2019 මාර්තු 09 වන සෙනසුරාදා

ආණ්ඩුව කළඹන ජිනීවා අලකලංචිය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 16

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ. පෙබරවාරි 25දා ඇරඹි මෙම සැසිවාරය මාර්තු 22දා දක්වා පැවැත්වීමට නියමිතය. අප පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට එල්ල වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ හා යුධ අපරාධ චෝදනා පිළිබඳ ඉතිහාසය විග්‍රහ කළෙමු. අද අප සූදානම්‍ වන්නේ මේ මොහොතේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන ඒමට සූදනම් වන යෝජනා සහ ලාංකීය දේශපාලනය තුළ ඊට වන ප්‍රතිචාර සම්බන්ධ කථිකාවක් ගොඩ නැගීමටයි.

මාර්තු 20 දින දහවල් 12ට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එය එක්සත් රාජධානියේ ප්‍රධානත්වයෙන් කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ හා මැසඩෝනියාව රාජ්‍යයන් විසින් ගෙන එනු ලබයි. වගවීමේ කි‍්‍රයාවලිය සහ සංහිඳියාව නමින් මෙම යෝජනාව නම් කර ඇතැයි තොරතුරු තිබේ. මෙහිදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුවනු ඇත. එමෙන්ම ඇමරිකාව විසින් 2015 ඔක්තෝම්බර් 01 දින දී ගෙන එන ලද 30/1 යෝජනා ක්‍රියාත්මක කිරීමට දී තිබූ කාලය දීර්ඝ කිරීමද මේ හරහා සිදුවනු ඇත. 2015 වසරේ ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දුන් පරිද්දෙන් මෙවර යෝජනාවටද ලක් රජය සම අනුග්‍රය දක්වන බව විදේශ කටයුතු අමාත්‍ය තහවුරු කොට තිබේ. 
ඒ අනුව ස්ථිර සහ කල් පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරමින් 2015 ඔක්තෝබර් 01 වැනි දින සම්මත වූ 30/1 යෝජනාවේ කාලසීමාව දීර්ඝ කර ගැනීමට මෙවර සැසිවාරයට සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවය. විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. තවද 2015 ශ්‍රී ලංකාව සමඟ එක්ව 30/1 යෝජනාව ගෙන ආ අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී ඇති නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලා සිටීමේ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා එක්සත් රාජධානිය සමඟ ශ්‍රී ලංකාව අත්වැල් බැඳගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානී හමුවූ විටදී ජිනීවා සම්බන්ධ ඉදිරිපත් කර තිබුණේ මීට පරස්පර මතයකි.

“අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 10ක් ගතවෙලා. නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලුදෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා...”

මෙහිදී සඳහන් වූ අනෙක් විශේෂිතම කරුණ නම් මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ජනපතිගේ නියෝජිතයන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා සහභාගී වන බවයි. එහිදී ඉහත ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා ජිනීවා අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්තමාන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ජිනීවා සමුළුවේදී මෙරට ගැන නිවැරදි කරුණු දැක්වීමට ඉකුත් සිව්වසර තුළදී රජය කටයුතු නොකිරීමේ අහිතකර ප්‍රතිවිපාක මේ වනවිට භුක්ති විඳින්නට සිදුව ඇති බවයි. තවද යුද්ධය අවසන් කිරීමට කැපවූ නිලධාරීන් දඬුවම් විදිමින් සිටියදී අපගේ නිවැරදි බව පිළිබඳ කතා කිරීමට කිසිවෙකුත් නොමැති බව විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ 5ක් විසින් මානව හිමිකම් කවුන්සිලයේ ශාඛාවක් උතුරු පළාත තුළ පිහිටුවන ලෙසට එළඹෙන මාර්තු 18 වැනිදාට ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉල්ලීමක් කිරීමට නියමිත බවද ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් ජිනීවා යෝජනා සම්බන්ධව පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා අදහස් දක්වා තිබුණි. එහිදී මෙම නව යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වුවහොත් ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තරයේ සහාය ඉදිරියටත් හිමිවන බව ඔහු ප්‍රකාශ කර ඇත.

