2019 මාර්තු 16 වන සෙනසුරාදා

ජිනීවා සමුළුවේ ලංකාවට එරෙහි නඩුව

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

ජිනීවා මානව හිමිකම් අර්බුදය ශ්‍රී ලංකා ආණ්ඩුවේ අභ්‍යන්තර බෙදීමක් ලෙස ලොවට නිරාවරණය විය. ඒ මානව හිමිකම් කවුන්සිලයට විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ජනාධිපතිගේ නියෝජිත දෙපිරිසක් වෙන් වෙන්ව පිටත්ව යාමට උත්සාහ දැරීම හරහාය. ඔවුහු මත දෙකක් නිරූපණය කරමින් සිටියහ. එහෙත් මේ මොහොතේ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී තිබේ. අප අද විමසා බැලීමට සැරසෙන්නේ එම අර්බුදයේ වර්තමාන ස්වරෑපය හා ජාතික ජාත්‍යන්තර බලපෑම පිළිබඳවය. 

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන්  ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන්නේ මෙරට විදේශ අමාත්‍යාංශයේ තානාපති නිලධාරීන්ය. විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ වෙනත් අමාත්‍යවරු මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කළහ. එහෙත් මෙවර ජනාධිපතිවරයා ද තම නියෝජිතයන් පිරිසක් ජිනීවා යැවීමට තීරණය කිරීම හරහා ඇතිවූයේ වෙනස්ම තත්ත්වයකි. මෙම ගැටලුව ඇරඹෙන්නේ මාර්තු හය වැනි දින ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ සිදුකළ ප්‍රකාශයක් හරහාය. 

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ගැටලු පවතින්නේනම් ඒවා අභ්‍යන්තරයේ විසදා ගැනීමට ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන ලෙස මෙවර සැසිවාරයට දැනුම් දීම සඳහා තම නියෝජිතයන් තිදෙනකු ජිනීවා බලා පිටත් කර යවන බවයි. 

'මේකේ ගැටගැසුණු ස්වභාවය ඔබ හැම කෙනෙක්ම දන්නවා. මගේ නියෝජිතයන් ගිහිල්ලත් ඉල්ලීම් කරන්නේ අපිට බලපෑම් කරන්නේ නැතුව නිදහසේ කටයුතු කරගෙන යන්න  ඉඩ දෙන්න, මේ ප්‍රශ්න අපි විසදා ගන්නම් කියන ඉල්ලීම කරන්න.'

කෙසේ වෙතත් මාර්තු 6 වැනිදා වනවිට විදේශ අමාත්‍යාංශය ද ජීනීවා මානව හිමිකම් සැසිවාරය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. ජනාධිපතිගේ අරමුණට හාත්පසින්ම වෙනස් අරමුණකින් ජිනීවා කවුන්සිලයට සහභාගි වන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

“ස්ථිර හා කල්පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම හා අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමින් 2015 ඔක්තෝබර් මස පළමුවැනි දින සම්මත වූ  30/1 යෝජනාවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා මෙවර සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරයි.”

මෙම නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශ වූයේ 2015 දී යෝජනා ගෙන ආ අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලය හැර ගොස් ඇති බැවින් මෙම යෝජනාවට සමඅනුග්‍රහය ලබාගැනීමට බ්‍රිතාන්‍ය සමඟ ශ්‍රී ලංකාව අත්වැල් බැඳගන්නා බවයි. ජනාධිපතිගේ හා විදේශ අමාත්‍යාංශයේ මතවල පරස්පරතාව රට හමුවේ විද්‍යාමාන වන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේදීය.

මෙම අර්බුදය ලංකා දේශපාලන කරළියේ පුවත් මවන්නට පටන්ගත් අතර මාර්තු 13 වැනිදා ජනාධිපතිවරයා නව තීරණයකට එළඹියේය. ඒ ජනාධිපති නියෝජිතයන් හා විදේශ අමාත්‍යාංශ නියෝජිතයන් එකම කණ්ඩායමක් ලෙස ජිනීවා නියෝජනය කළ යුතු බවයි. ඒ අනුව විදේශ ඇමැති තිලක් මාරපනගේ ප‍්‍රධානත්වයෙන් යුත් රජයේ නියෝජිත කණ්ඩායමට සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරැ පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ යන පිරිස ඇතුළත් කර තිබේ. මේ අතර නව නියෝජිත කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ ඇතුළත්ව නොමැති බවද දැනගන්නට ලැබේ.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සලකා බැලීම එළැඹෙන මාර්තු 20 වැනිදා සිදුකිරීමට නියමිතය. දැන් ඊට ශ‍්‍රී ලංකාව සමඅනුග‍්‍රාහකත්වය දක්වා අවසානය. මෙම යෝජනා සම්මත කිරීම මාර්තු මස 21 වැනිදා සලකා බලනු ඇත. මෙම කෙටුම්පතේ ඇතුළත් කරැණු රැසකි. අපි එයින් විශේෂ වූ කිහිපයක් මෙසේ මතු කරමු.

ඒ අනුව යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධව ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන්, විමර්ශකයන් ඒකාබද්ධ කර නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකා රජයෙන් නැවත වරක් ඉල්ලා තිබේ. ඒ යටතට,

 මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීම, මහකොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහාය සැපයීම සඳහා උපදෙස් ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට (OHCHR) ආරාධනා කිරීම.

 යුද්ධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනිස් ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්, අපරාධ ගණයට ඇතුළත් වන ලෙස නීති පැනවීම, විශේෂයෙන් අණදීම් හෝ ඉහළින් එන වගකීම් ආදී සියලු ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් වගකීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම.

 වධ හිංසා, දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නීති විරෝධී බවට ආරක්ෂක හමුදා හා ආරක්ෂක බලඇනිවලට අයත් සියලු අංශවලට පැහැදිලි පොදු සහ ස්ථිර නියෝග නිකුත් කිරීම, එවැනි ක්‍රියාවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධවන්නන්ට (as commander or superior) එරෙහිව විමර්ශන පවත්වා දඬුවම් දීම ආදී යෝජනා රුසක් අන්තර්ගතය.

මෙවර විපක්ෂ කණ්ඩායම් ඉහත යෝජනා ප්‍රබල ලෙස විවේචනයට ලක්කර තිබේ. ඒ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන පසුගිය 14 වැනිදා ජිනීවා යෝජනා සම්බන්ධව රජයේ ස්ථාවරය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය. ඒ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රශ්න කිරීමක් හමුවේය.

“මහකොමසාරිස්තුමාගේ වාර්තා සම්බන්ධයෙන් ඕනෑ දෙයක් අපිට කිව හැකියි. මහකොමසාරිස්තුමාගේ වාර්තාවේ තියෙන සෑම දෙයක්ම අපි පිළිගන්නේ නෑ. අනික අර යෝජනාව. ඒ යෝජනා මගින් අපි කරලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක කරගෙන ගිය ක්‍රියාවලිය කරගෙන යාමට අපි තව අවුරුදු දෙකක කාලයක් ඉල්ලීමයි.” 

කෙසේ නමුත් මෙවර ජිනීවාහිදී ශ්‍රී ලංකා රජයට ලබාගැනීමට තිබූ වාසි සහගත අවස්ථාවක් මගහැරී යන බවට විවිධ සංවිධාන පෙන්වා දෙයි. අමෙරිකාව කවුන්සිලය හැරගොස් ඇති අවස්ථාවේ පෙර යෝජනාවෙන් ඉවත් වීමට ලංකා රජයට හැකියාවක් ඇතැයි ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ දී තම රටට විරුද්ධව එන යෝජනාවලට සමඅනුග්‍රහය දක්වන රට ශ්‍රී ලංකාව බවද කියැවේ. මෙම  නව නියෝජිත  කමිටුව හරහා ද ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් නොවන බව ඔවුහු පෙන්වා දෙති.

මෙවර ජිනීවා කතාවේ සමස්ත විග්‍රහයේ කිසිදු  බරපතළ පිපිරීමක් නොවන බව අවසානයේ කිව යුතුය. රටට හිතකර හෝ අහිතකර ආණ්ඩුවේ වර්තමාන  ප්‍රතිපත්තිම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත. ජනපති නියෝජිත කතාව අවසානයේ පුස් වෙඩිල්ලක්  වන බව දැනටමත් අපට අවබෝධ වී හමාරය. 
 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00