2019 මාර්තු 09 වන සෙනසුරාදා

කොහොම හරි ඇවිද්දවන කෘත්‍රිම අත් පා හදන තරුණයා

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 20

අපි සැවොම මේ මහපොළොවේ දෙපයින් සිට ගැනීමට ආ අයයි. දෙපයින් ඇවිදින්නට ආ අයයි. එහෙත්... යුද්ධය නිසා අපේ බොහෝ රණවිරුවන්ගේ දෑත් දෙපා අහිමි විය. ඔවුහු සදාකාලයටම ආබාධිත පුද්ගලයන් බවට පත්වූහ. විවිධ අනතුරු හේතුවෙන්ද ඇතැමුන්ගේ දෙපා අහිමි විය. රෝගයක් හේතුවෙන්ද ඇතැමුන්ගේ අත් දෙපා ඉවත් කරලීමට වෛද්‍යවරුන්ට සිදුවිය. ඒ සෑම කෙනෙකුගේම හිතේ ඇත්තේ “ඇවිදින්නට තිබුණා නම්...” යන සිතිවිල්ල පමණි.

රට ජාතිය වෙනුවෙන් පාදය අහිමි කරගත් තම පාසැල් මිත්‍රයා ඇඳේ හිඳ සුසුම් හෙළද්දී අරුණ සරමවික්‍රමට දරාගත නොහැකි දුකක් ඇතිවිය. පවුලේ වැඩිමලා වූ අරුණගේ පියා මෙලොවින් සමුගනිද්දී අරුණ දෙක වසරේදීය. තම බාල සහෝදරයින් දෙදෙනාත් තමාත් උස් මහත් කිරීමට අරුණගේ මව අනේක දුකක් වින්දාය. ඒ දුකට අංශුමාත්‍ර හෝ උදව්වක් ලබාදෙන්නට තේරෙන වයසට ආ අරුණ පාසැල් යන අතරතුරේදී ගමේ ගරාජයේ අත් උදව් දුන්නේය. ගරාජයේ සියලු කටයුතු පුංචි කොලු ගැටයා හොඳට හුරුවුණේය. පිරිමි දරුවන් තිදෙනෙකු සිටි පුංචි ගෙදරට නිතර නිතර යන එන කොලු ගැටයින්ගෙන් පිරී තිබුණි. අරුණගේ යහළුවන් මෙන්ම මල්ලිලාගේ යහළුවෝද වූහ. මල්ලිගේ යහළුවෝ අරුණගේ යහළුවෝද වූහ. කල්යත්ම අරුණගේ පාසැල් මිතුරෙකුට යුද්ධයේදී පාදය අහිමි විය. පාසැලේදී ක්‍රීඩාවට දස්කම් දැක්වූ මිත්‍රයා ලෙඩ ඇඳේ පාදයක් නොමැතිව මානසිකව ඇද වැටෙමින් ගතකරන ජීවිතය ගැන අරුණගේ හිතට ගෙන ආවේ විශාල දුකකි. කම්පනයකි. සිනමාපටයක් මෙන් අරුණට යහළුවාගේ කෙළිලොල් දඟකාරකම් මැවී පෙනුණේය.

“උඹ මම කොහොම හරි ඇවිද්දවනවා....”

අරුණ යහළුවාට පොරොන්දු විය. එතැන් සිට අරුණ කුඩා කල සිටම ලත් දැනුම උපයෝගී කරගෙන මිත්‍රයාට කෘත්‍රිම පාදයක් නිපදවීමට වෙහෙසුණේය. එකල ඔහු කුඩා වෑල්ඩින් වැඩපළක්ද පවත්වාගෙන ගියේය. ඔහු දින කිහිපයක් මිනිසුන් ඇවිදින, දුවන, පනින, බයිසිකල් පදින අන්දම හොඳින් නිරීක්ෂණය කළේය. අවසානයේදී 2005 වසරේදී ඔහුගේ තිබුණු කාර්මික දැනුමද උපයෝගී කරගනිමින් ප්‍රථම නම්‍යශීලී කෘත්‍රිම පාදය නිර්මාණය කළේය. එමෙන්ම ඒ සඳහා 2005 වසරේදී පේටන්ට් බලපත්‍රයද ලබා ගත්තේය.

