2019 මාර්තු 16 වන සෙනසුරාදා

ජනනාත් වරකාගොඩගේ රිය අනතුර

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

වටින් ගොඩින් එළිය වැටෙන පාන්දර යාමයට මහපාරේ තැනින් තැන තිබූ විදුලි පහන්වල කහඑළිය වියැකෙමින් තිබුණි. තවමත් අඳුර පිරුණු මාර්ගයේ ප්‍රධාන විදුලි ලාම්පු දල්වාගත් මෝටර් රථයක් මහනුවර දෙසින් කොළඹ දෙසට ධාවනය කෙරිණ. ඉඳිගහමුල හන්දිය පසුකළ රථය කිරිල්ලවල ඒ.ජී. ඔෆීස් හන්දිය පසුකරන්නට ආසන්නය. එතැනම වූ පදික මාරුව හරහා පාර මාරුවීමට උත්සාහ කළ කාන්තාවකි. තරමක වේගයෙන් ආ මෝටර් රථයත් පදික මාරුව හරහා ගිය කාන්තාවත් අතර එතරම් දුරක් නොවූයෙන් රථයට හෝ කාන්තාවට තවත් අවස්ථාවක් තිබුණේ නැත.

එසැණින් කාන්තාව මෝටර් රථයේ ඉදිරිපස ගැටී රියදුරු අසුන ඉදිරිපිට වීදුරුවේ වැදිණ. ඒත් සමඟ රථය නැවැත්වීමේදී කාන්තාව යළිත් වරක් විසි වී ගොස් රථය ඉදිරිපිට මාර්ගයට ඇද වැටී තිබුණි. මේ ආකාරයට සිදුවූ අනතුර අසළ වූ වෙළෙඳසලක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී ඇත.

පසුගිය අඟහරුවාදා (12) දින අලුයම 5.30ට පමණ සිදුවූ අනතුරට වගකිවයුතු බෙන්ස් මාදිලියේ සුදු පැහැති කාර් රථය පදවාගෙන ගොස් තිබුණේ ප්‍රවීණ බෙරවාදන හා කලාශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධ ජනනාත් වරකාගොඩ විසිනි. අනතුරින් පසුව එම ස්ථානයේ රැඳී සිටි ජනනාත් වරකාගොඩ මහතාට සහාය වූ අසල්වැසි පිරිස් විසින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සඳහා ගිලන් රථයක් ගෙන්වාගෙන තිබුණු අතර අනතුරත් සමඟ කඩවත පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරඹා තිබුණි. සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනනාත් වරකාගොඩ මහතා අත්අඩංගුවට ගැණුනු අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ එච්.කේ. ප්‍රීති සොබින් ද සිල්වා නැමැති 68 වියැති කාන්තාවකි. ඇය අංක 118, සූරියපාළුව, කඩවත ලිපිනයේ පදිංචිකාරියකි. මැය යම් අවශ්‍යතාවක් සඳහා යාමට නිවසින් තනිවම පිටත්ව ගොස් සිටියදී අනතුරට පත්ව තිබුණි. අනතුර සම්බන්ධයෙන් ජනනාත් වරකාගොඩ මහතා සමඟ ඔහු පදවාගන පැමිණි බෙන්ස් වර්ගයේ මෝටර් රථයද අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරට පත් කාන්තාව මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ ගැටීම නිසා වීදුරුවේ කොටසක් බිඳීගොස් තිබුණි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කලා ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 18දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන් ද සිල්වා මහතා ඉකුත් 12 දිනයේදී නියෝග කළේය. මේ සම්බන්ධයෙන් කඩවත පොලීසියේ පොලිස් කොස්තාපල් (61218) නිශාන්ත මහතා අධිකරණ කටයුතු මෙහෙයවීය.

කලාශිල්පියකු වශයෙන් ජනනාත් වරකාගොඩ මහතා මෙම අනතුරට මුහුණපාන්නට පෙර දේශපාලනඥයකු වන ලාල්කාන්ත මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඊට පෙර ප්‍රසිද්ධ මැති ඇමැති පුතුන් කීපදෙනකු මාරක රිය අනතුරු සමඟ දේපළ හානි සිදුකළ අනතුරු කීපයක් සිදුකර තිබුණි. විජිත හේරත් මන්ත්‍රීවරයා සිදුකළ අනතුරක් පිළිබඳවද තොරතුරු වාර්තා වී තිබුණු අතර පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්කරමින් වෛද්‍යවරියක සිදුකළ රිය අනතුර ප්‍රධාන එකකි.

මේ එකිනෙකට ක්‍රියාත්මක වූ නීතිය විවිධාකාර බැව් ඇතැමුන්ගේ අදහසය. කෙසේ වෙතත් පවතින සිවිල් නීතිය යටතේ විනිවිදභාවයකින් වරදකරුවන්ට දඬුවම් පමුණුවනු ඇති බවට මහජනතාව විශ්වාස කරති.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00