2019 මාර්තු 16 වන සෙනසුරාදා

මස් නැති මස් බර්ගර්: ඊ.සී.ජී. ඔරලෝසු

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ඇමරිකානු ව්‍යවසායකයකු හා තාක්ෂණය ගැන විශාල අවධානයක් සහිත දර්ශනවාදියකු සේ සැලකෙන බිල් ගේට්ස් ලෝකයේ අලුත්විය හැකි අංශ ගැන වැදගත් තොරතුරු දහයක් අනාවරණය කර තිබේ. මෙම වසර තුළ ඒවා සැබෑ ජීවිතයේදී අත්දැකීම්වලට එකතුවනු ඇති අතර යථාර්ථයක් වනු ඇත. සුප‍්‍රකට ප‍්‍රකෝටිපති බිල් ගේට්ස් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය ධනය පරිත්‍යාග කරයි. මැලේරියාව තුරන් කිරීම හා ඒඩ්ස් රෝගය පාලනය කිරීම සඳහා විශාල මෙහෙවරක නිරත විය.

2019 වසරේ දී වාර්තා බිඳ හෙළමින් ජාත්‍යන්තරය කළඹන්නට සමත්වන අලුත් විද්‍යා හා තාක්ෂණ සොයාගැනීම් ගණනාවක් ගැන ගේට්ස් අනාවරණය කරන සිය තාක්ෂණික විවරණිකාවේ පළමුවැන්න තාක්ෂණික අතින් උසස් රොබෝවරු ගැනය. ඇඟිලි හසුරැවන්නට හැකි, යම් ප‍්‍රමාණයකට ස්වයං තීරණ ගත හැකි හා කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන රොබෝවරු මෙම අවුරුද්දේදී කර්මාන්තශාලාවල භාවිතාවට ගැනෙණු ඇත. අනෙක දැනට අනතුරුදායක බව හිතන පරමාණු බලයෙන් විදුලිය නිපදවීමය. එය අලුත් රැල්ලක් වශයෙන් ලොව පුරා පැතිරෙනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි. එයට අනුව ලෝකයේ විදුලිය බලය නිපදවීම සම්බන්ධව පැවැති යම් ගැටලු නිරාකරණය කෙරේ. දරුවකු මවකගේ ගැබ තුළ හැදී වැඩෙන අවස්ථාවේදීම දරුවාගේ කායික මානසික වර්ධනය ගැන සොයා බලන තාක්ෂණය දියුණුවීමද මෙම වසරේදී සාර්ථක වනු ඇත. එමගින් ඉතා නිරෝගී, අබල දුබලතා නැති පරිපූර්ණ දරුවන් ලෝකයට දායාද වනු ඇතැයි සැලකේ. කුස තුළින් යැවිය හැකි බෙහෙත් කරලක් වැනි කැමරාවක් භාවිතයට එනු ඇත. කුස තුළ හෝ බඩවැල් ආශි‍්‍රත රෝග තත්ත්ව ඉතා පැහැදිලිව දැක ගැනීමට වෛද්‍යවරැන් මෙම කැමරාව රෝගියාට ගිලින්නට සැලැස්වීමෙන් සමත්වනු ඇතැයි ප‍්‍රත්‍යක්ෂ වී තිබේ.

පිළිකාව මර්දනය කළ යුතුම එකකි. පිළිකාවේ පැතිරීම හා එයින් සිදුවන ජීවිත හානි දෙස අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර පර්යේෂණ ආයතන, එය ඇති වෙන්නට කලින් වළක්වා ගන්නේ කෙසේදැයි සොයා බැලීම ආරම්භ කර තිබේ. බිල් ගේට්ස් එකී පර්යේෂණ වෙනුවෙන් කතා කර තිබේ. සාමාන්‍ය එන්නතක් ලෙස ශරීරයට ලබාගත් පසු පිළිකා වෛරස සෛල ඇතිවිය හැකි අවදානම විනාශ කරන එන්නතක් වනු ඇති අතර එය 2019 වසරේ දී භාවිත වනු ඇති බව සඳහන් වීමද බලවත් අස්වැසිල්ලක් බව නොඅනුමානය.

