2019 මාර්තු 16 වන සෙනසුරාදා

අපේ සිහින ජනපති සොයා යන ගමන

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

“ඕනෑම සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේදී පසුකළ යුතු අවධින් කිහිපයක් ගැන මහත්මා ගාන්ධි සඳහන් කර ඇත. එහි පළමු පියවර වන්නේ නොතකා හැරීමයි. ඉන් අකර්මණ්‍ය කිරීමට නොහැකි වූ තැන සිදු කරනු ලබන්නේ සමච්චල් කිරීමයි. ඊළඟ පියවර තර්ජනය කිරීමයි. මෙම පියවරවලට ද මුහුණ දෙමින් ඉදිරියට යනවිට සිදුවන්නේ මර්දනය කිරීමට උත්සාහ කිරීමයි. එකී පියවර ද නිශ්ඵල වීම අවසානයේ සිදුවන්නේ පිළිගැනීමේ අවස්ථාව නිර්මාණය වීමයි”

මෙරට සිවිල් සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන, පුරවැසි සංවිධාන ගණනාවක් ඇත. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඔවුහු ජනතාවට සාධාරණය ඉටු කරනාතෙක් අරගලවල නිරත වන අයුරුද අප දැක ඇත.

වත්මන් ශ්‍රී ලංකාව වර්තමානය වනවිට අත්විඳින අර්බුදකාරී තත්ත්වයට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ දේශපාලන සංස්කෘතියේ බිඳ වැටීමයි. එම අවාසනාවන්ත තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් දේශපාලන සංස්කෘතියේ ප්‍රබල වෙනසක් සිදුවිය යුතු බවට විශ්වාස කරන මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබ්බට ගොස් මැතිවරණ සඳහා යහපත් අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ද සිවිල් ජනතාවගේ ඇතැම් ගැටලු නිරාකරණය කිරීම සඳහා ද ස්වෙච්ඡා ව්‍යාපාරයක් වශයෙන් ‘මාර්තු 12 ව්‍යාපාරය’ මීට වසර හතරකට පමණ පෙර ආරම්භ විය.

මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට විශේෂ උත්සාහයක් දරනා අතර එකී සමූහය හරහා ද දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටියි.

මෙම වසරේ අග භාගයේදී මෙරටට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අනාගත ජනාධිපතිවරයා කවර ආකාරයක පුද්ගලයකු විය යුතුද යන්න සම්බන්ධයෙන් ජනතාව තුළ සංවාදයක් ඇති කිරීමේ වැඩසටහනක් පසුගිය 12 වැනිදා ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කර තිබිණි.

‘අපේ සිහින ජනපති’ යනුවෙන් සංවිධානය කර තිබූ එම වැඩසටහනට මෙරට විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් බොහෝ දෙනකු පැමිණ සිටි අතර අනාගතයේ මෙරට පත්විය යුතු ජනාධිපතිවරයා කවර ආකාරයේ අයෙක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් අදහස් පළකළ ආකාරයයි මේ.

කථිකාවක් හැදීම අපේ උත්සාහයයි
ෆැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

“ඉදිරි මාස කිහිපය තුළ මේ රටේ ප්‍රධාන පුරවැසියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනමතයක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දශක ගණනාවක් මේ රටේ පැවත එන ඒ දේශපාලන සංස්කෘතිය එක්වරම අපිට වෙනස් කරන්නත් බැහැ. නමුත් සමාජය තුළ කතාබහක් ඇති කළහොත් මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට හැකියාවක් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ රටේ සිවිල් සංවිධානවල ඉන්න සාමාජික සාමාජිකාවන් මේ ‘මාර්තු 12 ව්‍යාපාරයට’ අපිට එකතුකර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ ජනාධිපතිවරයා කවර ආකාරයක ජනාධිපතිවරයෙක් ද යන්න පිළිබඳ කථිකාවක් ඉදිරියේ ජනතාව තුළ ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මෙලෙසින් නම් කරලා තියන ‘අපේ සිහින ජනපති’ නම් වැඩසටහන දිස්ත්‍රිකයෙන් දිස්ත්‍රික්කයට ගෙන ගොස් ජනතාව දැනුම්වත් කරමින් මෙරට දේශපාලනඥයන් හමුවේ ඉදිරිපත් කිරීමත් අපේ බලාපොරොත්තුවක්. ඒ වගේම තමයි 1994 ඉඳලා මේ රටේ මේ ජනාධිපතිධූරය පිළිබඳ යම් යම් කථිකාවක් ඇති වෙලා තිබුණත් තවමත් එය ක්‍රියාත්මක කිරීමට හැකි වී නෑ. නමුත් අපි මේ වැඩපිළිවෙළ යටතේ මේ වත්මන් ජනාධිපතිවරයාවත්, හිටපු ජනාධිපතිවරැන්වත් විවේචනය කිරීමක් සිදු කරන්නේ නැහැ. මෙම වැඩසටහන තුළින් ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ ජනාධිපතිවරයකු රටට පත්කරගැනීම සඳහා කථිකාවක් නිර්මාණය කිරීමයි බලාපොරොත්තුව.”

