2019 මාර්තු 09 වන සෙනසුරාදා

මිරිස්සේ හෝටලයක කොකේන් ගැසූ නිළිය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

“මිරිස්ස සෙන්ෂන්” නැමැති බීච් පාටිය දකුණු වෙරළේ මිරිස්ස පිහිටි ප්‍රසිද්ධ හෝටල් බිමකදී පැවැත්වෙන බව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුළ ප්‍රචාරණය කෙරිණ. ප්‍රවේශපත්‍ර හා පහසුකම් පිළිබඳ විස්තරත් එහිම සඳහන්ව තිබිණ. මාර්තු 2 වැනිදා පස්වරු 6 සිට පසුදා උදේ 6 දක්වා පැවැත්වෙන පාටියෙන් පසුව &ආෆ්ටර් පාටි” නමින් එදින උදේ 6 සිට පස්වරු 6 දක්වාම සාදය පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබිණ. දින ගණනක් පුරා පැවති ප්‍රචාරණය නිසා විදේශික තරුණ තරුණියන් ඇතුළු මෙරට යෞවන යෞවනියෝ 1500 කට අධික පිරිසක් &මිරිස්ස සෙන්ෂන්” වෙත සහභාගී වීමට පැමිණියහ.

පාටියට ආ අයගෙන් පිරිසක් එතැනින් පිටව ගොස් තිබුණේ අලුයම තුනට පමණය. ඔවුහු මිරිස්ස පසුකර කිලෝමීටර් කීපයක් පොල්හේන දෙසට ගොස් ඒ ප්‍රදේශයේ තිබූ වෙනත් හෝටලයක් වෙත ගියෝය. අලුයම් කාලයේ එහි ගිය එම පිරිස කුලියට කාමරයක් වෙන්කරවාගෙන එතැන විනෝද වෙමින් සිටියෝය.

&පොල්හේන ‘සී වින්’ හෝටලයට පාන්දර කොල්ලො කෙල්ලො කීපදෙනෙක් ඇවිත් තියෙනවා. කියන විදියට කට්ටිය මත්වෙලා ඉන්නේ. කාමරයක් ඇතුළට වෙලා කට්ටියම යමක් කරනවා වගේ. කුඩු හරි ටැබ්ලට් පාවිච්චි කරනවද කියලා සැකයි” ඔත්තුකරුවකුගෙන් මේ හදිසි තොරතුර මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබී තිබුණේ ඒ අවස්ථාවේමය.

ක්ෂණිකව සූදානම් වූ නිලධාරීන් පිරිස හදිසි වැටලීමක් සඳහා සැකසහිත හෝටල් පරිශ්‍රය වෙත ගොස් තිබුණි. තොරතුරට අනුව කියැවුණ හෝටල් කාමරයට ඇතුල්වීමට නිලධාරීන්ට බාධාවක් නොවීය. තරමක් ප්‍රමාණයෙන් විශාල කාමරයේ මැද විශාල ප්‍රමාණයේ නිදන ඇඳකි. අඩ නිරුවතින් සිටි රූමත් තරුණියෝ තිදෙනෙක් ඒ මතය. ඔවුන් මැදිකරගත් තරුණයන් පිරිසක් ඒ අතරය. ඇතැම් තරුණයෝ කාමරයේ බිම ඒ මේ අත ඉඳගෙන සිටියහ. පොලිස් නිලධාරීන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇති බව හඳුනාගන්නට තරම් සිහියක් පිරිසට නැත. ඒ තරමට ඔවුන්ගේ මත් බව වැඩිය. කාමරයේ සිටි සැකකාර පිරිස 17 දෙනෙකි. තරුණියන් තිදෙනාට අමතරව තරුණයන් 14 කි. මොවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබූ කොකේන් මත්කුඩු සහ මත්පෙති කිහිපයක් සොයාගෙන තිබුණි.

ප්‍රශ්න කිරීමේදී තරුණ තරුණියන් කියා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සංවිධානය කළ මිරිස්ස පැවති බීච් පාටියකට සහභාගී වී සිටියදී එතැනදී හඳුනාගත් කිහිප දෙනකු සමඟ මෙම හෝටලයට පැමිණි බවකි. එහිදී කොකේන් පානය කිරීමට සූදානමින් සිටි බවත් ඊට පෙර සාදයේදී නාඳුනන අයකු විසින් අලෙවි කළ පෙත්තක් පානය කළ බවත් ඒ මොහොතේ පටන් දැඩි මත් බවක් දැනෙමින් සිටි බවත් කියා තිබුණේ තරුණියන් විසිනි.

මේ අතර එකිනෙකාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් තරුණියකගේ නම ශානිකා මධුවන්ති බවත් ඇය රූපවාහිනී නාලිකාවක විකාශනය වූ සිල්ලර සමනල්ලු නැමැති ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියක් බවද ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ගින්දරී - 2 චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇති බවත් පවසා ඇත. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක වශයෙන් කටයුතු කරන බව හා වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක බවද ප්‍රකාශ කොට තිබුණි. මේ හැර සෙසු තරුණියන් දෙන්නා කියා ඇත්තේ ඔවුන් නිරූපණ ශිල්පීන් වශයෙන් කටයුතු කරන බවකි. එම දෙදෙනා වැලිවේරිය හා අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මොවුන් හා සිටි තරුණයන් විෂ මත්ද්‍රව්‍ය කොකේන් හා මත්පෙති භාවිතා කොට සිට ඇත. එම පිරිස කොළඹ, බොරැල්ල, මීගමුව හා ජාඇල ප්‍රදේශවල අයවලුන්ය. මේ අය පුරුද්දක් වශයෙන් ෆේස්බුක් ඔස්සේ සංවිධාන කරන සාද හා ප්‍රසංග සඳහා සහභාගී වී මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයේ වැටලීම් රැසක් සිදුකර තිබුණත් මෙවර පොල්හේන වැටලීමට වැඩි මාධ්‍ය ප්‍රචාරයක් ලැබී තිබුණේ ජනප්‍රිය නිළියක් අත්අඩංගුවට ගත් බව කී පුවත නිසාය. මේ සියලුම පිරිස වයස අවුරුදු 18-26 අතර බව පොලීසිය සඳහන් කළේය. ඒ අතර අවුරුදු 18 ක් වූ මාතර ජනප්‍රිය පාසලක උසස් පෙළ පංතියක සිසුවෙක් සිටීම විශේෂය. ඔහු දැඩිලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙක් බවද වාර්තා වී ඇත. මොවුන් මිරිස්ස හෝටලයක පැවති සාදයට ඇතුල් වී තිබුණේ එක් අයකුට රුපියල් 4000ක් බැගින් මුදල් ගෙවාය. එම හෝටලයේ සිට පිරිස නවීන මෝටර් රථ හතරක නැගී පොල්හේන හෝටලයට පැමිණ තිබුණි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි I වයි.එල්. ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උදිත කුමාර, සැරයන්වරුන් වන (55804) අශෝක ප්‍රියංකර, (56615) සුනිල්, (37066) පතිරණ, කොස්තාපල්වරුන් වන (55836) ක්‍රිෂාන්ත, (80473) වසන්ත හා (6847) යුගානි යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගී වූහ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර