2019 මාර්තු 16 වන සෙනසුරාදා

පියාසර අංක ET 302 ඉතියෝපියා ඛේචවාචකය!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

“තාත්තෙ මේ බලන්නකෝ අපේ ටෙලිපති නෝනා එවලා තියෙන WhatsApp පණිවුඩේ. හරි අමුතුයි නේද?”

කැරෝල් කරන්ජා හොඳින් දන්න කියන හැමෝම ඇයට කීවේ ටෙලිපති නෝනා කියාය. නුදුරු අනාගතයේ වන්නට යන අනතුරු, අභාග්‍ය වගේම සතුටුදායක කාරණා ඇයට සහජ ඉවකින් මෙන් දැණුනේ ඉතා කුඩා කල සිටය. ඈ එවන් දේ ගැන නිතර තමන්ගේ ළඟම ඥාතීන්ට කීවාය. ඈ කීව බොහෝ දේ පසුව ඇස් පනාපිට සත්‍ය වූ නිසාම ඇයට “ටෙලිපති නෝනා” කියා ඔවුන් නමක් දමා තිබුණි. මාර්තු 03 වැනිදා උදේ 8.44ට ඇය  කෙන්යාවේ වෙසෙන සිය සොයුරිය කෙලී කරන්ජා හට WhatsApp පණිවුඩයක් එවා තිබුණි. සිය මවත් දරු තිදෙනාත් සමඟ උපන් බිම කරා එන වාර්ෂික ගමන ඇය ඊළඟ සතියට යොදාගෙන තිබුණි. සතිඅන්ත ගුවන් ගමන් කාල සටහන් පිරික්සන අතර ඇයට මහ අමුත්තක් හිතට දැනුණි. සිතේ දැඩි කැළඹීමකි. සිත බල කළේම ගමන කල් දමන්නටය. වෙනදා උපන්ගමට යන්නට සිතන විට දැනෙන උනන්දුව උද්දාමය වෙනුවට මොකක්දෝ සියුම් භීතිකාවක් හිතට මෝදුවන්නට විය. ඉතින්, ඇය සිය සොයුරියට WhatsApp කළාය. 
“ඇත්තෙන්ම, මේ පාර ගමන ගැන මගේ හිතේ ලොකු  උනන්දුවක් නෑ. හෙට අනිද්දාම  මොකක්දෝ මහා භයානක දෙයක් වෙන්න යනවා කියලයි මට නම් හැඟෙන්නෙ. ඒත් ඒ මොකක්ද කියලා මං දන්නෙ නෑ.”

සිය පියාටද මේ අමුතු මැසේජය පෙන්වූ කෙලී කරන්ජා වහා පිළිතුරක් යවමින් වැඩිමහල් සොහොයුරියගෙන් විමසුවේ “කවදද එන්නෙ?” කියාය. 

කැරෝල් වහා උත්තර දුන්නේය. “මාර්තු 10 වැනිදා! එන වෙලාව පස්සේ.” ඔය කියන 10 වැනිදාට පෙරදින, ඇය වෙතින් නැවත පණිවුඩයකි. මෙවර කෙළින්ම තාත්තාටය.

“අනේ තාත්තේ මොනා වෙන්න යනවාද කියලා මම දන්නෙ නෑ. මගේ ඇඟට කිසි පණක් නෑ. මට හරි බයයි. මමදන්නෙ නෑ මට මොනවා වෙලාද කියලා.” 

“එයා කිව්වා මට බයයි කියලා, මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ” ජෝන් ක්වීන්ඩෝස් ඊට පසුදා මේ ගැන සිහිපත් කළේ වේදනාභරිතවය.

ඔය කියන මාර්තු 10 වෙනිදා උදේ 8.44 වනවිට කැරෝල් ඇගේ මව ඈන් සහ දරු තිදෙනා සමග සිටියේ අඩිස් අබාබා අගනුවර ගුවන්තොටුපළෙන් අහසට නැගි පියාසර අංක ET 302 යානය තුළය. යාන්තම් මාස 09ක් වූ රූබි බිළිඳිය සිටියේ කැරෝල් අතය. මෙයට සතියකට පෙර සිට ඇයට වරින්වර දැනුණු භීතිකාව එවර තදින්ම දැනෙන්නට වූයේ යානයේ අනතුරු සංඥා දැල්වීමත් සමඟිනි.

