2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඡන්ද අයවැය ගැන සුදු කළු මත

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

අයවැය ලේඛනයක් ඉදිරිපත් කෙරෙන සැමවිටම රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ තමන්ට සහන ලැබෙනු ඇති බවය. එයට ප්‍රධානම හේතුව වන්නේ අයැවය මගින් සහන දිය යුතු බවට චිරාත් කාලයක් තිස්සේ ජනතාවගේ මොළයට කාවද්දා තිබීමය. අයවැය මගින් සහන දිය යුතු බවට මතයක් ජනතාව තුළ ඇතිකර ඇත්තේද දේශපාලනඥයන් විසින්ය. ඒ නිසා නිදහස ලැබුණු දින පටන් ඉදිරිපත් කරන අයවැය පිළිබඳ ජනතාව විශ්වාස කිරීමට පුරුදු වී තිබෙන්නේ තමන්ට යමක් ලැබෙනු ඇත යනුවෙනි.

මෙම වසර තුළ කුමන හෝ මැතිවරණයක් දෙකක් සිදුවන නිසා මේ අයවැය වෙන අයවැය ලේඛනවලට වඩා ජනතාවට කෙටිකාලීන සහන සලසන මැතිවරණ අයවැයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා තිබුණහ. ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Pepper cube consultants ආයතනය මෙයට ස්වල්ප දිනකට පෙර කළ විමර්ශනයකට අනුව රටේ ජනතාවගෙන් සියයට 97ක් පමණ මෙම අයවැයෙන් තමන්ට කුමක් හෝ ආකාරයක සහනයක් ලැබේ යැයි විශ්වාස කරගෙන සිටි බව වාර්තා කෙරුණි.

මේ සහන දීම යනු කෙටිකාලීන සහනය. ක්ෂණික සහනය. ජනතාවට අවශ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් කළ දිනට පසුදා සිට සහන ලැබීමටය. එසේ සහන නොලැබුණු විට අයවැයේ කොතරම් සාධනීය ලක්ෂණ තිබුණත් එය පජාත අයවැයක් ලෙස පිටසන් කරන්නට ඔවුහු පෙළඹෙති.

මෙම අයවැය ලේඛනයෙන් එවැනි සහන ලැබුණේ නැත. එනිසාම අයවැය පතුරු ගසන්නට අයිතියක් තිබේදැයි සලකා බැලිය යුතුය. මෙම අයවැය මැතිවරණයක් අපේක්ෂා කර තැනූවක් නොවන බව දැන් කාට කාටත් ප්‍රත්‍යක්ෂය. අයවැය පිළිබඳ විග්‍රහයක යෙදෙන ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ කෘත්‍රීම ලෙස මිල පහළ හෙළනු වෙනුවට පාරිභෝජනවලින් සම්පත් ආයෝජනය කරා හිමිහිට ඇදගැනීමට සමත් වී ඇති බවය. එය බොහෝවිට ජනතාවගේ ඇඟට නොදැනෙනවා විය හැකිය.

මෙයට පෙර ශ්‍රී ලංකාවේ සියලුම අයවැය පාරිභෝජනය පදනම් කරගත් ඒවා වෙයි. මේ අයවැය වියදම් ශික්ෂණය කරන අයවැයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. මෙයින් පාරිභෝගිකයාගේ බලාපොරොත්තු ඉෂ්ඨ නොවන බව ඇත්තකි. එහෙත් රටේ ආර්ථිකය මුහුණ දී ඇති තත්ත්වය අනුව අපහසුවෙන් හෝ ඉටුකළ යුතු දේ යම් පමණකට හෝ මෙයින් ඉටුකිරීමට උත්සාහ ගෙන ඇත. මේ තුළින් රටේ ආර්ථිකයේ අලුත් දැක්මක් ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. අයවැය තුළින් රටේ පෞද්ගලික අංශය සංවර්ධනයට ඈදාගැනීමට උත්සාහ දරා ඇති බව ව්‍යවසායකයෝ කියති. ඔවුන් අදහස් කරන්නේ අයවැය තුළින් පෞද්ගලික අංශය නවෝත්පාදනය කර ආර්ථිකයට දායක විය හැකි ව්‍යවසායකයන් රැසක් බිහිකිරීමට උත්සාහ දරා ඇති බවකි.

එසේ වුවද මෙතෙක් කල් අපේ රටේ අයවැයවලින් රටේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැති බව පැවසීම සත්‍ය වේ. සාමාන්‍යයෙන් අයවැයකින් සිදුකළ යුත්තේ රටේ සංවර්ධනය සඳහා යෝජනා කරන වැඩපිළිවෙළකට වාර්ෂිකව මුදල් වෙන් කිරීමය. ඒ පිළිබඳ පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සිදුකෙරේ. අපේ අයවැයවලින් එවැන්නක් සිදුනොවුණේ ආණ්ඩුවට ජාතික ආර්ථික සංවර්ධන සැලසුමක් හෝ ප්‍රතිපත්තියක් නොමැති වීම නිසාය.

