2019 මාර්තු 16 වන සෙනසුරාදා

වාහන ගේන්න පුළුවන් පාරේ දුවන්න බැහැ

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

රථවාහන සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු රාශියකි. ඒ අතරින් මෑතකාලීනව නිතර නිතර මතුවුණු ගැටලුවක් අපගේ අවධානයට ලක්විය. මෙය ආනයනික වටිනාකමින් වැඩි ඇතැම් රථවාහනවලට මුහුණදීමට සිදුව ඇති ගැටලුවකි. සයිලන්සරය හෙවත් දුම්බටයේ ප්‍රමාණය, එහි ශබ්දය ආදිය සැලකිල්ලට ගෙන පොලීසියට මෙම වාහන අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාව නිර්මාණය වී තිබේ. මෙහිදී බලධාරීන් විසින් චෝදනා කරනුයේ වාහනවල සයිලන්සරය වෙනස්කොට ඇති බවටයි. එහෙත් එම වාහන හිමියන් පවසන්නේ තම වාහනවල කිසිදු වෙනසක් කර නොමැති අතර මව් සමාගම් එම වාහන නිෂ්පාදනය කර ඇති ආකාරය එය බවයි. අපගේ විමසුම රථවාහන සම්බන්ධ ඉදිරිපත්වන එම තාක්ෂණික හා නෛතික ගැටලුව සම්න්ධයෙනි.

මේ කරැණු හේතුවන් බොහෝ රථවාහන හිමියෝ අපහසුතාවයට පත්ව සිටිති. අධික වටිනාකමින් යටතේ රජයද බදුගෙවා නිත්‍යනුකූල ගෙන්වන ලද මෙම රථවාහනවල හිමිකරුවෝ කාලාන්තරයක් තිස්සේ මෙම කරුණු මතුකරති. උදාහරණයක් ලෙස Mitsubishi evolution, Subaru, Lamborghini, Porsche, Ferrari, Mclaren, Honda, Toyota supra, Nissan skyline GTR, Benz AMG, BMW, Jaguar ආදී වාහන ඉහත අර්බුදයට මැදිවී ඇත. අපි ප්‍රථමයෙන් මෙම වාහන හිමියන්ගේ පාර්ශ්වයෙන් මතුවන කරුණු දැක්වීමට අවධානය යොමුකරමු.

මෙම වාහනවල ශබ්ද මත  පොලීසිය චෝදන ඉදිරිපත් කරන්නේ අලුතින් බීඩ් බැරල්, එස්ටෝස් දමා එම වාහන නැවත සකසා ඇති බවටයි. එහිදී පොලීසිය නිර්දේශ කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් මෙම වහනවල අමතරව වෙනස්කමක් සිදුකර ඇත්දැයි පරික්ෂා කරන ලෙසටයි. එහෙත් මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂා කවර පදමක පිහිටා කරන්නේදැයි රථවාහන හිමියන්ට පැහැදිලි නැත. මෙම වාහනවලට අදාළ පොත්වල දුම්බටවල ප්‍රමාණයක් හෝ විස්තර අන්තර්ගතව නැතැයි ඔවුහු කියති. එවන් තත්වයක් තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කරන පරික්ෂාවේ පදනම ඔවුනට ප්‍රශ්න සහගතය.

තවත් පසෙකින් ශබ්ද සම්බන්ධව නැගෙන චෝදනාවේදී ඔවුන් ප්‍රශ්නකර සිටින්නේ මෙරට රථවාහනවල ශබ්දය සම්බන්ධයෙන් වන නිර්ණායක කවරේද යන්නයි. තම වාහනවලට චෝදනා එල්ල කිරීමේදී එහි පදනම දැනගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව සත්‍යයකි. එමෙන්ම කිසිදු ආකාරයක වෙනස්කමක් නොකොට තිබියදී චෝදනාවට ලක්වන විට ඔවුන් පෙරළා පොලීසියන් හා බලධාරීන්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කිරීම සාධාරණය. තම වාහන මෙරටට ගෙන ඒමේදී තාක්ෂණික අර්බුදය පිළිබඳ වගකිවයුත්තන් සැලකිලිමත් නොවූයේ ඇයි? ඔවුහු ප්‍රශ්න කරති. සාමාන්‍ය වාහන ආනයනය යනු සංකීර්ණ ක්‍රියාවලියකි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වාහන ගෙන්වන නියෝජිත ආයතන ආදී පාර්ශ්ව ගණනාවක් මීට මැදිහත් වෙයි. එම කිසිදු පාර්ශ්වයක් විසින් අවධානයට ලක් නොකර ලද ගැටලුවක් අවසානයේ එම වාහන භාවිතයේදී මතුවීම ගැඹුරින් සොයා බැලිය යුත්තකි.

මෙම අර්බුදය සම්බන්ධ කරුණු විමසීම අපි මෝටර්රථ රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත්තෙමු. ඒ අනුව සහකාර කොමසාරිස් කාර්මික ජේ.ඒ.එස්. ජයවීර මහතා මෙම අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ලියාපදිංචිය  අනුමත කරන්නේ මූල ආකෘතියක් අනුවය. මෝටර් රථ ප්‍රවාහන පනතේ ඇති අනුකූලතාවය බලා එම කටයුතු සිදුකරනු ලබයි. මෙහිදී නියෝජිත ආයතන මව් සමාගම්වලින් ලංකාව ආනයන කරන අදාළ වර්ගයේ පළමු වාහනය මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකරයි. එවිට දෙපාර්තමේන්තුව පනතට අනුකූලවද යන්න පරීක්ෂා කර බලා අදාළ ලියාපදිංචිය සිදුකරයි. දෙවන වාහනයද එලෙස බලා ලියාපදිංචි කරයි. තෙවැනි වාහනයේ සිට මූලාකෘතිය අනුව ලියාපදිංචි කරගැනීමට අදාළ නියෝජිත ආයතනවලට අවසර ලැබේ. එය පහසුව සලකා කරනු ලබන්නක් වන අතර මාස හයක් හෝ වසරක් යනතුරු එම වර්ගයට අදාළ වාහන ගෙන්වන විට පෙර මූලාකෘතිය අනුව ලියාපදිංචි කටයුතු කර ගැනීමට නියෝජිත සමාගම්වලට අවකාශ සැලසෙයි.

මේ අතරතුර අදාළ ආයතනය සයිලන්සරය වෙනස්කර ඇති වාහන ගෙනවිත් පෙර Proto Type එකට අනුව ලියාපදිංචි සිදුකරගනී. එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් නොවේ. එහෙත් වාහන මිලදී ගන්නා පුද්ගලයා මෙම අභ්‍යන්තර තත්ත්වය දන්නේ නැත. එවිට ඔවුහු තම ලියාපදිංචි නිසි පරිදි සිදුවූ බව සිතා තර්ක ගොඩනගති. මෙහිදී සැබෑවටම සිදුවන්නේ නියෝජිත ආයතන දෙපාර්තමේන්තුවේ විශ්වාසය බිඳදැමීමය. යම් හෙයකින් මෙසේ ලියාපදිංචි කරන ලද වාහනයක් මාර්ගයේ ධාවනය වනවිට හසුවුවහොත් එය නිවැරදි කර ගෙන්වා පෙන්වන ලෙස දන්වා තාවකාලික තහනම් නියෝගයක් ලබාදේ. නමුත් බොහෝවිට එවන් අවස්ථාවල වාහන හිමියෝ ඊට විරැද්ධ වෙති. ඒ තමන් වරදක් නොකළ බව දක්වමිනි.

උදාහරණයක් ලෙස Mitsubishi evolution රථ ගතහොත් එය ආනයනය කරන විටම පිටුපස බොයිලර් එකක් සවිකර තිබේ. තවත් විවිධ වෙනස්කම් එහි දැකිය හැකිය. Mitsubishi evolution යනු මිට්සුබිෂි සමාගමේ නිෂ්පාදනයකි. අයිතිකරු වෙනස්කමක් නොකළ බව සත්‍යයකි. එහෙත් එම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය යොමුකරන්නේ මේ ආදී වෙනස්කම් සහිතව නොවේ. Mitsubishi Evolution එම මූලාකෘතියට ලංකාවේ අනුමැතිය නොමැති අතර නියෝජිත ආයතනය විසින් දෙපාර්තමේන්තුව නොමඟ යැවීමක් සිදු වී තිබේ. අවසානයේදී එම වාහන මෝටරථ රථ ප්‍රවාහන පනතට අනුකූල නැත. එවිට නීතිමය ගැටලුවක් මතුවෙයි.

මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ඉදිරිපත් වන කරුණු දැක්වීමේ සංක්ෂිප්ත අදහස එයයි.

අප අවධානයට ලක්කර යුතු අනෙක් කරුණ වන්නේ මේ මොහොත වනවිට මතුවන රථවාහන ශබ්ද සම්බන්ධ ප්‍රමිතිකරණයක අවශ්‍යතාවයි. ශබ්දයේ ප්‍රමාණය සම්බන්ධ නිසි මිනුම් අවශ්‍යතාවක්, නීති පද්ධතියක් රටට අවැසිය. දෙපාර්තමේන්තුව මේ වනවිටත් මෙයට අදාළ රෙගුලාසි නිර්මාණය කරමින් සිටින බව කියවේ. පරිසර අමාත්‍යාංශයේ සහායද සහිතව එම කටයුතු සිදුවේ. තවත් මාසයක් පමණ ඇතුළත මෙය ප්‍රසිද්ධියට පත්කිරීමට හැකිවෙනු ඇතැයි අප කළ විමසීමේදී දැනගන්නට ලැබුණි.

ලංකාවේ ලියාපදිංචි කර රට තුළ ධාවනයේදී නීතියෙන් වැට බඳින රථවාහන සම්බන්ධ සමාජ ප්‍රශ්නය දැන් ඔබට පැහැදිලි විය යුතුය. මෙහි වරද කාගේද යන්න ඒකපාර්ශ්වික විමසීම අසාධාරණය. මෙහි තවත් පැතිකඩ කිහිපයක් තිබේ. පොලීසිය පාර්ශ්වයෙන් ඇතැම් නිලධාරීන්ට පවා මෙහි යථාර්ථය පිළිබඳ අවබෝධක් නැත. තවත් රථවාහන හිමියන් පිරිසක් වංචනික ලෙස මෙම නීතිය උල්ලංඝනය කරමින්ද සිටී. තවත් පිරිසක් නොදැනුවත්වම මෙම උගුලේ පැටලෙති. මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලංකාවට ගෙන්වන සෑම වාහනයක්ම පරීක්ෂා කිරීමට නොහැකි බවද සත්‍යයකි. ලෝකයේ නිෂ්පාදනය වන පිළිගත් සුපිරි වාහන ලංකාවේ ධාවනය නොහැකි නම් එයද විහිලුවකි. එම නිසා මෙම ගැටලුව පුළුල් වපසරියක පැතිර ඇති බව කිව යුතුය. එසේ හෙයින් පුළුල් අධ්‍යයනයක් තුළින් වඩා ප්‍රායෝගික විසඳුමක් මෙම ගැටලුවට ලැබිය යුතු බව අවසානයේ අවධාරණය කර සිටිමු.

චමිඳු නිසල් ද සිල්වා