2019 මාර්තු 09 වන සෙනසුරාදා

අන්න අන්න... නිට්ටැවෙක්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

කුලියාපිටිය පහළ එළතලව පදිංචි ආර්.ඩී. සෝමරත්න පසුගිය සතියේ සිය බිරිඳ සහ අසල්වැසියන් කිහිපදෙනකු සමඟ නිවසෙහි අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. මේ වනවිට රටපුරා කතාබහට ලක්වන නිට්ටෑවන් ඔවුන්ගේද මාතෘකාව වී තිබිණි.
අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ඔවුන් ඒ වෙන තෙක්ම ඔවුන්ගේ මාතෘකාව බවට පත්වී තිබූ නිට්ටෑවකු සියසින් දැක තිබුණේ නැත. එහෙත් රටපුරා නිට්ටෑවන් ගැන මාධ්‍ය මගින් හෙළිකර තිබූ කරුණු කාරණා ඔවුන්ගේ මෙම කතාබහ තවත් වර්ණවත් කළේය.

මෙම පිරිසක් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි සෝමරත්න එක්වරම සිය පුටුවෙන් නැගිට සිය නිවෙස අසල වූ වෙල්යාය වෙත අත දිගුකරමින් “අන්න නිට්ටෑවෙක් ඉන්නවා” යැයි හඬනගා පැවසීය.

එහෙත් සෝමරත්න සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි අන් කිසිවෙකුත් එය ගණනකට නොගත්තේ ඒ වනවිටත් ඔවුන් කතාබහේ යෙදී සිටියේ නිට්ටෑවන් ගැන නිසාය.

එතැන් පටන් සිදුවූ සිද්ධිදාමය පිළිබඳව සෝමරත්න මෙලෙසින් විස්තර කළේය.

පසුගිය පෝය දවසේ හවස හතරට විතර අපේ ගෙදර කට්ටියයි, අල්ලපු ගෙදර කට්ටියයි අපේ නිවස පිටිපස්සේ පුටු තියාගෙන කතා කරමින් සිටියා. ඒ කතා කළෙත් මේ නිට්ටෑවන් ගැන. එකපාරටම අපේ ගේ පිටිපස්සේ තියෙන වෙල් යායෙන් මේ කතාවෙන නිට්ටෑවෙක් මම එකපාරටම දැක්කා. එහෙම දැක්කට පස්සේ මම එතැන හිටපු අනිත් අයටත් කිව්වා “අන්න අන්න.... නිට්ටෑවෙක්”  කියලා. නමුත් ඒක කවුරුත්ම ඒ වෙලාවේ ගණන් ගත්තේ නැහැ. මොකද අපි ඒ වෙලාවේ කතා වුණෙත් ඒක නිසා. හැමෝම එහෙම දෙයක් හිතලා නැහැ.

ඊට පස්සේ මම වෙල පැත්තට දිව්වා. ඒ මම මුලින්ම දැක්කේ අඩි දෙකහමාරක් විතර පමණ උස ඇඟේ ලොම් තියෙන කළුපාට කෝටුවක් අතින් ගත්ත යම් සතෙක්. වෙලෙන් තමයි ආවේ. ඊට පස්සේ අර අතේ තියෙන කෝටුව ගහලා නියරට ගොඩවෙලා එතැන තියෙන කැලයට වැදිලා පැනලා ගියා. ඊටපස්සේ අපි ගමේ හැමෝම එක්ක ඒ කැලේ පීරලා හෙව්වා. ඒත් අපිට හොයාගන්න බැරිවුණා. හැබැයි ඒ කැලේ තියෙන එක මැහෝගනී ගහක උලා කාලා වගේ දකින්න තිබුණා.

එම අවස්ථාවේ සෝමරත්න සමඟ නිවසේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉමාෂා උවන්දනී අදාළ සිදුවීම සම්බන්ධව මෙසේ කීය.

“ඒ පසුගිය පෝය දවසේ සෝමේ මාමා කිව්වා අන්න කුරු මිනිහෙක් වෙල දිගේ කැලේ පැත්තට යනවා කියලා. අනිත් අය ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒ වුණාට සෝමේ මාමා කිව්වා දුවේ ඔයත් බලන්න කියලා. මමත් ඒ වෙලාවේ ගියා බලන්න. ටිකක් කලබලෙන් වගේ ඇවිත් රිටි පැන්නා වගේ වෙලේ ඉඳලා පැන්නා. අපිට බය හිතුණේ නැහැ ඒ වෙලාවේ. පස්සේ අපි ඒ අඩි සලකුණු ඔස්සේ කැලේ පැත්තට ගියා. ඒ වෙලාවේ කැලේ පොඩි වුණු තැන් එහෙම තිබුණා. ඒ වෙලාවෙ නම් එහෙම බයක් දැනුණේ නැහැ. හැබැයි දැන් නිතර ඒ පැත්තට බල්ලෝ එහෙම බුරනවා....”

