2019 මාර්තු 09 වන සෙනසුරාදා

ඉන්දියාවේදී කොටු වූ ලංකාවේ පාතාලයා බ්ලුමැන්ඩල් සංඛ

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

ලංකාවේ සක්‍රීයම පාතාලයක් වන කොළඹ පාතාලය තුළ දැනට ඉතුරු වී ඇති කල්ලියක් වන්නේ රණසිංහ ආරච්චිගේ සංඛ හිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛගේ කල්ලියයි. මෙකී කල්ලිය විටින් විට මතුවන අතර එක දිගට ක්‍රියාත්මක වන්නේ නැත. එහෙට මෙහෙට පනින කණ්ඩායම ඔවුන්‍ට විරුද්ධ එකෙකුට දෙන්නෙකුට වෙඩිතබා අතුරුදන් වෙයි. එසේම කුඩු ටිකක් විකුණා දමා සැඟව යයි. ඒ නිසා එළියේ කිසිම තොරතුරක් ඔවුන් ගැන නැත.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 26 වැනිදා හේනමුල්ල ප්‍රදේශයට යතුරු පැදියකින් යන සංඛ ඇතුළු කණ්ඩායම ඔහුට විරුද්ධ කල්ලියක එකෙකු වූ “කළු බෝලේ” නැමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලබයි. එම ඝාතනයට සංඛ සම්බන්ධ බවට කීවත් සංඛ සොයාගැනීමට පොලීසියට හැකිවූයේ නැත.

මේ අතර පසුගිය පෙබරවාරි 28 වැනිදා ලංකාවේ පොලීසියට හොයා ගැනීමට නොහැකි වූ සංඛ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරන්හීදී පොලීසියට කොටු වන්නේය. ඒ ඔහුගේ හොඳම ගෝලයන් දෙදෙනකු වූ හිරන්ත සහ මදුෂ් සමඟය. එසේ අත්අඩංගුවට ගත් පිරිස දැන් ඉන්නේ ඉන්දියාවේය. අද හෙටම ඔවුන් මෙරටට රැගෙන ඒම ගැන මේ වනවිට ආරක්ෂක අංශ සියලු කටයුතු සකසමින් සිටී. කෙසේ වෙතත් බ්ලූමැන්ඩල් සංඛ කවුද? පාතාලයට ආවේ කෙසේද? යන්න බොහෝදෙනා දන්නේ නැත. මේ කියන්නට යන්නේ කොළඹ පාතාලයේ තවත් චරිතයක් වූ සංඛ ගැනය.

මීට වසර දහයකට පෙර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ රජකළේ එවකට කොළඹ පාතාලයේ කිරුළු දරා සිටි ප්‍රින්ස් කොලම්ය. ප්‍රින්ස් යනු මත්කුඩු ජාවාරමට උරුමකම් කී අයෙකි. එහෙත් ප්‍රින්ස්ගේ ලොකුම ව්‍යාපාරය වූයේ එවකට බ්ලූමැන්ඩල් කුණු කන්දෙන් කප්පම් ගැනීමය. එහෙත් එය වැඩිකලක් කරගෙන යාමට හැකි නොවූ අතර කොලම් ප්‍රතිවිරුද්ධ කල්ලියක් අතින් ඝාතනය විය. පසුව කොලම්ගේ හොඳම ගෝලයා ලෙස සිටි ආමි සම්පත් එම කල්ලිය සිය යටතට ගත්තේය. එසේම එතෙක් කොලම්ට වැඩකළ රේල්පාරේ සංජීව, බ්ලුමැන්ඩල් සංඛ, බටුවත්තේ බුද්ධික යන අය එක කල්ලියක් බවට පත්විය. ඒ 2005 වසරේදීය.

මේ අතර එවකට පළාත් සභාවේ තරුණ මන්ත්‍රීවරයකුව සිට පසුව පක්ෂ මාරුකර පාර්ලිමේන්තුවට ඒමට කටයුතු කළ කොළඹ මන්ත්‍රීවරයකුට මේ පිරිස එක්ව වැඩකටයුතු කළහ. එම මන්ත්‍රීවරයා සමීපයේ දරුණු ගණයේ පාතාල නායකයෝ රැසක් සිටියහ. කරාටේ ධම්මික, දෙමටගොඩ චමින්ද, නේවි රුවන්, ගලබොඩ වැනි අය ඒ අතර සිටියහ. මේ අතරට සම්පත් සහ ඔහුගේ පිරිසද එක්ව සිටියහ. මන්ත්‍රීවරයා සමිපයේ සිටි සියලුදෙනාම කුඩු ජාවාරම්කරුවන් වූ අතර සම්පත්ගේ කල්ලියේ වූ නිසා සම්පත්ගේ පිරිසේ රේල්පාරේ සංජීව අතපය දිගහැර කුඩු විකුණන්නට පටන් ගත්තේය. ඒ බ්ලූමැන්ඩල් සංඛ සමඟය.

