2019 මාර්තු 09 වන සෙනසුරාදා

රටට බත් දෙන අපි අද අනාථයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

රජරට ඇතුළුව දිවයිනේ වී නිෂ්පාදනය කරනු ලබන දිස්ත්‍රික්ක බොහොමයක මාස් කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

මීට පෙර කන්නවලට වඩා සාර්ථක වී අස්වැන්නක් මෙවර අපේක්ෂා කළ නමුත් කීඩෑ හානිය වැනි වසංගත රෝග නිසා ඒ අපේක්ෂිත අස්වනු ලැබී නැතැයි බොහෝ යායවල ගොවීහු කියති.

රටට බත සපයන ප්‍රධාන දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුවේ පසුගිය යල කන්නයේද කුඹුරු අක්කර 60,000කට අධික වී වගාව කීඩෑ හානියට ගොදුරු වූ අතර මෙවර මාස් කන්නයේත් බොහෝ ප්‍රදේශවලින් කීඩෑ හානි වාර්තා වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

නිසි කලට වැසි නොලැබ එක දිගට බල පවත්නා නියං තත්ත්වය වැනි සොබාදහමේ අපල උපද්‍රව මෙන්ම කීඩෑ හානි, කෘමි හානි ආදී වසංගත රෝග හේතුවෙන් ද රජරට බිමේ වී ගොවිතැනට එල්ල වෙමින් තිබෙනුයේ ප්‍රබල අභියෝගයකි.

මෙලෙස විවිධ බාධක පීඩා මැද නියැලී කරනා වී ගොවිතැනේ අස්වැන්නටද නිසි මිලක් නැතැයි මේ දිනවල ගොවීහු මැසිවිලි නඟමින් සිටිති. එමෙන්ම පසුගිය කන්නවල තම වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන නොමැති බවටද ගොවි ජනතාව චෝදනා නගයි. තම දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් කරන ගොවි අරගලද මේ දිනවල මහමඟ දැකිය හැක.

පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිබිම් කරා ගිය ගමනේදී අප හමුවේ ගොවීහු සිය හඬ අවදි කළේ මෙසේය.

මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී හමුවූ ආනන්ද රංජිත්:

දැන් මේ හැම යායකම වගේ ගොයම් කපන්න පටන් අරන් තියෙන්නේ. නමුත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වී ටික විකුණාගන්න විදියක් නෑ. ලොරිවලින් ගම්වලට වී ගන්න පෞද්ගලික වෙළෙන්දෝ එනවා. ඒ අය ගන්නේ තුට්ටු දෙකට. දහදුක් විඳලා ණයතුරැස් වෙලා ගොවිතැන් කරලා අන්තිමේ වී ටික දෙන්න වෙලා තියෙන්නේ නොවටිනා ගණන්වලට. දැන් වී කිලෝ එක වෙළෙන්දෝ ගන්නේ රුපියල් 27ට 28ට.

චමින්ද රත්නායක:

අපිට දැන් ගොවිතැන එපාවෙලා තියෙන්නේ. හැම පැත්තෙන්ම කරදර. වී ඇටේ වපුරාපු දවසේ ඉඳලා කපල පාගලා ඉවර වෙනකම්ම රෑ තිස්සේ පැල් රකිනවා. එක දවසක්වත් බැරිවුණොත් අලි ඇවිල්ලා විනාශ කරනවා. එහෙම දුක් මහන්සිවෙලා කපා පාගලා ඉවරවෙලා වී ටික නිසි මිලකට දීගන්න විදියක් නෑ. රුපියල 27ට 28ට වී කිලෝ එක දීලා අපි කොහොමද ජීවත් වෙන්නේ. ණයතුරුස් ගෙවා ගන්නේ.

වැලිකන්ද, සිංහපුර දිඹුලාන ප්‍රදේශයේදී හමුවූ සේපාලිකා සමරනායක:

මේ තත්ත්වය අද ඊයේ නෙවෙයි. හැමදාමත් මෙහෙම තමයි. අස්වැන්න නෙළන කාලෙට මිල තුට්ටු දෙකට බහිනවා. ආණ්ඩුවේ සහතික මිල නමට විතරයි. වී විකුණාගන්න තැනක් නෑ. මෝල්කාරයොයි, මුදලාලිලයි විතරයි වී ගන්නේ. අපි ඉල්ලා හිටින්නේ ගොවි සංවිධාන මට්ටමින් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. එතකොට මේ ප්‍රශ්නය විසඳෙනවා.

