2019 මාර්තු 09 වන සෙනසුරාදා

බල්ලන් අනූවක් දරුවෝ කරගත් ශිරු

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 223

විහාර භූමියක ඉදිරිපිට වැස්සට තෙමුණු කුඩා බලු පැටවුන්ට ඔහු රැකවරණය දුන්නේය. නිවසේ බිහිවුණු බලු පැටවුන් රොත්තම කඩමල්ලකට දමා මහපාරේ අතරමංකොට ගිය මිනිසුන් ඉන්න රටක ඔහු ඒ තිරිසනුන්ට නිවෙසක් ලබා දුන්නේය. අම්මාගෙන් කිරි බොමින් සිටි ඇස්වත් ඇර නොතිබුණු පුංචි බැලු පැටවුන්ට අම්මාගේ උණුසුම අහිමිවද්දී ඔහු ඒ උණුසුම ලබාදුන්නේය. 

මිනිසුන් විශාල මුදල් දී වටිනා සුනඛයන් මිලදී ගන්නට උත්සාහ ගනිද්දී ඔහු පාරේ යන කාත්කවුරුත් නැති අසරණ වුණු බල්ලන් අනූදෙනෙකුට ජීවිත ලබාදී ඇත. ශිරු ගමගේ අපිට මුණගැ‍ෙසන්නේ බෙල්ලන්විල පැත්තේ මහ මාර්ගයේදීය. සෑම උදෑසනම ඔහු විශාල බේසමකට ආහාර රැගෙන මහා මාර්ගයේ ඉන්නා බල්ලන්ට කෑම ලබාදෙයි. ඔහුගේ දින චාර්යාවේ ආරම්භය වන්නේ එයයි. බෙල්ලන්විල විහාරය අසල මහරගම, පන්නිපිටිය වැනි බොහෝ ප්‍රදේශවල තම වාහනයේ යමින් ඔහු මේ සත්ක්‍රියාවේ නියැළෙන්නේය. සෑම උදෑසනකම ඈත එන රතු පැහැ මෝටර් රථය මේ බල්ලන්ට දැන් හොඳට හුරුව තිබේ.

ශිරු ගමගේ කොළඹ මහනාම විදුහලේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු සුනඛයන්ට දැඩිව ආදරේ කරයි. වසර ගණනාවක් ඔහු විදෙස් රටක සේවය කළේය. 2012 වසරේදී ලංකාවට පැමිණ රොට්වයිලට්, පොමරේනියන්, ජර්මන්ෂෙපඩ් බල්ලන් තිදෙනෙකු නිවසට ගෙනාවේය. ඔය අතරේදී ශිරුගේ නිවස ඉදිරිපිට කුෂ්ඨ හැදුණු වල් බල්ලොත් සිටියහ. ශිරු ඒ බල්ලන්ට වේල් තුනම කන්න දුන්නේය. 

දිනක් රෑ එකොළහට පමණ ගේට්ටුව ඉදිරිපිට සිටි බල්ලා මරලතෝනි දී කෑ ගැසුවේය. පාරේ වේගයෙන් ගිය වාහනයක් බල්ලාව හප්පාගෙන ගොස් තිබුණි. ශිරුගේ හිත රිදුණි. ඔහු වහා ගේට්ටුව ඇර බල්ලාව තම නිවසට රැගෙන ගියේය. බල්ලාට කළ සාත්තු සප්පායම් හේතුවෙන් ඌට සනීප විය. ටික දිනකින් ඒ වල් බල්ලා ශිරුගේ රොට්වයිලර්, ජර්මන්ෂෙපඩ් සහ පොමරේනියන් බල්ලන්ගේත් හොඳ මිත්‍රයෙක් විය. අවසානයේදී ඌ ශිරූගේ නිවසේ සාමාජිකයෙක් බවට පත්විය. 

මේ සිදුවීමෙන් ශිරුගේ හිත හොඳටම පැරැණි. විශාල මුදලකට මිලදී ගත් සල්ලිකාර බල්ලන් නිවෙස්වල සුරසැප විඳිද්දී අසරණ වුණු බල්ලන් කී දෙනෙක් නම් මේ සමාජයෙන් පීඩා විදින්නේ ද යන සිතුවිල්ල ශිරූගේ හිතට තදින්ම දැනුණි. ඔහු තීරණයක් ගත්තේය. මහ පාරේ අසරණ වුණු, කාත් කවුරුත් නැති අසරණ බල්ලන් ඔහු තම මෝටර් රථයෙන් තම නිවෙසට රැගෙන ආවේය. අද වනවිට ඔහුගේ නිවසේ එලෙස අසරණ වුණු බල්ලන් අනූ (90) දෙනෙකුට රැකවරණය ලබාදී තිබේ. 

