2019 මාර්තු 16 වන සෙනසුරාදා

ගීතයෙන් නිවන හොයන දත් දොස්තර

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

කෑරගල පිහිටි වෛද්‍ය නන්දන කොල්ලුරේගේ නිවස අවට පොල්ගෙඩි පහන් සහ පන්දම්වලින් එළිය කර තිබුණි. සිසිල් සුළඟක් හමා යන්නේ ගත සිසිල් කරමිනි. ගමේ ජනතාව මෙන්ම සංගීතයෙන් සිත සිසිල් කර ගැනීමට කැමැති බාල මහලු කවුරුත් නිවෙස වෙත ඇදෙති. ටික වේලාවකින් සංගීත සමාධිය ආරම්භ විය. ඒ පණ්ඩිත් අමරදේවගේ ආරාධනා ගීතයෙනි.

මනුෂ්‍ය ජීවිතය අපට ලැබිල තිබෙන්නේ විඳින්නද? විඳවන්නද? සමහර අය කියන්නේ ජීවිතය ඇත්තේ සැපවිඳින්න කියලයි. සමහරැ කියන්නේ ජීවිතයේ වැඩිපුරම ඇත්තේ දුක්විඳීම් කියලයි. නමුත් මේ ජීවිතය අපට ලැබිලා තියෙන්නේ ඒ දෙකටම නොවෙයි. සසර සැරිසැරීම පිළිබඳව අවබෝධ කරගෙන එතෙරවීම සඳහායි. මනුස්සයකුට පමණයි මේ සසර ගමන අවබෝධ කරගන්න පුළුවන්. අපි ගීත රසවින්දනය හරහා එතැනට එමු. වෛද්‍ය නන්දන කොල්ලුරේ පැවැසුවේය. ප්‍රේක්ෂකයෝ නිහඬව සංගීත කණ්ඩායමෙන් නිකුත් වන හඬ දැහැන්ගතව අසා සිටිති.

මේ ගීත අතර අත්පොළසන් නොදී ප්‍රතිචාර නොදක්වා එකම ගීතයක් සේ අසා සිටින ලෙසත් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. වෛද්‍යවරයා යළිත් පැවසුවේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වල දන්ත වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ නන්දන කොල්ලුරේ දැන් දොම්පේ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු මෙම සංගීත සමාධිය පැවැත්වීම ආරම්භ කළේ දැනට වසරකට පමණ ඉහතදීය. මේ වනවිට එවැනි සංගීත වැඩසටහන් 10ක් පවත්වා තිබේ.

අපි වෛද්‍යවරු ලෙස සැමවිටම උත්සාහ කරන්නේ කායික සුවයක් ලබාදීමටයි. ඖෂධ වර්ග, ප්‍රතිකාරවලින් කායික සුවය තමයි ලබාදෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය තුළින් ලබාගත් අවබෝධය මත වැටහෙන දෙය තමයි මේ ශරීරය කවදාවත් සම්පූර්ණයෙන් සුවපත් කිරීම අසීරැයි. මේක දිනෙන් දිනම ජරාවට පත්වන ක්ෂය වන වැයවන ශරීරයක්. ඒක අපේ කැමැත්තට සිදුවන දෙයක් නොවේ. නමුත් අපේ කැමැත්ත ශරීරය නිරෝගීව තබා ගැනීමයි. අපි සිත ගැන සිතලා නැහැ. මම නම් දකින්නේ බෞද්ධ දර්ශනය තුළින් සිත සුවපත් කිරීම බොහොම ඉහළින් කරගත හැකි බවයි. අපිට මේ භවයේදී සිත යම් මට්ටමකට හෝ සුවපත් කර ගැනීමට හැකි වුවහොත් ඊළඟ අවස්ථාවකදී අපට එතැන ඉඳන් ගමන් කළ හැකි වෙනවා. වෛද්‍යවරයා පැවසුවේය.

මෙම ගී රස වින්දන වැඩසටහනට ලබාදී ඇත්තේ ස්වර්ණ ගී සමාධිය යන නාමයයි. ස්වර්ණමය වටිනාකමක් සහිත ගීත හරහා සිත සුවපත් කර ගැනීමට මඟ පෙන්වීම එම නාමයෙන් සංකේතවත් කෙරේ.

වැඩසටහනේ පළමු කොටසේ මූලික අරමුණු දෙකක් පවතිනවා. ගීතයකට මුල් වූ අත්දැකීම සහ එහි අර්ථය විග්‍රහ කරදීම වගේම දැනට අසන්නට නොලැබෙන අර්ථපූර්ණ ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම. දෙවැනි කොටසේදී අරමුණ වන්නේ ගීතය තුළින් සිත සමාධිගත කරවීමයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය උපයෝගී කර ගන්නවා. බෞද්ධ දර්ශනයේ පදනම හැටියට සැලකෙන පටිච්ච සමුප්පාදය ගැනත් අපි සියුම්ව කතා කරනවා. ත්‍රිලක්ෂණය පිළිබඳවත් ගීතය හරහා අසන්නන්ට නොදැනෙන ලෙස කතා කරනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය පිළිබඳ කතා කරලා තමයි ගීතය තුළින් දැහැන්ගත කිරීමක් කරන්නේ.

