2019 මාර්තු 16 වන සෙනසුරාදා

හොටබ්ම ඇනෙන ෆිනෑන්ස් කොම්පැණි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

බැංකු නොවන මූල්‍ය ආයතන කඩා වැටීම ජාතියේ අවධානයට බඳුන් වියයුතු දැවැන්ත ආර්ථික අර්බුදයකි. පසුගිය දශකය දෙකක කාලය තුළ අපට නිදර්ශන දෙමින් බිඳවැටී ඇති මූල්‍ය ආයතන කිහිපයකි. එවා සියල්ල මෙරට නම් දැරූ ආයතන වේ. එම ආයතනවල බිඳවැටීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය මෙන්ම සමාජ ගැටලුද බොහොමයකි. ඒවා මේ මොහොත වනවිටත් නොවිසඳී ඉදිරියට ඇදෙමින් පවතී. නමුත් සමස්ත ගැටලු සම්පිණ්ඩනය කර විධිමත් කරුණු සොයාබැලීමක් තවමත් සිදුවී නොමැති සෙයකි. ඇතිවූ සිද්ධි එකින් එක වෙන්ව ගෙන ඒවා පිළිබඳ කටයුතු කිරීම සිදුවෙමින් පවතී. එහෙත් මූල්‍ය ආයතන බිඳවැටීමේ අර්බුදයට හේතු පොදුවේ ගෙන වඩාත් පුළුල් සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අපි දකිමු. මේ සටහන ඊට ප්‍රවේශයක් සැපයීම වෙනුවෙනි.

මෙරට මූල්‍ය ආයතන පාලනය වන්නේ 2011 අංක 42 දරන මුදල් හා ව්‍යාපාර පනත මගිනි. එම පනතට අනුව ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය නොවන ආයතන විධිමත්ව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුය. මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික, වාර්ෂික වාර්තා කැඳවමින් මහ බැංකුව මෙම ආයතන අධීක්ෂණය කළ යුතුවේ. මෙහිදී ප්‍රාග්ධන ණය, පොලී, වත්කම් බැරකම් අදී සකලවිධ අංශ කෙරෙහි මහ බැංකුව මනා අවධානයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම විමර්ශන කණ්ඩායම් අදාළ ආයතනවලට ගොස් පරීක්ෂා කිරීම සිදුකිරීමද අඩුපාඩු පිළිබඳ වාර්තා කැඳවා සාකච්ඡා කොට නිවැරදි කිරීමද අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. මේ සියල්ල අඛණ්ඩව සිදුවන බව මහ බැංකුව අවස්ථා කිහිපයකදී දක්වා ඇත. එසේනම් මෙතරම් අධීක්ෂණයක් සිදුවෙද්දී බැංකු මූල්‍ය ආයතන කඩාවැටීම් මෙතරම් සිදුවන්නේ ඇයි? නිසැකයෙන්ම ඔබට එම පැනය මතුවෙනු ඇත.

මේ වනවිටත් මුළුමනින්ම විසඳී නැති ETI අර්බුදය හා The Finance අවුල ඇසුරින් අප ඉහත කරුණු කෙටියෙන් විමසා බලමු. ඊ.ටී.අයි. තැන්පත්කරුවාගේ අර්බුදය මෑත වසරවලදී එළියට පැමිණි නමුත් මහ බැංකු විමර්ශනවලදී හෙළිවන්නේ එය 2008 වසරේ සිට ක්‍රමයෙන් පැනනගින එකක් බවයි. එම අර්බුදයේ එක්තරා අවස්ථාවක කියැවෙන්නේ මෙම සමාගම දිගින් දිගටම මහබැංකුව නොමඟ යවමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ හෝ වසර කිහිපයකට පසුව මහ බැංකුවට මෙම තත්ත්වය අනාවරණ වුවද ඔවුන් ඉදිරිපත් කළ සැලසුම් සියල්ල අසාර්ථක වී සමාගම බිඳවැටුණි. ඊ.ටී.අයි. අර්බුදය තරම් නොවූවත් මතුවෙමින් පවතින The Finance මූල්‍ය සමාගමේ අර්බුදයටද දීර්ඝ ඉතිහාසයක් පවතී. පසුගිය කාලේ ඉඩම් කට්ටි වෙළදාමට පැටලුණු මෙම සමාගම අභ්‍යන්තරයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බවට තතු දන්නෝ කරුණු දක්වමින් සිටිති. කෙසේ වෙතත් මෙම සමාගම සම්බන්ධ අර්බුදය තවමත් යම් පාලිත මට්ටමක පවතින අතර මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය මත මෙවරද එහි අනාගතය විසඳෙනු ඇත.

