2019 මාර්තු 16 වන සෙනසුරාදා

කිරිපිටි සටනින් ජයගත් මිල සූත්‍රය

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක විකුණුම් මිල රුපියල් 100කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස මෙරටට කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇති බව පසුගියදා මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය විය.

කිරිපිටි ආනයනය සමාගම් මේ වනවිට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බවත්, තමන් ඉල්ලා සිටින මිල ගණන් අනුව කිරිපිටි මිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත් කිරිපිටි ආනයනය කිරීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඒකාබද්ධ තීරණයක් ගෙන ඇති බවත් මාධ්‍ය ඔස්සේ පසුගියදා එළිවී තිබිණි.

පසුගිය වසරේ ලෝක වෙළෙඳපොළේ ඩොලර් 2700, 2800කට තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල 3300ත් 3400ත් දක්වා ඉහළ ගොස් ඇති අතර ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම නිසාත්, ආනයනික කිරිපිටි සඳහා මෙතෙක් නොතිබුණු 15%ක වැට් බද්දක් පනවා ඇති නිසාත්, කිරිපිටි ආනයනයේදී කිලෝවක් සඳහා අයකරන ලද රුපියල් 2.00ක් වූ ආනයනික බද්ද රුපියල් ....... දක්වා වැඩිකර ඇති නිසාත්, මෙරට ආනයනික කිරිපිටි අලෙවි කිරීමේ නිරතව සිටින සමාගම් මාස ගණනාවක සිට විශාල වශයෙන් පාඩු ලැබීමේ හේතුව නිසාත්, කිරිපිටි ආනයනයේ යෙදෙන අදාළ පෞද්ගලික සමාගම් මෙලෙස කිරිපිටි මිල වැඩිකිරීම සඳහා ඉල්ලීම් කිරීම මෙයට ආසන්නතම හේතුව වී ඇත.

කෙසේ වෙතත් කාලයක් මුළුල්ලේම ඇදෙමින් තිබූ මෙම කිරිපිටි ප්‍රශ්නය පසුගියදා වඩාත් තීව්‍ර වෙමින් වෙළෙඳපොළෙහි කිරිපිටි හිඟයක්ද මතුවී තිබූ බව පාරිභෝගිකයන් මෙන්ම වෙළෙන්දෝද පැවසූහ. මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ කිරිපිටි සමාගම් විසින් වරායෙන් කිරිපිටි නිදහස් කර නොගැනීම හා අලුතින් කිරිපිටි තොග ඇණවුම් නොකිරීමයි. එමෙන්ම ඇණවුම් කළ කිරිපිටි තොග නිදහස් කර නොගැනීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනය වනවිටද කිරිපිටි කන්ටේනර් 200ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසීය.

මෙම කිරිපිටි අර්බුදයට පිළියමක් ලෙස කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි විය. මෙම නව මිල සූත්‍රයට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් පමණ ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසීය. ඒ අනුව දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවක් රුපියල් 92ක් දක්වා ඉහළ යනු ඇති බවත්, දැනට රුපියල් 345ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 370ක් දක්වා ඉහළ යනු ඇති බව වාර්තා වෙයි. පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලැබූ පසු මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙරට මාසික කිරිපිටි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 8000ක් වන අතර දේශීය නිෂ්පාදකයන් ඉන් ආවරණය කරන්නේ 15%ක් පමණ වූ ප්‍රතිශතයකි. ඒ අනුව ඉතිරි 85% විදෙස් රටවලින් කිරිපිටි ආනයනය කරන දේශීය හා විදේශීය සමාගම් සතු වන අතර ඔවුන් තවදුරටත් සිය තොග වරායෙන් මුදා නොගැනීමට කටයුතු කළහොත් ඉදිරියේදී කිරිපිටි හිඟය තවත් අර්බුදකාරී මාවතකට ගමන් කරනු ඇත.

මේ අතර ආර්ථික විශේෂඥයන් අවස්ථා ගණනාවකදීම රජයට පෙන්වා දී තිබුණේ විදේශීය කිරිපිටි වෙනුවට දේශීය කිරිපිටි වෙළෙඳපොළට ස්ථාවර කිරීම මගින් වාර්ෂිකව විදෙස් වෙළෙඳපොළට ඇදී යන ඩොලර් බිලියන ගණනක විදෙස් විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකි වීමෙන් රටට හා ජනතාවට ආර්ථික ප්‍රතිලාභ රුසක්ම අත්වන බවයි. මෙරට ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සඳහා දේශීයව නිෂ්පාදනය කෙරෙන දියර කිරි නිෂ්පාදන ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, දැනට දේශීය දියර කිරි අතිරික්තයක් පවා පවතින බවත්, දේශීය කිරිපිටි සමාගම් හා ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වා දී ඇති අතර විදේශීය කිරිපිටි ආනයනය කිරීම අධෛර්යමත් කර මෙම දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් සඳහා මෙරට කිරිපිටි වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් පසුගිය කාලයේ සිදුවූවක් මෙන් දේශීයව නිෂ්පාදිත දියර කිරි අපතේ යැවීමට කිරිගොවියන්ට සිදුනොවනු ඇති බවද ඔවුහු රජයට හා බලධාරීන්ට පෙන්වා දුන්හ.

ආරිය කිරි ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් වීරසූරිය

“වෙළෙඳපොළ තුළ කිරිපිටි හිඟයක් පවතිනවා කියලා මේ වනවිට රාවයක් පවතිනවා. නමුත් වෙළෙඳපොළ තුළ එලෙස කිරිපිටි හිඟයක් පේන්න නැහැ. එමෙන්ම කිරිපිටි මිල යම් වැඩිවීමක් සිදුවිය යුතුයි. මේ රජය පසුගියදා කැබිනට් හමුවේදී කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. අපි හිතනවා යම් සහනයක් අපිට ඒ මගින් ලැබෙයි කියලා.”

රජය විසින් හඳුන්වා දීමට නියමිත කිරිපිටි මිල සූත්‍රය පිළිබඳව දේශයේ අපි පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළෙමු. එහි ප්‍රකාශකයකු ඒ පිළිබඳව මෙලෙසින් අදහස් පළ කළේය.

“මේ වනවිට වෙළෙඳපොළ කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා කියලා පාරිභෝගික ජනතාව මැසිවිලි නගන ආකාරය අපි දුටුවා. කිරිපිටි තොග තියාගෙන වැඩි මිලට අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් අපි අධිකාරිය ලෙස ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා කියලා. ඒ වගේම මේ මිල සංශෝධනය සිදුවූ විට නැවත පෙර තිබූ මිලටම කිරිපිටි අලෙවි කළහොත් ඒ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රජය විසින් හඳුන්වා දුන් කිරිපිටි සඳහා වූ මිල සූත්‍රය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”

සටහන:- හසිත් අංජන