අපේ පළාත් සභාවලටද පළාත් සංවර්ධන සැලසුම් නැත. ඔවුන් කරන්නේ මධ්‍යම රජයෙන් දෙන මුදල් ඒ මේ අතට බෙදාගැනීමය. ඒ නිසා අපේ රටේ අයවැය ලේඛනයකින් කෙරෙන්නේ ණයට ගන්නා මුදල් සහ රටේ ජනිත වන ආදායම් වැය කරන ආකාරය ඉදිරිපත් කිරීම පමණකි. එසේ නැතිව නව ආර්ථික ප්‍රවණතා ඉදිරිපත් නොකෙරේ.

ලෝක බැංකුව මගින් 2019 දක්වාම සලකා බලා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන නුදුරු දිනක නිකුත් කළ වාර්තාව අපට ප්‍රබල පණිවුඩ දෙකක් දෙයි. ඒවා අපට කළ අනතුරු ඇඟවීම්ය.

(1) 2013 පටන් අපේ රටේ ආර්ථිකය පෙන්නුම් කරන පරිහානි ලක්ෂණ සැලකිය යුතු සාධනීය වෙනසක් නොමැතිව 2021 දක්වාම එකදිගට ගමන් කරනවා ඇත.

(2) පහත වැටෙමින් පවතින රටේ ශ්‍රම බලකා ශක්තිය හා ශ්‍රම ඵලදායීතාව ඊළඟ වසර 2-3 තුළ ප්‍රගතියට ඍණාත්මක බලපෑමක් ඇති කරයි.

ලෝක බැංකුව උපදෙස් දී ඇත්තේ මීළඟ දශකය තුළදී මේ තත්ත්වය අවම කිරීමට උත්සාහ ගත යුතු බවටය. එහෙත් 2019 අයවැය තුළින්ද මෙම නිරීක්ෂණ පිළිබඳ උනන්දුවක් දක්වා නොමැති බව කියැවේ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තවදුරටත් පුළුල් කරමින් පක්ෂයේ ප්‍රචාරක වැඩ ආණ්ඩුවේ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරීමේ කූට උත්සාහයක් මේ තුළින් දක්නට ඇතැයි ඇතැම්හු විවේචනය කරති. ගම්උදා වැඩසටහන ප්‍රවර්ධනය කිරීම, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන මත පදනම්ව කටයුතු කිරීම, සුඛිත පුරවර වැඩසටහන, ශ්‍රම ශක්ති වැඩසටහන, නංවමු ලංකා ‘ව්‍යවසාය සංවර්ධන’ ව්‍යාපෘතිය, ප්‍රජා ජල අභිමන් ආදී වැඩසටහන් මෙයට උදාහරණ ලෙස දැක්වේ. එසේම රාජ්‍ය සේවකයන්ට රැපියල් 2500ක දීමනාවක් ලබාදීම, විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, අලුතින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමද මෙයට අඩංගුය. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පුනරාවර්ථන වියදම් ලෙස පසුගිය වසරට වඩා රැපියල් මිලියන 46575ක් වැය කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ අනුව පෙනී යන්නේ වියදම් පිරිමසා ගැනීම ගැන එතරම් උනන්දුවක් නොමැති වීමය. වසරේ රාජ්‍ය ආදායම යම් පමණකට වැඩිවීමක් පෙන්නුම් කළද පුනරාවර්ථන වැය විශාල ලෙස වැඩි වී තිබේ. එයට ප්‍රධාන හේතුව විදේශ ණය සහ පොලී ගෙවීම වාර්තාගත ලෙස ඉහළ යාමය. එය 2015 දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.8 මට්ටමේ තිබුණද 2018 වනවිට 5.9 දක්වා ඉහළ නැග තිබේ. අලුතින් ණය ගැනීම වැඩිවීම නිසා 2019 දී මෙය තවත් වර්ධනය වනු ඇත.