කෙසේ වෙතත් මේ සියල්ල අතරතුර හදිසියේ නාඳුනන කල්ලියක් අතින් රේල්පාරේ සංජීව ඝාතනය විය. එම ඝාතනය ගැන නොයෙක් කතා පැවසුණු අතර එම කුඩු ජාවාරම බ්ලුමැන්ඩල් සංඛ තමා අතට ගත්තේය. එහෙත් ඒ වනවිට කුඩු විකුණමින් සිටි ප්‍රධානියා වූයේ දෙමටගොඩ චමින්දය. චමින්දගේ ව්‍යාපාරයට සංඛ මරුපහරක් වූ නිසා චමින්ද සහ සංඛ අතර ගැටුමක් ආරම්භ වූයේ අළුයට ගිනි උඩට එමිනි. මේ නිසා ආමි සම්පත් ඇතුළු කණ්ඩායම ඉහත කී මන්ත්‍රීවරයාගෙන් කැඩී වෙන්වී ගියේ 2010 වසරේදීය. පසුව ආමි සම්පත් සහ සංඛ එක්ව වෙනම කණ්ඩායමක් සකස් කර ගත්තේ චමින්දට විරුද්ධවය.

සම්පත්ගේ කල්ලියට බ්ලූමැන්ඩල් සංඛ, බටුවත්තේ බුද්ධික, බිම්සර, සුජිත්, චාමර ආදී කණ්ඩායමක් සිටියහ. මේ අතර 2011 ඔක්තෝබර් 8 වැනිදා කොලොන්නාවේදී සිදුවූ භාරත ලක්ෂ්මන් ඝාතනයට දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිස බන්ධනාගාර ගතවූහ. එසේ බන්ධනාගාර ගතවීමත් සමඟ සංඛ ඇතුළු පිරිසට යහතින් කුඩු ජාවාරම කරගෙන යාමට හැකිවිය. මේ අතර සංඛ ඇතුළු පිරිස චමින්දගේ ගෝලයන් තැන තැන ඝාතනය කරන්නට, පහර දෙන්නට, කපා කොටා දමන්න කටයුතු කරමින් සිටියේය. මේ නිසා චමින්ද සිටියේ දැඩි වෛරයකිනි. චමින්ද ද බන්ධනාගාරයේ සිට සංඛගේ පිරිසට ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.

මේ අතර චමින්ද 2012 වසරේදී එළියට ආවේය. චමින්දගේ ආගමනයත් එක්ක චමින්දගේ ගෝලයෝ අළු ගසා දමමින් කරළියට පැමිණියහ. සංඛ ඊට විරුද්ධව මෙහෙයුමක් දියත් කළේය. ඒ චමින්ද වෙඩිතබා ඝාතනය කිරීමටය. ඒ සඳහා හේකිත්තේදී සිගරැට් වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පිරිසක් යොදාගෙන තිබිණි. සංඛ, ආමි සම්පත්, බිම්සර, චාමර, මාකිලංගමුවේ සංජීව, සුජිත් ඒ පිරිසට අයත් වූහ. පිරිස මෝටර් රථයක් ගෙන ටී56 ගිනි අවි දෙකක්ද රැගෙන චමින්ද සොයාගෙන මහා රාත්‍රියේ ගණේමුල්ලේ සිට කොළඹ ආහ. කොළඹ පුරා සැරිසරන විට මේ පිළිබඳව දෙමටගොඩ චමින්දගේ සහෝදරයාට දැනගන්නට ලැබුණි. මේ ගැන ඔහු චමින්දට දැනුම් දුන්නේය. චමින්ද ඇතුළු පිරිස ඉස්සර වී දෙමටගොඩ මස් කඩය අසලදී සංඛ ඇතුළු පිරිස පැමිණි මෝටර් රථයට වෙඩි තැබූහ. එහිදී සුජිත් මෝටර් රථයේ රියදුරු අසුනේදී මියගියේය. සංඛ ඇතුළු පිරිස වනාතෙන් පැන පළා ගියහ.

එසේ පලායාමෙන් පසුව සංඛ සහ සම්පත් හොර ගුවන් බලපත්‍ර සකසා ඩුබායි රාජ්‍යයට පැනගියහ. එතැනින් පසු මේ දෙදෙනා ඩුබායි සිට සිය ජාවාරම් සිදුකරමින් සැඟවී සිටියහ. මේ අතර කාලය කෙමෙන් කෙමෙන් ඇදී යන අතර 2015 මහ මැතිවරණය පැමිණියේය. එහිදී එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් හරහා සංඛ ආමි සම්පත් ලංකාවට හොර රහසේ ආවෝය. පැමිණ දෙදෙනා ඇතුළු පිරිස මේ දේශපාලකයාගේ බව කියන නිවෙසක විශාල උත්සවයක් දැමූහ. කෑම බීම හැම දෙයකින්ම කිසිදු අඩුවක් තිබ්බේ නැත.