එම වසරේදීම අරුණ සමරවික්‍රම නිර්මාණය කළ මෙම නම්‍යශීලි කෘත්‍රිම පාදය සඳහා හොඳම නව නිපැයුම්කරුට හිමි ජනාධිපති සම්මානයද හිමිවිය. එපමණක් නොව ඔහු මෙය ස්විස්ටර්ලන්තයේ පැවැති අන්තර්ජාතික තරගයකටද ඉදිරිපත් කළේය. ඒ සඳහා ඩොලර් මිලියන පනහක් සහ තමන් කැමති රටකට පුරවැසිභාවය ලබාදීමටද ඒ නියෝජිතයින් කැමති විය.

“මම පොඩ්ඩක් වෙනස් විදිහට හිතන කෙනෙක්. මේ මගේ රට. මේ රට වෙනුවෙන් මොනව හරි හොඳ දෙයක් කරන්න ඕනේ කියලා තමයි මම හැමවෙලේම හිතුවේ. මම මේ කකුල හැදුවෙත් මගේ යාළුව දෙපයින් නැගිට්ටවන්නයි. එයාට ඒ කකුල නැතිවුණේ අපිට මේ රටේ නිදහසේ ඉන්න ඉඩහසර හදලා දෙන්නයි. ඒ රටින් මට එහේ නවතින්න කියලා ඉල්ලුවා. ඒත් මගේ රටේ සහෝදර දහහතර දහසක් දෙනා කකුල් නැතිව දුක් විඳිද්දී ඒ රටවල සුරසැප විඳින්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා මම ඒ කෘත්‍රිම පාදයත් අරගෙන ලංකාවට ආවා.” අරුණ සමරවික්‍රම දේශයට තම අදහස් දැක්වීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අරුණට තමන් මුණගැසීමට එන්න යයි පණිවිඩයක් එව්වේය. අරුණ හිටපු ජනපති මුණගැසුනේය. තමන් නිර්මාණය කළ නම්‍යශීලී කෘත්‍රිම පාදය වෙනත් රටකට විකුණන්නේ නැතිව නැවත මව්බිමට රැගෙන ආ උතුම් ගුණයට ස්තූති කර, “මොනවද දැන් මගෙන් ඕනේ” යැයි අරුණගෙන් විමසුවේය.

“සර්... ආබාධිත කට්ටියට කොළඹට ආ විට බස් එකෙන් ඇවිත් කෘත්‍රිම අත් පාද සවිකරගන්නට හැකි තැනකින් පුළුවන් නම් ඉඩමක් ලබා දෙන්නැයි මම එතුමාගෙන් ඉල්ලීමක් කළා...” අරුණ පවසයි.