වැලිකන්ද, මඟුල්පොකුණ, ඩී.01 බෙදුම් ඇළ සංවිධානයේ සභාපති කේ.බී.ඒ. සුරේෂ් ප්‍රදීප්:

ගොවියාට වී කිලෝවට ලැබෙන මුදල කිසිසේත්ම සාධාරණ නෑ. වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 40කට ආසන්න මුදලක් වියදම් වෙනවා. නමුත් රජයේ සහතික මිලත් රුපියල් 38යි. ඒකත් ගොවියාට ලැබෙන්නේ නෑ. අපි වැලිකන්ද කොට්ඨාසයේ ගොවීන් හැටියට පහුගිය දවස්වල අවස්ථා දෙකක් උද්ඝෝෂණ පවා කළා වැලිකන්ද නගරයේ. වී කිලෝ එකක රජයේ සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්න කියලා. ඒක අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි. නමුත් කිසිම කෙනෙක් මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ නෑ. වගකිවයුතු අය බලධාරීන් ඇහැඇරලා බලන්නේ නෑ. ගොවියාගේ දුක කිසිම කෙනෙක් තේරුම් අරගෙන නෑ කියලයි කියන්න තියෙන්නේ.

රටට බත නිපදවන බිමේ ගොවි මැසිවිලි අපමණය. දුක් මහන්සිවී කරන ගොවිතැනේ අවසාන ඵලය වී අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවීම මේ රටේ ගොවි ජනතාව දීර්ඝ කාලයෙක පටන් මුහුණ දෙන ගැටලුවක් බව ඉතා ප්‍රකටය. ඒ සම්බන්ධයෙන් ගොවියා කොතෙකුක් මොර දුන්නද මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. මේ දිනවල ගොවි මුව විවර වන්නේ දැනට රජය මගින් නියම කර තිබෙන සහතික මිලද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින් වී කිලෝවේ රජයේ සහතික මිල වැඩිකර ගැනීමේ උත්සාහය වෙනුවෙනි. රජරට පළාතේ පමණක් නොව රටට බත නිපදවන දිස්ත්‍රික්ක රැසක පසුගියදා ඒ වෙනුවෙන් ගොවි උද්ඝෝෂණ වීදි බැස තිබෙනු දක්නට ලැබිණි.

එහිදී අපට අදහස් දැක්වූ පොළොන්නරුව ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ශාන්ත ගුණසේකර:

අපේ ගොවි ජනතාවට වී ගොවිතැන වැඩි කාලයක් කරගෙන යන්නට බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. රටේ හැමදේම මිල වැඩිවෙලා. වී කිලෝ එකේ මිල එතැනමයි. නමුත් හාල් කිලෝ එකේ මිලත් අසීමාන්තිකව වැඩිවෙලා. එහෙම වුණාට එයින් ගොවියාට කිසිම ලාබයක්, ප්‍රයෝජනයක් නෑ. වී මිල අඩු වුණා කියලා පාරිභෝගිකයාට මේ රටේ බත්කන ජනයාටත් එමගින් සහනයක් නෑ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට රජය මගින් නියම කරලා තිබෙන සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ නිසා වී කිලෝ එකක් සඳහා ගොවියාට ලබාදෙන රජයේ සහතික මිල වැඩිකළ යුතුයි. මෙහිදී අපි කියන්නේ රජයට නාඩු වී කිලෝ එකකට රුපියල් 50ක් සහ සම්බා වී කිලෝ එකකට රුපියල් 55ක් දක්වා ලබාදෙන්න කියලා. එහෙම නොකළොත් වැඩි ඈතක් යන්න කලින් ගොවියාට ගොවිතැනින් ඉවත් වෙන්න වෙනවා ඒකාන්තයි.

