2019 මාර්තු 09 වන සෙනසුරාදා

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ඇත්තටම වුණේ මොකද්ද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

ගාල්ල වෙල්සන්පුර ප්‍රදේශයේ දැරියන් සිව්දෙනකු සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලෙස බලකරමින් එම දැරියන්ගේ මවුපියන්, ඥාතීන් ඇතුළු පිරිසක් දින පනහකට අධික කාලයක් පාසල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටියහ. එහෙත් ඔවුනට පාසල වෙතින් සුබදායක පිළිතුරක් ලැබී තිබුණේ නැත. ඊට අදාළ හේතු සාධක කෙසේ වෙතත් යම් දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් ද සත්‍යග්‍රහයට සහාය පළකරමින් සිටි බවද වාර්තා විය. තත්ත්වය මෙසේ තිබියදී දකුණු පළාත් නව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද මෙම ගැටලුවට මැදිහත් විය.

දැරියන් සිව්දෙනාගේ ගැටලුවට මැදිහත්ව සිටි ඥාතීන් අතරට ගිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉකුත් 27 දා රාත්‍රියේ පිරිසට එක්වූවේය. ඊට හේතුව කල්ගත වෙමින් පැවති දැරියන්ගේ ගැටලුව සමතයකට පත්කරලීමය. එහිදී ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ හැසිරීම හා වචන හරඹය සැර පරුෂ බවටත් දුරකථනය මගින් සවුත්ලන්ඩ් බාලිකා විදුහල්පතිනියට පරුෂ වචනයෙන් බැණ වැදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට චෝදනා ද එල්ල විය.

“මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. හරි ෂෝක්.. ඕ.අයි.සී මහත්තයා ගිහින් බලන්න එයාට බැරිනම් මම එන්නම් කියන්න” පිරිස අතරට ගිය ආණ්ඩුකාරවරයා ගාල්ල වරාය පොලීසියේ ස්ථානාධිපතිවරයාට මෙසේ ප්‍රකාශ කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කෙරිණි. විදුහල්පතිවරියට තර්ජනය කොට තිබුණේද මේ අතරතුරය. ආණ්ඩුකාරවරයා විසින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා පතිරණවසම් වන තමාට පරුෂ වචනයෙන් බැණවැදී තර්ජනය කළායැයි කියන සිදුවීම පිළිබඳව ඇය ගාල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කළාය. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇයගේ පැමිණිල්ලට අනුව 27 වැනිදා රාත්‍රී දහයට පමණ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සමඟ පැමිණ විද්‍යාලයේ මුරකරැගෙන් තමාගේ දුරකථන අංකය ලබාගෙන “යකෝ අවශ්‍යතාවකට කතා කරන්නේ කොහොමද?” කියමින් මුරකරුවාටත් බැණ වැදී ඇති බව සඳහන්ය.

මේ ගැටලු ඇති කළේ ප්‍රශ්නය විසඳලා තිබියදී

එස්. අයි. පතිරණවසම්
විදුහල්පතිනී - සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය

&24/ 2018 චක්‍රලේඛය අනුව අයදුම්කරු හෝ කලත්‍රයා නමින් විදුලි බිල්, ජල බිල්, වරි පනම් බිල් අයදුම්කරු හෝ කලත්‍රයාගේ උප්පැන්න සහතිකවලින් මුල් තුන අවම වශයෙන් වසර 5ක පෙන්විය යුතුයි. අවම වශයෙන් 3ක් තිබිය යුතුයි. සම්මුඛ පරීක්ෂණ කැඳවීමට මේ කියන හතර දෙනාට අවශ්‍ය කිසිම දෙයක් නෑ. ඒ නිසයි ඉන්ටර්වීව් නොකළේ. ඒ සඳහා උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලුවට ලැබුණේ නෑ. මේ පිරිස පිකටින් ගණනාවක් කරලා ගිය නිසා ඒ ලේඛන තිබෙන විදිහට සලකලා ලකුණු හයක් ප්‍රදානය කරලා ඉතිරි ලකුණු දෙන්න කියලා තියෙනවා.

එහෙම කරලා ඇතුළත් වීම කළා. තුන්දෙනකුට ආසන්නම පාසල වෙන්නේ කොන්වන්ට් එක. අපේ රවුමට තව පාසල් 3ක් ඕල්කට්, පරමානන්ද හා කොන්වන්ට් කැපෙනවා. එක් අයකුට ඕල්කට් හා කොන්වන්ට් කැපෙනවා. මේ නිසා ආසන්නම පාසල මේක නෙවේ. එහෙම තිබියදී චක්‍රලේඛ මත කටයුතු කරලයි මෙහෙම වුණේ. අපහාස වින්දේ. ඉසුරුපායෙන් ගෙවල් බලන්න ඇවිත් තිබුණා. කලින් ආණ්ඩුකාරතුමා මේ අය ඇතුළත් කරන්න කියලා ලිපියක් එවූවා. මට එහෙම කරන්න බෑනේ. දෙසැම්බර් 31 ඒ ලිපිය අධ්‍යාපන අමාත්‍යංශයට දුන්නා. ඔර්ජිනල් සහතික ඉල්ලුවා. ඒවත් නැවත යැව්වා. 2 වැනිදා උදේ පිරිස ඇවිත් මාව හම්බුණා. එතැනදී මම කීවා ලේඛන ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට බාරදීලා තියෙනවා, කමිටුවක් මගින් තීරණය දෙනවා. පුළුවන්නම් ගිහින් හමුවෙන්න කියලා. එතකොට කීවා නෑ අපි කවුරුත් හමුවෙන්නේ නෑ. ජනාධිපතිතුමාගේ දෙවැනියා ආණ්ඩුකාර කියන්නේ. ඒ නියෝගය මැඩම්ට පුළුවන් කරන්න. නැත්නම් මැඩම් එළියට බහින්න එපා. අපි බලාගන්නම් කීවා.
මේ ගැන මම පොලීසියට පැමිණිලි කළා. ඒත් මෙයාලා දිගටම වාඩි වෙලා හිටියා. ඒ අයත් සමඟ දේශපාලන පක්ෂයක පිරිසකුත් හිටියා. ඒ අය තමයි දිගටම වැඩේ අරගෙන ගියේ. අමාත්‍යංශයට ගිහින් පිකටින් කළෙත් ඒ අයම තමයි. මාව හමුවෙන්න ඇවිත් එකඟ වෙලා ගිහින් අර දේශපාලන පක්ෂයේ අයගේ කතා අහලා නැවත විරුද්ධ වෙන තත්ත්වයක් තිබුණා.

