා තිබෙනවා.

ඇයි ඔබ එහෙම නම් එය නිවැරදි නොකළේ?

එය නිවැරදි කරන්න ගිහින් එම පුවතට හා ආයතනයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමට මට අවශ්‍ය නැහැ. මා ඔබට වුණත් මේ බව පැවසුවේ ඔබ විමසූ නිසයි.

රාජ්‍ය අංශය නිසි කළමනාකාරිත්වයකින් තොරයි කියන්නේ ඇයි?

අපේ ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවයට බැඳී තම පෞද්ගලික වැඩකටයුතුත් කරගෙන නිවී හැනහල්ලේ ගත කර හැකි ඉක්මනින් සේවයෙන් මිදී ගෙදර යාමටයි. ඒ නිසා රාජ්‍ය සේවයට එන්න කැමති. රජය රාජ්‍ය සේවය නිසි පීල්ලට ගන්න උනන්දු වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කර උපරිම සේවය ලබා ගැනීමට විධිමත් සැලසුමක් සහ යාන්ත්‍රණයක් නැහැ. යන්නන් වාරේ යනවා පමණයි.

රටේ ණය ගැන නිතර කතා කරනවා. ඇතැම් දේශපාලනඥයන් සියල්ල ණයට බැර කරලා ඇඟ බේරාගන්නයි හදන්නේ.

ලබාගන්නා ණයෙන් ප්‍රතිඵලයක් ගන්න නම් අවශ්‍යතා තුනක් ඉටු කළ යුතුයි.

1. ලබාගත් ණය ඉක්මවා වත්කමක් ගොඩනැගිය යුතුයි.

2. ගන්නා ණය ගෙවීමට ක්‍රමයක් - ආදායමක් ඉපැයිය යුතුයි.

3. ණය නිසා ජනතාවගේ ජීවත් වීමේ පහසුකම් ඉහළ නැංවිය යුතුයි.

අද ගන්නා ණයවලින් මේ පරමාර්ථ කිසිවක් ඉටුවන්නේ නැහැ. ණය ගෙවන්න ණය ගන්න එකයි කරන්නේ.

රටට ණය ලබා ගැනීමටත් ආණ්ඩුවේ දක්ෂකමක් තිබිය යුතු නේද?

අද අපේ දේශපාලනඥයන් සලකන්නේ ණය ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් කියලයි. ඔවුන් හිනා වෙමින් තමා අච්චර මෙච්චර ණය ගත්තා කියන්නේ. උද්දාමයෙන් ණය ගත්තාය කියා ඔවුන් කළ යුත්තේ සතුටෙක් සිනහසීම නෙවෙයි. කඳුළු සලා හැඬීමයි. ණය රටට ජාතියට විශාල බරක්.

ඇත්තටම ණය අර්බුදයක් ඇති වෙලාද?

බාහිර සාක්ෂි අවශ්‍ය නැහැ. මුදල් අමාත්‍යංශයේ ශේෂ පත්‍රය අනුව 2017 දෙසැම්බර් 31 දිනට රටේ මුළු වත්කම රුපියල් 1,622,272,178යි. ඒත් රාජ්‍ය ණය ගැනීම් රුපියල් 9,588,100,902,847ක්. මෙය ත්‍රිලියන 9කට අධිකයි. වත්කම රුපියල් ත්‍රිලියන 1 ½ විතර. ඉතින් පේනවා නේද වෙනස. මෙම තත්ත්වය ආණ්ඩුව පිළිගෙන තිබෙනවා. 2018 වන විට මෙය තවත් ඉහළ ගිහින්.

මෙම අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද?

මා පැවසුවා වාගේ ලබාගන්නා ණයවලින් ඒවා ගන්නා පරමාර්ථ ඉටුකළ යුතුයි. එහෙම නැතුව ණය ලබාගෙන වෙනත් වෙනත් දේවලට විශේෂයෙන් පුනරාවර්ථන වියදම් (වැටුම් සහ දීමනා ආදී) වලට වැය කළ විට ප්‍රශ්න උග්‍ර වෙනවා. ප්‍රාග්ධන උත්පාදනයක් නැහැ.

