2019 මාර්තු 16 වන සෙනසුරාදා

සුරතල් බලුපැටවුන්ටත් AC මංදිරයක් හැදූ පුංචිම කෝටිපතිනිය

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ බාලම සොහොයුරිය  වන 21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ද ඉක්මවයි. ඒ අනුව කයිලි ජෙනර් මෙවර ෆෝබ්ස් සඟරාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩනැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස නම්කර ඇත. මේ ලාබාල කෝටිපතිනිය උපයන තරමටම අත දිගහැර වියදම් කරන නවීන පන්නයේ විලාසිතාකාරියක ලෙස සුප්‍රකටය. ඒ වියදම් කිරීම කොතරම් අරුමෝසම්ද යත් ඇගේ සුරතල් බලු පැටවුන් වෙනුවෙන්ම පමණක් සැලසුම්කර තැනූ වායු සමනය කළ බලු මන්දිරයක් ඉදිකිරීමටද ඇය කටයුතු කර තිබේ.

නියම අමෙරිකානු පන්නයේ ජීවන විලාසිතාවක් අනුගමනය කරන කයිලි ජෙනර් සුදු වැටකින් වෙන්කළ සාමාන්‍යයෙන් මිනිසුන්ට පවා ජීවත් විය හැකි ප්‍රමාණයේ නිවසක් සිය සුරතලුන්ට තනාදී තිබේ. ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වැනි සමාජ ජාල ඔස්සේ හොඳ රසික එකතුවක් පවත්වාගන යන නිසා ඇයගේ බලු මන්දිරයද අපූරු ප්‍රතිචාර ලබා තිබුණි. එක් අයෙක් අසා තිබුණේ “කයිලිගේ බලු නිවස මගේ ගෙටත් වඩා හොඳ වුණේ කොහොමද?” කියාය. ඇත්ත කතාවත් එයයි. ඇගේ බලු නිවස සාමාන්‍ය ඇමෙරිකානුවකුගේ නිවසකටත් වඩා සුඛෝපභෝගී නිවසකි. නිතර ඈ සමඟ දක්නට ලැබෙන සොෆියා, බැම්බි සහ නොර්මන් ඉතාලියානු ග්‍රේ හවුන්ඩ් බලු සුරතලුන්ට අමතරව තවත් බලු පැටවුන් රැසක් මෙන්ම කුකුළන් සමඟ හා පැටවෙක් සඳහාද මේ නිවෙස වෙන්කර ඇත. අලුතෙන්ම මේ නිවසට ආ පදිංචිකාරයා රොලී නම් වූ වර්ණ තුනක් සහිත ඉංග්ලීෂ් බුල්ඩෝග් පැටවාය. මේ බලු පැටවා මිලට ගන්නට පමණක් කයිලි රුපියල් 89,22,250.00ක් වැයකර තිබේ.

කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි මෙතරම් ධනවත් වූයේ, රෑපලාවන්‍ය ව්‍යාපාරය නිසාය. තමාගේම රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය. කයිලිගේ සොහොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350කි. ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 22 වැනි වියට පා තබන්නීය. කෘත්‍රිම ක්‍රම භාවිත කරමින් පසු පෙදෙස කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කිම් කාඩේෂියන් ප්‍රසිද්ධියක් උසුලයි. ඇගේ බාල සොයුරිය වන කයිලි එම විපර්යාසය තම තොල්පට වෙත සිදුකර ඇත. එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා මෙතෙක් ලබාගත් එන්නත් නවතා දමන බව පසුගියදා නිවේදනය කළ විට ගොසිප් මාධ්‍යවලට එය රස කතාවක් විය. සිය ස්වාභාවික දෙතොල් තමන්ට අනාරක්ෂිත බවක් ගෙන දෙන නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රෑපවාහිනී වැඩසටහනකදී පැවසුවාය. ඇය තමන්ගේ නිය විවිධ විලාසිතා අනුව සකසන්නියකි. පැයෙන් පැයට ඇය මේ විලාසිතා වෙනස් කරයි. පින්තූර ගනියි. සමාජ ජාලවලට දමයි. මේ රාජකාරිය සඳහා ලොස් ඇන්ජලීස්වල නිය සකසන්නියක වන Britney Tokyo කැඳවා ගනියි. ඒ සඳහා ඇය වරකට රුපියල් 31,227.88ක් බ්‍රිට්නිට ගෙවයි. ඒ අපේ රටේ කෙනෙකුගේ අවම මාසික වැටුපටත් ඉහළ ගණනකි. කෙසේ වුවත් ඇය මෙලෙස නියපොතු සඳහා පමණක් දිනකට ලක්ෂ ගණනක් වැය කරයි.

විලාසිතා වේදිකාවට මුලින්ම ගොඩ වූ ඇය පසුව 'කයිලි’ වෙළෙඳ නාමය යටතේ රූපලාවන්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළාය. ඒ අතර කාන්තාවන්ගේ දෙතොල් විශාල ලෙස පෙන්වීම සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන බොහොමයක් දක්නට ලැබේ. අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලය ඔස්සේය. ඇයගේ රූපලාවන්‍ය ආලේපන වලට ලොවපුරා අති විශාල ඉල්ලුමක් ඇත. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළකර මොහොතකින් සියල්ල අලෙවි වේ. කයිලිගේ රූපලාවන්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි.

කිම් සහ කයිලිගේ මව වන ක්‍රිස් ජෙනර් රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික කාන්තාවකි. කිම් කාඩේෂියන් ඇයගේ පළමු විවාහයේ දරුවන්ගෙන් එක් අයෙකු වන අතර කයිලි ඇයගේ දෙවන කසාදයේ දරුවෙකි.

කයිලි ජෙනර් ජිවිතයේ උපරිම සැප සම්පත් ලබන්නියකි. ඇගේ කෝටිපති පවුලේ උදවිය කවදත් බාගෙට වැඩකටයුතු කරන උදවිය නොවෙති. මේ නිසාම වයස 18 පිරුණු කයිලිහට උපන්දින සමරු තැගි හැටියට ලැබු‍ණේද ලොකු කතාබහකට හේතුවන ආන්දෝලනාත්මක තෑගිය. උපන්දිනට කලින්දා පවුලේ උදවිය සමඟ ඉස්තරම් ආහාර වේලකට සහභාගි වූ ඇයට පසුදා උදයේම තමන්ගේ මව ක්‍රිස් වෙතින් ලැබී තිබුණේ ලෝකයේ මිල අධිකම අත්බෑගයකි. ලංකාවේ මුදලින් රුපියල් 27,99,500.76ක් වන එය ලෝ ප්‍රකට Hermes Birkin විලාසිතාවට අයත් වූවකි. එය එම වර්ගයේ ඇය සතු 10 වැන්නයි. ඒ අතර වූ එක් බෑගයක් පදම් කළ සුදු කිඹුල් සමෙන් නිපදවා ක්‍රාත් 10.23ක් බර දියමන්තියක් ද ඔබ්බවා තිබූවකි. 2017 දී මේ අත්බෑගය හොංකොං වෙන්දේසියකදී  6,83,54,476.77 ක මිලකට අලෙවි විය. මේ කයිලි ජෙනර් සතු හාරසියය ගණනක් වූ අත් බෑග් එකතුවෙන් එකක් පමණි. ඇය සතු අත්බෑග් එකතුව සඳහා වෙනම පෞද්ගලික ගබඩා කාමරයක් වෙන්කරගෙන ඇත. එහි ඇය සතුව Gucci, Louis Vuitton, Chanl වැනි ලොව ඉහළම නිෂ්පාදන නාම රැගත් ඩිසයිනර් අත්බෑග් තොග ගණනක් දක්නට හැකිය. මේ එකතුව පමණක් රුපියල් 4,45,51,250.00ක් වටිනා බව වාර්තාගතය.