අඩුපාඩු සහිත ලිපි ලේඛන සකස් කරගත්තා. සිකුරාදා ඇතුළත්වීමට අවශ්‍ය කටයුතු කරලා සියල්ල විසඳලා තිබියදී තමයි බදාදා රාත්‍රියේ ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස එහෙම දෙයක් කළේ. දැන් ආණ්ඩුකාරතුමා රැස්වීම්වලදී කියනවා අපි මේ දරුවන්ගෙන් අල්ලස් ඉල්ලලා හිටියා කියලා. හරිම අසාධාරණ කතාවක් ඒක. මේ සිදුවීම ගැන මාධ්‍ය හරහා පළවුණු වාර්තා සියල්ල නිවැරදියි. මම පන්සලේ සිටියදී දුරකථනයෙන් බැනලා තර්ජනය කළ බව ඇත්ත. ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදු කරලා තිබෙනවා.
ආණ්ඩුකාරවරයාගේ හැසිරීම විහිළුවක්

ජෝශප් ස්ටාර්ලිං - ප්‍රධාන ලේකම්
ලංකා ගුරැ සංගමය

“සවුත්ලන්ඩ් විද්‍යාලයට ළමුන් ඇතුළත් නොකළානම් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලධරයා වන්නේ අධ්‍යාපන අමත්‍යංශයයි. ආණ්ඩුකාරවරයාගේ වගකීම තමයි එවැන්නක් සිදුවෙලා නැතිනම් සොයා බලා අධ්‍යාපන අමාත්‍යංශය හරහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම. නමුත් මෙතන වුණේ රජිත් කීර්ති තෙන්නකෝන් සහ විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයයි තවත් නාගරික මන්ත්‍රීවරු හතර දෙනකුයි එකතු වෙලා ගිහින් ඉස්කෝලෙ ඉස්සරහා විවිධාකාර බලපෑම් කිරීමයි.
ආණ්ඩුකාරවරයා ගාල්ල වරාය පොලීසියේ ඕ.අයි.සී මහතා ලවා පාසලේ මුරකරුටත් තර්ජනය කරලා විදුහල්පතිවරයාගේ ස්වාමිපුරුෂයාටත් තර්ජනය කරලා තිබුණා. විදුහල්පතිනියගේ විස්තර හොයලා පාසලේ ආගමික වතාවත්වල නිරතව සිටි ඇයට රාත්‍රියේ දුරකථනයකින් තර්ජනය කරලා. ඇය ඒ ගැන පැමිණිලි කරලා තියෙනවා. ආණ්ඩුකාරවරයාට අයිති නෑ මෙහෙම දෙයක් කරන්න. ඔවුන් කියනවා විදුහල්පතිවරිය දූෂිතයිලු. මුදල් ගන්නවලු කියලා. ගුරු සංගම් මේ ගැන කතා කරන්නේ හොරු රකින්න කියලත් කියනවා. මෙයා කරපු වැඩේ වැරදියි. ආණ්ඩුකාරවරයා අනුලාදේවී විදුහලට ළමයි දාන්න බලපෑම් කරලා තියෙනවා. ගුරුවරු දාලා තියෙනවා. ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට තර්ජනය කරලා තියෙනවා ඇය තංගල්ලට මාරු කරන්න කියලා. කීර්ති තෙන්නකෝන් කියන්නේ යහපාලනය වෙනුවෙන් පෙනී හිටපු මහත්මයෙක්. බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්සවීමට එරෙහිව ලංකා ගුරු සංගමයේ අපිත් එක්ක එකට ගිහින් මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කළේ. එහෙම කෙනා මෙහෙම හැසිරීම දැන් විහිළුවක්. මේ වගේ දේවල් සිදුවීම ඉදිරියේදී නතර විය යුතුයි.”

දකුණේ පාසල් 37ක අල්ලස් ගන්නවා

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

“සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට සුදුසුකම් තියෙන ඉස්කෝලෙ පේන දුර ඉන්න ළමයි හතර දෙනෙක් අරගෙන තිබ්බේ නෑ. අධ්‍යාපන ඇමැතිවරයා ලිඛිතව දැනුම් දුන්නා මේ ළමයින් ඇතුළත් කරගන්නා ලෙස. නමුත් ළමයින් ඇතුළත් කරගෙන නෑ. දකුණු පළාතේ පාසල් 37ක අල්ලස් ගන්නවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලස් ගනිද්දි අල්ලලා දුන්නු කීර්ති තෙන්නකෝන්ට මේවා නවත්තන්න බැරිනම් වැඩක් තියෙනවද? මම දකුණු පළාතේ අල්ලස් ගැනීම සම්පූර්ණයෙන් නවත්වනවා. දකුණේ සුදුසුකම් තියෙන ළමයින් දෙසිය ගණනක් ඇතුළත් කරගෙන නෑ. මම ඒ ළමයින් වෙනුවෙන් පෙනී ඉන්නවා.”

►  සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00