2019 මාර්තු 09 වන සෙනසුරාදා

කෝටි 700 දියමන්තිය සොයා ගිය ගමන

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 354

මාකඳුරේ මධූෂ් යනු මෙරට සිටින දරුණුතම අපරාධකරුය. එයට හේතු ගණනාවක් ඇත්තේය. කුලියට මිනීමරන්නට ඔහුට හැකිය. රටටම කුඩු දෙන්නේ ඔහුය. එපමණක් නොව රටපුරා විහිදුණු පාතාල ජාලයක ප්‍රධානියා ඔහුය .ඒ නිසා ඔහුට තරාතිරම අදාළ නැත. ඔහුට විරුද්ධ ඕනෑම අයකුට උත්තර දෙන්නේ පිස්තෝල උණ්ඩ වලිනි.

එපමණක් නොව මෙරට ආරක්ෂක අංශයේ ඇතැම් ලොකු ලොක්කන්ගේ සුඛ විහරණය සඳහා නොකරන දෙයක් නැත. එතැනින් නවතින්නේ නැත, මෙරට සිටින ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සිට ජාතික දේශපාලනය කරන ඇතැම් පිරිසකගේ ගජ මිතුරාය. ඇතැම් අයට මුදලින් පවා උදව් උපකාර කළ මධූෂ් මෙතෙක්කල් රජකම් කළේ ඒ හැමදෙනාගේම හයියෙන්ය. තවමත් ඒ රජකම්වල අවසානයක් නැත. තවමත් මධූෂ්ගේ ගෝලයෝ ලේ ඉව අල්ලමින් තැන් තැන්වල සැරිසරති. ඒ වියරු වැටුණු යක්ෂයන් ලෙසය.

කෙසේ වෙතත් මධූෂ්ගේ බත් කෑ බොහෝ ලොකු ලොක්කෝ අද ඉන්නේ “ඇටි කෙහෙල් කෑ උගුඩුවන්” ලෙසය. එසේ ඉන්නා අයට කියන්නට ඇත්තේ හැකි ඉක්මනින් ඒ අයගේද නම් ගම් ලැයිස්තු පිටින් එළියට දමනා බවය. එදාට ඔය සිල් රකින මධූෂ්ගෙන් යැපුණු ආරක්ෂක අංශයේ සමහර අයත්, තක්කඩි දේශපාලනඥයනුත් රට හමුවේ ඇත්ත කිවයුතු වනු ඇත. එහෙත් පුදුමය නම් දැනට නම් ගම් එළියට ආ ඇත්තෝද ගල්පැලෙන බොරැ කියමින් සුද්දවන්තයන් වීමට පෙරුම් පිරීමය.

මධූෂ්ගේ සම්බන්ධතා තාවකාලිකව පැත්තකින් තබා මේ කියන්නට යන්නේ මධූෂ් විසින් ඉතාමත් සූක්ෂම ලෙස සිදුකළ කොල්ලයක් ගැනය. පසුගිය කාලය පුරාම රටේම ආන්දෝලනයට තුඩුදුන් කෝටි 700 දියමන්ති කොල්ලය පසුගියදා අකුරක් නෑර හෙළිවිය. ඒ අහඹුවකින්ය. එය මෙසේ දිග හරිමු.

කැලණිය කොට්ඨාස විශේෂ කාර්යංශයට පසුගිය දිනක තොරතුරක් ලැබුණේය. ඒ මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය සජීවීව ඩුබායි සිට නැරඹීම සඳහා තාක්ෂණික කටයුතු සිදුකළ පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ ජීවත්වන බව කියාය. ඔහු හේමාල් නැමැති අයෙකි. ඒ අනුව කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ කණ්ඩායමක් ගොස් හේමාල්ව අත්අඩංගුවට ගන්නේය. එසේම මෙහිදී මධූෂ්ගේ පියාගේ මරණ ගෙය සංවිධානය කළ කසුන් නැමැති පුද්ගලයෙක්ද පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගත් හේමාල්ගෙනුත් කසුන්ගෙනුත් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හේමාල් මෙතෙක් හෙළි නොවූ කතා කිහිපයක් කීවේය. එනම් මධූෂ් තම පියාගේ අවමඟුල පමණක් නොව මධූෂ් කණ්ඩායම විසින් කොල්ලකන ලද කුඩු කිලෝ 128 කොල්ලයද, දියමන්ති කොල්ලයද ඩුබායි සිට සජීවීව නරඹා ඇති බවය. ඒ සියල්ලෙහි තාක්ෂණික කටයුතු සිදුකළේ තමා බව ඔහු පිළිගත්තේය. මේ අතර කසුන් තවත් කතාවක් හෙළි කළේය. ඒ මෙම සියලු දෑ පසුපස මධූෂ්ගේ දකුණු අත ලෙස සිටියේ කසුන්ගේ බාප්පා කෙනෙකු වූ කැළුම් නොහොත් කැවුමා බවය. කැවුමා සියලු මෙහෙයුම්වල සහ මධූෂ්ගේ මත්කුඩු ජාවාරමේ මහමොළකරු බව හඳුනගැනීමට හැකිවිය. ඒ අනුව පොලීසිය කැවුමා සොයා මෙහෙයුමක් දියත් කළේය. මේ අතර පසුගිය සති අන්තයේ රාත්‍රියක කැවුමා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලීසියට කොටුවිය. කැවුමා අත්අඩංගුවට ගෙන පොලීසිය වාහනයට නංවාගත් සැනින් ඔහුට මුත්‍රා පිට වී තිබිණි. අවසානයේ කැවුමා පොලීසියට රැගෙන එනු ලැබීය.

එසේ රැගෙන ආ කැවුමාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය. ආරම්භයේ කිසිත් නොකී කැවුමා පසුව කතාව කීවේය. එනම් කෝටි 700 දියමන්තිය තමා සන්තකයේ තිබෙන බවත් එය මධූෂ්ට යැවීමට නොහැකි වූ බවත්ය. එහෙත් කොල්ලකෑ මැණික් ගල් ටික කාන්තාවන් දෙදෙනකු හරහා ගුවනින් මධූෂ් වෙත යැවූ බව කැවුමා පිළිගත්තේය.

කැවුමාගේ ප්‍රකාශය අනුව පොලිස් නිලධාරීහු කැවුමා ජීවත් වූ පානදුර කෙසෙල්වත්ත නිවස පරීක්ෂා කළහ. එහි අල්මාරියක තිබී දියමන්තිය සොයාගැනීමට හැකිවිය. එසේම ඊට අමතරව යුධ හමුදා ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, උණ්ඩ විශාල ප්‍රමාණයක්, දුරකථන සිය ගණනක් සොයා ගැනීමට හැකිවිය. මේ අතර වත්තේ වළ දමා තිබී රුපියල් කෝටියකට අධික මුදල් තොගයක්ද සොයාගත්තේය. ඒ අනුව කැවුමාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මධූෂ්ගේ කුඩු ව්‍යාපාරයේ මුදල් එකතු කළේ තමන් බවත් එම මුදල් උණ්ඩියල් (හවාලා) ක්‍රමය හරහා මධූෂ්ට යැවූ බවත් ඔහු කීය. එක් දිනක ආදායම ලක්ෂ 37 කට එහා බවද ඔහු මෙහිදී හෙළි කළේය.

මෙහිදී අපූරු සිද්ධියක්ද අනාවරණය විය. එනම් රුපියල් ලක්ෂ 37ක් වැයකර රූපවාහිනී නාළිකාවකින් ප්‍රසිද්ධ වූ ජ්‍යෝතිෂවේදියකුගෙන් ආරක්ෂාව සඳහා සුරයක් සාදවා ගැනීම ගැනය. එය සිංහ තෙල් යොදා සකස් කළ විශේෂ ආරක්ෂිත සුරයක් වූ බවත් ඒ හරහා ආරක්ෂාව ලැබෙන බවත් පවසා තමාට ලබාදුන් බව කැවුමා කියා ඇත. එහෙත් පොලීසියට කැවුමා පමණක් නොව සුරයද අසුවිය. මෙය රටේ නැති ආරක්ෂා පළඳින හැමෝටම හොඳ පාඩමක් විය. මෙම සුරය පැළඳ ඇත්තේ සතියක් පළතුරු පමණක් අනුභව කොට කිරිවලින් නැහැවීමෙන් පසුවය. ඒ තරම් මේ සඳහා කැවුමා පේවී ඇත.

කෙසේ වෙතත් මේ අතර කැවුමා දියමන්තිය සොරාගත් හැටි හෙළි කළේය. මධූෂ් ඩුබායි සිට ඇමතුමක් ලබාදී පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු දියමන්තියක් සොරාගන්නා ලෙස දැනුම් දී ඇත. මේ සඳහා සැලසුම මධූෂ් විසින් සකසා ඇති අතර එම දියමන්තිය බැලීම සඳහා ඕස්ට්‍රියානු ජාතිකයෙක් මධූෂ් මේ සඳහා යොදා ගනු ලැබීය. එසේම සොරකම වී අදාළ දියමන්තිය කැවුමාට ලැබෙන තෙක් සජීවීව එය මධූෂ්ට පෙන්වීම සඳහා කටයුතු හේමාල් සිදුකළේය. එසේම මෙම කොල්ලය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි කරගත් අතර එක් කණ්ඩායමක් මීගමුවෙන්ද අනෙක් කණ්ඩායම මාතර මල්ලිගේ කණ්ඩායමද, අනෙක් කණ්ඩායම කැවුමාගේ කණ්ඩායමද වූහ. එහෙත් මීගමු කණ්ඩායමට කොල්ලයට සහභාගි වීමට නොහැකි වූ අතර මාතර මල්ලීගේ පිරිස පොලිස් ඇඳුමින් සැරසී නිවසට කඩා පැන්නේය. එසේ කඩා පැන ඕස්ට්‍රියා ජාතිකයාව මාංචු දමා දියමන්තියත් මැණික් ගල් කිහිපයත් රැගෙන පලා ගියේය.

එසේ පැහැරගෙන ගිය දියමන්‍තිය කිහිපවිටක් මධූෂ්‍ට යවන්න උත්සාහ කළත් එය සාර්ථක වී නැත. අවසානයේ මධූෂ් පවසා ඇත්තේ එය සඟවා තබන ලෙසය. ඒ අනුව එය සඟවා තබාගෙන ඇත. දියමන්තියක් ආරක්ෂා කරන්න තරම් ඔහු සබඳතාවය මධූෂ් සමඟ ගොඩනගාගෙන ඇත්තේ මීට වසර ගණනාවක පෙර සිටය. ඒ දෙදෙනා 2000 වසරේදී බසයක වැඩකර ඇති අතර එහි රියදුරු මධූෂ් වී ඇති අතර කැවුමා කොන්දොස්තර වී තිබේ. එම මිතුදම හේතුවෙන් දෙදෙනා නොයෙකුත් මංකොල්ලකෑම් සඳහා තල්ලු වී ඇති අතර අවසානයේ 2005 වසරේදී කැවුමා අවුරුදු 10කට සිරගත වී ඇත. 2015 කැවුමා නැවත එළියට එනවිට මධූෂ් ඩුබායිවලට පැන ගොස්ය. එහෙත් නොබිඳෙන මිත්‍රකම නිසා මධූෂ් කැවුමාට සිය මත්‍ද්‍රව්‍ය ජාවරමේ සියලු කටයුතු පවරන්නේය.

එසේම මේ දියමන්ති කතාවේ තවත් බොරුවක්ද හෙළි වී තිබේ. එනම් මේ දියමන්තියේ හිමිකරුගේ කතාවය. කිසිදු සාක්ෂියක් නොමැති දියමන්තිය ගැන ඔහු පොලීසිය හමුවේ පවසන්නේ පට්ටපල් බොරැවක්ය. ඔහු මීට වසර ගණනාවකට පෙර ඩුබායිහි සේවය කරන සමයේ දිනක් මුත්‍රා කිරීමට එළියට ගොස් ඇත. ඒ රාත්‍රී කාලයකය. එසේ ගොස් මුත්‍රා කරන විට දිලිසෙන ගලක් දැක ඇත. පසුව ඒ අසලින් සලකුණක් තබා ඊට පසුදින ගොස් බැලීමේදී දියමන්තියක් බව ඔහු හඳුනාගෙන ඇත. පසුව එය ලංකාවට ගෙනා බව එහි හිමිකරු පවසයි. එය කෙතරම් සත්‍යද අසත්‍යද යන්න ඔබට සිතාගත හැක. කෙසේ වෙතත් දියමන්තියේ හිමිකරු ඔහුය. ඒ නිසා අයිතිකරැට නොදන්වා ගැනීම සොරකමකි. මෙම මංකොල්ලය එහෙයින් සාධාරණය කළ නොහැක. කෙසේ වෙතත් මෙම දියමන්තිය කපා රැගෙන යාමට කිහිපවිටක් සැලසුම් දියත් කළත් එය සාර්ථක වී නැත. ඒ නිසා මධූෂ් විසින්ම කටකතාවක් ප්‍රචාරය කළේය. ඒ දියමන්තිය රැගෙන ගොස් ඇති බවය. එහෙත් අවසානයේ බඩුත් එක්ක හොරා අහු වී තිබිණි.

