2019 මාර්තු 09 වන සෙනසුරාදා

පාසල් ඇතුළට රිංගන කුඩු නොවන මත්ද්‍රව්‍ය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 8

අද වනවිට මෙරට මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම විද්‍යුත් මාධ්‍යයේද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ පුවතක් වරදින්නේම නැත. ඒ තරමටම අද මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවෙමින් පවතී. පසුගිය දිනක මෙරට මුද්‍රිත මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබුණේ ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය 648ක් පමණ රට තුළ පවතින බවය. එමෙන්ම මෙරට පිරිමි ජනගහණයෙන් 35%ක පමණ ප්‍රමාණයක් මතට ලොල් වී සිටින අතර 65,000කට අධික පිරිසක් හෙරොයින් භාවිතය සඳහා හුරුවී සිටින බවද සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

මෙරට මෑතක් වන තුරුම මත්ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන සාමාජිකයා වශයෙන් ගංජා සහ අබිං සැලකිය හැකි වුවද මීට දශක දෙකකට පමණ පෙර ඉතා ප්‍රබල මත්ද්‍රව්‍යයක් වූ හෙරොයින් භාවිතය ආරම්භ විය. ඉන්පසුව කොකේන්, ටැබ්ලට්, මුද්දර, මත්වන බාබුල් වැනි බුලත්විට ක්‍රමක්‍රමයෙන් මෙරට සමාජයට විටින්විට රිංගාගත් අතර එම මත්ද්‍රව්‍ය අද වනවිට රටෙහි පාසල් තුළටද ඇතුළු වී හමාරය. එහෙත් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳ සොයා බැලීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.

සමාජය තුළින් උපත ලබා මුළු සමාජයටම අහිතකර ලෙස බලපෑම් කරන්නා වූද, වැඩි දෙනෙක් තුළ නිරතුරු අවබෝධයක් ඇත්තා වූද, එකී අහිතකර සමාජ වාතාවරණය වෙනස් කිරීමේ ඕනෑකමක් ඇත්තා වූද, ගතික සිදුවීම් මාලාවක් සමාජ ප්‍රශ්නයක් වෙයි. මෙයට අනුව මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයද සමාජ ප්‍රශ්නයක් වී හමාරය.
එමෙන්ම මෙරට තුළ මත්ද්‍රව්‍ය මේ ආකාරයට පැතිරයාම සම්බන්ධයෙන් රටේ සංචාරක ව්‍යාපාරයද බෙහෙවින් වගකිව යුතු අතර සංචාරක ව්‍යාපාරය තුළ පවතින ලිහිල්භාවය මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි කිරීමට උපයෝගී වන මාධ්‍යයක් බවට පත්වී ඇත. වර්තමාන සමාජයේ ඇතැම් මව්පියන්ට ඇති කාර්යබහුලත්වය නිසාම සිය දරුවන් ගැන සොයා බැලීමට කාලයක් නොමැති බවත් එවැනි වටපිටාවක් තුළ අන්තර්ජාලයේ විවිධ කණ්ඩායම් හරහා සබඳතා ගොඩනගා ගනිමින් ඇතැම් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවන බවත් වෛද්‍යවරු පවසති.

මේ වනවිට රට පුරා තිබෙන ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය පිළිබඳව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ කාර්යසාධන බලකායේ සමන්ත කිතලවආරච්චි මෙසේ කියයි.

“ලංකාව පුරා දැනට පාසල් දරුවන් මෙන්ම වත්මන් සමාජය ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය වර්ග 600කට වැඩි ප්‍රමාණයක් භාවිත වන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය විසින් හඳුනාගෙන තියෙනවා. මෙහි භයානකත්වය තියෙන්නේ මේ දරුවන් ඉලක්ක කරගෙන බොහෝවිට පැණිබීම වර්ග, දරුවන්ගේ කට ඇතුළේ අලවාගන්න පුළුවන් ස්ටිකර් වර්ග, ඇතැම් මත්වන පුවක් වර්ග මෙන්ම ටොෆි වර්ග තිබීමයි. බොහෝ වෙලාවට සිසුන් මෙන්ම සමාජයේ බොහෝ දෙනකු මේවාට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් පවතිනවා.

විශේෂයෙන්ම මව්පියන්ට කිව යුතුයි, තරුණ වයසේ දරුවන් මේ ගැන දැනුම්වත් කිරීම කළ යුතුයි. ඒ වගේම තමයි බොහෝ පාසල්වල ඇතැම් සිසුවියන් මෙන්ම තරුණ වයසේ දූවරුන් පවා මත්ද්‍රව්‍යවලට පෙළඹිලා ඉන්නවා කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා නිරතුරුවම මව්පියන් තමන්ගේ දරුවන් ගැන නිරතුරු විමසිල්ලෙන් සිටීම වැදගත්.”

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විද්‍යාත්මක පර්යේෂණ ඒකකයේ ප්‍රකාශිකාවක් මෙරට තුළ තිබෙන ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය.

“මේ වනවිට මත්රකුසා රට පුරාම තරුණ තරුණියන් කෙමෙන් කෙමෙන් බිල්ලට ගනිමින් ඉන්නවා. රට පුරා හෙරොයින් භාවිත කරන පිරිස අභිබවමින් වෙනත් මත්‍ද්‍රව්‍ය සඳහා යොමුවන පිරිස වැඩිවන බවත් පේන්න තියෙනවා. අපි කළ සමීක්ෂණයකට අනුව, පාසල් යන වයසේ දරු දැරියන් තමයි මේ අනෙකුත් මත්ද්‍රව්‍යවලට වැඩියෙන් පෙළඹෙන්නෙ. මත්වන පුවක් වර්ග, ටොෆි, දිව යට තියන මුද්දර, මත්පෙති, කැස්සට බොන පැණි ආදී විවිධ මත්ද්‍රව්‍යවලට මේ වනවිට එම දූ දරුවන් පෙළඹී සිටිනවා. පාසල් තුළට මෙවැනි මත්ද්‍රව්‍ය පැමිණීම ගැන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම තමයි මව්පියන් කොතරම් කාර්යබහුල වුණත් සිය දරුවන් පිළිබඳව අනිවාර්යයෙන්ම අවධානයෙන් පසුවිය යුතුයි. එහෙම වුණොත් පමණයි මේ මත්රකුසාගෙන් තරුණ පරපුර මෙන්ම පාසල් දරුවන් ගලවා ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ.”

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට වන හානිය වළක්වා ගැනීමට අප විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආගමික පැත්තෙන් සිදුවන කාර්යභාරය වටහා ගැනීමයි. එමගින් මත්ද්‍රව්‍ය පිටුදැකිය හැකි ආකාරයේ සමාජීය පසුබිමක් මෙරට තුළ ගොඩනැගිය යුතුය. එමෙන්ම තරුණ තරුණියන් තුළ මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳ දැනුවත්භාවයක් ඇතිකර ගුණාත්මක සංවර්ධනයක් සඳහා ඔවුන් පෙළඹවිය යුතුය. මේ සඳහා ඵලදායී පියවර ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි.

 හසිත් අංජන

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30