2019 මාර්තු 09 වන සෙනසුරාදා

අයවැයෙන් කියන ‍දේ කරන්න පුළුවන්ද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

වර්තමාන ආණ්ඩුවේ අවසාන අයවැය මෙන්ම මංගල සමරවීර අමාත්‍යවරයාගේ දෙවැනි අයවැය ලේඛනය පසුගිය 5 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙය අයවැය දෙවැනි වරට කියැවීම යනුවෙන් හැඳින්වේ. මුල් අයවැය කියැවීම වන අයවැය විසර්ජන පනතින් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම අයවැය මගින් ප්‍රධාන වශයෙන්ම රජය ආදායම ලබා ගන්නා ක්‍රමෝපායන් මෙන්ම එම ආදායම වැය කරන අන්දම පිළිබඳව විග්‍රහයක යෙදේ.

මෙහිදී සමස්ත අයවැය හිඟය වූ රුපියල් මිලියන 2160ක මුදල පියවා ගන්නා අන්දම පිළිබඳවද ක්‍රම ඉදිරිපත් කර තිබේ. දැනට පවතින වෙළෙඳපොළ අර්ථක්‍රමය තවදුරටත් ප්‍රසාරණය කිරීම තුළින් ආර්ථිකය තවදුරටක් ලිහිල් කිරීම සහ ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයත් ලෙස මුදල් ඇමැතිවරයා මෙය හැඳින්වීය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තවදුරටත් වැඩිදියුණු කිරීම මගින් ආර්ථික අපේක්ෂා මුදුන්පත් කරගැනීමට කටයුතු කිරීම තම බලාපොරොත්තුව බවද මුදල් ඇමැතිවරයා පැවසීය.

ප්‍රතිලාභීන් නිසි ලෙස හඳුනාගෙන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළකට අවතීර්ණය වෙමින් දුප්පත් ජනතාව සවිබල ගන්වා පොහොසත් සමාජයක් බිහි කිරීමට තමා උපරිමයෙන් කටයුතු කරන බවට මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රතිඥා දුන්නේය.
මෙම පියවරවල ආරම්භයක් වශයෙන් සියලුම රාජ්‍ය සේවකයන්ට ජූලි මස සිට රුපියල් 2500ක මාසික දීමනාවක් ගෙවීමට ද විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, අලුතින් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය දීම, විදේශගත ශ්‍රමිකයන්ට නිවාසයක් ඉදිකර ගැනීම සඳහා සහන පොලියට රුපියල් කෝටියක ණයක් දීම, අලුතින් විවාපත්වූ යුවල සඳහා අවුරුදු 25කදී ගෙවිය හැකිවන පරිදි සියයට 6 පොලියට රුපියල් මිලියන 10 බැගින් ණය දීම, වතුකම්කරු වැටුප් ප්‍රශ්නය නිරවුල් කිරීම, අඩු ආදායම්ලාභීන් සඳහා දැනට ලබා දෙන රුපියල් 4500 ආධාරයට තවත් රුපියල් 5500ක් එකතු කිරීම, සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය ආදී යෝජනා පෙන්වා දිය හැකිය.

විශේෂයෙන් රාජ්‍ය ආදායම මුළුමනින්ම පාහේ ණය හා පොලී ගෙවීම සඳහා වැය කළ යුතුව ඇති අවස්ථාවක ජනතාවට සහන රැසක් ලබාදීම දුෂ්කර කටයුත්තක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රජයේ ආදායම රුපියල් මිලියන 2390 වනවිට ණය වාරික සහ පොලී ගෙවීමට මිලියන 2400ක් වැය කරන්නට සිදුව තිබීම විශේෂ වේ. එසේම සෑම අංශයකටම සහන සලසන අතරවාරයේ රුපියල් මිලියන 2160ක් වූ අයවැය හිඟය පියවා ගැනීම ද භාරධූර කාර්යයක් වන බව නොකියා බැරිය.
පසුගිය වසරේ අයවැය ලේඛනයෙන් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා විශාල වශයෙන් බදු පැනවූ බව අපට අමතක නැත. අයවැයෙන් පැනවූ බදුවලට අමතරව මුළු අවුරුද්ද තුළම විටින් විට බදු හා ගාස්තු පැනවූ බව පෙනෙන්නට තිබිණ. පුද්ගල බදු හා ආදායම් බදු සංශෝධනය විය. එසේ කළේ අයවැය හිඟය තුළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩුකර ගැනීමට බව මුදල් ඇමැතිවරයාගෙන් ප්‍රකාශ විනි. එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? 2019 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5 දක්වා ඉහළ නැගීමය. එයින් පෙනී යන්නේ විවිධ බදු පනවමින් ජනතාව පීඩාවට පත් කළද මුදල් ඇමැති බලාපොරොත්තු වූ අයවැය හිඟය අඩුකර ගැනීමේ අරමුණ පුස්සක් වූ බවය. 2018 අයවැය නීල හරිත අයවැයක් ලෙස ප්‍රකාශයට පත්කළ නමුත් එම සංකල්පය සාක්ෂාත් කර ගැනීම සඳහා සාර්ථක ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ට වූයේ නැත. සියල්ල නමටම සීමා විය.