මේ වනවිට පාතාලයෙන් ලැබෙන තොරතුරු අනුව මධූෂ්ගේ හොරොයින් තොගයක් කොළඹ ප්‍රදේශයක සඟවා ඇති බව දැනගන්නට ඇත. එය ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන බව රහසක් නැත. එහෙත් එය කොහේ සැඟවා ඇත්දැයි සොයාගෙන නැත. එහෙත් ඒ හොරොයින් තොගය කොළඹ එක්තරා තැනක සඟවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් මේ අතර මධූෂ්ට එරෙහි ප්‍රබලම ඔත්තුකරු වී ඇත්තේ වෙලේ සුදාය. වෙලේ සුදා විවිධ ඔත්තුකරුවන් මාර්ගයෙන් ඔත්තු සපයයි. ඒ ඔහුට හිතවත් පොලිස් නිලධාරීන්ටය. දැනගන්නට ඇති පරිදි සුදා ඇතැම් අයට හොඳ හැටි සලකා ද ඇත. ඒ නිසා දැන් ඇත්තේ මධූෂ්ගේ විෂ දළ කැඩීමට වඩා සුදාට වඩා ඉදිරියෙන් මධූෂ්ට යාමට ඉඩ ලබා නොදීමේ තරගයකි. ඒ සඳහා සුදා නිදිවරාගෙන වෙහෙසෙන්නේය. පහුගිය කාලය පුරාම මධූෂ් නිසා සුදාට හෙරොයින් ජාවාරම නිසිලෙස කරගෙන යාමට නොහැකි වීම නිසා සුදා අසරණ වී සිටියේය. ඒ නිසා දැන් සුදාගේ වාරය පැමිණ ඇත. සුදා එයින් ඕනෑවටත් වඩා ප්‍රයෝජන ගන්නේ හැමෝගෙම කනෙන් රිංගමිනි. ඒ නිසා මෙහෙයුම් කරන නිලධාරින්ටත් ලොකු ලොක්කන්ටත් කීමට ඇත්තේ මධූෂ්ගේ කුඩු පමණක් නොව වෙලේ සුදාගේ කුඩුද හෙරොයින් බවය. එසේ නැතිව සුදා ඔත්තු සැපයීම නිසා ඔහුට වට්ටම් ලබාදිය නොහැක. 

එසේම මේ කිසිත් නොදන්නා ලෙස හැසිරෙන ඇතැම් දේශපාලනඥයන්ටද පැවසීමට ඇත්තේ මධූෂ් කොටුවීමෙනුත්, සුදා එල්ලුම්ගහට යෑමෙනුත් තමන් බේරැණා යැයි සිතන්නේ නම් එය වැරදි හැඟීමක් බවය. කොයි වෙලේ හෝ කළ කරුම පස්සෙන් එනු ඇත.

 ගයාන් ගාල්ලගේ

මොනවද මේ දියමන්ති!