හීනය සැබෑවක් කරගත යුතුයි
ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව හිටපු කතානායක (තරැණ ප්‍රජාව නියෝජනය කරමින්) සමින්ද දුලාංජන

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකන් ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අභියෝග කරන්න පුළුවන්කමක් මහජනතාව වන අපිට තියෙනවා. ඒ නිසා මේ හීනය යථාර්ථයක් කරගන්න එකයි තියෙන්නේ. හරියටම බැලුවොත් මේක මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. ඒ වගේම මේ අපි ඇදගෙන එන අපේ සිහින ජනාධිපතිවරයා යටතේ මේ රටේ ජනතාවට නිදහසේ හුස්මක් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අද අපේ රට පාලනය වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යටතේ. අද අපි මේ කතා කරන ජනාධිපතිවරයාට හැකියාවක් තියෙන්න ඕන මේ බලතුලනය නිසි ආකාරව පවත්වාගෙන යන්නට. ඒ වගේම මැතිවරණවලට පමණක් සීමා නොවී ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණය සෑම වෙලාවකම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මේ සිහින ජනාධිපතිවරයාට තිබිය යුතුයි. ඒ වගේම අපිත් මේ රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන ආකාරයට මේ සිහින ජනපතිවරයාට හැකියාවක් තියෙන්න ඕන විදෙස් රටවලට ගැති නොවී මේ රට මේ රට පාලනය කරගෙන යන්න. ජනතාව බලාපොරොත්තු වන සිහින ජනාධිපතිවරයකු බිහිකිරීමේ සංකල්පය අපි සංවාදයට ලක්කරන්නේ ඒ නිසා.

දැන් ක්‍රමය ගැන හැමෝටම තිබෙන්නේ විවේචනයක්
ප්‍රවීණ කලාකරු නිශ්ශංක දිද්දෙණිය

මේ අපේ රටේ විධායක ජනපති ක්‍රමය දිහා බලනකොට සෑමදෙනාටම එහි විවේචනයක් තියෙනවා. දැන් හැමෝම දන්න දෙයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය රුකිලා තියෙන්නේ ජනතාව තුළ පමණයි කියන එක. රට තුළ තියෙන වංචාව දූෂණය අවම කිරීමට මේ අපි කියන සිහින ජනාධිපතිවරයාට හැකියාවක් තියෙන්න ඕන. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුයි. මේ සංකල්පය රට තුළ සාකච්ඡා වෙලා රටට හිතැති පාලකයකු බිහිකර ගැනීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.

මේ සංකල්පය රටපුරා ගෙන යමු 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මාතර දිස්ත්‍රික් සභාපතිනි සුරංගි වාසනා

අපි ජීවත් වෙන්නේ මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදිලා. ඒ නිසා අද මේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ මගින් සාකච්ඡාවට ලක් කෙරෙන ‘අපේ සිහින ජනපති’ සංකල්පය අපිටත් දැනෙන දෙයක්. මොකද රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරිපත් වන ජනතාව බලාපොරොත්තු වන නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය. ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන, සෑම ක්ෂේත්‍රයක් දෙසම එක විදිහට බලලා රට කරවන ජනාධිපතිවරයෙක් තමයි අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ සංකල්පය රට පුරා ගෙනිහින් ඒ ගැන කථිකාවක් ඇති කරන එක හොඳයි.

►හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00