ඔහු සෑම බල්ලෙකුටම අවශ්‍ය එන්නත්, බෙහෙත්, විටමින් නිසි නිසි කාලයට ලබාදීමට අමතක නොකරයි. ඒ සඳහා ඔහුට පාසල් මිත්‍රයන් මෙන්ම හිතමිත්‍රයන් කිහිප දෙනකුගේද උදව් උපකාර ලැබේ.

සෑම දිනකම ඔහු කිලෝ විස්සක බත් මුට්ටියක් බල්ලන් වෙනුවෙන් පිසියි. මහා මාර්ගයේ සිටින සුනඛයන් තිස් පහකට පමණ එක වේලක්ද නිවසේ රැඳී සිටින සුනඛයන්ට වේල් දෙකක්ද ලබාදීම සඳහාය. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක්ද නොවේ. ඔහුට බල්ලන් වෙනුවෙන් සතියකට මාළු කිලෝ විස්සක් ද බිත්තර සීයයක් ද අවශ්‍ය වේ. ඊට අමතර ඔහු බත්පතට පීකුදු සහ වට්ටක්කා ද එකතු කරයි. කුඩා බල්ලන් සඳහා චිකන් ඕෆ්කට් ලබාදේ. මේ සියල්ල බත් එකට දමා හොඳින් කලවම් කරමින් තම්බයි. ඒ තැම්බෙන සුවඳ දැන් බල්ලන්ට හොඳට හුරුය. ඒ වෙලාව එනතුරු ඔවුහු නොඉවසිල්ලෙන් බලා සිටිති. 

ශිරු කිසිම බල්ලෙකු කූඩු කරන්නේ නැත. දම්වැල්වලින් බැඳ තබන්නේද නැත. ශිරුගේ ගෙවත්තේ, නිවසේ බල්ලෝ නිදැල්ලේ ඇවිදිති. දුව පනිති. සෙල්ලම් කරති. නමුත් කිසිම බල්ලෙකු සැර නැත. එය එක්තරා විශේෂත්වයකි. බල්ලන් සපා කන්නේ ද නැත. රාත්‍රී කාලයේදී මේ සෑම බල්ලෙකුම නිදාගන්නේ ශිරුගේ නිවස ඇතුළේය. බල්ලන් අනුවක් නිවසක නිදාගැනීම සුළුපටු නොවේ.

“කොහොමටත් හැම රැයකම බල්ලෝ හතක් අටක් මගේ ඇඳේ නිදාගන්නවාම තමයි. අපිත් මෙට්ටයක නිදාගන්න ආස වගේම මේ බල්ලොත් මෙට්ටයක නිදාගන්න ආස ඇති නේද...? ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙච්චර බල්ලෝ ඉන්නකොට උන් රණ්ඩු වෙන්නේ නැද්ද කියලා. කිසිමදාක නැහැ. හැබැයි මෙතන මිනිස්සු අනූ දෙනෙක් හිටියොත් නම් රණ්ඩු කරාවී... ඒ තරමටම මිනිස්සුන්ට වඩා මේ බල්ලෝ හොඳයි...”

ඒ ශිරූගේ අදහසයි...

“මම කවදාවත් බල්ලන්ව කූඩු කරන්නේ නැහැ. එතකොට උන් සැර වෙනවා. අපි හිරේ ඉන්න ආසාද? නෑ නේද? ඒ වගේ තමා උනුත්  බල්ලන් අතහැරලා හිටියට ඒ අය හැම කෙනාම හඳුනාගන්නවා. එයාලා හැමෝම එකට සෙල්ලම් කරනවා. මේ බල්ලන් හැමෝම ඔපරේෂන් කරලයි තියෙන්නේ...” 