කෝටි ගණනක් වටිනා දියමන්තියක් පිල්ලි යැවීමත් සමඟ දැන් දියමන්ති පිළිබඳ කතාබහක් ඇතිව තිබේ. දියමන්ති යනු කාබන් මූලද්‍රව්‍ය මගින් තැනුණ දැඩි ඛනිජයකි. එනිසා දියමන්ති අඟුරුවලටත් මිනිරන්වලටත් ඉතා සමානය. මිනිසා උපදින්නට බොහෝ කලකට පෙර මහ පොළොව මත දියමන්ති ඉපැදී තිබේ. පොළෝ ගැඹූරේ ඇති මෙම ඛනිජය  දැඩි බවෙන් වැඩිම ඛනිජය නිසාම එහි නොසැලෙන ගුණය ගැන සලකා වජ්‍ර යන නම ලබාදී තිබේ. ඉංග්‍රීසි ඌරුවට සැදුණු ලතින් බසින් බිඳී ආ දියමන්ති වදනේ තේරුමද නොකැඩෙන නොසැලෙන යන අර්ථයයි.

පොළොව තුළ වැඩිම ස්වභාවික දියමන්ති ප්‍රමාණයක් අඩංගු වී ඇත්තේ ඉතා අධික පීඩන සහ අධික උෂ්ණත්ව තත්ත්වයන් යටතේ පොළොව මතුපිට සිට ගැඹුර කිලෝමීටර 140ත් 190ත් අතරය. ලෝහ අඩංගු කාබන් මගින් ඒවාට කාබන් ප්‍රභවය සපයන අතර වර්ධනය අවුරුදු බිලියන 1 සිට අවුරුදු බිලියන 3.3 දක්වා කාලයක් පුරා සිදුවෙමින් පවතී (පොළොවේ ආයුෂ කාලයෙන් 25%ත් 75%ත් අතර කාලයකි). දියමන්ති පොළොව මතුපිටට ගෙන එනු ලබන්නේ ගැඹුරු ගිනිකඳු විදාරණය වීමෙන් පසු සිසිලනය වන ගින්නෙන් සෑදුණු ගල් මගිනි. ස්වාභාවිකව ලැබෙන දියමන්තිවලට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘත්‍රිම දියමන්තිද තිබේ. ලංකාව තුළද දියමන්ති ඇතත් හමුවන්නේ කලාතුරකිනි.

දියමන්ති කැපීම සහ ඔප දැමීම කලාවක් මෙන්ම විද්‍යාවකි. දියමන්තියේ දීප්තිය ඇති වන්නේ ඒ මත වැටෙන ආලෝකය විවිධ අතට පරාවර්තනය වීමෙන් වන අතර කපා ඔප දැමීම අනුව දියමන්තියක වටිනාකම වැඩිවේ. එනිසා වැඩි ආලෝක ප‍්‍රමාණයක් පරාවර්තනය කිරීමට හැකි වන අයුරින් දියමන්තියක් කපා ඔප දැමීම කෙරෙන අතර ඒ සඳහා ගණිත ක‍්‍රම භාවිතා කෙරේ. වර්තමානය වනවිට නව තාක්ෂණික දැනුමද සමග දියමන්ති කැපීමට පරිගණක මෘදුකංග යොදා ගැනේ.
දියමන්තිවල පැහැය ඒ මත පතිත වන ආලෝකය සහ එහි ඇති පසුබිම අනුව වෙනස් විය හැකි අතර දියමන්තිවල පැහැය වර්ණ රහිත තත්ත්වයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන, අර්ධ වශයෙන් විනිවිද පෙනෙන සහ කිසිසේත්ම විනිවිද නොපෙනෙන ලෙසද දියමන්ති වර්ග කෙරේ. බොහෝ වටිනා දියමන්ති වර්ණ රහිත හෝ ලානිල් පැහැති වන අතර විනිවිද පෙනෙන සුළුය. දියමන්තිය හා සබැඳි අතීත කතාවක් තිබීම, සුවිෂේශ වර්ණයක් තිබීම වැනි කරැණු මත මිල ඉතා අධික විය හැක.

දේශපාලනික වශයෙන් අස්ථායී මධ්‍යම අප්‍රිකානු සහ බටහිර අප්‍රිකානු රටවල්වල විප්ලවවාදී කණ්ඩායම් විසින් දියමන්ති පතල් පාලනය කර ගනිමින් දියමන්ති අලෙවියෙන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා යොදවා ඇත. මෙම ක්‍රියාවලිය හරහා අලෙවි කරන දියමන්ති ආරවුල් දියමන්ති (conflict diamonds) හෝ රුධිර දියමන්ති (blood diamonds) ලෙස හැඳින්වේ. බොහෝ රටවල් මෙවැනි දියමන්ති වෙළඳාමට එරෙහි වෙති. දියමන්ති විශාල ලෙස සොරකම් කෙරෙන අතර දියමන්ති පිළිබඳ නිසි දැනුමත් නොමැති අය නීති විරෝධී වෙළඳාමට හසුවිය හැක.

