2019 මාර්තු 16 වන සෙනසුරාදා

මොරටුවේ කැවුමාගේ කුඩු ගුදම වැටලූ හැටි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 321

නොකඩවා සිදුකරන මත්කුඩු ජාවාරමට එරෙහි වැටලීම් නිසා අත්අඩංගුවට පත්වන කුඩු තොග ප්‍රමාණය අපමණය. කිලෝ සිය ගණනින් කොටුවන මත්ද්‍රව්‍ය සමඟ ඊට සැකපිට කොටුවන මෙරට ජාවාරම්කරුවන් මෙන්ම විදේශිකයන් ප්‍රමාණය ද වෙනදාට වඩා ඉහළය. ඒ අතර කෝටිපති ව්‍යාපාරිකයන් සහ සත්ගුණවත් ධනපතියන් වශයෙන් සමාජයේ පෙනී සිටින ඇතැම් පිරිස් කුඩු ජාවාරමට එරෙහිව අත්අඩංගුවට පත්වීම අදහන්නට බැරිතරම්ය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය නිරතුරුවම වැටලීම සිදුකරන නිසා මෙවැනි තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් තිබේ.

නිරන්තරයෙන්ම ලැබෙන බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වන ආරක්ෂක අංශ සාමාජිකයන් අතරට කොළඹ බුලර්ස් පාරේ පිහිටි විශේෂ කාර්ය බළකා මූලස්ථානයට විශේෂ තොරතුරක් වාර්තා වී තිබුණි. ඉන් දක්වා තිබුණේ මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වූ කැලුම් ඉන්දික හෙවත් කැවුමා තාවකාලිකව නවාතැන් ගෙන සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක හෙරොයින් හා අවි ආයුධ තොගයක් ඇති බවය.

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්ෂණික වැටලීමක් සඳහා රාවතාවත්ත ප්‍රදේශයට ගියේ ඉන් පසුවය. දෙමහල් නිවසක් වූ එහි යනවිටත් මැදිවියේ පසුවූ යුවළක් එහි සිට ඇත. ඔවුන්ට කරැණු පවසා උඩුමහළ පරික්ෂා කිරීමේදී රහසිගතව සඟවා තිබූ හෙරොයින් පාර්සල 167ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝ 178කි. කෝටි දෙසීය පහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගය සමඟ ගෑස් බලයෙන් ක්‍රියාත්මක කරන විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්, ඊට අදාළ උණ්ඩ 100ක් ටී 56 ජීව උණ්ඩ 2500ක් අඩංගු ඇසුරුම් 3ක් යුරෝපීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය අවියක්, ඊට අදාළ උණ්ඩ 240ක් සහ ටී 56 ගිනි අවියක කොටස් කීපයක් ද සොයාගනු ලැබීය.

මාර්තු 4 වැනිදා පස්වරුවේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෙම නිවස සොයාගෙන තිබුණු නමුත් සැකකරු එහි නොසිටි බැවින් පානදුර ප්‍රදේශයේ වෙනත් සැක සහිත නිවසක් වටලා තිබුණි. වැටලීමේදී සැකපිට එම නිවසේ සිටි යුවළ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමුන් එම නිවසේ හිමිකරුවන් බවත් නිවස කුලී පදනම මත ලබා දී තිබූ බවත්ය. ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටි කැලුම් නැමැත්තාට ඉකුත් ජූලි මාසයේදී මාසිකව රු.25,000ක කුලියකට ලබාදුන් බවත් මූලික ඇපයක් වශයෙන් රු.100,000ක මුදලක් ලබාගත් බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

පාතාල නායකයකු බව කියන මධූෂ්ගේ ප්‍රධානතම ගෝලයකු යටතේ හෙරොයින් තොගයට අමතරව අවි ආයුධ තොගයක් සඟවා තැබීම බරපතළ අපරාධ රැල්ලක පෙර නිමිත්තකි. හෙරොයින් ජාවාරම සිදු කිරීමට නිතැතින්ම ඔවුන්ට පාතාල අපරාධකරුවන්ගේ සහායක් ඇවැසිය. කුඩු ජාවාරමත් පාතාලයත් එකිනෙක සබඳතා පවත්වන්නේ ඒ නිසාය. එබැවින් මෙකී කුඩු තොගය සමඟ අවි ආයුධතොගය කොටු වීම ආරක්ෂක අංශවලට සුළු කොට තැකිය නොහැකිය. ඔවුන්ගේ මෙහෙයවීම මත ඉදිරියේ සැලසුම් කිරීමට සූදානමින් තිබූ අපරාධ රාශියක තොරතුරු හෙළිවීමට නියමිතය.

කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා (40), පිංගල ඉහළ හේවිස්ස පාර පදිංචිකරුවෙකි. ඔහු පිටිගල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වශයෙන් පෙනී සිට ඇත. ඒ අතරතුර ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් අභිනවයෙන් ඉදිකර එහි කොත පැළඳවීම සඳහා විශාල පිංකමක් පවත්වා තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. ඊට අමතරව ප්‍රදේශයේ සිදු කෙරෙන සමාජ සත්කාරක හා පොදු කටයුතු සඳහා අතදිගහැර වියදම් කිරීමට කැවුමා ඉදිරිපත් වීම නිසා ප්‍රදේශවාසීන් අතර මොහුට තිබී ඇත්තේ මනා පිළිගැනීමකි. මේ ආකාරයෙන් සමාජය ඉදිරියේ යහපත් ප්‍රතිරූපයක් මවා පාමින් හෙරොයින් ජාවාරම ඇතුළු පාතාල අපරාධ රැසකට මොහු දායක වී ඇත.