ජාතික විගණන කොමිසම හා ඔබ අතර ගැටලු තියෙනවද? ඔබ එහි රැස්වීම්වලට සහභාගී වෙන්නේ නැහැ කියලා චෝදනා තිබෙනවා.

රාජ්‍ය විගණන කොමිසම පිහිටවූවාට එය තවමත් අක්‍රීයයි. එවැනි කොමිසමකට ගිහින් වාඩිවෙලා ඉඳලා මගේ වටිනා කාලය අපතේ යවන්න මට අවශ්‍ය නැහැ. මට වෙනත් රාජකාරි තිබෙනවා.

ඇයි කොමිසම අක්‍රීයයි කියලා කියන්නේ?

විගණන කොමිසම නමට හැදුවට එයට තවමත් වැඩක් කරන්න බැහැ. රාජ්‍ය විගණන සේවය මුලින්ම ස්ථාපිත කළ යුතුයි. එය මට කරන්න දුන්නේ නැහැ. මගේ සැලසුම්වලට අනුමැතිය දුන්නේ නැහැ. විගණන සේවා නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව අදාළ වෘත්තිය සමිති ද සමඟ සාකච්ඡා කර මම තැනුවා. ජනාධිපතිතුමත් එය අනුමත කළා. එහෙත් වැටුප් කොමිෂම එය අනුමත කළේ නැහැ. එතැනදී වැටුප් ගැටලු ආවා. මම මගේ වැඩ කළත් එතැනින් එහාට වැඩ සිදුවූයේ නැති නිසා විගණන කොමිසමෙන් වැඩක් ගන්න බැරි වෙලා.

ඔබ විශාල වියදමක් දරමින් කුලියට ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් පාවිච්චි කරන බවට චෝදනා නැගෙනවා?

මා පාවිච්චි කරන මෝටර් රථය මා විධිමත්ව ලබාගත් එකක්. එය තනතුරට අදාළව මට ලැබෙන දෙයක්. එය මට කුලියට ලබා දී ඇත්තේ අවශ්‍ය මෝටර් රථ නැති නිසයි. සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා ලක්ෂ දෙතුන් සියය වැය කරලා අධි සුඛෝපභෝගී රථ ආනයනය කරලා තිබෙනවා. මා එහෙම කරගෙන නැහැ. මා වෙනුවෙන් පමණක් නෙවෙයි විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා වාහන 25ක් කුලී පදනම මත ලබාදීලා තියෙනවා. සුදුසු වාහන නැති නිසයි එහෙම කරලා තියෙන්නේ. එය මගේ වරදක් නෙවෙයි.

අලුත් විගණන පනත බලගැන්වුවාට එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ඇතැමුන් චෝදනා කරනවා.

කවුද එහෙම කියන්නේ? අලුත් විගණන පනත නිසා විගණන කටයුතුවල විශාල දියුණුවක්, ප්‍රගමනයක් ඇතිවෙලා තියෙනවා. තිබුණ තත්ත්වයට වඩා බොහෝම යහපත්. මහා භාණ්ඩාගාරය වංචාවට, නාස්තියට තිබුණු හිල් වසා දමා ඒවා යළි සිදු නොවන තැනට පියවර ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස කිවහොත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනවල විශාල වෙනසක් සිදුවෙමින් පවතිනවා. එක්තරා රාජ්‍ය නිලධාරියෙක් මා සමඟ පැවසුවා තමන්ට චෙක් පතක් අත්සන් කරන්න පෙර තුන්වරක් හිතන්න වෙලා තියෙනවා කියලා.

