2019 මාර්තු 16 වන සෙනසුරාදා

කාන්තාවෝ පමණක් මෙහෙයැවූ ලංකාවේ පළමු ගුවන් යානාව

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

ඇය ලෝකය දකින්නට වෙර දරන්නීය. කාන්තාව සියුමැලි චරිතයකැයි ප්‍රශංසනීය ඇගයුම් එමටය. ඉක්මණින් සංවේදී වෙන ඒ ඇස්වලට කඳුළු පිරුණද ඇයද පිරිමින් හා උරෙන් උර ගැටී ලෝකය දිනන්නට වෙහෙස වන්නීය. එමෙන්ම සියුමැලි යැයි අර්ථකථනය වන ඈ තුළ අකම්පාව සියල්ල දරා සිටින මහපොළොවක ශක්තිය සතු වන්නීය.

පසුගියදා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණි. මාර්තු මස 08 වැනිදා යෙදුණු කාන්තා දිනයට සමගාමීව ශ්‍රීලන්කන් ගුවන් සේවය හරි අපූරු කටයුත්තකට අතගැසීය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදුකළ ගුවන් ගමනක් මාර්තු මස 08 වැනිදාට යොදා තිබීම එම කටයුත්ත විය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 306 ගුවන් යානය මාර්තු මස 08 සිකුරාදා අලුයම 1.00ට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මේ අනුව කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදුකළ පළමු ශ්‍රීලන්කන් ගුවන් යානය ලෙස මෙය ඉතිහාස ගත විය.

මෙම ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් අට දෙනකුගෙන් සමන්විත විය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පිරිමින් සේම කාන්තාවන් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. මේ කාන්තාවන්ද පිරිමින් සමඟ උරෙන් උර ගැටී එකමුතුව වැඩකරනවා. කාන්තා දිනය වෙනුවෙන් අපි හැම වසරකදීම අලුත් දෙයක් කරනවා. ඒ නිසා මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ද අලුත් දෙයක් කරන්න අපිට ඕන වුණා. අන්තර් ජාතික වශයෙන් සෑම ගුවන් සමාගමක්ම අලුත් දෙයක් කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ අලුත් දෙයක් කරන්න අපි හිතුවා. ඒ ගමනට සහභාගි වුණු සෑම කාන්තාවක්ම දක්ෂ, රැකියාව පිළිබඳ විශාල අත්දැකීම් හා පළපුරැද්ද ඇති නිලධාරිනියන්. ඒ නිසා ඒ ගමන ඉතා සාර්ථක වේවි යැයි අපි දැඩි ලෙස විශ්වාස කළා... යැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා දේශයට අදහස් දැක්වීය.

මෙම ගුවන් ගමනේ ගුවන් නියමුවරියන් ලෙස කටයුතු කර ඇත්තේ කපිතාන් සිම්රන් ගුම්මන්ය. පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ සහ ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස මිරින්ඩා රැද්‍රිගෝ කටයුතු කළහ.

අපිට ශ්‍රී ලංකාවේ කාන්තාවනුත් අන්තර්ජාතික වශයෙන් උරෙන් උර ගැටී වැඩකරන බව ලෝකයට පෙන්නන්න ඕන වුණා. මේ සඳහා ලෝකයෙන්ම අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන්ම මාධ්‍යයෙන් මෙන්ම සමාජ ජාලාවෙන් මෙය විශාල ඇගයීමක් කරලා තිබුණා. බොහෝ දෙනා ඒ පිළිබඳව කතා කළා. ඒ නිසා ලංකාවේ කාන්තාවන්ගේ හැකියාවන් අපි ලෝකෙට පෙන්නුවා. මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

මාර්තු මස 08 ඇරඹූ ගමන පැය තුනහමාරකට පසුව සිංගප්පූරැවෙන් අවසන් විය. එක රාත්‍රියක් සිංගප්පූරැවේ නතර කර නැවතත් ඔවුහු පසුදින ශ්‍රී ලංකාවට පැමිණියෝය.

ගුවන් යානයක් ගුවන් ගත කිරීමේදී බොහෝ පිරිසකගේ දායකත්වයක් ලබාදීම අනිවාර්ය වේ. ගුවන් නියමුවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ දායකත්වය මෙයට ලැබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් පමණක් මෙහෙයවන මෙම ගමන සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකුගේ උනන්දුව තිබුණි. සෑම සේවක සේවිකාවකගේම ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.

මෙම ගමනට සහභාගි වුණු කාන්තාවන් පමණක් නොවේ අපි හැමෝගෙම ලොකු උනන්දුවක් තිබුණා... මේ සෑම කාන්තාවකටම රැකියාව පිළිබඳව හොඳ පළපුරුද්දක් තිබුණා. ඒ නිසා ගමන ගැන බයක් තිබුණේ නැහැ. හැබැයි අලුත් අත්දැකීම ගැන හැමෝටම තිබුණේ ලොකු උනන්දුවක්. දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

මාර්තු මස 08 වැනිදා උදාවිය. සිනාමුසු මුහුණින් කාන්තාවන් අට දෙනෙකු සමන්විත කණ්ඩායම UL 306 ගුවන්යානය කොළඹ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළෙන් සිංගප්පූරු චැංගි ගුවන් තොටුපළ බලා පිත්වීය. මෙම ගුවන් යානයේ මගීහු එකසිය හැත්තෑ හත් දෙනෙකුද ගමන් කළහ.

තමන් ගමන් කරන්නේ කාන්තාවන් පමණක් මෙහෙයවන ගුවන් යානයක බව ඒ ගමන්ගත් මගීන් මුලදී දැන සිටියේ නැහැ. නමුත් ගුවන් යානය පිටත්වීමට පෙර අපි ඔවුන් දැනුම්වත් කළා. ඔවුන්ගේ වුණත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. පැය තුනහමාරකට පමණ පසුව මෙම ගුවන් යානය සාර්ථක ලෙසින් චැංගි ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබීය. අවසානයේදී එම ගුවන් තොටුපළේදී කේක් කපා මොවුහු මෙම සතුට සැමරීමට පියවර ගත්හ.

අපි හැම වසරකදීම ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් අලුත් වැඩසටහනක් කරනවා. ගිය අවුරුද්දේ ආයතනයේ ඉහළ නිලතල දරණ කාන්තාවන්ගේ වීඩියෝ එකක් නිර්මාණය කළා. මෙවර අපි මේ ගුවන් ගමන ගියා. මේ ගමනද ඉතා සාර්ථක වුණා... දීපාල් පෙරේරා පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න