2019 මාර්තු 09 වන සෙනසුරාදා

සිරුරේ බරට දන් දෙන තිරුපති තුලාභාර පූජාව

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 604

අප රටේ නායකයන් බලය රැකගැනීමට යන ප්‍රධාන දෙවොල ඉන්දියාවේ තිරුපති දේවාලයයි. මහජනතාවට විවිධ පොරොන්දු දෙමින් බලයට පැමිණ ඊට පසු මහජනතාව අමතක කර දමා බලය රැකගැනීමට උත්සාහ කරන්නේ තිරුපති දේවාලයේ දේවාශිර්වාද ලබා ගැනීමෙනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ ද තිරුපති වන්දනා කළ නායකයෝ වෙති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 3දා ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි තිරුපති වන්දනාවට ගියේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟිනි. කොළඹ සිට චෙන්නායි බලා ගුවනින් ගිය අග්‍රාමාත්‍යවරයා එහි සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් ආන්ද්‍රා ප්‍රදේශ්හි තිරුපති ගුවන් තොටුපළ වෙත ගොස් තිබේ. ආන්ද්‍රා ප්‍රදේශයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එම ප්‍රාන්තයේ කර්මාන්ත ඇමැති එන්. අමරාන් රෙඩි ප්‍රමුඛ නිලධාරි පිරිසක් විසිනි.තිරුපති කෝවිලට ගිය අගමැතිවරයා පිළිගැනීමට එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර් සිං ප්‍රමුඛ නිලධාරින් පිරිසක් පැමිණ සිටියහ. මෙවර අගමැතිවරයා තිරුපති වන්දනාවට ගියේ සිව්වැනි වරටය. ඔහු මෙයට පෙර 2002, 2016, 2018 යන වර්ෂවල මෙහි දේවාශිර්වාද ලබාගෙන තිබේ.

මෙවර අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ විශේෂත්වය නම් බරට බරක් දන්දෙන (තුලාභාර) හෙවත් තුලාබරම් පූජාවකට ද ඔහු සහභාගීවීමයි. තිරුපති දේවාලයට පැමිණෙන බොහෝ ප්‍රභූන් ඉටුකරනා මෙම පූජාවේ විශේෂත්වය නම් තමාගේ යම් ප්‍රාර්ථනාවක් ඉටුකර ගැනීමට තරාදියක නැගී එම බරට සමාන ධනයක් දෙවොලට පූජා කිරීමයි. රන්කාසි, මුදල්, පූජා ද්‍රව්‍ය, කෙසෙල්, සීනි, හකුරු, තුල්සි කොළ ආදිය එහිදී පූජා කෙරේ. දේවාලයේ ඒ පූජාවටම වෙන්වූ මිනිසකුට නැගිය හැකි ප්‍රමාණයේ තරාදියක් ද සකසා තිබේ. අලුත උපන් දරුවන් උදෙසා ද මෙම පූජාව බහුලව සිදුකෙරේ.

තුලාභාර දානය ඉන්දියාවේ පමණක් නොව පුරාණයේ ශ්‍රී ලංකාවේද නායකයන් අනුගමනය කළ බවට සෙල්ලිපි සාධක ලැබී තිබේ. එවැනි තුලාභාර දාන ලබාදුන් ප්‍රකට පාලකයෙකි පොළොන්නරු යුගයේ රජ කළ කීර්ති නිශ්ශංකමල්ල (1187-1196). ඉන්දියාවෙන් පැමිණ මෙරට රජකම ලබාගත් ඔහු තුලාභාර දාන ලබාදී ඇත්තේ තම ත්‍යාගශීලීත්වය ජනතාව අතර ප්‍රචලිත කර හොඳ නම රැකගැනීමටය. ඉන්දියාවේ තුලාභාර දීම ජනප්‍රියව පැවති නිසා කාලිංග වංශිකයකු වූ ඔහු ද එය අනුගමනය කරන්නට ඇති බව පෙනේ. ඔහු සිය අගමෙහෙසිය වූ කාලිංග සුභද්‍රා සහ පුතණුවන් වූ වීරබාහු කුමරු ද සහභාගී කරගෙන ඔවුන්ගේ බරට දෙන ලද තුලාභාර දාන හතරක් ගැන කලා ක්‍රීඩා විනෝද ගල් ආසන ලිපියෙහි සඳහන්ය. 