මෙම පනත එන්නට පෙර විරුද්ධ වූ සමහරැන්ට පවා දැන් එයට අනුකූලව කටයුතු කරන්න වෙලා තියෙනවා. මගේ වාර්තාවලට දැන් මුල් කාලයට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා. මෙම පනත ක්‍රියාත්මක වුණාට පසු ඇතිවන අඩුපාඩු සොයා බලා ඒවා විධිමත් කළ යුතු වෙනවා.

රාජ්‍ය නිලධාරීන් අධිභාර (Surcharge) පැනවීම දැන් නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද?

නව විගණන පනතට පෙර අධිභාර පැනවීමේ බලය තිබුණේ පළාත් පාලන ආයතන හා අර්ධ රාජය ආයතනවල නිලධාරීන්ට පමණයි. දැන් සමස්ත රාජ්‍ය සේවයටම අධිභාර පැනවිය හැකිය. 2018 අගෝස්තු 01 දා සිට තමා මෙය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවකයන් පිළිබඳ විශාල වෙනසක් දකින්නට ලැබෙනවා.

රාජ්‍ය සේවකයන්ට දේශපාලනඥයන්ගේ බලපෑම්වලට යට වෙන්න සිදුවෙලා තියෙන බව ප්‍රකාශ වෙනවා.

රාජ්‍ය සේවකයාට දේශපාලනඥයාගේ න්‍යාය පත්‍රවලට අවනත වෙන්න සිද්ධ වෙනවා. ඒක එදත් අදත් එහෙමයි. ඒදෙගොල්ලන්ට එකට මිස වෙන් වෙන්ම දෙපැත්තට ඇදලා වැඩ කරන්න බැහැ.

දේශපාලනඥයා සහ විධායක නිලධාරීන් එකට එකතු වෙලා වංචා දූෂණ කරන බවට චෝදනා තිබෙනවා නේද?

වැඩ කරන්න වගේම වංචා දූෂණ කරන්නන් ඒදෙගොල්ල එකතු වෙන්න ඕන. ගෙවීම්වලට චෙක්පත්වලට අත්සන් කරන්නේ නිලධාරියයි. මෙතැනදී සිදුවිය යුත්තේ අවිධිමත් දේවලට යොමු නොවී කටයුතු කිරීමයි. දේශපාලනඥයන්ගේ වැරදි නියෝගවලට රාජ්‍ය සේවකයා අවනත වියයුතු නැහැ. එහි වරද පෙන්වා දිය යුතුයි. පසුගිය කාලයේ ඇතැම් උසස් රාජ්‍ය සේවකයන් අමාරුවේ වැටුණේ විවිධ ලාභ ප්‍රයෝජන තකා දේශපාලනඥයන්ගේ වැරදි නියෝග පිළිපැදීම නිසයි. දේශපාලනඥයන් මෙවැනි නියෝග ලිඛිතව නොදෙන නිසා නිතරම අමාරුවේ වැටෙන්නේ රාජ්‍ය නිලධාරියායි.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සිදුකළ යුත්තේ කුමක්ද?

අද රාජ්‍ය සේවයේ අඩක්ම බිඳ වැටී තිබෙන බව කිව යුතුයි. නිලධාරීන්ගේ ආකල්පවල වර්ධනයක් ඇති විය යුතුයි. දේශපාලනය රාජ්‍ය සේවයට ඇතු කළයුතු නැහැ. රාජ්‍ය සේවකයා කුමන දේශපාලන ආකල්පයක් දැරුවත් ඔහු සේවය කිරීමේදී ස්වාධීන පුද්ගලයෙක් වෙනවා. අපේ රාජ්‍ය සේවයේ සැලසුම් නැහැ. සපුරා ගත යුතු ඉලක්ක ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔහේ ඉබාගාතේ යන බවයි පෙනෙන්නේ. නිසි කළමනාකාරීත්වයක් තුළින් රාජ්‍ය සේවකයන් නියමිත ඉලක්ක කරා යොමු කරවිය යුතුයි. ඉදිරි වැඩ සැලසුම් ඉදිරිපත් කර පසු විපරම් සිදු කිරීම අවශ්‍යයි. පෞද්ගලික අංශයේ මේවා යම් පමණකට සිදු වුණත් රාජ්‍ය අංශයේ ඒවා සැලකිල්ලට ගෙන නැහැ. අකාර්යක්ෂමයි කියලා කියන්නේ ඒකයි.

