2019 මාර්තු 09 වන සෙනසුරාදා

2019 අයවැය හොඳද? නරකද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

ජනතාව බලාපොරොත්තු දල්වා සිටි තවත් අයවැයක් පසුගිය පස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. කෙනෙකුගේ මතයට අනුව එය ජනතාවාදී අයවැයකි. තවත් අයකුට අනුව එය සංවර්ධනයට මුල්තැනක් ලබාදුන් අයවැයකි. මේ අතර විපක්ෂයේ විවේචනද අයවැය ලේඛනය වෙත යොමුවෙමින් පවතී. එය ස්වභාවික සිද්ධියක් ලෙසද සැලකිය හැකිය. කෙසේ වුවද අයවැය යෝජනා විමර්ශනය කිරීම කාටත් වැදගත්ය. අයවැය පිළිබඳව යම් නිශ්චිත තීන්දුවක් ගත හැක්කේද ඒ මාර්ගය ඔස්සේය.

2019 අයවැයේ සම්මත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5%ක් පමණ වේ. 2015 වසරේදී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේදී 5.3% දක්වා අඩුකරන ලදී. 2019 වසරේදී 4.4% ක් දක්වා තවදුරටත් අඩුකිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ප්‍රතිශතයකට ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරති.

මෙවර අයවැය යෝජනාවලින් ගම් නගාසිටුවීමටද, නගර සංවර්ධනය කිරීමටද ව්‍යවසායකයන් ඉදිරියට ගෙනඒමට පියවර ගන්නා බව ප්‍රකාශ විය. ඒ අතර ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනය නංවාලීමට ද එය ලෝක ආර්ථිකය සමඟ ගැලපීමටද ක්‍රියාකරන බව ප්‍රකාශ විය. සෞඛ්‍ය පහසුකම් උපරිම ලෙසින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද මෙවර අයවැයේදී ප්‍රකාශයට පත්විය.

ජාතික ආර්ථිකය සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටී. ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය සක්‍රීය කිරීමටද ඔවුනට අවශ්‍යය. සියලු පහසුකම් ලබාදීමටද මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් වී ඇත. එමෙන්ම මත්ද්‍රව්‍යය නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩසටහනට ඌණ පූර්ණ සැපයීමටද අයවැය යෝජනා සමත් වී ඇත.

මූලික වශයෙන් ගත්කල අයවැය ලේඛනය යනු ඉදිරි වර්ෂයක් සඳහා වූ රජයේ ආදායම් - වියදම් දක්වන සටහනය. එම සටහන තුළ රටේ ඉදිරි ගමන, ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය සටහන් වී තිබේ. පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා පිළිබඳව දේශයේ අප එදිනෙදා මහමඟදී හමුවන ජනතාව කිහිප දෙනකුගෙන් මත විමසුමක් කළෙමු.

සහනයක් නෑ
ප්‍රියන්ත - නුවර

මේ අයවැයෙන් නිසි සහනයක් ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක් වෙලා තියෙනවා. නමුත් රජයේ සේවකයන් විතරද මේ රටේ ජීවත් වෙන්නේ? නැහැ. පුද්ගලික අංශයේ සේවකයින් ජීවත් වෙනවා. ඒ වගේම ජනතාවට අවශ්‍ය කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක මිල අඩු කිරීමක් කරලා නැහැ. විවාහ වන අයට මේ අයවැයෙන් මුදල් වෙන්කරපු යෝජනාවක් අපි දැක්කා. නමුත් ඇත්තටම ඊට වඩා අයවැයක් තුළින් කරන්න ඕන දේවල් බොහොමයක් තියෙනවා. ඒ වගේම තමයි අනික් අවුරුදුවල අයවැයට සමානවම මෙවර අයවැයෙනුත් පොඩි මිනිහාගේ බඩට ගහපු බවක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. මේ රජය බලයට පත්වූ දා පටන් මේ වනතෙක්ම රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බැලීමක් සිදුකළේ නැහැ. අයවැය තුළිනුත් පොඩි මිනිසුන් බලාපොරොත්තු වූ කිසිවක් ලැබුණේ නැහැ. ඇත්තටම මේ අයවැයෙන් සතුටුවෙන්න තියෙන එකම දේ තමයි රණවිරුවන් වෙනුවෙන් වැටුප් වැඩිවීමක් සිදුවුණු එක එහෙම නැත්නම් මේ අයවැයත් පෙර අනෙකුත් අයවැය සේම ඒ ඒ පාලකයන්ට පමණක් හොඳ අයවැයක් පමණයි.

බඩු මිල අඩු නොකිරීම වැරදියි‍්

අනුර - එඬේරමුල්ල

ඇත්තටම මේ අයවැයෙන් පොඩි මිනිහාට කිසිම සහනයක් වෙලා නැහැ. සමහරැ කියනවා පෙට්‍රල් ඩීසල් ගාස්තු අඩුවුණා නම් හරි කියලා. නමුත් පෙට්‍රල් ඩීසල් ගාස්තු අඩුවුනා කියලා ඒක මේ රටේ සාමාන්‍ය ජනතාවට ලොකුවට දැනෙන්නේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වෙන්න ඕන. එහෙම නැත්නම් එක් සමාන්‍ය ජනතාවට දැනෙන අයවැයක් නෙවෙයි. වේලක් ඇර වේලක් කාලා ජීවත්වෙන පවුල් බොහෝමයක් ඉන්නවා අපේ රටේ. ඒ අයට කිසිම සහනයක් මේ අයවැය මගින් ලැබුණේ නැහැ. අද රටේ පොඩි මිනිහට ගන්න පුළුවන් තත්ත්වයේ තිබුණ සියලුම වාහන මේ අයවැය තුළින් වැඩිකරලා තියෙනවා. පොඩි මිනිහට දැන් වාහනයක් ගන්නවා කියන එක හීනයක්ම විතරක් වෙලා. සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වුණ අයවැයක් නෙවෙයි මේක. ඔවුන් මේ අයවැය හදාගෙන තියෙන්නේ ඔවුනට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න ඔවුන්ගේ ප්‍රතිලාභ සඳහා පමණයි. එහෙම නැතුව සාමාන්‍ය ජනතාව ගැන හිතලා මොවුන් මේ අයවැය හදලා නැහැ.

සහන රාශියක් ලබාදීලා
ස්ටැන්ලි - ගම්පහ

මෙවර අයවැයෙන් සහන රාශියක් මේ රජය මගින් ලබාදීලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම අරක්කු සහ දුම්වැටිවල මිල ඉහළ යාමක් සිදුවෙලා තියෙනවා. විවාහ වන අයට අවුරුදු 25කින් කැපී යන ලෙස ණය මුදලක් ලබාදීමට තීරණය කරලා තියෙනවා. මේ විදියට රජය මගින් අයවැයෙන් සහන ලබාදීලා තියෙනවා. යම්කිසි අයෙක් කියනවා නම් මේ අයවැය මගින් ජනතාවට කිසිදු සහනයක් ලබාදීලා නැහැ කියලා ඒක මිත්‍යාවක්. මොකද මේ රජය මෙතෙක් කල් බලයේ සිටි සෑම රජයන්ටම වඩා මේ රටේ ජනතාව ගැන ජනතාවගේ ප්‍රශ්න ගැන හොයලා බැලුවා. ඒ නිසා මෙවර මුදල් ඇමැතිතුමා විසින් ගෙන ආ මෙවර අයවැය ඉතා සාර්ථකම අයවැයක් ලෙස තමයි මම දකින්නේ.

ජනතා බලාපොරොත්තු ඉටු වූ අයවැයක්
එස්.කේ. පෙරේරා - කොට්ටාව

සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ අයවැයක් තමයි මෙවර රජය මගින් ජනතාවට ලබාදීලා තියෙන්නේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙන්ම රණවිරුවන්ට ඉතා හොඳ අයවැයක් තමයි මේක. ඒ නිසා ජනතාවට මෙවර අයවැයෙන් සහනයක් ලැබුණේ නැහැ කියලා කිසිවෙකුටත් කියන්න බැහැ. මෙවර අයවැය ඉතා හොඳ අයවැයක් කියන එක තමයි මගේ මතය.

ජනතාවට කිසිවක් ලැබී නැහැ
ජයන්ත - මාතර

මේ අයවැයෙන් ජනතාවට ලැබෙන සහනයක් නැහැ. මේ රටේ තියෙන ප්‍රශ්න වහගන්න තමයි ඔය විදියට අයවැය කියන ඔය ලියවිල්ල ඉදිරිපත් කරන්නේ මේ රජය විතරක් නෙවෙයි බලයේ හිටපු කවුරුත් රටේ ජනතාව ගැන හිතලවත් රට ගැන හිතලවත් වැඩකරලා නැහැ. මේ සියලුම දෙනා වැඩකරලා තියෙන්නේ ඔවුන්ට වුවමනා ඔවුන්ට වාසිවෙන ආකාරයට විතරයි. මේ රජය දැන් බලයට පත්වෙලා වසර හතරක් පමණ වෙනවා. නමුත් මේ ජනතාවට කිසිදු සහනයක් ලැබිලා නැහැ. මේ ජනතාවගේ බදු අයකර ගන්න එක තමයි මොවුන් කරන්නේ. ඇත්තටම මේ මොවුන් ජනතාවට පෙන්වන්නේ සුරපුරයක් පමණයි. කිසිම දෙයක් ජනතාවට ලබා දෙන්නේ නැහැ.

ආහාර මිල ගණන් අඩු නොකළේ ඇයි?
මහේන්ද්‍රන් - නුවරඑළිය

මේ මන්ත්‍රීවරු ඔවුන්ට ඕන සියලුදේවල් මේ අයවැය මගින් කරගත්තා. නමුත් සාමාන්‍ය ජනතාවට සහනයක් ලබාදෙන බවක් පේන්න නැහැ. මෙවරත් ඇත්තටම වෙන්න ඕන මේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වෙන එක. නමුත් එහෙම කිසිම දෙයක් මේ අයවැයෙන් වෙලා නැහැ.

►සටහන: හසිත් අංජන
සේයාරූ: සුමුදු හේවාපතිරණ