විසිනව හැවිරිදි යාරෙඩ් ගෙටාචේව් ප්‍රධාන දොරටුව අසලදී සිය සාක්කුව අතගා බැලුවේය. වෙනදා නොවැරදීම රැගෙන එන සෙල්ෆෝනය අද අමතක වී ගොසිනි. දැන් නැවත හැරෙන්නට වෙලාවක් නැත. අටදහස් එක්වෙනි වතාවටත් නයිරෝබි වෙත යන සිය පැය දෙකේ සුපුරුදු ගමනට තවත් ඇත්තේ විනාඩි කිහිපයකි. කාර්ය මණ්ඩලය පෙළ ගැහෙද්දී ඔහු අසළ වූ දුරකතන කුටියකට රිංගා ගත්තේය. අම්මාට ඇමතූමක් ගත්තේය.

“හලෝ අම්මා, මම නයිරෝබි එනවා. බලන්නකෝ හරි වැඩේනේ කවදාකවත් නැතිව ෆෝන් එක දාලා ඇවිල්ලානේ. ඒකට කමක් නෑ ඔහේට ආවාම අපි ඕනෑ තරම්  කතා කරමුකෝ.” දුරකතන ඇමතුම ලද වෛද්‍ය රයාන් ශාර්පි සිය ගුවන් නියමු පුතා එනතුරු නයිරෝබියට වී බලා සිටියාය. එදා උදේ 8.44න් පසු ගුවන් ගමන් කාලසටහන් පුවරුවේ දිගටම සටහන්ව තිබුණේ පියසර අංක ET302 එදින පැමිණීම ප්‍රමාද වන බවය.

එදින උදාසන 8.38 වනවිට තරුණ පළපුරුදු ප්‍රධාන නියමු යාරෙඩ්, ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බෝල් ගුවන් තොටුපොළෙන් නවීනතම බෝයිං 737-800 MAX වර්ගයට අයත් පියාසර අංක ET302 යානය 07 වැනි මංතීරැව ඔස්සේ අහසට නැංවීය. වලාකුළු සහිත කැළඹිලි සහිත කාලගුණ තත්ත්වය නිසාදෝ යානය ස්ථාවරව තබා ගැනීම අසීරු බව ඔහුට වැටහුණි. ගුවනේ වායු රහිත වළවල්වල වැටෙන්නත් ඒ මේ අත පැද්දෙන්නට වූ යානය ගැන මුල්වරට, ගමන් වාර අටදහසකට පසු ඔහුට සැක සිතෙන්නට විය. මගීන් වෙත අනතුර දන්වන්නට පෙර ඔහු පාලක මැදිරිය අමතා නැවත හැරීවිත් ගොඩ බැසීමට අවසර පැතුවේය. ඉහළින් හුස්ම ගන්නට ආධාරක ඇද වැටෙද්දී සහ ආසන පටි පැළඳ ගන්නට සංඥා නිකුත් වෙද්දී ගුවන් යානයේ සිග්සැග් ගමනින් අන්දමන්දව සිටි පිරිස මරහඬ තලන්නට වූහ. හිතුවක්කාර ලෙස මාර්ගයෙන් පිට පනිනා යානය නැවත හරවා ගන්නට නියමු යාරෙඩ් ගෙටාචේව් ප්‍රබල උත්සාහයක් දැරැවේය. නමුත් යානයේ තාක්ෂණික මෙවලම් මුල්වතාවට ඔහුට එරෙහි විය. ඉන්පසු, දෛවෝපගත 08.44 වේලාව ඔරලෝසු මුහුණත මත සටහන් විය!.

වයස විසිපහක් වූ ෆීකාඩු ගැටයා සම වයසේ කොල්ලන් තිදෙනෙක් සමඟ අඩිස් අබාබා අගනුවරට පැය දෙකක ගමන් දුරකින් දකුණට වන්නට තිබු කඳුගැටයක් මත සිටියේය. මේ ගැටවුන් සිටියේ දර රැස් කරමිනි. කඳුවැටිය දෙසට එන යානය මඳක් අමුතු විය. එය ආවේ බීමත් රියැදුරකු පදවන වාහනයක් මෙනි. වරින්වර ඉහළ පහළ යමින් මාර්ගයෙන් පිට පනිමින් ආ යානයේ පසු බඳ ප්‍රදේශයෙන් දුම්රොටු විදිමින් තිබුණි.

