2019 මාර්තු 09 වන සෙනසුරාදා

යකුන්ගෙන් වැඩගත් ගමක් තිබූ මොරගල්ලේ කඩොලාන දූව

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

කළුවාමෝදර ගංද්‍රෝණිය අපට මුණුගැසෙන්නේ ගාලු පාරේ බේරුවල නගර පසුකර ඉදිරියට යනවිට අලුත්ගම නගරයට කිලෝමීටරයක් පමණ මෙපිටිනි. මේ ගං දෑලේ ඇති අපූරු ස්වාභාවික දූවක් පිළිබඳ තතු අපි ඔබට හෙළිකරන්නට සැරසෙමු. කඩොලාන දූව නමින් හඳුන්වන මේ දූපත වර්තමානයේ අයත්වන්නේ මොරගල්ල ග්‍රාම නිලධාරී වසමටයි. මේ දූවේ කතාව ජනගත නොවූවකි. එනිසාම අපි මේ අපූරු කතන්දර සොයා ගියෙමු. සුවිශේෂී කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන කඩොලාන දූවට අප පළමුකොට පිවිසෙන්නේ අතීත මාවත ඔස්සේය.

මෙම දූපත ජනාවාස වී ඇත්තේ කුමන කලකදැයි නිවැරැදිව කිව නොහැකිය. නමුදු වසර දෙසීයක පමණ පරම්පරාගත මතකයක් මෙහි මුල් පදිංචිකරුවන්ට තිබේ. කෙසේ නමුදු මුල්කාලීනව මෙහි වාසය කර ඇත්තේ පවුල් තුන හතරකි. ඔවුන්ගේ ජීවනෝපාය ධීවර කර්මාන්තය හා බැඳී තිබී ඇත. අමතරව කොහු කර්මාන්තය ඇසුරේ ලෙලි තැලීම හා ලණු ඇඹරීමද කලක් මෙහි ප්‍රධන ජීවනෝපායක් විය. දූවේ සොබාවිකව වැවුණු කිරල, කැරෑ කොකු ආදිය කඩා විකිණීමද බොහෝ දෙනා සිදුකර තිබේ. එමෙන්ම දාංග ගසේ ලීයෙන් සැහැල්ලු ඔරු තැනීමද කඩොලාන දූවේ සිදුවූ අපූරු කර්මාන්තයක්ය.

ඉහත සියල්ලටම අමතරව කඩොලාන දූවේ චිරප්‍රසිද්ධියට හේතුවූ එක් විශේෂිත හේතුවකි. සම්ප්‍රදායික යකැදුරු ශිල්පය මනාකොට දත් පරපුරක් මෙහි ජීවත් වී තිබේ. ඒ පිළිබඳවද අපූරු ජනප්‍රවාද ද අවට ගම්මානවල පවතී. යකුන්ගෙන් වැඩගත් පුවත් මෙන්ම භයංකාර පිල්ලි පිළිබඳවද කතා තිබේ. දියෙස් නම් කට්ටඬි මහතා පිළිබඳ මතකය ඒ අතරින් ප්‍රධානය. භයංකාර පිල්ලි ආපසු හරවා යැවීමට. ඔහු ජගතෙක් වූ බව කියවේ. යක්ගල නම් ගලක් මෙම දූවේ එක් කෙළවරකට වන්නට පිහිටා තිබේ. එය අතීතයේ වූ අදෘෂ්‍යමාන විශ්වාසයන්ට එක උදාහරණකි. අදද එතැන්හි මිනිසුන් බිලිගන්නා බවට විශ්වාසක් ප්‍රදේශවාසීහු තුළ වෙති. 