අප පෙර සතියේ සම්පාදනය කළ ලිපියේ අනාවැකි කියූ ලෙසින් මේ වනවිට ජිනීවා උණුසුම ලංකා දේශපාලන කරළියට දැනීමට පටන්ගෙන ඇත. ඉදිරි සතිය ගිනියම් වනු ඇත. පරස්පර මත රාශියකි. මීළඟට අප සූදානම් වන්නේ ජිනීවා නුවර සිදුවෙමින් පවතින දෑ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමටය. බි‍්‍රතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නව යෝජනාවේ කෙටුම්පතක් මාර්තු 5 වනදා මානව හිමිකම් කවුන්සිලට ඉදිරිපත් ඉදිරිපත්කර ඇතැයි කියැවේ. කවුන්සිලයේ සෙසු සාමාජික රටවල නියෝජිතයින්ට වෙත නොනිල වශයෙන් ඉදිරිපත් කෙරී ඇති අතර එම යෝජනාවට ඔවුන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් යෝජනාව සකසා එය 20 වැනිදා කවුන්සිලය හමුවේ සභාගත වනු ඇත. එදින පැය තුනක විවාදයක්ද පැවැත්වීමට නියමිතය. එහෙත් ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වන්නේ නම් වෙනත් රටවල් ලංකාව වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත.

මේ අතර ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි කියැවෙන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට පමාවීම සම්බන්ධයෙන් කැනඩාව ලක් රජයට චෝදනා කිරීමට සූදානම් වන බවද කියැවේ. මේ අතර ජිනීවා නුවරදී විරෝධතා කිහිපයක්ද සංවිධානය වන බව දැනගන්නට තිබේ. ගෝලීය ලාංකික සංසදය හා ලාංකීක සංවිධාන කිහිපයක් එක්ක මාර්තු 10 වැනිදා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට ලැබේ. මේ අතර දමිළ ඩයස්පෝරාව විසින් සුපුරුදු පරිදි විරෝධතා කිහිපයක් ජිනීවා ඇතුළු යුරෝපීයේ බොහෝ නගරවල සංවිධානය කර ඇති බවද කියැවේ.

බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගෙනා යෝජනා මොනවාද එහි පදනම කුමක්ද යන්න අප තවදුරටත් විග්‍රහ කරගත යුතුව තිබේ. ශ්‍රී ලංකාව තුළ සහජීවනය හා වගකීම් මානව හිමිකම් ආරක්ෂා සම්බන්ධයෙන් වූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ යෝජනා නිවැරදිව ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීමට මේ හරහා යෝජනා කරයි. තවද ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලදුව ලංකා රජයේ සම අනුග්‍රහයෙන් සම්මත වූ 30/1 යෝජනා හරියාකාරව ක්‍රියාත්මක වූවාදැයි පූර්ව වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බව මෙම නව යෝජනාවෙන් කියැවේ. එහි වගකීම මානව හිමිකම් කොමසාරිස්වරයාට පවරා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රබල අධීක්ෂණයකට යටත්වීමට ඉඩ තිබේ. ඇමරිකාව විසින් ගෙන එන ලද 30/1 යෝජනාවට පදනම් වූයේ OISL (OHCHR Investigation on Sri Lanka) කමිටු වාර්තාවයි. මානව හිමිකම් කවුන්සිලය හරහා පත්කළ කමිටුවක් මගින් 2014 දී එම වාර්තා ඉදිරිපත් කරනු ලැබීය. එහිදී නිල වශයෙන් ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල විය. එමෙන්ම ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවල අවශ්‍ය දෑ එහිදී අවධාරණය විය. එහෙත් එම වාර්තා ශ්‍රී ලංකාව කෙරෙහි විනිවිදභාවයකින් ඉදිරිපත් නොවූවකි. එය දරුස්මාන් වාර්තා මෙන්ම ගෝලීය දමිළ ප්‍රජාවගෙ සාක්ෂි මත පදනම් වූවකි. ඇමරිකා එක්සත් ජනපදය 30/1 යෝජනාව 2015දී ගෙන එන්නේ එම වර්තමාන මත පදනම්වය. අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇතුළු ප්‍රතිසංධාන කාර්යාල පිහිටුවීම, 13 වන සංශෝධන මුළුමනින්ම ක්‍රියාවට නැංවීම, විදෙස් විනිශ්චයකාරවරු ගෙන්වා යුධ අපරාධ පරීක්ෂණ පැවැත්වීම, බලය බෙදීම පිළිබඳ නව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ආදී වූ කරුණු නවයක් මෙහිදී යෝජනා විය. ආණ්ඩුව මාරුවත් සමඟින් ලක් රජය සම අනුග්‍රහය දක්වන ලද්දේ මෙම යෝජනාවලියටයි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති කාලය මේ වසරින් නිමාවෙයි. සැලකිය යුතු කාර්යභාරය මේ වනවිටත් රජය ඉටුකර තිබේ. එහෙත් මෙම යෝජනා ක්‍රියාමාර්ග කිරීමට යාමෙන් නිරන්තර දේශපාලන අර්බුදය රට තුළ නිර්මාණය වීය.

කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා මානව හිමිකම් ගැටලුවෙන් සම්පූර්ණයෙන් ඈත්වී නොමැති බව අපට ප්‍රත්‍යක්ෂය. ඒ පසුගියදා යාපනයේදී ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිට්ස් කළ ප්‍රකාශයක් හරහාය. මානව හිමිකම් සම්බන්ධයෙන් ජිනීවාහී දී ලබාදුන් පොරොන්දු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඇමෙරිකාව තවදුරටත් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවට සහය දෙන බව ඇය පවසා තිබේ. තවද අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට ආදියට තම උදව් ලංකා රජයට ලබාදෙන බවත් දීර්ඝකාලීන යුද්ධය නිසා ඇතුවූ ගැටලුවලට විසඳුම් ලැබිය යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත.

මෙම පසුබිමේ ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හට ගැනිණ. ඊට හේතු වූයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වීමට ඉදිරිපත් වීම නිසාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ මෙම ප්‍රයත්නයට යටකී ලෙස විරෝධය පළකොට ඔහුගේ නියෝජිත පිරිසක් යැවීම එජාප ආණ්ඩුවේ සිත් පාරන කරුණක් වී තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ ජනපති හා ආණ්ඩුව අතර වන මතගැටුම එළිදරව් කරමිනි.

ජිනීවා සැසිය ගැන විදේශ අමාත්‍යංශය හා අගමැති කාර්යාලය එක්ව නිකුත් කළ නිවේදනයේ කියවෙන්නේ ජනපතිවරයාගේ ස්ථාවරයට වඩා වෙනස් කතාවකි. ඒ අනුව ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම අත්‍යාවශ්‍ය කරැණක් බව හුවා දක්වා ඇත. එසේම වසර දෙකක් කල් ඉල්ලා සිටීමට කර ඇති මෙම යෝජනාවට එරෙහිව නැගෙන චෝදනා සමාජය නොමග යවන සුළු ඒවා බවද එම නිවේදනය කියයි. එසේම මෙම ප්‍රයත්නය රට ගලවාගැනීම සඳහා බව සඳහන් කරන නිවේදනය එම අවස්ථාවේ නිර්ලජ්ජිත ලෙස ලාභ දේශපාලන වාසි ලබාගත්තේ දේශද්‍රෝහීන් බව සඳහන් කර ඇත.

මේ ආකාරයට ජිනීවා සමථ යෝජනාව ආණ්ඩුව උණුවතුරට ඇද දමා තිබේ. ජනපතිවරයාගේ ස්ථාවරය අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොපිළිගනී. ඒ බව ජිනීවා සමුළුවට දැන්වීමට අගමැති කාර්යාලයේ උපදෙසින් විදේශ අමාත්‍යවරයා ජිනීවා වෙත යනු ඇතැයි වාර්තා විය. තත්ත්වය එසේ තිබියදී ජනපතිවරයාගේ විශේෂ නියෝජිත පිරිසද එහි ගොස් සිටිති.

මෙය එකම රටක් වෙනුවෙන් ස්ථාවර දෙකක් ඉදිරිපත් කරන විරල අවස්ථාවකි. රටේ තිබෙන අර්බුදය විසින් ජාත්‍යන්තර දේශපාලනය කළඹන මෙමගින් ජිනීවා මානව හිමිකම් කොමිසම අන්දමන්ද වනු නොඅනුමානය.

►  චමිඳු නිසල් ද සිල්වා

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30