මෙම අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අයවැයක් ලෙස නම්කර තිබේ. දුප්පත්කම නැතිකර පොහොසතුන් බිහි කිරීම මෙහි අරමුණය. එම තත්ත්වයට පිවිසීම සඳහා විවිධ වූ ක්‍රමෝපායන් අයවැය මගින් මෙවර ඉදිරිපත් කළද ඒවා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නගාවිද යන්න පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ද තබාගත හැකි වේදැයි මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති. මෙතෙක් කල් ඉදිරිපත් කළ සෑම අයවැය ලේඛනයක් තුළින්ම යෝජනා කළ ආර්ථික වෙනස්කම්වලින් ක්‍රියාත්මක වූයේ ඉතාම අල්පයක් බව අපට පැහැදිලිය. යෝජනා සියල්ල ලිපි ගොනු තුළ තැන්පත් වූවා මිස ක්‍රියාවට නැගුණේ නැත. ඒවායින් අඩක් හෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූවා නම් මේ වනවිට අපේ රට සුරපුරයක් බවට පත්ව තිබීම අරුමයක් නොවනවා ඇත.
ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයකු පසුගියදා ලියුම්කරුවකු සමඟ පැවසුවේ අයවැය ලේඛනය යනු නීතියෙන් ගැලවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පමණක් කරන ඉලක්කම් සමූහයක් බවයි. එම කෙටි අදහසින් සනාථ වන්නනේ මෙතෙක් බොහෝ අයවැය යෝජනා නමට පමණක් වූවා මිස ක්‍රියාවට නැංවී නැති බවය.

රටේ පොදු ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද මෙම අයවැයේ සුවිශේෂ යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ. මාලබේ - කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීම, නාගරික පුනර්ජීවන වැඩ සටහන යටතේ නිවාස ඒකක 5000ක් සඳහා රුපියල් මිලියන 8000 වෙන් කිරීම, ගං වතුර අවම කිරීම සඳහා මිලියන 8000ක් ලබාදීම කන්ද උඩරට උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මිලියන 700ක් යෙදවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, රුපියල් මිලියන 24,750ක් වැනි විශාල මුදලක් වෙන් කිරීම, රත්නපුරය දක්වා වූ අධිවේගී මාර්ගය සඳහා මිලියන 1000ක් වෙන් කිරීම, ප්‍රජා ජල අභිමානී ව්‍යාපෘතිය සඳහා මිලියන 1500ක් ලබාදීම, තිරසර නාගරික ව්‍යාපෘති සඳහා මිලියන 2000ක් සහ සුවේත පුරවර ව්‍යාපෘතියට මිලියන 3000ක් වෙන් කිරීම මෙන්ම ප්‍රධාන ජලාශ ව්‍යාපෘති 7ක වැඩ අවසන් කිරීමට රුපියල් බිලයන 2.4ක් වෙන් කිරීම ද වැදගත් වේ.

අැත්තවශයෙන් රටේ පොදු ආර්ථිකයට බලපාන ව්‍යාපෘතිවලට මෙලෙස මුදල් වෙන් කිරීම අගය කළ හැකි නමුත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දෙගිඩියාවකි. එයට හේතුව මෙතෙල් කල් බොහෝ ව්‍යාපෘතිවල වසර තුළ සැලසුම් කර තිබූ ප්‍රගතිය ඒ ආකාරව ඉටු නොවී තිබීමය. බොහෝ වෙලාවලට විවිධ අමාත්‍යංශවලට වෙන්කළ මුදල් පාවිච්චි නොකිරීම නිසා වර්ෂය අවසානයේ ආපසු මහා භාණ්ඩාගාරයට යාම අද සුලභ සිද්ධියක් වී තිබේ. ව්‍යාපෘති නිසි පරිදි සැලසුම් නොකිරීම, ප්‍රගතිය පිළිබඳ පසු විපරම් නොකිරීම මතුවන දුෂ්කරතාවලට ප්‍රයෝගිකව පිළියම් නොයෙදීම හා වංචා දූෂණ අකාර්යක්ෂමතාව නිසා බලාපොරොත්තු වූ කාලවකවානුවල ඒවා නිම කිරීමට නොහැකි වූ අවස්ථා එමටය. එසේම ඇතැම් ව්‍යාපෘති නියමිත කාලය තුළ ආරම්භ කිරීමට පවා නොහැකි වී තිබේ.