හැටදාගේ ද්වාර මණ්ඩප සෙල්ලිපියෙහි තුලාභාර දාන 8ක් ගැන සඳහන්ය. දකුණු ඉන්දිය ආක්‍රමණය අවසානයේ දී ජයග්‍රාහී ලීලාවෙන් දෙන ලද තුලාභාර දාන පිළිබඳව නිශ්ශංකමල්ලගේ බොහෝ සෙල්ලිපිවල සඳහන්ය. අවුරුදු පතා පස් තුලාභාරයක් බැගින් ඔහු තෑගි දුන් බව කන්තලේ ගල් ආසන ලිපියෙහි සඳහන්ය. අප රටේ මෑතකදී තුලාභාර දානයක් දුන් බවට සඳහන් වන්නේ නම් පසුගියදා තිරුපතිහි එම පූජාව කළ අගමැතිවරයා පමණි.

තිරුපති දේවාලයට භාරහාර වීමෙන් සිතූ දේ ඉටුවන බවට දැඩි විශ්වාසයක් ඉන්දීය ජන සමාජයේ පමණක් නොව ලංකාවේ දේශපාලනඥයන් අතර ද පවතින බව ඒ වෙත වන්දනාවේ යාමෙන් පෙනේ. ඉන්දියාවේ නම් ජාති - පළාත් භේදයකින් තොරව කවුරුත් තිරුපති පැමිණ භාරහාර වෙති.

තිරුපති කෝවිල ප්‍රසිද්ධ මතු බුදුවීමට නියමිත බව පැවසෙන විෂ්ණු හෙවත් වෙන්කටේෂ්වර දෙවිදුන් ජීවමානව වැඩසිටින පුදබිමක් වශයෙනි. වෛෂ්වන බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව විෂ්ණු දෙවිදුන් ලෝකයේ අවසන් කාලය ගත කරන්නේ මෙහි සිටය. තිරුපති ප්‍රධාන කෝවිල වටා පිහිටා ඇත්තේ සප්තගිරි නමින් හැඳින්වෙන කඳු හතකි. ඒවායේද විෂ්ණු දෙවියන් හා සම්බන්ධ දේවාල හතක් පිහිටා තිබේ. නන්දි, නීලා, ගරුඬා, ශේෂාගිරි, විෂ්ණු ගිරි, කලියුග විෂ්ණු හා හනුමා එම දේවාල හතයි.
තිරුපති හෙවත් තිරුමාලා කෝවිලේ වාර්ෂික උත්සව ගණනාවක් පැවැත්වේ. ඒ මහාවිෂ්ණු හෙවත් සිරි නිවාස බලාජී නමින් හැඳින්වෙන දෙවියන්ට උපහාර ලෙසිනි. සැප්තැම්බරයේ පැවැත්වෙන බ්‍රහ්මෝත්සවය මෙහි ප්‍රධාන උත්සවයයි. වසන්ත උත්සවය මාර්තු, අප්‍රේල් මාසවලත් තෙසපත්මි උත්සවය පෙබරවාරිවලත් පැවැත්වේ.

තිරුපති බැතිමතුන් දෙවියන්ට භක්තිය පෙන්වන තවත් විධියක් නම් කොණ්ඩය බූගා දැමීමයි. මෙසේ දෙවියන්ට පුදන කොණ්ඩා අලෙවියෙන් විශාල ආදායමක් කෝවිලට ලැබේ. දිනකට කෙස්කළඹ ටොන් එකක් පමණ එකතු වන බව පැවසේ.
නයිවේධයම් ලෙස හඳුන්වන පූජාවේදී කෙරෙන්නේ දෙවියන්ට ප්‍රසාද ලෙස ආහාර පූජා කිරීමයි. ඒ අතරින් ප්‍රධානත්වය ගන්නා ලඩ්ඩු, තිරුපති ලඩ්ඩු ලෙස හැඳින්වෙන අග්ගලා විශේෂයකි. විෂ්ණු දෙවියන්ට පූජා කරන අග්ගලා, ආපසු බැතිමතුන්ගේ අනුභවය සඳහා ලබාදේ. මුදවපු කිරි දැමූ බත්, පුලිඔහොරා බත්, වඩේ සහ පැණි පොංගල් පිදීම ද සිදුවේ. දෙවියන්ට ආහාර පූජා කරන අතරම බැතිමතුන්ට ද කෝවිලෙන් නොමිලේ ආහාර ලබාදීම සිදුවේ.

හුන්ඩි ලෙස හැඳින්වෙන පූජාව මුදල් මුට්ටියක් පූජා කිරීමයි. දේවකතා අනුව විෂ්ණු දෙවියන් පද්මාවතී දේවිය සමඟ විවාහයේදී කුබේර සහ විෂ්වකර්ම දෙවියන්ගෙන් කාසි ණයක් ලබාගෙන තිබේ. එම ණය ගෙවීම සංකේතවත් කිරීම සඳහා තිරුපති පැමිණෙන බැතිමතුන් මුදල් පිරවූ මුට්ටි දෙවොලට පූජා කරති. දිනකට එලෙස එකතු වන මුදල ඉන්දියන් රු. මිලියන 22.5කි. (එය රු. මිලියන 50කට ආසන්න මුදලකි.) ලොව විශාලම ධනයක් උපයන කෝවිල ද තිරුපතිය. එහි වාර්ෂික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2000කි. බොහෝ බැතිමතුන් මුදල් සහ රන්ආභරණ එයට පූජා කරති.

මෙහි මුලින්ම දේවාලයක් කතා ඇත්තේ ක්‍රි.ව. 8 වන සියවසේ බව පැවසේ. ඒ තොන්ඩයිමන් නම් ද්‍රවිඩ රජකෙනෙකු විසිනි. ඔහුට විෂ්ණු දෙවියන් සිහිනෙන් දර්ශනය වී පැවසූ ස්ථානයේ දේවාලය ගොඩනැගූ බව පුරාවෘත්තවල සඳහන්ය.
දේවාලයේ ඇති දේව ප්‍රතිමාව අඩි 9ක් උසය. දිනපතා පිළිමය සුවඳ පැන්වලින් සහ කිරිවලින් නාවා වස්ත්‍ර අන්දවා මල් සහ සුවඳ දුම් ඇල්ලීම සිදුවේ. පිළිමය සරසන පූජා ද්‍රව්‍ය දේවාලයේ. සිට කී.මී. 22ක් දුර පිහිටි රහසිගත ගම්මානයක සැකසෙන බව පැවසේ. ක්‍රි.ව. 11-12 සියවස්වල විසූ රාමනුජාචාර්ය නම් ඉසිවරයා නියම කළ වතාවත් අදටත් එලෙසම දෙවොලේ සිදුකෙරේ. දිනපතා පූජාව අලුයම 3.00ට පැවැත්වෙන අතර දෙවියන් නින්දට යාමේ පූජාව අලුයම 1.00ට පැවැත්වේ. 

දෙවොල වන්දනාමාන කිරීමටත් දෙවියන්ගේ දර්ශනය නැරඹීමටත් දිනපතා 50000-100,000ත් අතර බැතිමතුන් පිරිසක් පැමිණෙති. එය වසරකට මිලියන 30-40ක් අතර ජනතාවකි. එහෙත් මෙහිදී ද ප්‍රභූවරුන් හෙවත් බලය ඇත්තන්ට නම් බෙදන්නේ වෙනත් හැන්ඳකිනි. සාමාන්‍ය ජනයා දිගු පෝලිම්වල සිටගෙන සිටින අතර ප්‍රභූවරුන්ට වෙනම වී.අයි.පී. පෝලිමක පහසුවෙන් ගොස් දෙවියන් වන්දනා කිරීමේ භාග්‍යය හිමිවේ. තිරුපති එන ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල ද ඉන්දියාවේ ද දේශපාලනඥයන්ට අවශ්‍ය දෙවියන් ලවා මැතිවරණ ජයග්‍රහණය කර ගැනීමයි. ජය ලැබීමෙන් පසු පැමිණ ශරීරයේ බරට රන් හෝ කාසි පූජා කර බාර ඔප්පු කිරීම ද දැකගත හැකිය. තිරුපතිවලට නුදුරින් පිහිටි දියඇල්ල හඳුන්වන්නේ පාප විනාශක දියඇල්ල ලෙසය. මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් කළ පව්වලින් නිදහස් වීමට අවස්ථාව ලැබෙන බවට ද විශ්වාසයක් පවතී.

► කුසුම්සිරි විජයවර්ධන