නිට්ටෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳ ආදිවාසීන්ද අදහස් දක්වා ඇති අතර ආදිවාසීන් පවසා ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි නිට්ටෑවන් මුලිනුපුටා දැමූ බවයි.

නිට්ටෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් මනසේ ඇතිවන රූපමය සිතිවිලි හේතුවෙන් ඇතිවිය හැකි බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසය. මානසික රෝග පිළිබඳ විශේෂඥ රූමි රූබන් මහතා සඳහන් කළේ මේ පිළිබඳව කිසිදු සාක්ෂියක් හමු නොවීම මත වනචාරී කුරු මිනිසුන් සිටීම මෙතෙක් පිළිගත නොහැකි බවයි.

මීට පෙර අම්පාර ප්‍රදේශයේ ගොවීන් කිහිප දෙනෙකුද සඳහන් කර තිබුණේ තමන්ද නිට්ටෑවන් දුටු බවයි. නිට්ටෑවන් හෙවත් වනචාරි කුරු මිනිසුන් එකල බහුලව ජීවත් වූ බව සැලකෙන්නේ අම්පාර ප්‍රදේශය ආශ්‍රිතවයි. සමාජ විද්‍යාඥයන් ප්‍රකාශ කරන අන්දමට නිට්ටෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන්, මිනිසුන් මෙන්ම දෙපාවලින් ඇවිද යා හැකි සත්ව මුහුණක් සහිත ශරිරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාසයකි.

කෙසේ වෙතත් නිට්ටෑවන් පිළිබඳ කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක මහත්මිය පැවසුවාය.

“අපි ඔය කියන ප්‍රදේශවල කැලෑ කිහිපයකම ඇවිදලා බැලුවා. හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ සහයෝගය ඇතිව ගවේෂණයක් කළා. නමුත් ඔය කියන ආකාරයේ මානව වර්ගයක්වත් සත්ව විශේෂයක්වත් අපිට තවම හමුවුණේ නැහැ. ඒ වගේම තමයි මේ නිට්ටෑවන් පිළිබඳ කතාබහ කරන ජනතාව සමඟ අපි කතාකළාම සම්පූර්ණ පරස්පර ලක්ෂණ දකින්න ලැබෙනවා. මේ කියන නිට්ටෑවන් සහ අපි ඉගෙන ගෙන තියෙන නිට්ටෑවන් අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි තවදුරටත් ගවේෂණය කරනවා.”

නිට්ටෑ සත්ත්ව කොට්ඨාසයක් 
පුරාණ කාලේ ඉඳලා තිබෙනවා
මානව විද්‍යාඥ මහාචාර්ය පණ්ඩුල ඇඳගම

මේ රටේ ඈත අතීතයේ මිනිස් කොට්ඨාසයක් ඉඳලා තියෙනවා. ඔවුන් හඳුන්වලා තියෙන්නේ මේ නමින්. මේක මේ අපහාස කරන කතාවක්වත් සමාජය පරිහානියට ලක්කරන කතාවක්වත් නෙවෙයි. මේ තොරතුරු ගලා යන මාධ්‍යයන් හරහා තමයි  ජනතාව බොහෝ දෙනෙක් පවසන්නේ කියන නිට්ටෑවන්ගේ ලක්ෂණ. ඉතිහාසය දිහා බලනකොට මේ වර්ගයා බෝ වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම මෑත කාලයේ එවන් කොට්ඨාසයක් ගැන වාර්තා වී නැහැ. මොකද මේ නිට්ටෑවන් කියන කොට්ඨාසය වඳවී ගිය කොට්ඨාසයක්. 

පුරාණ ලේඛකයන් නිට්ටෑවන් ගැන අදට වඩා පොත්පත්වල ලියලා තියෙනවා. මොකද ඒ කාලේ මේ කියන නිට්ටෑවන් ඉඳලා තියෙනවා. නමුත් දැන් එය ක්ෂය වෙමින් යන අවස්ථාවේදී තමයි නැවත මේ ගැන කතාබහක් මතුවෙලා තියෙන්නේ. නමුත් මෑත කාලයේ නැවත වරක් ඔය කතාබහට ලක්වුණේ මාධ්‍ය මගින් ලබාදුන් තොරතුරුත් සමඟ. ඇතැම් අය මේ නිට්ටෑවන් කියන කොට්ඨාසය දිහා වපර ඇහැකින් බලන්නේ. නමුත් යම් සත්ත්ව කොට්ඨාසයක් හෝ මිනිස් කොට්ඨාසයක් වේවා ඔවුනට මේ මහ පොළොවේ ජීවත්වන්න අයිතියක් තියෙනවා. කෙසේ නමුත් මෙරට පරීක්ෂණ කණ්ඩායම්වලට පවා තවමත් මේ කියන ආකාරයේ කොට්ඨාසයක් හමුවී නැහැ.

►  සටහන - හසිත් අංජන

 

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30