වර්තමාන කඩොලාන දූවේ නිවාස 22ක් පමණ පවතී. ඔවුහු බොහෝ දෙනා අතීතයේ සිටම මෙහි විසූ මුල් පදිංචිකරුවන්ගෙන් පැවත එති. ඒ හැමදෙනා අද සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරති. කඩොලාන දූවේ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 12ක් පමණ වන අතර හෙක්ටයාර ගණනක් විසල් වගුරු බිමක් දූපත වටා පිහිටා තිබේ. මුල්කාලීනව ගඟ මෙතරම් පළල් නොවූයෙන් පොල් කොටයක් දමා ඉහළින් කඹයක් බැඳ ගමනාගමනය සිදුවිය. පසුව කාලයත් සමඟ ගඟ එන්න එන්නටම පළල් විය. එක්දාස් නවසිය හැත්තෑව දශකයේ පමණ වනවිට පරාල අතුරා ඒ මත ලෑලි දමා පා පැදියක් පැද යා හැකි පමණ ගමන් මඟක් ගඟ හරහා සකසා ගන්න ප්‍රදේශවාසීන් සමත්ව තිබේ. එහෙත් කලින් කළට මෙම තාවකාලික පාලම දිරාපත්වීම නිසා අනේකවිධ දුක් කම්කටොළුවලට මුහුණපෑමට ඔවුන්ට සිදුවිය. ඇතැම්විට ජීවිතවලින් පවා වන්දි ගෙවන්නට සිදුවූ අතර ගතවුණ කාලය පුරාවට ජීවිත පහක් පමණ අහිමිව ඇත. ඒ සියල්ල කඳුළු කතාවන්ය. කෙසේ නමුත් 2015 වසරේ දී කඩොලාන දූවේ එක්තරා යුගයක නිමාව සනිටුහන් කරමින් ගඟ හරහා නව පාලමක් ඉදිවිය. ඒ සමඟ පසුගිය වසර තුන තුළ සැලකිය යුතු වෙනසක් හැමදෙනාගේම ජීවිතවල සිදුව තිබේ.

ක්‍රමයෙන් ජනාවාස වුවද මේ පරිසර පද්ධතිය අදද චමත්කාරජනකය. උදෑසන මුළු පරිසරයම කුරුළු හඬින් රසවත්  වේ. කුරුළුගොයන්, බටගොයන්, පිළිහුඬුවන්, දියකාවන්, කොරවක්කන් ආදී කුරුළු විශේෂ රාශියක් මේ ප්‍රදේශයේ වාසය කරති. කිරල, කොට්ටම්බා වැනි ශාක නිසාම ගොම්මන් යාමයේ මෙම දූව වවුලන්ගේත් පාරාදීසයකි. ඊට අමතරව කබරගොයන්, තලගොයන්, ඉත්තෑවන්, මීමින්නන්, කැලෑ හාවුන් ආදී සත්ව විශේෂ රාශියක්ද දූවේ ජීවත්වෙති. කඩොලාන විශේෂ විසිපහක් පමණ මෙම වගුරුබිම ආශ්‍රිතව දැක ගතහැකි අතර අද වනවිට විශේෂ සංරක්ෂණය වැඩසටහනකට අනුව නව කඩොලාන පැළ වගාකිරීම්ද සිදුවේ. විසල් වගුරුබිමේ මත්ස්‍ය වර්ග රාශියකට බිත්තර දැමීමට සුදුසු පරිසර පද්ධතියක් තිබේ. ශාක විශේෂ සැලකුවද සැලකිය යුතු තරම් ප්‍රමාණයක් මෙහි වෙති. පෙර කාලයේදී නම් දුවේ බිම්කඩෙන් සැලකිය යුතු ප්‍රමාණයක වූයේ කැලෑවයි. අද එය තරමක් අඩුවී ඇත. 