උදාහරණ විදියට පණ්ඩිත් අමරදේවයන් ගයන මඩවල එස්. රත්නායකයන් ලියූ තණ්හා ආසා ඔලගු කරේ ලා ගීතය තුළ තිබෙනවා අපට කතා කළ හැකි බොහෝ දේවල්. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ගීතයේ අපි නොදකින බොහෝ අර්ථ තිබෙනවා. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝම ලියපු අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ගීතයත් අපූරු අර්ථ මතු කරන ගීතයක්. ඒ ගීත ඔස්සේ සමාජ යථාර්ථය මතුකර දීමටයි මම උත්සාහ කරන්නේ. නමුත් ඒවා ගැන අද සමාජයේ කතාබහ කෙරෙන්නෙ නෑ. ගීත රචකයන් එම ගීත ගැන කියපු අදහස්, පොත්පත්වල පළ වී තිබෙන ගීත ගැන විවරණ ආදිය මම උපයෝගී කරගන්නවා ශ්‍රාවකයන්ට ගීත ගැන විග්‍රහය ඉදිරිපත් කිරීමට.

අද ගී රසවින්දන වැඩසටහන් රාශියක් කෙරෙනවා. නමුත් අපට අවශ්‍ය ගී රසවින්දනය තුළින් බෞද්ධ දර්ශනය හරහා සමාජයට යම් පණිවුඩයක් දීමට උත්සාහ කිරීමයි. බෞද්ධ දර්ශනය කියන්නේ අප අවබෝධ කර නොගත් අපට අල්ප මාත්‍රයක් හෝ අවබෝධ වූ විට සංසාරය පිළිබඳ ලොකු අවබෝධයක් ලබාගත හැකි දෙයක්. යම් තැනකට ගීත ඇසීමට 500ක් එක්රැස් වෙනවා නම් ඒ අතරින් 10 දෙනෙකුට මෙය අවබෝධ කරගත හැකි නම් ඒක ලොකු ජයග්‍රහණයක්නේ...

වෛද්‍ය කොල්ලුරේ සමඟ සංගීත සමාධිය ඉදිරිපත් කිරීමට විශාරද සරත්චන්ද්‍ර කුමාර සහ විශාරද බුද්ධික ධර්මප්‍රිය ගීත ගායනයෙන් සහ සංගීතය සැපයීමෙන් එක්වෙති. සමහර අවස්ථාවලදී ගීත ගායනා කිරීමට මිත්‍ර කපුගේද සහභාගි වේ. වාදනය සැපයීමට තවත් පිරිසක් එක්වෙති. මෙතෙක් සංගීත වැඩසටහන් ඉදිරිපත් කළේ ගෘහස්ත වැඩසටහන් ලෙසය. දහවැනි වැඩසටහන කෑරගලදී ඉදිරිපත් කළේ රාත්‍රියේදී පන්දම් එළියේ පැවැත්වෙන එළිමහන් වැඩසටහනක් ලෙසයි. එයට ගමේ විශාල පිරිසක් වගේම විශාල ආරාධිතයෝ සංඛ්‍යාවක්ද එක්ව දැහැන්ගතව ගීත රස වින්දාහ. ගමේ තරැණ පිරිස එක්ව සංගීතය රසවිඳීමට පැමිණි සියලුම දෙනාට සංග්‍රහ කළහ.

පණ්ඩිත් අමරදේව ගයන ආරාධනා ගීතයෙන් ආරම්භ වූ සංගීත සමාධියේ, දවසක් පැල නැති හේනේ, බිම්බරක් සෙනඟ ගැවැසුණු ආදී ගුණදාස කපුගේ ගැයූ ගීත ඉදිරිපත් කළේ කපුගේගේ පුත් මිත්‍ර කපුගේය. වෛද්‍ය නන්දන ලියූ ගීත කිහිපයක්ද ඉදිරියේ මිත්‍ර කපුගේ විසින් ගායනා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබුණි.

මව් සෙනෙහස, දරු සෙනෙහස, පිය සෙනෙහස, සෙනෙහවන්තකම ආදරය වගේ වචන ගොඩකින් අඅපේ ගීත පෝෂණය වෙලා තිබෙනවා. අපි තණ්හා ආශා ගීතයේදි විස්තර කර දෙනවා මේ ඔක්කොම තෘෂ්ණාව ඔතලා තිබෙන දවටන කියලා. තෘෂ්ණාව තමයි අපි සසර ගමනට බැඳ තබන්නේ. අන්න ඒක අවබෝධ කර ගැනීමට අපි මඟ පෙන්වනවා.

වෛද්‍ය කොල්ලුරේ ගීත රචකයෙක් මතු නොව නවකතා ලේඛකයකුද වේ. ඔහු ලියූ පොත් අතර කෙටිකතා කෘතියක් (ගල් බංකුව), සකුරා නිල් නමින් නවකතාවක්ද වේ. සංගීත සමාධිය නිමාවීමට ආසන්නය. මම ශ්‍රාවකයකු වශයෙන් පැමිණ සිටි කටුලන්ද දෙකටන සුනිල් ශාන්තගෙන් ඔහු ලද අත්දැකීම ඇසුවෙමි. ඇත්තටම මේක ජීවිතේට අපූරැ අත්දැකීමක් වුණා. අපි හරිම වෙහෙසකර නොනවතින ධාවනයක යෙදිලා ඉන්නේ. මේ වගේ එකතැනක වාඩිවෙලා ගීත වින්දනය කිරීමට ලැබීමත් සිතට ශාන්තියක්. ගීතවල අප නොදන්නා සැඟවුණු අර්ථ දැනගැනීමට ලැබුණා. ඒ වගේම තරුණ පරපුරට මේ වගේ ගීතවලින් ජීවිතයට ලොකු අර්ථයක් ළඟාකරගත හැකියි. ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වීමටත් මේ වගේ වැඩසටහන හේතු වෙනවා. මේ වැඩසටහන් තවත් බොහෝ ප්‍රදේශවල පවත්වා තරැණ පෙළ රසවින්දනයට යොමුකළ යුතු බව මම සිතනවා.

 කුසුම්සිරි විජයවර්ධන