මේ අවස්ථාවට එක්ව සිටි සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:

මේ රටේ ගොවි ජනතාවට සහන සලසන්න ආණ්ඩුව දිගින් දිගටම අපොහොසත් වෙලා තිබෙනවා. ඒ නිසයි ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රාශියක් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීම සඳහා මේ විදියට පාරට බැහැලා සටන් කරන්න වෙලා තියෙන්නේ. මූලික ඉල්ලීමක් තමයි, වී කිලෝවේ රජයේ සහතික මිල රුපියල් 50-55 දක්වා වැඩිකළ යුතුයි. පසුගිය කන්නවල ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් රජය මෙතෙක් කිසිදු වන්දි මුදලක් ගෙවලා නෑ. දවසින් දවස කර අරිමින් ඉන්නවා. ඒ නිසා අපි රජයට බලකර සිටිනවා වගා හානි වෙනුවෙන් ලබාදිය යුතු වන්දි මුදල් ගොවියාට වහාම ලබාදෙන්න කියලා. බලධාරීන් ඒ සඳහා අපොහොසත් වූවොත් අපේ මීළඟ අරගලය මේ ගොවි ජනතාව සිය දහස් ගණනින් ඒකරාශි කරගෙන ගොවිජන අයිතීන් දිනා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වටලන එකයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය යල කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් කුඹුරු අක්කර 60,000කට වැඩි ප්‍රමාණයක් කීඩෑ හානියට ගොදුරු වී තිබේ. ඒ සඳහා රජය මෙතෙක් කිසිදු වන්දි මුදලක් ගෙවා නැතැයි ගොවි ජනතාව චෝදනා කරති. ගොවීන් තම වගා කටයුතු සඳහා බැංකුවලින් වගා ණය ලබාගන්නා අවස්ථාවේ කෘෂි රක්ෂණය වෙනුවෙන් වාරික අයකර ගන්නා නමුත් වගා හානියක් සිදුවූ විට ඊට අදාළ වන්දි මුදල ලබාදීමට ක්‍රියා නොකරන බව ගොවීහු කීහ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් කාලිංගඇළ, ඕනෑගම, විජයරාජපුර ආදී ප්‍රදේශවලදී අපට හමුවූ ගොවීහු ප්‍රකාශ කළේ රාජ්‍ය ආයතනයක් වන කෘෂි රක්ෂණ මණ්ඩලය කෙරෙහි ගොවි ජනතාව තුළ පවතින විශ්වාසය මේ නිසා පලුදුවන බවයි. එමෙන්ම පසුගිය යල කන්නයේ සිදුවූ වගා හානි සඳහා මේ දක්වා තමන්ට හිමි වන්දි මුදල් ලබානොදීමෙන් දැඩි දුෂ්කරතාවකට තමන් මුහුණ පා සිටින බවද ඔවුහු ප්‍රකාශ කළහ.

පොළොන්නරුව, කාලිංගඇළ ජනපදයේ එම්. රණසිංහ:

පසුගිය යල් කන්නයේ මගේ කුඹුරු අක්කර 05ක් කීඩෑ හානියෙන් විනාශ වුණා. කෘෂි රක්ෂණ වන්දි මුදල් ශත පහක්වත් මට තාම ලැබුණේ නෑ. අපි ගොවිතැන් කරන්නේ අතේ සල්ලි තියාගෙන නොවෙයි. ණයතුරුස් වෙලා. ඒ නිසා මේ වතාවේ බැංකු ණය ගෙවා ගන්නත් බැරිවුණා. ඒ නිසා මේ කන්නේ වගාවට ණය ගන්න බැරිවුණා. අඹු දරුවන්ගේ කණකර ආභරණ උගස් කරලා තමයි මේ කන්නේ වගාවට සල්ලි හොයාගත්තේ.