දියමන්තියක වටිනාකම නිර්ණය කිරීමේදී යොදාගනු ලබන මූලික නිර්ණායක හතරක් පවතියි. ඒ හතරම ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන නිසා පොදු ව්‍යවහාරයේදී The Four “C’s” of Diamond Value යනුවෙන් හඳුන්වයි. දියමන්තියක පැහැය, පැහැදිලිබව, එහි බර මෙන්ම කපා ඔපදමා ඇති ආකාරය මේ නිර්නායකයන්ය.

Colour (පැහැය): මැණික් විද්‍යාව පිළිබඳ ඇමෙරිකානු ආයතනය මගින් දියමන්තියක වටිනාකම තීරණය කිරීම සඳහා වර්ණාවලියක් හඳුන්වාදී තිබෙන අතර එය අවර්ණ/ පැහැදිලි දියමන්තිවල සිට දුඹුරු පැහැය දක්වා දිවයයි. එම නිර්ණායකය අනුව වටිනාකමින් ඉහළ අගයක් ගන්නේ අවර්ණ දියමන්තියි. 

Clarity (පැහැදිලි බව): මිනිස් ඇසට දැකිය නොහැකි වුවත් බොහෝ දියමන්තිවල යම් යම් අඩුපාඩුකම් දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් විශාලනය කර බැලීමේදී එසේ අඩුපාඩුකම් තිබීම අවම වන තරමට එම දියමන්තියේ වටිනාකම ඉහළ යයි. 
Carat (ක්‍රාත්): ක්‍රාත් නැතිනම් කැරට් යනුවෙන් හඳුන්වන්නේ දියමන්තියක බර මැනීම සඳහා යොදාගනු ලබන ඒකකයයි. සාමාන්‍යයෙන් එක් ක්‍රාත් එකක් මිලිග්‍රෑම් 200ක බරට සමාන වෙනවා. මෙය රත්රන් සඳහා භාවිත කරන කැරට් සංකල්පයට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි.

Cut (කැපුම): සාමාන්‍යයෙන් දියමන්ති හමු වනවිට ඒවාට නිශ්චිත හැඩයක් පවතින්නේ නැත. පසුව ඒවා විවිධ හැඩවලට කපා ඔප දැමීම සිදුවන අතර එය සිදුකර ඇති ආකාරයට සහ ඔප දැමීමෙන් අනතුරුව දියමන්තියේ ඇති සමමිතික බව මත එහි වටිනාකම තීරණය වෙනවා. 

මේ හැර බොහෝ දියමන්ති සතුව එයටම ආවේණික ඉතිහාසයක් පවතියි. ඒ අනුවද එයට වෙනම කෞතුක වටිනාකමක් ලැබේ.

ලෝකයේ ඇති විශාලතම දියමන්ති ආකරය ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ Vredefort ආකරයයි. ග්‍රාහකයක් පෘථිවියේ ගැටීම නිසා වසර මිලියන 2,023 කට පමණ පෙර නිර්මාණය වූ එය කිලෝමීටර් 300ක පමණ භූමි ප්‍රමාණයක විහිදී තිබෙන්නකි. දැනට ලෝකයේ අලෙවි වී ඇති ඉහළම වටිනාකමකින් යුතු දියමන්තිය ලෙස සැලකෙන්නේ “Cullinan Heritage” නම් වූ දියමන්තියයි. 2010 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 337 කට අලෙවි වූ එය ක්‍රාත් 530.2 ක බරකින් යුක්ත වූ අතර කිසිම අඩුපාඩුවක් නොතිබූ පැහැදිලි දියමන්තියක් බව වාර්තාගතය. නමුත් ලොව වටිනාම දියමන්තිය වන්නේ කොහිනූර් දියමන්තියයි. එහි වටිනාකම ගණනය කර නැති අතර යුරෝ බිලියනයක් පමණ වටිනා බව සැලකේ.

සුගත්