හැබෑ ගවයන්ගේ මස් රහිතව කෘතිමව නිපදවන ලද හරක් මස් බර්ගර් අලෙවි කරන දිනයද වැඩි ඈතක නොවේ. සත්ව පාලනයේ දී පරිසරයට වන බලපෑම හා වායුගෝල උණුසුම ඉහළ නැගීම ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ. සත්ව පාලනයට සැපයිය යුතු ආහාර හා ජලය ප‍්‍රමාණය සලකන විට මස් වෙනුවෙන් ගවයන් ඇති කිරීම අසාර්ථක ව්‍යාපාරයකි. කෘතිමව ගව මස් නිපදවන පර්යේෂණය එයට උත්තරයක් වී තිබේ. වසර 2050 වනවිට වැඩි වන ලෝක ජනගහනයේ ආහාර හිඟයට ද එය විසඳුමක් වනු ඇත. වායුගෝලය උණුසුම පමණක් නොව මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය සීමා වීම අති විශාල ගැටලුවකි. වන විනාශය නිසා ස්වභාවික පරිසරයෙන් සිදුවන කාර්යය සීමා වී තිබේ. පර්යේෂකයෝ කාබන්ඩයොක්සයිඩ් උරාගන්නා කෘත්‍රිම උපකරණ හදන්නට සමත්ය. ඒවා ලෝකයේ ප‍්‍රධාන නගරවල අපිරිසිදු වාතය පිරිසිදු කරන දිනය මෙම වසර අවසන්වීමට කලින් දැකගත හැකිවන දෙයකි. අතේ බැඳගෙන යන ඔරලෝසුව අද පලක් නැති මෙවලමකි. වෙලාව දැනගන්නට ජංගම දුරකතනය තිබේ. මෙම අවුරුද්ද තුළ අතේ බැඳගෙන යන මෙවලම තමන්ගේ ඊ.සී.ජී. නිතර පරීක්ෂාවට ලක්වනු ඇත. ඒවා වෛදවරුන් වෙත නිරායාසයෙන්ම යොමුවන අතර සෞඛ්‍ය දියුණුවට බෙහෙවින් අදාළ කාරණයකි.

වැසිකිළි සම්බන්ධයෙන් ද අලුත් පර්යේෂණ සිදුවෙයි. ලෝකයේ සෑහෙන පුරවැසියන් ප‍්‍රමාණයක් මූලික වැසිකිලි පහසුකම් රහිතව සිටින වකවානුවක මළ අපද්‍රව්‍ය බැහැර කරන ඒවා එකතුකර වියෝජනය කරන හා බලශක්තිය වෙනුවෙන් භාවිත කරන පර්යේෂණ නතර නැත. අඩු ජල පරිහරණයක් සහිතව මිනිස් මළපහ පිරිසිදු කිරීම අලුත් භාවිතයක් වශයෙන් මෙම වසරේ දී හඳුන්වා දෙන බවද බිල් ගේට්ස් ඔහුගේ අනාවරණ අනුව පෙන්වා දී ඇත. පර්යේෂණ අනුව ලෝකයේ මිනිසුන් මිලියන 844කට පිරිසිදු පානීය ජලය නැත. එය බලවත් ප‍්‍රශ්නයකි. පිරිසිදු ජලය සම්පාදනය කරන අතර ජල මුද්‍රිත වැසිකිළි සඳහා ද ජලය සැපයීම වෙනුවට වෙනත් විකල්ප ලෝකය භාවිත කරන්නට ඉඩ තිබේ. බිල් ගේට්ස් ගේ දර්ශනය අනුව මෙම කරුණුවලට අමතරව ලෝකය දැන් හිතන තරමට වඩා මෘදු තැනක් හා හොඳ භාවිතයන් සහිත පරිසරයකට හැරවෙනු ඇත. ඒවා විශාල බලාපොරොත්තු වශයෙන් දැක්විය හැකිය.

මෙකී තාක්ෂණ කරුණ එකින් එක ගෙන විමසා බැලීමේ වගකීමක් අප සියලු දෙනාටම තිබේ. දියුණු සමාජ 2019 වසර තුළ හැබෑ කරගන්නා මෙම හීනවලින් ලාංකේය ජන සමාජයට අත් විඳිය හැකි කොටස කොපමණද? ඉහළ ධනවත් සමාජය ලෝකයේ දියුණු තැන්වලදී මෙම පහසුකම් අත්විඳිනු ඇත. එය වෙනස් කරන්නට අවශ්‍යය. යහපත් සෞඛ්‍ය, නිෂ්පාදනයේ නව කළමනාකරණය, අලුත් හුස්මක් ගැනීමේ අයිතිය මෙරට පොදු ජනතාවට තිබිය යුතුය. ප‍්‍රධාන ධාරාවේ දී මෙම වැදගත් කරුණු ගැන සාකච්ඡා කරන්නේ නැත. එය දුබලතාවයකි. ඉදිරියට යන ගමන අතරතුර ලෝකයේ සිදුවන වෙනස්කම්වලින් ශ‍්‍රී ලංකාවට අත් පත් කරගත හැකි අවස්ථා ගැන පුළුල් සංවාදයක් අවශ්‍යය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

►මිලින්ද මොරගොඩ