අරුණ සමරවික්‍රම මාතර වැසියෙකි. මාතර නිවසේ සිට සෑදූ මුල්ම පාදය තරගයට කොළඹට ගෙන ආ දවසේ අරුණට කොළඹ නතරවන්නට තැනක් තිබුණේ නැත. දන්න කියන කෙනෙක් කොළඹ සිටියේද නැත. හෝටල් කාමරයක නතර වන්නට අතේ මුදල් තිබුණේද නැත. ඔහු මාතර සිට රුපියල් විස්සේ වතුර බෝතලයත් කෘත්‍රිම පාදයත් ගෙන කොළඹ බස් රථයට ගොඩවූයේ වෙන කිසිවක්ම නොමැතිව හිස් අතිනි. ඔහු රැය පහන් කළේද දෙමටගොඩ විහාරයක බිම සිමෙන්ති පොළොවේ දිගාවෙමිනි.
අවසානයේදී කළුතර නගොඩ ප්‍රදේශයෙන් කෘත්‍රිම අත් සහ පාද නිෂ්පාදනාගාරයක් වෙනුවෙන් ඉඩමක් අරුණට ලැබුණි. 2008 වසරේදී කළුතර නාගොඩදී අරුණ තම කෘත්‍රිම පාද නිෂ්පාදනාගාරයත්, පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් ආරම්භ කළේය. 
එතැන් සිට අරුණට බොහෝ දෙනෙකු මේ සත්ක්‍රියාව සඳහා උදව් කළහ. විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ දෙනෙකු මෙයට උදව් කළහ. ලංකාවේ පමණක් නොව විදෙස් රටවල්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ද පරිත්‍යාගශීලී මිනිසුන් ඔවුන් උපයාගත් මුදලින් යම් කොටසක් දෑත් දෙපා අහිමි අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පටන් ගත්හ. ඇතැමුන් උපන්දින වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන්, විවිධ මතකයන් වෙනුවෙන් අසරණ මිනිසෙකු දෙපයින් නැගිටුවාලන්නට අත්වාරවක් විය. ඒ අනුව 2009 වසරේදී අරුණ “සහෝදරත්වයේ පිය සටහන්” නමින් පදනමක් පිහිටුවාලීය. මේ හරහා අත් හා පාද අහිමි හොඳ කෘත්‍රිම අතක් හෝ පාදයක් මිලදී ගැනීමට මුදල් නොමැති අය වෙනුවෙන් නම්‍යශීලී කෘත්‍රිම අත් හා පාද පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය හරහා ලබාදීම සිදුකරයි.

ලංකාවට කෘත්‍රිම පාද වැඩිපුරම ගෙන්වන්නේ ජර්මනිය, එංගලන්තය, ඉන්දියාව වැනි රටවලිනි. බර කිලෝ පනහේ පුද්ගලයාත්, බර කිලෝ අසූවේ පුද්ගලයාත් පාවිච්චි කළ යුත්තේද එකම වර්ගයේ කෘත්‍රිම පාදයයි. නමුත් අරුණ සමරවික්‍රම පාදයක් සෑදීමට පෙර පුද්ගලයාගේ උස, බර, කරන රැකියාව, ජීවත්වෙන ප්‍රදේශය පිළිබඳව සොයා බලා ඒ අනුව පාදය හෝ අත නිෂ්පාදනය කරයි. කකුල සවි කළ පසුව දින කිහිපක්ම නේවාසිකව නතර කර එය ක්‍රියාකරන අන්දම පිළිබඳව රෝගියා දැනුම්වත් කරයි. මාළු වෙළෙන්දෙකුව සිටි අවදියේදී කකුලක් අහිමි වූවා නම් මේ කෘත්‍රිම පාදය සවිකොට නැවත බයිසිකල් පැදීමට පවා හුරු කරයි.

මිනිසුන්ට පමණක් නොව අලින්, හරකුන්, ඌරන් වැනි සතුන්ටද කෘත්‍රිම පාද සවිකිරීම මෙම පදනම හරහා සිදුකරයි. සෑම වසරකම “උත්තම පූජා” නමින් රණවිරුවන්ට හා සිවිල් වැසියන්ට පාද පනහ බැගින් වසර හතක් ලබාදුන්නේය.

එළඹෙන 2563 වන සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව දෑත් දෙපා අහිමි වූ 563 දෙනකු හට “නම්‍යශීලී කෘත්‍රිම දෑත් සහ පාද ලබාදීමේ පරිත්‍යාගයේ පිය සටහන්” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ඒ අනුව පරිත්‍යාගීලී මිනිසුන්ට මේ සඳහා ඔහුත් සමඟ මේ දුරකතන අංකයට ඇමතීමෙන් අත්වැල් බැඳගත හැකිය. 034 2289986.

දිශානි ජයමාලි කරුණාරත්න

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30