මහ බැංකුව තම වගකීම කොට සලකන්නේ කුමක්ද? අප මීළඟට සිතා බැලිය යුතු කරැණ එයයි. රටේ සමස්ත ආර්ථිකයේ දිශානතිය හා මූල්‍ය සුරක්ෂාව ඔවුන්ගේ වගකීමකි. ඒ පිළිබඳ සිතන විට සමාජය හා ජනතාව මෙම මූල්‍ය සමාගම්වල බිඳවැටීමෙන් අපහසුතාවන්ට පත්වීම හා ඒ හරහා මතුවෙන සමාජ ප්‍රශ්න පිළිබඳ ඔවුන් වදවෙනවාද යන්න අපට පැනයකි.

මහ බැංකුව මෙවැනි මූල්‍ය සමාගම්වලින් යම් මුදලක් රඳවාගෙන සිටී. ඒ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාවට වඩා මහ බැංකුවේ සුරක්ෂිතභාවයටය. මෙවැනි සමාගම් කඩාවැටුණහොත් සිදුවන්නේ මහ බැංකුවේ තැන්පතු රක්ෂණ ක්‍රමයට අදාළ රෙගුලාසිවලට අනුව තැන්පත්කරැවන්ට ගෙවීම් සිදු කිරීමටයි. එහෙත් එය කොතරම් දුරට සාර්ථකදැයි ප්‍රශ්නයකි. ප්‍රමුඛ බැංකුව, ගෝල්ඩන් කී ආදී සිද්ධි අධ්‍යයනයේදී එය වඩාත් පැහැදිලි වේ.

අප රට තුළ මෙවන් මූල්‍ය සමාගම් 48ක් පමණ තිබෙන බව කියැවේ. ඒවායේද සිය දහස් ගණනක් තැන්පතු ඇත. බැංකු මූල්‍ය සමාගම්වල කඩාවැටීම දිගින් දිගට සිදුවීම හරහා මෙම ආයතනවලට බලපෑමක් සිදු නොවේ යැයි අපට කිව නොහැක. උද්ගතවන තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම මතුවන වාර්තා හරහා ජනතාව තම තැන්පතු එවන් ආයතනවලින් ඉවත් කරගන්න සැරසුණහොත් රට තුළ බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. එය එසේ වුවත් ලාංකීය ජනතාවගෙන් බොහෝදෙනාට මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව ඇත්තේ ඉතා අඩු සාක්ෂරතාවයකි. වැඩි පොලියක් වෙනුවෙන් ඕනෑම තැනක ඔවුන් තම සේසතම අයෝජනය කිරීමට පෙළඹී සිටී. පිරමීඩ, ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ආදී විවිධ අර්බුද මෙරට තුළ නිර්මාණය වී ඇත්තේ එබැවිනි. සැබෑ ලෙසම නිසි දැනුමක් ජනතාවට ලබාදීමද පාලකයන් කටයුතු කළ යුතුය.

අප මෙම සංවාදයට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අතුළ රණසිංහ මහතා සම්බන්ධ කර ගතිමු. ඒ මහතා මූල්‍ය ආයතන බිඳවැටීම හා සම්බන්ධව මතුකරන්නේ මෙවන් අදහසකි.