“කන්ද දිහාට දුම් පෙරාගන ආපු යානය ආපහු හරවනවාත් එක්ක මහා පිපුරුම් හඬක් ආවා. යානය ඇතුළේ ඉඳලා ඇඳූම් බෑග්, රෙදි පෙරදි, ලට්ට ලොට්ට අටෝරාසියක් වැස්සක් වගේ වැටුණා. ඒ එක්කම ගොදුරට බහින කුරුල්ලෙක් වගේ නහය පහතට හිටින්න බිම ඇනුණා. මහා ගින්නක් එක්ක කළු දුම්  අහසට නැංගා.”

ෆීකාඩු ගැටයා මාර්තු 10 වෙනිදා උදේ 08.44ට මගීන් සහ කාර්ය මණ්ඩලය 157 දෙනෙක් දවා අළු කළ පියාසර අංක ET302 ලෝකය කැළඹූ මහා ඛේදවාචකය සිය ඇස් පනාපිට දිස්වූ සාක්කිකාරයෙකි.

බෝයිං 737-800 MAX වර්ගයට අයත් මෙම ඉතියෝපියානු මගී ජෙට් යානය තුළ ගුවන් මගීන් 149 දෙනෙක් සිටි අතර, කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක්ද වූහ. එරට වේලාවෙන් උදෑසන 8.38ට මෙම යානය ගමන් ඇරඹූ අතර එයින් විනාඩි 6කට පසු ප්‍රධාන පාලන කුලුණ සමග එහි පැවති සියලු සම්බන්ධතා ඇණ හිටියේය. Flight ET 302 නමැති මෙම යානය ඉතියෝපියානු අගනුවරට සැතපුම් 39ක් දුරින් කඩා වැටී ඇති බව පසුව හෙළිවිය.

එහි සිටි මගීහු, රටවල් 33ක පුරවැසියෝය. ඒ අතර කෙන්යානුවන් 32ක්, කැනේඩියානුවන් 18ක්, ඉතියෝපියානුවන් 9ක්, ඉතාලි ජාතිකයන් 8 දෙනෙක්, චීන ජාතිකයන් 8 දෙනෙක්, ඇමරිකානු ජාතිකයන් 8 දෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 7 දෙනෙක්, ප්‍රංශ ජාතිකයන් 6 දෙනෙක්, ඊජිප්තු ජාතිකයන් 6 දෙනෙක්, ඕලන්ද ජාතිකයන් 5 දෙනෙක්, ඉන්දියානුවන් සිව්දෙනෙක්, ස්ලෝවැකියානුවන් සිව්දෙනෙක්, ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙක්, ස්වීඩන් ජාතිකයන් තිදෙනෙක්, රුසියානුවන් තිදෙනෙක්, මොරොක්කෝ ජාතිකයන් දෙදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක්, පෝලන්ත සහ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා බැගින් සිටි බව ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ත්වොල්ඩේ ගේබ්‍රිමේරියම් ප්‍රකාශ කරයි. එයට අමතරව බෙල්ජියම, ඉන්දුනීසියාව, සෝමාලියාව, නෝර්වේ, සර්බියාව, ටෝගෝ, මොසැම්බික්, රුවන්ඩා සුඩාන්, උගන්ඩා සහ යේමන් ජාතිකයන්ද එක් අයෙකු බැගින් අනතුරට පත් ගුවන් යානාවේ ගමන් ගනිමින් සිට ඇත. මෙම මගීන් අතරින් 4 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන් ගමන් බලපත්‍රධාරීන්ය. මේ සිද්ධියත් සමග ඉන්දීය අගමැති මෝදි ඇතුළු ලොව පුරා රාජ්‍ය නායකයෝ ශෝක පණිවුඩ නිකුත් කළහ.

ගුවන් යානා ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබරයේදී ඉන්දුනීසියාවේදී එහි ගමන්ගත් පුද්ගලයන් 189 දෙනාම ජීවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණේද මේ වර්ගයේම යානාවක් බවයි. මෙය ලයන් එයාර් ගුවන් අනතුර ලෙස එකල හැඳින්විණි. ගුවන් යානාවල ගමන් පථ නිරීක්ෂණයේ යෙදී සිටින Flight radar24 වෙබ් අඩවිය කීවේ මෙම යානය ගුවන් ගත කරන අවස්ථාවේදී අස්ථාවර සිරස් වේගයක් පෙන්නුම් කළ බවයි.