වරක් කාණුවට වැටී කකුල කැඩුණු බල්ලෙකු ශිරු සත්ත්ව රෝහලට රැගෙන ගියේය. එහිදී ප්‍රතිකාර කරගෙන සති දෙකකට පසුව තම නිවසට ගෙන ආවේය. අදටත් කකුල් පණ නැති බල්ලන් දෙදෙනෙක් ද ශිරුගේ නිවසේ ජීවත් වෙති. බල්ලන් අනූවක් පිරිසිදු කිරීම ලේසිපහසු කටයුත්තක් ද නොවේ. සෑම දිනකම බල්ලන් පස් දෙනෙකු හත්දෙනෙකු නෑවීම ද ඔහු අතින් සිදුවෙයි.

සෑම බල්ලෙකුටම ශිරු නම් දමා ඇත. “මැක්ස්, ලේඩී, මාලඹේ (ඒ බල්ලාව ගෙන ආවේ මාලඹේ හන්දියෙන්ය) අම්මී (පන්සලේ පැටව් තුන්දෙනෙක් එක්ක තනිවුණ අම්මා) ටිකිරි, කෙල්ල වැනි නම්වලින් ශිරු බල්ලන්ට කතා කරයි. නමුත් ශිරු ඒ සෑම බල්ලෙකුටම කතා කරන පොදු නම් දෙකක් ඇත. ඒ “බබා” සහ “පුතාය” අපි එම නිවසට ගිය මොහොතේ පටන් මේ බලු සුරතල්ලු අපට ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වූහ. එක වරකට දෙන්නා තුන්දෙනා අපේ ඇඟට නැට්ට වනමින් පැන්නෝය. ඔළුව අතගා සැණින් ඔවුහු ප්‍රතිචාර දැක්වූහ. නමුත් එක මොහොතකදී ශිරු උස් හඬින් “බබා” කිවූ සැණින් ඒ සියල්ලෝම නිශ්ශබ්ද වූහ. පන්ති කාමරයට ආ විදුහල්පතිගේ හඬ මෙන් සියල්ලෝම නිහඬ වූහ.

“මම අවුරුදු විසි එකක් හිටියේ පිටරට. මේ කරන්නේ ඒ ගෙවුණු කාලයේදී මගේ අතින් අතපසු වුණු දේවල්. මම හොඳ රැකියාවක් කළා. හොඳ වැටුපක් ලැබුවා. හොඳට ඉගෙන ගත්තා. මගේ බිරිඳත් හොඳ රැකියාවක් කරන්නේ. මම රටවල් බොහෝමයක සංචාරය කරපු කෙනෙක්. ඒ කාලයේදී මගේ අතින් අතපසු වුණු දේවල් මේ අහිංසක සතුන්ට පිහිට වෙලා සම්පූර්ණ කරගන්න මට ඕනේ. මම ඡායාරූප ශිල්පියෙක්. පිටරට වගේම ලංකාවේ වුණත් විවිධ තැන් සංචාරය කරපු කෙනෙක්. දැන් මට එක දවසක්වත් ගෙයින් පිට ගතකරන්න බැහැ. දරුවෝ ටිකක් වගේ මේ සත්තු මම එනතුරු බලාගෙන ඉන්නවා. මම ගේට්ටුවෙන් එළියට යනකොට මේ හැම සතෙක්ගේම ඇස්වල තියෙන දුක මට දැන් හොඳට හුරුයි. මගේ වාහනයේ හෝන්එක ඈත ඇහෙද්දී මේ සතුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාරය මට කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. දරුවන් ටිකක් වගේ මේ බල්ලන්ට මම දැන් කැපවෙලා ඉවරයි. ඒ හැම දෙයක්ම මම කරන්නේ හරිම සතුටින්.”

ශිරු පවසයි.

ඔහුගේ ඉඩම එතරම් විශාල නැත. අවට වාසීහු බල්ලන්ගේ කෑ ගැසීම ඉවසා ගන්නට බැරිව පොලීසි ගියහ. සෞඛ්‍ය සේවා නිලධාරියෙක් ශිරුගේ නිවෙස ඉදිරිපිටට ආවේය. අසරණ සතුන්ට ජීවිතය කැපකළ ශිරුගේ හිත රිදුණි. සෞඛ්‍ය සේවා නිලධාරියා ඉදිරිපිටදී ඔහු තීරණය ගත්තේය.