අතීතයේ ගංගා ගලා ගියේ වෙනස් මඟක බවත් පැරැන්නන් ජලය බැසයාමේ පහසුවට කැපූ කාණු නිසා ගඟ ගලායන මාර්ගය වෙනස් වූ බවටත් ඇතැම් තැනක කියැවේ. පුංචි ගඟ නමින් හඳුන්වන ප්‍රසිද්ධ ස්ථානයක් මෙහි ඇති අතර එය මෙම කතාව තහවුරු කරන මූලාශ්‍රයකි. තවද අතීතයේ මෙම ගඟ හඳුන්වා ඇත්තේ කාලවිල ගඟ යන නමිනි. පසුකලෙක කළුවාමෝදර ගඟ ලෙස හඳුන්වන්නට පටන්ගෙන ඇත. මුල්කාලීන මෙම දූව මුල්ලපිටිය ගම ග්‍රාමසේවා වසමට අයත් වූ අතර අනූව දශකයේදී ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි මොරගල්ල ග්‍රාමසේවා වසමට මෙම බිම්කඩ පවරාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර තිබේ. ඒ ගමනාගමනයේ පහසුව සලකාය. ගඟ හරහා අතීතයේ වූ පාලමක නටබුන් අදද දැකගත හැක. ඒ කඩොලාන දූවට නොදුරිනි. මෙම පාලම අතීතයේ මොරගල්ල මුල්ලපිටිය ගම්මාන යා කර තිබේ. හැටේ දශකය වනවිට මෙය අබලන් වී ගොස් ඇති අතර නැවත පිළිසකර කිරීමක් නොවූවෙන් එය මුළුමනින්ම විනාශ විය.

අද මෙහි වසන වැඩිහිටියන්ට කඩොලාන දූවේ ගෙවූ ළමා කාලය පිළිබඳ ඇත්තේ සොඳුරු මතකයන්ය. වගුරේ එකින් එකට යාවී ඇති කිරළ ගස් අතර ඇවිද දුව පනිමින් ඉහළ සිට ගඟට පනිමින් ඔවුන් ජලකෙළියේ නිරතව තිබේ. එමෙන් කිරළ වැල් සකසා ශත ගණන්වලට විකුණා අතමිට සරුකරගත් අව්‍යාජ අතීතයද ඔවුහු සිහිකරති. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. දැන් මේ ගංදෑල දියනෑමට නොසුදුසුය. ඒ ජලය අපවිත්‍ර වී ඇති හෙයිනි. පසුකාලීනව වූ එක්තරා ස්වාභාවික ඛේදවාචකයක් පිළිබඳවද මෙහිලා සටහන් කර තැබිය යුතුය. මොරගල්ල ස්කාගාරය විසින් ගෝඩා නම් අපද්‍රව්‍ය මේ ගංගාවට බැහැර කරන්නට පටන් ගත්තේය. එකල්හි ගංගා ජලයෙන් අධික දුර්ගයක් වහනය වූ අතර වගුරුබිම ආශිතව පරිසර පද්ධතියට සිදුවූයේ සුවිසල් විනාශයකි. මෑතකාලීන ගම්වාසීන් හා පරිසර සංවිධාන සමාජ ක්‍රියාකාරීන් සිදුකරන ලද විරෝධතා නිසාවෙන් මෙම  හානිය නතර විය. එහෙත් සම්පූර්ණ අවදානම පහව ගොස් නැති බවද කිවයුත්තකි.

මෙම ගංගාව සංචාරක කර්මාන්තයට අපූරු පාරාදීසයකි. නිතර බෝට්ටු සංචාර එහි සිදුවෙයි. දූපතටද ඉඳහිට සංචාරකයන් පැමිණෙන අවස්ථා තිබේ. ඒ මෙහි සිටින සතුන්ගේ මෙන්ම සමනල විශේෂවල ජායාරප ගැනීම සඳහාය. දූපතක් ලෙස අප මෙය හඳුන්වනු ලැබුවත් කඩොලාන දූව පිහිටියේ දියෙන් සහ වගුරෙන් වටවීය. සොයා යා හැකි නම් විසල් අතීතයකුත් සුරැකිය හැකිනම් සුවිසල් පරිසර පද්ධතියකුත් කඩොලාන දූවේ වේ.

►  චමිඳු නිසල් ද සිල්වා
(තොරතුරු සම්පාදන වෙනුවෙන් විශේෂ ස්තූතිය: උපාලි ජයරත්න මහත්මාට)