පාතාල නායක මධූෂ් හා කැවුමාගේ මෙහෙයවීම මත දකුණ හා කොළඹ ප්‍රදේශයේ පාතාල කල්ලි පෝෂණය කර ඇති බවත් රහසිගතව ඔවුනොවුන් අතර අවි ආයුධ බෙදා හැර ඇති බවත් හෙළි වී ඇත. මොවුන්ගේ මෙම ක්‍රියාකාරකම් නිසා රටේ අනාගතයටත් සිදුව ඇත්තේ බරපතළ හානියකි. මේ නිසා ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අපරාධකරැවන් ජනතාව අතර ගැවසෙමින් සිට අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවයක් ඇති බවය. එබැවින් එවැනි සැකකරුවන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත දන්වන ලෙසත් ඒවායේ රහසිගතභාවය ආරක්ෂා කරන බවත්ය.

විශේෂ කාර්ය බළකාය පවසන්නේ ආයුධ තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉදිරියේ සිදුවීමට තිබූ අපරාධ රැසක් වැළකී තිබෙන බවය.

මීට අමතරව කැවුමාගේ නිවසේ තිබූ ඩී.වී.ඩී තැටියක් විමර්ශනයට ලක් කිරීමේදී හෙළි වී ඇත්තේ එය මධූෂ්ගේ පියාගේ අවමගුල පටිගත කර ඇති එකක් බවය. එම අවමංගල්‍ය උත්සවය ප්‍රධාන වශයෙන් සංවිධානය කර ඇත්තේ ද මෙම කැවුමා නැමැත්තාය. එය විශ්ලේෂණය කිරීමෙන් තවත් පාතාල කල්ලි සාමාජිකයන් රැසක් හඳුනා ගැනීමට හැකිවනු ඇති බව සඳහන් වෙයි.

මෙම සැකකරු ඇසුරු කළ ත්‍රිරෝද රථ රියදුරකුට අදාළ ප්‍රවාහන කුලියට අමතරව වැඩිපුර මුදල් ලබා දී ප්‍රවාහන පහසුකම් සලසාගත් බවද හෙළි වී ඇත. දින ගණනාවක සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය වැටලීම් අතරතුර මෙම සැකකරුගේ රාවතාවත්ත පිහිටි නිවස පිළිබඳ තොරතුරැ ලැබී ඇත්තේ රත්මලාන අවට මත්ද්‍රවව්‍ය ජාවාරම් නිරතව සිටින වෙනත් පාර්ශ්වයක් ඔස්සේය.

රත්මලාන හා මොරටුව ප්‍රදේශයන්හි සුද්දා - ගයියා හා කැවුමා පාර්ශවයන් විසින් කුඩු ජාවාරම සිදු කරගෙන ගොස් ඇත. ඔවුන් පිරිස එකිනෙකාට විරුද්ධවාදීන්ය. කැවුමා පාර්ශවය විසින් මොරටුව සුද්දා මරා දැමීමට අර අදින බව සැකයෙන් සුද්දා පාර්ශවය කැවුමා පිළිබඳ ඔත්තුව ලබා දී තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය මාස කීපයේදී ලංකාවේ ලොකුම කුඩු තොගය හා දෙවැනි තෙවැනි වශයෙන් විශාල කුඩු තොග කොටු වී තිබුණි.

මේ අයුරින් තොග පිටින් අත්අඩංගුවට පත් හෙරොයින් ජාත්‍යන්තර ජාවාරම් ජාලය තුළ ක්‍රියාත්මක වූ ඒවාය. පකිස්ථානය, ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල් හරහා කුඩු තොග මෙරටට රැගෙන ඒමේදී කොටු වුවද රට තුළ සිල්ලකර වශයෙන් කෙරෙන කුඩු අලෙවිය අඩු වී නැති බවද වාර්තා වේ. ඒ අනුව කියවෙන්නේ වෙලේ සුදා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් රට තුළ ජාවාරමේ නිරත වන බවය.

කෙසේ වෙතත් යම් තරමකට වර්තමානයේ කුඩු ජාවාරම පාලනය වී ඇති බව ආරක්ෂක අංශවල අදහසය. හෙරොයින් ග්‍රෑම් 1ක තොග මිල රු.8000කි. එය සිල්ලකර අලෙවි කිරීමේදී රු.12,000 හෝ 16,000 අතර මිලක් වේ. ඒ අනුව හෙරොයින් කිලෝවක සිල්ලර මිල රු. 16,000,000කි.

දිගින් දිගටම සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එ‍රෙහිව පොලීසිය හා විශේෂ කාර්ය බළකාය නිරතුරුවම වැටලීම් සිදු කරයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය සමඟ ත්‍රිවිධ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට එක්වන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මුහුදු මාර්ගයෙන් රටට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා විනාශ කිරීම නාවික හමුදාව මගින්ද භූමියේ කෙරෙන ජාවාරම්වලට එරෙහිව යුද හමුදාව මෙන්ම වනගත පෙදෙස් ආශ්‍රිතව ගංජා හේන් වැනි රහසිගත වගාවන් ගුවනින් නිරීක්ෂණය කර විනාශ කිරීම ගුවන් හමුදාව මගින් සිදු කිරීමට නියමිතය. මේ හැර මත්ද්‍රව්‍ය භාවිතා කළ පිරිස් ඉන් මුදවා ගැනීම, පුනරුත්තාපනය වැනි කාර්යයන් සිදු කිරීමට ද නියමිතය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර