2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලෝක කුසලාන ටීම් එකේ මැතිව්ස් - චන්දිමාල් සිටිය යුතුමයි - සිදත් වෙත්තමුණි

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 654

එංගලන්තයේදී ලබන මැයි මස ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අනිවාර්යයෙන් ඇතුළත් වියයුතු බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වර්තමාන තත්ත්වය යටතේ ලෝක කුසලාන තරගාවලියට සාර්ථකව මුහුණ දීමට නම් කළ යුතු වෙනස්කම් පිළිබඳව සිදත් වෙත්තමුණි මහතා පළ කළ අදහස් පහත දැක්වේ.

ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළ යුතු වැදගත්ම වෙනස්කම මොකක්ද?

පළමුවෙන්ම කියන්න ඕනේ ලෝක කුසලාන යන කණ්ඩායමට චන්දිමාල් සහ මැතිව්ස් ඇතුළත්වීම අනිවාර්ය වෙන්න ඕනේ. ඒ දෙන්නා කණ්ඩායමට ඇතුළත් වුණොත් කණ්ඩායම ශක්තිමත් තත්ත්වයකට පත්වෙනවා. ඔවුන් දෙන්නා පිතිකරුවන් දෙදෙනකු ලෙස කණ්ඩායමේ සිටිය යුතුයි. අවිෂ්ක ප‍්‍රනාන්දු අනාගතයට ගොඩක් වැදගත් වන ක‍්‍රීඩකයෙක්, ඒ වගේම ඕෂධ ප‍්‍රනාන්දුත් හොඳයි.

කුසල් මෙන්ඩිස් ඉන්නවා. අවිෂ්ක, ඕෂධ සහ කුසල් මෙන්ඩිස් අතරට චන්දිමාල් සහ මැතිව්ස් ආවොත් අපේ පිතිකරණ අංශය ගොඩක් හොඳයි කියලයි මගේ අදහස. මම හිතන්නේ චන්දිමාල් සහ මැතිව්ස් ඇතුළත් කරලා අපිට යන්න පුළුවන් හොඳම කණ්ඩායම යැව්වොත් අපිට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. ලෝක කුසලාන වගේ තරගාවලියකට ඒ දෙන්නගෙ අත්දැකීම් ගොඩක් වැදගත්.

ඒ වගේම මම හිතන්නේ නෑ තරංග ලෝක කුසලාන කණ්ඩායමේ ඉඳියි කියලා. මොකද ඔහුගේ දස්කම් සම්බන්ධයෙන් වර්තමානයේ ප‍්‍රශ්නයක් තියෙනවා.

ක‍්‍රිකට් කණ්ඩායමක දක්‍ෂ කඩුලු රකින්නෙකු වඩාත් තීරණතාමක සාධකයක්. ශ්‍රී ලංකා පිලට නිත්‍ය කඩුලු රකින්නෙක් නෑ. ඒ පිළිබඳව ඔබ දරන්නෙ මොන වගේ අදහසක්ද?

මම හිතන විදියට කඩුලු රකින්නකු සම්බන්ධයෙන් තේරීම් කමිටුව සහ පුහුණුකරුවො ලෝක කුසලානයට පෙර අත්හදා බැලීම් කරනවා වෙන්න පුළුවන්. එය අපට දකුණු අප‍්‍රිකාවලදී දකින්න පුළුවන් වුණා. සමහර වෙලාවට ලෝක කුසලානයට පෙර අවසන් සංචාරයේදී සංයුතිය හදාගන්න මේ ආකාරයට වෙනස්කම් කරනවා. නමුත් වැදගත් වෙන්නේ ඉදිරි මාස දෙකේදී නිවැරදි කණ්ඩායම තෝරාගෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමයි.

අපේ පන්දු යැවීමේ අංශය ගැන ඔබේ තක්සේරුව කොහොමද?

අපේ සමහර පන්දු යවන්නන් ආබාධයකට ලක්ව සිටිනවා. අකිල ධනංජය දැන් පන්දු යවනවානේ. දඟපන්දු යවන්නන් කීපදෙනකුත් අරන් යන්න වෙයි. මම හිතනවා අපේ පන්දු යැවීමේ බලඇණියත් වරදක් නෑ කියලා. නමුත් ඉතින් මෙහිදී ගොඩක් දේවල් බලන්න වෙයි. විශේෂයෙන් තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණය, එහි තණතීරුව වගේ දේවල්.

අපේ පිතිකරුවන් පසුගිය කාලය පුරාම අසාර්ථක වුණා. එහි ඔබ දකින වැරැද්ද මොකක්ද?

අපි එක්දින තරගවල ක‍්‍රීඩාකරන ආකාරයේ ලොකු වැරැද්දක් තියෙනවා. අපි තාම හිතාගෙන ඉන්නේ සනත් ජයසූරිය වගේ පිතිකරුවෙක් ඉන්නවා කියලා. අපිට එවැනි කෙනෙක් නෑ. කුසල් ජනිත් හොඳයි. අපි ලකුණු 100ක් 150ක් ගහනකොට කඩුලු දෙකකට වඩා දෙන්න බෑ. ඉනිම ආරම්භයේදී වැදගත් ලකුණු වේගය නෙවෙයි කඩුලුයි. ‘විකට්ස් ඉන් හෑන්ඩ්’ කියන එකයි. එහෙම උණොත් අවසන්  ඕවර 20 දී  ඕන විදියකට ලකුණු රැස්කරන්න පුළුවන්.
දකුණු අප‍්‍රිකානු සංචාරයේ එක්දින තරග පහ අරන් බැලුවොත් ලකුණු 100 ක් රැස්කරන විට කඩුලු හතරක් විතර වැටුණා. එහෙම වුණාම ගොඩඑන්න බෑ. දැන් කණ්ඩායමක් අවසන්  ඕවර 20ට ලකුණු 200ක් ගහනවා. ඒ සඳහා වැදගත්ම සාධකය තමයි කඩුලු අතේ තියෙන එක.

දික්වැල්ල වගේ ක‍්‍රීඩකයො ඔළුව පාවිච්චි කරලා පන්දුවට පහර දෙන්නේ නෑ. හොඳ දක්‍ෂයෙක්. නමුත් ඔළුව පාවිච්චි කරන්නේ නෑ. පළමු ඕවර කීපයේ ලකුණු ටිකක් අඩුවුණා කියලා ඒක ප‍්‍රශ්නයක් නෑ. නමුත් මේ ක‍්‍රීඩකයෝ ඉගෙන ගන්න ඕනේ කඩුල්ල තියාගන්න. කඩුලු වැටුණොත් මුකුත් කරන්න බෑ. කඩුලු තිබුණොත් ඕන දෙයක් කරන්න පුළුවන්.

ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා බොහෝදෙනා කථා කරනවා. ඔබ මේ පිළිබඳව දැනුවත්ද?

මම හිතන්නේ නෑ ප‍්‍රශ්න තියෙනවා කියලා. කණ්ඩායම තරග පරදින විට හැමෝම කථා කරනවා ප‍්‍රශ්න තියෙනවා කියලා. එහෙම දේවල් තියෙන්න නරකයි. මැදට ගියාම සියලු දේවල් අමතක කරලා ක‍්‍රීඩා කරන්නයි ඕනේ. කණ්ඩායමේ ලොකුම ප‍්‍රශ්නෙ මොකක්ද? බෝඩ් එකේ ලකුණු නෑ. කවුරු නායකයා වුණත් ලකුණු නැත්නම් මුකුත් කරන්න බෑ. ලකුණු 280 ක් 300 ක් නැත්නම් මුකුත් කරන්න බෑ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයන් වෙයි යැයි අනුමාන කරන කණ්ඩායම් අතර නෑ. ඒ පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

ලෝක කුසලාන තරගාවලිවලදී මේ කණ්ඩායම් තමයි ඉදිරියෙන් ඉන්නේ ලෝක ශූරයෝ වෙන්න කිව්වට පළමු වටයේ තරගවල දස්කම් අතරට එන කණ්ඩායම් තමයි බොහෝ අවස්ථාවලදී ලෝක කුසලානවලදී ශූරතාවයට ළඟාවෙන්නේ. ලෝක කුසලාන ගොඩක් විවෘතයි. ෆේවරිට්ස්ලා කියලා කිව්වට එයාලා නිතරම දිනන්නේ නෑ.

ලෝක කුසලාන වගේ තරගාවලියකදී පොඩ්ඩක් වාසනාවත් තියෙන්න ඕනේ. එක තරගයකදී පොඩි අතපසුවීමක් වුණොත් වෙනත් කණ්ඩායමක් ඉදිරියට යනවා. අපි ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ලෝක කුසලාන තරගාවලිවලදී එක එක දේවල් වෙනවා.

සංවාද සටහන: යොහාන් භාසුර