ඇය මුලින්ම අඩි උස සපත්තුව පැළඳි දින සිට මේ දක්වා තෝරාගන්නේ ලොව පළමු පෙළ ඩිසයිනර් විලාසිතා නිෂ්පාදනයක් වන Christian Louboutins සපත්තුය. මේ වනවිට ඇය සතුව ඒ පන්නයේ සපත්තු ගබඩා කාමරයක් පිරෙන්නම තිබේ. ඇය පමණක් නොවේ ඇගේ පුංචි දෝණියැන්දා ස්ටෝමී සතුව ඇති ලදරු සපත්තු තොගය විතරක් රුපියල් 39,25,790.00ක් වටින්නේලු!

සිය 18 වැනි උපන් දිනය දාම ඇයට ඊළඟ තෑග්ග ලැබුණේ සිය පෙම්වතාගෙනි. රුප් ගායකයකු වන ට්‍රැවිස් එදා කයිලි වෙත ඇති සිය පෙම පළ කළේ ඇයට 4,66,58,345.92ක් වටිනා ෆෙරාරි රථයක් ලබාදෙමිනි. කයිලි ප්‍රසිද්ධ ඇගේ ලොකු දෙතොල් නිසාය. එදා ඇගේ උපන්දින කේක්එක හැඩගන්වා තිබුණේද යෝධ දෙතොලක අනුරුවටය. පැයකට රුපියල් 18,66,333.84ක් වැයවන පෞද්ගලික ජෙට් යානයකට ගොඩවැදුණු ඇය ඉන්පසු දීර්ඝ නිවාඩුවකට සිය පෙම්වතා සමඟ කැලිෆෝනියාවට පිටත්ව ගියාය. ඇය සැමවිටම ගුවන් ගමන් යන්නේ වියදම් අධික පෞද්ගලික ජෙට් යානා මගිනි. ඇය සිය උපන්දින සාද සඳහා අත දිගහැර වියදම් කරනවා සේම ඒවායේදී හඳුන්වා දෙන අලුත් විලාසිතා වෙනුවෙන් හොඳ හැටි ගෙවීම් ද ලබන්නීය. ඒ අනුව ඇගේ 18 වැනි උපන් දින සාදය වෙනුවෙන් රුපියල්වලින් නම් 1,42,56,400.00 – 2,13,84,600.00 අතර වන ගෙවීමක් ඇය ලැබුවාය. 2018දී ඇය සිය උපන්දිනය සැමරුවේ බටහිර හොලිවුඩයේදීය. එදා බාලට පමණක් ඇය ලංකාවේ මුදලින් රුපියල් 5,34,61,500.00ක් වැයකර තිබුණි. එයින්ම ඈ ගතකරන උජාරු ජීවන රටාව ගැන සිතාගත හැකිය.

ඇය සිය ජීවන ආදර්ශය ලෙස සලකන්නෙ සුප්‍රකට නිලි මැර්ලින් මොන්රෝය. මැර්ලින් වඩාත් ප්‍රියකළේ Andy Warhol ගේ චිත්‍රවලටය. කයිලි ද සිතුවම් එකතු කරන්නියකි. ඇගේ එකතුවට ද ඇන්ඩිගේ සිතුවම් පිටපත් රැසක්ම එක්ව තිබේ. ඇය මෙන්ම ඇගේ වත්මන් පෙම්වතා ට්‍රැවිස් ස්කොට් ද සමනලුන්ට ඉතා ප්‍රියකරති. මේ නිසාම ගෙවී ගිය වසරේ හැලෝවින් දින සාදයට කයිලි සහ ඇගේ පුංචි දෝණිය පැමිණියේ සමනලුන් සේ සැරසීගෙනය. ස්කොට් Butterfly Effect, ගීතය ලියා තිබූ අතර එදින පළඳින්නට කයිලිහට රුපියල් 1,07,31,419.56ක් වටිනා Elliot Avianne butterfly necklace ගෙල පළඳනාවක් තෑගි දුන්නේය. ඇය දිදුලන නත්තල් ගස්වලට කැමති බව සමාජ අඩවියක සඳහන් කර තිබුණි. කාඩේෂීයන් පවුලේ ළඟම හිතවතකු වූයේ සුප්‍රකට මල්කරුවකු සහ කලා අධ්‍යක්ෂකයකු වන ජෙෆ් ලෙතැම්ය. ඇගේ ආසාව පලවූ වසරේ නත්තලට කයිලිගේ නිවසට රත්රනින් වැඩ දැමූ යෝධ නත්තල් ගහක් ලැබුණි. එය අඩි 20ක් උස් වූවකි.