සංඛලා පැමිණ සිටියත් මෙරට ආරක්ෂක අංශයේ කිසිවකු ඒ ගැන දැන සිටියේ නැත. මේ අතර සංඛ සහ සම්පත් මැතිවරණ ව්‍යාපාරයක පාගමනකට පැමිණ සිටියහ. මේ පිළිබඳව දෙමටගොඩ චමින්දට සැලවුණේය. චමින්ද එවිට සිටියේ බන්ධනාගාරයේය. වහාම චමින්ද සිය ගෝලයන් පිරිසක් යොදවා සංඛ සහ සම්පත්ට වෙඩි තැබුවේය. එහිදී සංඛ සහ සම්පත් පැනගිය අතර එම පා ගමනේ සිටි කාන්තාවක් සහ තරුණයෙක් මියගියහ.

එතැන් පටන් සංඛ අතුරුදන් විය. ඔහු සොයා පොලීසිය මෙහෙයුම් දියත් කළේය. 2016 එක්තරා දිනක දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිස භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට සහභාගි වී නැවත බන්ධනාගාරයට යමින් සිටියහ. එකවරම දෙමටගොඩ පාලම අසලදී මෝටර් රථයක් හරස් කර බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් එල්ල කෙරිණි. ඒ චමින්ද මරා දැමීමටය. එය ලංකා ඉතිහාසයේ බන්ධනාගාර බස් රථයකට එල්ල කළ දෙවැනි ප්‍රහාරය විය. ඒ ප්‍රහාරයෙන් චමින්ද තුවාල ලැබුවේය. එසේම සංඛගේ ගෝලයෙක් ද තුවාල විය.

එම සිද්ධියෙන් පසුව සංඛ ඇතුළු පිරිස සැඟව ගියහ. පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී තුවාල ලැබු සංඛගේ ගෝලයාද, මාකිලංගමුවේ සංජීවද, ආමි සම්පත්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් සංඛ සොයාගැනීමට හැකිවූයේ නැත. අවසානයේ සංඛ එක් දිනක් සිය කැමැත්තෙන් පැමිණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරවුණේය. ඉන් අනතුරුව සංඛද බන්ධනාගාර ගතවීය. එසේ බන්ධනාගාර ගතවීමත් සමඟ සංඛ සහ සම්පත් සමඟ මාකිලංගමුවේ සංජීව විරසක විය. එසේම එළියේ සිටි චාමර මාතර රත්තරන් කොල්ලයේදී මියගියේය. කෙසේ වෙතත් කාලයක් බන්ධනාගාරයේ සිටි සංඛ සහ සම්පත් එළියට පැමිණියහ. එසේ පැමිණ පරණ පුරුදු අත් නොහළ අතර සුපුරුදු මත්කුඩු ජාවාරම කරගෙන ගියහ. චමින්ද ඒ වනවිටත් එල්ලුම් ගහට නියම වී සිටි නිසාය.

එහෙත් සංඛට බාධාවක් තිබුණේය. ඒ හේනමුල්ලේ කළුබෝලේ ගෙන්ය. සංඛ ඒ නිසා පසුගිය දෙසැම්බර් 26 වැනිදා කළුබෝලේට වෙඩි තබා මරා දැමුවේය. එම ඝාතනයෙන් පසු සංඛ මන්නාරමෙන් ධීවර බෝට්ටුවක නැගී රාමේෂ්වරම්වලට පැන ගත්තේය. ඒ කුමාර් නමිනි. ඔහුට ඒ නමට හැඳුනුම්පතක්ද තිබුණේය. එහෙත් හොරෙන් ඉන්දියාවට පැන ඇති නිසා ඔහුව අත් අඩංගුවට ගනු ලැබීය. දැන් ඔහු සිටින්නේ රාමේෂ්වරම් පොලීසියේය. අද හෙට ඔහු මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් සංඛලාට අතහිත දුන් දේශපාලකයන් ගැනද පරීක්ෂණ කළ යුතුය. ඒ නිසා මේ පරීක්ෂණ සංඛගෙන් නිමකළ යුතු නැත. එසේ කළහොත් තවත් සංඛලා මෙකී දේශපාලඥයන් විසින් හදනු ඇත.

►  ගයාන් ගාල්ලගේ