මෙවැනි මන්දගාමී වැඩපිළිවෙළ පිළිබඳ ආසන්නතම උදාහරණය වන්නේ සැලසුම් කර වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රගතියක් නොමැතිව වැනෙමින් යන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියයි. එම මාර්ගයේ මුළු ව්‍යාපෘතිය තබා එහි සැලසුම් කළ කුඩා කොටස පවා තවමත් වැඩ අවසන් කර ගත නොහැකිව තිබේ. 2019 අයවැය මගින් යොජනා කළ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති හෝ අදාළ කාලය තුළ අවසන් කිරීමට දැන් සිටම සැලසුම් කළ යුතුව තිබේ. මේ වර්ෂය අවසන් වීමට ඇත්තේ මාස 9ක් වැනි කෙටි කාලයකි. ඒ කාලයේදී නිමක් දැකීමට නම් දැන් සිටම සීඝ්‍රගාමී කළ යුතුව ඇත.

අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ආදායම් ලබා ගැනීමට ප්‍රතිපාදන ඇති කිරීමට ද අයවැය ලේඛනයක් තුළින් යෝජනා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. වසරින් වසර වර්ධනය වන පිරිවැයට මුහුණ දීම මගින් රටේ ජනතාවගේ ජීවන වියදමට සෘජුවම බලපාන යෝජනා ඉදිරිපත් නොකිරීමට මුදල් ඇමැතිවරයා වගබලාගෙන ඇතිවග දක්නට ඇත. විශේෂයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ආනයන බදු සතයකින්වත් වැඩි නොකිරීමට ප්‍රවේශම් වී ඇත. මේ නිසා නුදුරු උත්සව සමයේදී සහ ඉදිරි කාලය තුළ සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් පාරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට හේතුවක් නොමැති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් පවසයි. එසේ වුවද රජයේ කාර්යාලවලින් සේවා ලබා ගැනීමේදී අය කරන ගාස්තු සියයට 15කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සහතික පිටපත්, බලපත්‍ර, ලියාපදිංචි ගාස්තු ආදිය ඉහළ යයි. 2016 වසරේ සිට මෙම අංශවල ගාස්තු වැඩිකර නොමැති බව අයවැය මගින් හෙළිකර ඇත. එසේම ගල් අරක්කු හැර සෙසු මත්පැන් ලීටරයක් රුපියල් 65කින් පමණ ඉහළ දැමීම ද, බීර කෑන් සඳහා රුපියල් 9ක නිෂ්පාදන බද්දක් අයකිරීම ද, බීඩි සඳහා ශත 50කින් ද සිගරැට් සඳහා රුපියල් 5 බැගින් බදු ඉහළ නැංවීම ද හොඳහැටි තෝරාබේරා ගෙන කළ බදු ගැසීම් වෙයි. විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව රුපියල් 500කින් හා එක් දිනකින් ලබා ගැනීමේදී රුපියල් 5000කින් ගාස්තු ඉහළ දමා තිබේ. කාර්යබහුල වේලාවල අධිවේගයේදී රථවලට අයකරන ගාස්තුව රුපියල් 100කින් ඉහළ නැංවීම ද කැසිනෝ බලපත්‍රයක් නිකුත් කරන විට මිලියන 400ක් අයකිරීමට යෝජනා කිරීම ද සාමාන්‍ය ජනතාවට එතරම් අපහසුතාවයකට පත් නොකරන අයකිරීම් බව පැවසිය යුතුය. වාහනවල ආනයන බදු විශාල ලෙස ඉහළ නංවා ඇති අතර අමුතුවෙන් සුඛෝපබෝගී හඳුන්වාදී ඇත. කුඩා මෝටර් රථවල බදු ලක්ෂ 1 ½ක් ඉහළ නැංවීම මෙන්ම හයිබ්‍රිඩ් වාහන මිල රුපියල් 1,75,000කින් වැඩි කිරීම පිළිබඳව ද සාමාන්‍ය ජනතාව තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බව කිව යුතුය.

කෙසේ වුවද බදු හා ගාස්තු වැඩි කිරීමට වඩා ප්‍රමුඛත්වයක් දිය යුතු වන්නේ දැනට පවතින බදු ආදිය කාර්යක්ෂමව අයකර ගැනීම පිළිබඳව බව බොහෝ දෙනෙක් පෙන්වා දෙති. අයකර ගැනීම විධිමත්ව සිදු නොවනවානම් බදු පැනවීම නිෂ්ඵල බව ඔවුන්ගේ අදහස වේ.

යසවර්ධන රුද්රිගු  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00