කයිලි සතු වාහන රැසකි. ඇය සතු සුදු පැහැති රෝල්ස් රොයිස් ගෝස්ට් රථය රුපියල් 5,70,25,600.00ක් වටිනා ඇය වෙනුවෙන්ම වෙසෙසින් තැනූවකි. අනෙක් එම මාදිලියේම රුපියල් 1,78,00,006.43ක් වටිනා රථයක්ද ඇය සතුය. රුපියල් 1,78,02,679.50 ක් වටිනා 1957 මාදිලියේ corrette stingray නිල් සුදු රථය ඇයගේ හිත ගත් එකකි. රුපියල් 3,47,49,975.00කට මිල නියම වී ඇති රේන්ජ් රෝවර් 1994 මාදිලියේ ජීප් රියක් ඇයට හිමිය. ඈ සතු අනෙක් රේන්ජ් රෝවරයද රුපියල් 1,29,19,862.50ක් වටිනා එකකි. ඇගේ ෆෙරාරි 458 ඉතාලියා ස්පයිඩර් රථය රුපියල් 5,70,25,600.00කි. මේ දෙකම ඈ වඩාත් කැමති සුදු පැහැතිය. කළු මර්සීඩිස් බෙන්ස් ජීප් රථයක් ඈ සතුව ඇති අතර එය ලංකා මුදලින් 2,58,39,725.00ක් මිලැතිය. 1,24,74,350.00ක් වටිනා සී කාණ්ඩයේ කළු බෙන්ස් රථයක්ද ඇයට හිමිය. 488 ස්පයිඩර් මාදිලියේ කහ පැහැති ෆෙරාරි රථයක්ද ඈ සතුය. එය රුපියල් 49,18,458.00ක් මිලැතිය. රුපියල් 1,78,00,006.43ක් මිලැති ලැම්බෝගිනි රේසිං රථය තවත් ඇගේ සිත්ගත් නිති භාවිතයට කැමති රථයකි.

රූපලාවන්‍ය අලෙවිය අතරම ඇය 2016 වසරේ සිට නිවාස දේපළ මිලට ගැනීමත්  විකිණීමත් සිදු කළාය. යාන්තම් වයස 17 වනවිටත් පාසල් යන වියේ සිටියදීම ඇය ලොස් ඇන්ජලිස්වල බංගලා දෙකක අයිතිකාරිය වී උන්නාය. ඉන් වර්ග අඩි 4900ක් වූ බංගලාවට නිදන කාමර 5ක්, නාන කාමර 7ක්, පිහිනුම් තඩාකයක්, චිත්‍රපට ශාලාවක් ඇතුළු අංග රැසකි. ඇය එය ඩොලර් මිලියන 3.9කට මිලකර තිබුණි. වර්ග අඩි 7000ක නිවසක් ඇඩොලර් මිලියන 6කට කැලිෆෝනියාවෙන් මිලට ගෙන තිබුණි. ඒ මන්දිරය  අසලම අක්කර 3.9ක තිබූ තවත් මන්දිරයක් ඇය ඩොලර් මිලියන 4.5කට මිලට ගත්තේය. ඒ ඇගේ මවගේ නිවසත් සොයුරිය කිම්ගේ නිවසටත් එය ළඟ තැනක් නිසාය.

- සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00