මෙම ගුවන් යානය අයත් වන්නේ බෝයිං 737 වර්ගයේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ අලෙවියක් සහිත නූතනම මගී ගුවන් යානා වර්ගයටය. ඒ අනුව බෝයිං 737 මැක්ස් ගුවන් යානය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකකි. එය වාණිජමය වශයෙන් භාවිතයට එක්වූයේ 2017 වසරේ සිටය. තවද එය ගුවන් මගී කර්මාන්තයේ වඩාත්ම විශ්වාසය තැබිය හැකි ගුවන් යානාව ලෙසද හැඳින්විණි.

ඉතියෝපියාව අප්‍රිකාවේ විශාලතම මගී ගුවන් යානා හිමි රට වේ. පසුගිය වසරේදී ගුවන් මගීන් මිලියන 10.6 ක් ඉතියෝපියානු ගුවන් යානාවල සංචාරය කර තිබේ. මේ ගුවන් අනතුරත් සමඟ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා සිටියි. ඒ මාස 5ක් ඇතුළත බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාව එය වීම හේතුවෙනි.

යානය අනතුරට පත්වීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැත. පියාසැරිය අතරතුරදී, තාක්ෂණික අපහසුතා පවතින බව පවසමින් නැවත අඩිස් අබාබා වෙත පැමිණීමට යානයේ නියමුවා අවසර ඉල්ලා ඇති බව ඉතියෝපියානු ගුවන් සේවය සඳහන් කළේය. යානයේ කළු පෙට්ටි සුන් බුන් අතරින් සොයාගත් අතර විමර්ශන  දිගටම සිදුවේ. මේ වනවිට ලොව රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් බොයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා ධාවනය තාවකාලිකව නවතා දමා තිබේ. චීනය විසින් තමන් සතු එම වර්ගයේ ගුවන් යානා 97ම තාවකාලිකව සේවයෙන් ඉවත්කර තිබේ. ඉතියෝපියානු ගුවන් සේවයද තමන් සතු එම වර්ගයේ යානා සියල්ල ධාවනයෙන් ඉවත් කර තිබේ. මුලින් එම තහනමට එරෙහිව ඇත්තේ අමෙරිකාව පමණි. පසුව ඉතියෝපියානු ගුවන් යානය කඩාවැටීම සම්බන්ධයෙන් නවතම සාක්ෂි අනාවරණය වීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ සියලු ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබේ. ඇමෙරිකානු සමාගමක් වන බෝයිං නිවේදනය කර සිටියේ තමන් නිෂ්පාදනය කර ඇති බෝයිං 737 මැක්ස් ගුවන් යානා 371ම තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන බවය. මෙම තීරණයට එළඹීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් නවතම සාක්ෂිද බලපෑ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පැවසුවේය. මේ අනුව එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, චීනය, ඉන්දියාව සිංගප්පුරුව, සහ ඕස්ට්‍රේලියාව ඇතුළු මීට පෙර එම ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් රාශිය අතරට අලුතින්ම එක් වූ රට වන්නේ ඇමෙරිකාවය.

මෙම තත්ත්වය බොහෝ විට ගුවන් අනතුරේ විමර්ශනය අවසන් වනතුරු පවතිනු ඇති බව විශ්වාස කෙරේ. අනතුරැට පත් ET302 දරණ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ ගුවන් යානා දෙකම අලුතින්ම ලබාගත් යානා වීමත්, ඒවා අනතුරට පත්වූයේ ගුවන්ගත කිරීමේදී වීමත් පිළිබඳව විමර්ශන කටයුතුවලදී වැඩි අවධානයකට ලක් කෙරෙනු ඇත.

මාස කිහිපයක් පමණක් වයසැති මෙම යානයේ යම් දෝෂයක් හඳුනාගත් නියමුවා එය නැවත හරවා පැමිණීමට ප්‍රධාන පාලක මැදිරියෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සමගම යානය හා ප්‍රධාන පාලක මැදිරිය අතර සබඳතා ඇණ හිට තිබේ. ඊට සුලු මොහොතකට පසු සෘජු අතට කඩා වැටී ඇත. කඩාවැටුණ පසු එය පිපිරීමකට ලක් වූ බවද, ඒ සමගම ගිනිගත් බවද වාර්තා වන අතර ගින්න හේතුවෙන් කිසිවකුට එම ස්ථානයට සමීප වීමට හැකියාව නොලැබුණ බව සඳහන් වේ. 

I සුගත් පී. කුලතුංග ආරච්චි