“මට බල්ලන්ව ගෙනියන්න තැනක් නැහැ. මම දැන් ගේට්ටුව අරින්නම්. මේ මට අයිති වැඩ නෙමේ. පාරේ ඉන්න බල්ලන්ට එන්නත් කරන්න, උන්ට කන්න දෙන්න මට අයිතියක් නැහැ. මාව උසාවි අරගෙන යනවාට වඩා මේ සතුන්ව මහ පාරට ගෙනත් දාපූ අයව හොයලා උසාවි ගෙනියන්න කියලා මම ඒ මහත්තයාට කිව්වා. මොනවා කරන්නද... මේ කෑ ගැහිල්ල හිසරදයක් කියලා මම දන්නවා. ඒත් මේ අහිංසක සතුන් පව් නේද... දැන් මේ සතුන්ට අලුත් නවාතැනක් ලැබිලා තියෙන්නේ. මම දන්න හොඳ මහත්මයෙක් එක්තරා ප්‍රදේශයකින් පර්චස් පනහක ඉඩමක් මේ සතුන් වෙනුවෙන් මට ලබලා දුන්නා. ඒකේ තාප්පෙ බැඳලා පොඩි ගේ කෑල්ලක් හදාගන්න ඕනේ. ඒකට සෑහෙන මුදල් වැය වෙනවා. ඒ හැමදේම කොහොම හරි කරගන්න ඕනේ. මේ අහිංසක සතුන්ව ආයෙත් මහ පාරට දාන්න මට බැහැ...”

ශිරු පවසයි. පාරේ ඉන්න බල්ලන්ට කෑම දමද්දී ඔහු බොහෝ අත්දැකීම්වලට මුහුණ දුන්නේය. ඇතැම්හු ඔහුට බැණ වැදුණෝය. “පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන්න එපා...” ඔවුහු කීහ. නමුත් ඔහු දිගටම කෑම දුන්නේය. වෙසක් දවසේ, පොසොන් දවසට දන් සැල්වල දිග පෝලිම්ය. එහෙත් අහිංසක සතුන්ට කෑම දෙන එකට ඔවුහු විරුද්ධ වෙති. 

“මට ගහන්න... මට බනින්න... මට කමක් නෑ... හැබැයි මේ අහිංසක සතුන්ට ගහන්නවත්, බනින්නවත් එපා... ඒක මහ පවක්...” ඔහු කියයි.

ශිරු උදෑසන හයට අවදි වෙයි. ඒ වනතුරු බොහෝ බල්ලෝ පසුවන්නේ සැප නින්දේය. ශිරු ඇහැරෙන වෙලාවට දැන් බල්ලන්ට හොඳට හුරුය. යම් හෙයකින් ඒ වෙලාව මඳකට පමා වුවහොත් සියල්ලන්ම කලබල වෙති. තම හාම්පුතාට යම් කරදරයක් දෝයි උන්ට බියක් දැනෙනවා ඇත. නැගිට ගත් විගස ශිරු බල්ලන්ගේ කෑම පිළියෙල කරයි. සෑම දවසකම තුන් පාරක් පමණ ශිරු මුළු නිවසම වතුර යොදා සෝදන්නේය.

බෞද්ධයන් නිවන් දකින්නට පෙරුම් පුරන්නෝය. නමුත් ඒ ඇතැම් දෙනා මේ අහිංසක සතුන් පාරට දමන්නට හවුල වන්නෝ වෙති. නිවෙසේ ඇති දැඩි වූ බැල්ලිය පැටව් දැමූ පසුව මේ පොහොර බෑගයකට දමා උදේ පාන්දර පන්සලක් ඉදිරිපිට ගෙනත් තබන බොහෝ උපාසක මහත්වරු ද විහාරයේ පින් කැටයට කාසි දමා දොහොත් මුදුන් දී වැඳ වැටෙන්නේ අසරණ සතුන්ගේ කෑ ගැහිල්ල අමතක කරමිනි.

ශිරැට ඉලක්කයක් ඇත. ඒ අසරණ සතුන්ට හිමි වුණු ඉඩම් කැබැල්ලේ නිවෙස තැනීමටය. ඔබේ උපන් දිනයකට, දානයකට මේ අහිංසක සතුන් වෙනුවෙන් එක් කෑම වේලකට උදව් කරන්න. එයින් ඔබට පිනක් මෙන්ම හිතට සැනසීමක් ද ගෙනඒවී. ඔහුගේ දුරකතන අංකය - 0710114401 

(විශේෂ ස්තූතිය නිරංජලා සරෝජනී සහ අනුරාධා නන්දසිරි කලාශිල්පිනියට)

I සටහන - දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30