මෙතන තිබෙන මූලික ප්‍රශ්නය තමයි ලංකාවේ මූල්‍ය විනය ක්‍රියාත්මක නොවීම. මේ ආයතන කඩාවැටීමට බලපෑවේ නීතියට පිටින් කරන වැඩ. ඕනෑම රටක බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන පාලනය කිරීමට නීති සහ ආචාරධර්ම තියෙනවා. ක්‍රියාමාර්ග ගන්නේ විශ්වාසය මත. යම් අයෙක් තමන්ගේ මුදල් තැන්පත් කරන්නේ ඕනෑ වෙලාවක තමන්ට ඒ මුදල් ගන්න පුළුවන් කියන විශ්වාසය මත. ඒ වගේම බැංකු හෝ බැංකු නොවන ආයතන ඒ මුදල් වෙන තැනක ආයෝජන කරනවා. ඒ දෙක වෙන්න ඕනෑ ධනවාදී ක්‍රමය තුළ රටක් දියුණු වෙන්න. මේ හරහා තැන්පත්කරුවන්ට ආරක්ෂාවත් ඇතිවනවා, බැංකුවට ලාභයත් එනවා, අනෙකුත් ආයෝජකයන්ට අවශ්‍ය අවස්ථාවත් සැලසෙනවා. මේ තුනම එකට සම්බන්ධවෙලා කටයුතු සිද්ධවෙන්නේ. මෙතැනදී මුදල් තැන්පත් කරන කෙනාගේ විශ්වාසවන්තභාවය සඳහා දැඩි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මුදල් තැන්පත් කරන ආයතනයේ විශ්වාසය බිඳවැටුණොත් මිනිස්සු නැවත තමන්ගේ සල්ලි ඉල්ලනවා. ඒ නිසා තමයි නීති ආචාරධර්ම සම්ප්‍රදායන් සියල්ලම හැදෙන්නේ මේක ආරක්ෂා කරන්න.

ලංකාවේදී අපි දකින දෙයක් තමයි ක්‍රමානුකූලව මුදල් පද්ධතිය පිළිබඳ විශ්වාස බිඳ වැටීගෙන යනවා. මහ බැංකුවේ වංචාව ගත්තත් අනෙක් ප්‍රශ්න ගත්තත් ටිකෙන් ටික විශ්වසනීයත්වය පිළිබඳ බිඳවැටීමක් තියනවා. තව දෙයක් පහුගිය කාලේ හතු පිපෙන්නා වගේ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන පවා ඇතිවෙන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම මූල්‍ය නොවන ආයතන පවා මුදල් අංශයට අතදාන්න පටන්ගත්තා ලාභ ගන්න. ඒ තුළින් වෙන්නේ විනය බිඳවැටීමක්.

බිඳවැටීම කියන දේවත් දියුණුවීම කියන දේවත් එකපාරට සිද්ධවෙන්නේ නෑ. ඒක ක්‍රමානුකූලව සිදුවෙන දෙයක්. නමුත් ඒ දේවල් මතුවෙන්න පටන්ගන්නේ උපරිමයට ගියාම පස්සේ. එතකොට පරක්කුයි. එක පැත්තකින් හොඳ නීතිරීති පද්ධතියක් නොවීමත් මේකට හේතුවක්.

මෙහෙ විතරක් නෙවෙයි ඇමරිකාවේ පවා මූල්‍ය අර්බුදයට බලපාපු ප්‍රධන හේතුවක් වුණේ මූලික වශයෙන් ණය ගැනීමට සුදුසුකම් නැති අයට පවා ණය දීමට පටන් ගැනීම. ණය වෙළෙඳ පොළේ ලාහය වැඩිවෙන්න වැඩිවෙන්න ඒගොල්ලො කොන්දේසි ලිහිල් කර කර ණය දෙන්න පටන් ගත්තා. එහෙම් කරනකොට යම්කිසි තැනකදී හිරවෙලා බිඳවැටෙනවා. ඒකට හේතුව අදාළ නීති රීති හරියට සකස් වෙලා නැති එක. ලංකාවේදීත් ඒක එහෙම්ම සිද්ධවුණා. අනෙක් කාරණාව ලංකාවේ හැමතැනම තියෙනව වගේ දූෂණ අක්‍රමිකතා යටිමඩි ගැසීම මේවායේත් සිදුවීම. මේ ආදී කාරණා සියල්ල එකතු වුණාම මේ වගේ බිඳවැටීම් සිද්ධවෙනවා. මූල්‍ය නීතිය අලුත් ප්‍රවණතාවලට සරිලන විදිහට සකස්වෙන්න ඕනෑ. ඒක ඇමරිකාවේ තිබුණෙත් නෑ. ඒකයි ඇමරිකාවත් වැටුණේ.

 චමිඳු නිසල් ද සිල්වා