රාජ්‍ය සේවකයා තෘප්තිමත් නැහැ කියන කතාව ඇත්තක්ද?

රාජ්‍ය සේවකයා දෙපැත්තකින් තෘප්තිමත් විය යුතුයි ඔහු ලබන ප්‍රතිලාභ මෙන්ම කරන සේවය පිළිබඳ. මේ දෙකම එකට බැඳිලයි තියෙන්නේ. රාජ්‍ය සේවකයා ලබන වැටුපට වඩා පස්ගුණයකින් වැඩ කළ යුතු බවයි මා කියන්නේ. අද වැඩිදෙනා පස් ගුණයක් තබා ලබන වැටුපටවත් නිසි සේවයක් කරන්නේ නැහැ. තමන් නිසි ලෙස හිතට එකඟව වගකීම ඉටු නොකර අයිතිවාසිකම් ගැන කතා කිරීම විහිළුවක්. වගකීම් හා යුතුකම් එකිනෙකට සමාන්තරවයි යා යුත්තේ. දෙපැත්තකට නෙවෙයි. එවිටයි අභිමතාර්ථ සාධනය වන්නේ.

ඔබ ළඟදි විශ්‍රාම යනවා?

ඔව්. මා අප්‍රේල් 25 දින සිට වසර 60 පිරීමෙන් විශ්‍රාම යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට වයස අවුරුදු 60 පිරුණට පසු විගණකාධිපතිවරයකුට රාජ්‍ය සේවයේ නිරත වන්න බැහැ. ඒ නිසා විශ්‍රාම ගියාට පසු රාජ්‍ය සේවයේ කිසිම තනතුරක් භාරගන්න මා සූදානම් නැහැ.

අද රාජ්‍ය සේවයේ ගැටලු පිළිබඳ විවිධ කොමිෂන් සභා පත් කරනවා. ඒ පිළිබඳ සුදුසු පුද්ගලයන්ගේ හිඟයක්ද තිබෙනවා. ඔබට අනාගතයේදී ඒවායේ උසස් තනතුරුවලට ආරාධනා ලැබෙයි.

මගේ වාර්තා අධ්‍යයනය කරලා නිසි පරිදි කටයුතු කළා නම් ගැටලු ලිහීමට කොමිෂන් සභා පත් කළ යුතු නැහැ. ඔය කොමිෂන් නිසා වෙන්නේ කාලය මැරීමක් වගේම මහජන මුදල් නාස්තියක්. කොමිෂන් සභාවල අය දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අන්තිමට ඇවිත් නවතින්නේ මගේ නිර්දේශ මතයි. ඒ නිසා ඔය කොමිෂන් ගැටලු විසඳන්න නෙවෙයි ඒවා යටපත් කරන්න සිදු කරන උපක්‍රම ලෙසයි මා දකින්නේ. ඒවායේ තනතුරැ ලබාගෙන මගේ රාජ්‍ය සේවය අපිරිසිදු කරගන්න මා සූදානම් නැහැ. තෘප්තිමත් සේවයකින් පසු මා විශ්‍රාම යනවා.

විශ්‍රාම යාමෙන් පසු ඔබ කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මා ගෙදර ගිහින් දාන මාන පිං දහම් කටයුතුවල යෙදී නිදහසේ කල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. අපේ ජීවිතවල වැඩි කාලය දැන් ගෙවී අවසන්. ඒ නිසා ජීවිතය පිළිබඳ උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මා ගැමියෙක්. ගොවියෙක්. ඒ නිසා මට ගමට වෙලා කුඹුරැ කෙටීමේ වැඩ කරන්න පුළුවන්.

►සංවාදය - යසවර්ධන රුද්රිගු