කෙසේ වුවද අයවැය ලේඛනවලින් කුමන යෝජනා ඉදිරිපත් කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇත්තේ කනගාටුදායක අත්දැකීම්ය. මෙතෙක් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් ක්‍රියාත්මක වී ඇත්තේ අතළොස්සක් බව පෙනේ. ඒ නිසා වඩාත් ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ අලුත් අලුත් යෝජනා කිරීම නොව පසුගිය වර්ෂවල පවා ක්‍රියාත්මක නොවූ යෝජනා පිළිබඳ මෙම වර්ෂයේදී යළි සලකා බැලීම බව බොහෝ දෙනාගේ අදහසය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න:

“ආර්ථිකයේ ගැටලු විසඳීමට මෙම අයවැයෙන් යම් පමණකට උත්සාහ කර තිබෙන බව පෙනෙනවා. ජනතා අපේක්ෂා ඉටුවෙන පසුබිමක් මෙයින් නිර්මාණය කර තිබෙන බව කිවයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලාපොරොත්තු අනුව යම් පමණකට හැඩ ගැසෙන්නට උත්සාහ කර තිබෙනවා.

අයවැය ලේඛනය පිළිබඳ ජනතාව එතරම් පැමිණිලි කරන්නේ නැහැ. එයට හේතුව ජනතාවගේ කැමැත්ත අනුව වූ යෝජනා මෙයට ඇතුළත් කර තිබීමයි. අයවැය පරතරය අඩුකර මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාව ඉටු කිරීමට අයවැය තුළින් පියවර ගෙන ඇති බව කිවයුතුයි. පොදුවේ ප්‍රකාශ කළහොත් සෑහෙන කාලයකට පසු ආණ්ඩුවක් සාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති බව කිව යුතුයි. පටු දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොබලා පොදුවේ මධ්‍යස්ථව බැලුවහොත් අයවැයේ වැදගත් බලාපොරොත්තු තිබෙන බව පෙනෙනවා.

ජනතාව විවිධ අංශ මගින් වැඩිපුර ගෙවිය යුතුව ඇත. වැඩියෙන් ගණන් බලනවා නම් වැඩිපුර දෙන්නටද වෙනවා. එහෙත් අයවැය ක්‍රියාත්මක කර එය යථාර්ථයක් බවට පත් කිරීම වැදගත් වෙයි. මෑත කාලයේදී ඉදිරිපත් කළ අයවැය ලේඛන ගැන සලකා බලන විට ඉලක්කම් ඇස්තමේන්තුවට වැඩිය කාර්ය සාධනය පහළයි. විශේෂයෙන් වැය පැත්ත ගැන බැලූ විට වැය කිරීමට අපේක්ෂිත මුදල් එපමණකින්ම වැය වෙනවාද යන්න ගැටලු සහගතයි. උදාහරණයක් ලෙස කිවහොත් බිලියන 3000 වැය ඇස්තමේන්තුවල තිබුණත් වසර අවසානයේදී සම්පූර්ණයෙන් වැයකර ඇත්තේ බිලියන 2500ක් පමණ විය හැකියි. මෙයට හේතුව රාජ්‍ය අංශයේ කටයුතු සිදුවීම මන්දගාමී වීමයි. කාර්යක්ෂමතාව අඩුවීම මෙන්ම නිසි කළමනාකරණයක් නොමැතිවීම එයට හේතුවෙනවා. ඒ නිසා අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන සියල්ල ඒ මට්ටමට ළඟාකරලීමට අපහසුයි. එය මේ අයවැයේ පමණක් නොව අපේ රටේ බොහොමත් අයවැය ලේඛන ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති දුර්වලතාවක්. මෙලෙස වෙන්නට එක හේතුවක් වන්නේ වැය ඇස්තමේන්තුවලට අවශ්‍ය මුදල් ඒ ආකාරයෙන් නොලැබීම විය හැකිය.

කෙසේ වුවද අයවැය යෝජනාවලින් කොතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වී තිබෙනවාද යන්න පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි. එහි යම් ඌනතාවක් තිබේ නම් එයට හේතු සොයාබලා සියල්ල විධිමත් කළයුතු වෙනවා. ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ නැති නම් සංඛ්‍යාවලින් වෙන් කිරීමෙන් වැඩක් නැහැ.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අසේල ද ලිවේරා:

අධ්‍යාපන, සෞඛ්‍ය, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සහ උතුරැ නැගෙනහිර සංවර්ධනය සඳහා අගනා යෝජනා රුසක් 2019 අයවැය තුළින් ඉදිරිපත් කිරීම අගය කළ යුතුයි.

“මෙම අයවැයෙන් රටේ දිගුකාලීන, මැදිකාලීන හා කෙටිකාලීන සංවර්ධනයක් ඇතිකිරීම සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ජනතා සුබසාධනය වෙනුවෙන්ද නව යෝජනා ඉදිරිත් කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. 2015 සිට රජය රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම, අයවැය පරතරය අඩුකර ගැනීම ඉලක්ක කරගෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට අඛණ්ඩව ප්‍රයත්න දරා ඇති අතර මෙම අයවැය ලේඛනය මගින්ද ඉන් බැහැර ගොස් කටයුතු කර තිබීම සතුටට කරුණක්.

ආණ්ඩුව රාජ්‍ය ආදායම පසුගිය වසරට වඩා සියයට 20කින් ඉහළ නංවා ගනිමින් රජයේ ආයෝජන සහ පුනරාවර්ථන වියදම් කළමනාකරණය කිරීමට දරන උත්සාහය අපේ නිරීක්ෂණයට ලක්වෙනවා. අයවැය පරතරය සියයට 4.4ක් ලෙස දිගටම පවත්වා ගැනීම මන්දගාමී ආර්ථික රටාව තුළ අතිශයින් දුෂ්කර කාර්යයක් බව පිළිගත යුතුවෙයි. අපේක්ෂිත ණය පොලී ගෙවීම මුළු රාජ්‍ය ආදායමෙන් සියයට 35%ක් වන අතර, මුළු බදු ආදායම තුළ විශේෂයෙන් වක්‍ර බදු ඉහළ අගයක් ගැනීම වාණිජ මණ්ඩලයේ අවධානයට ලක්වෙනවා.

විශේෂයෙන් රැපියල් බිලියන 48,000ක් වෙන්කර ක්‍රියාත්මක කරන ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛස්ථානය සලසා තිබීම අගය කළ යුතුයි. එසේම රැපියල් මිලියන 500ක් වෙන්කෙරැණු ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ගන්නා උපාය මාර්ග වැදගත්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මූලික අවශ්‍යතාවක් වන මුදල් ප්‍රතිපාදන සඳහා වූ ඇපකර ශ්‍රී ලංකා මහබැංකුව තුළින් ලබාදීමට පියවර ගැනීම වැදගත්.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ:

මෙම අයවැයෙන් කෙටිකාලීන සහන කිසිවක් දීලා නැහැ. දිගුකාලීන සහන වැඩසටහන් නම් තියෙනවා. ඒත් ඒවා කවදා සිදුවෙයිද කියලා දන්නේ නැහැ. මෙයට පෙර අයවැය ලේඛනවලින්ද විවිධ සහන වැඩසටහන් ගැන යෝජනා ඉදිරිපත් වුණා. එහෙත් ඒවා ඒ අයවැය සමගම අවසන් වුණා මිසක ක්‍රියාවට නැගුණේ නැහැ. මේ අයවැය ලේඛනයටත් ඒ ඉරණම අත්වෙන්නට බොහෝදුරට ඉඩ තිබෙනවා.

ජනතාව අයවැයෙන් බලාපොරොත්තු වන්නේ කෙටිකාලීන සහනයි. ජීවන වියදමෙන් බැටකන පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප්‍රශ්නවලට වහ වහා විසඳුම් අවශ්‍යයි. එහෙම නැතුව අවුරුදු ගණනාවකින් සහන දෙනවා කිව්වාට සෑහීමකට පත්වෙන්න බැහැ. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීම සඳහා අපි අයවැයට යෝජනා ඉදිරිපත් කළා. එහෙත් ඒවාට ප්‍රතිචාර නැහැ.

දුරකතන ගාස්තු, අන්තර්ජාල ගාස්තු අඩුකරන්නට ඉල්ලුවා. දියුණුවන සමාජයේ ලෝකය සමඟ සම්බන්ධකම් ඇති කිරීමට ජාත්‍යන්තර දුරකතන සහ අන්තර්ජාල පහසුකම්වල ගාස්තු ජනතාවට ඔරොත්තු දෙන ලෙස අඩුකළ යුතුයි. පසුගිය කාලයේ මෙම ගාස්තු අසීමිත ලෙස වැඩිකළා. දැන් නුදුරු දිනවල උත්සව සමය එළඹෙනවා. ජනතාවට ස්වකීය නිවෙස් පිළිසකර කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය තීන්ත මිල ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉතාම ඉහළයි. දිනපතා ඉහළ යනවා. අද සිමෙන්ති කොට්ටයක් රුපියල් 1100ක් පමණ මිල වෙනවා.

ඇඳුම් පැළඳුම්වල මිල අසාධාරණ ලෙස වැඩිවෙලා. කමිසයක් රුපියල් 2000-3000යි. සරමක් රුපියල් 1000ට වැඩියි. බැනියමක් රුපියල් 300-400ක් වෙනවා. පාවහන් ගැන කතා කළත් එහෙමයි. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඔවුන්ට මිලට ගතහැකි පරිදි සහන මිලක් ක්‍රියාත්මක කළ යුතුයි.

යසවර්ධන රුද්රිගු

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00