විජයරාජපුර, ජයන්ත හිටිනායක:

මගේත් කුඹුරු අක්කර 05ක් ගිය යල් කන්නයේ කීඩෑ හානියෙන් ඉවරයි. රක්ෂණ නිලධාරි මහත්තුරු ඇවිල්ලා වගා හානි තක්සේරු කරලා ලියාගෙන නම් ගියා. නමුත් මේ වෙනතෙක් වන්දි මුදල් ලැබුණේ නෑ. සල්ලි අපිට උවමනා වෙලාවට නැත්නම් මොකටද? දැන් බැංකුවලින් ඇවිල්ලා කියනවා බැංකු ණය ගෙවන්න කියලා. හරිම අසරණ තත්ත්වයට අපි පත්වෙලා ඉන්නේ.

විජයරාජපුරදී මුණගැසුණු ඩබ්ලිව්.ජී. වසන්ත කුමාර මහතාද පසුගිය යල කන්නයේ කීඩෑ හානි හේතුවෙන් කුඹුර වැනසී මෙතෙක් වන්දි මුදල් නොලද ගොවියෙකි.

අපේ වගා හානි වෙනුවෙන් වන්දි තක්සේරු කරලා කොළඹට යවලා තියෙන්නේ කියලා නිලධාරි මහත්තුරු කියනවා. ළඟදීම ගෙවයි කියලා තමයි හැමදාම කියන්නේ. මගේ කුඹුරු අක්කර 05ක් යල කන්නයේ කීඩෑ හානියෙක් විනාශ වුණා.

බැංකුවෙන් වගා ණය ගන්නකොට රක්ෂණ වාරිකය නම් එවේලේම කපා ගන්නවා. ඒ වුණාට වගා හානියක් සිද්ධ වුණාම වන්දි ගෙවන්නේ නෑ කලට වෙලාවට. මේක හරිම අසාධාරණයක්. මේ නිසා අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.

සිව්දෙස, සිව්කොන ගොවිබිම් සිසාරා දුක් මැසිවිලිය. මේ අපමණ දුක් උහුලන්නේ රටට බත සපයන මහඟු මෙහෙවරක පංගුකාරයෝ බව බොහෝ දෙනා අමතක කරති. වී කිලෝවට සරිලන වටිනාකමක් නොලැබෙන බැවින් වී ගොවිතැන පාඩු ලබන රුකියාවක් බවට පත්ව ඇතැයි එහි නියැලි ගොවි ජනතාව කියා සිටිති. ඇතැම් ගොවි බිම්වල රජය මගින් නියම කර තිබෙන සහතික මිලවත් ගොවියාට ලබා ගැනීමට අවැසි පහසුකම් සැකසී නැති බව බොහෝ දෙනා පැවැසූහ. ඒ හේතුවෙන් ගොවියාගේ වී අස්වනු තුට්ටු දෙකට, කුණු කොල්ලයට මිලදී ගන්නට, වී මෝල් හිමියන්ට පහසු පරිසරය නිර්මාණය වී ඇති බවද ඉතා ප්‍රකට කාරණයකි. වී මිල කොතෙකුත් පහළ ගියද රටේ සහල් මිලෙහි නම් අඩුවක් පෙනෙන්නට නොමැති බව සැබෑය. ඒ බව බත නිපදවන ගොවියාද පෙන්වා දෙයි. මේ අනුව බලන කළ ගොවියා පමණක් නොව මේ රටේ පාරිභෝගිකයා නැතහොත් බත් කන ජනයාද නිරන්තර සූරාකෑමකට ලක්වන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. වී කිලෝවේ රජයේ සහතික මිල ඉහළ දැමුවද මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබේද යන්න අපැහැදිලිය. එහෙයින් මේ රටේ වී ගොවිතැනත්, එහි නියැලි ගොවියාත් සුරක්ෂිත කිරීමේ නගා සිටුවීමේ අලුත් ඉසව් මංපෙත් විවර කිරීම කෙරෙහි රජය අවධානය යොමු කිරීම කාලෝචිතය. එහෙයින් වී කිලෝවේ මිල නාමිකව වැඩි කිරීමෙන් පමණක් ගොවි ආර්ථිකය ශක්තිමත් වීමක් අපේක්ෂා කළ නොහැකි අතර වැඩිවන වී මිලට මුවා වී මෝල් හිමියන් සහල් මිල ඉහළ දැමීම නම් ඒකාන්තයෙන් සිදුවනු ඇත.

කරුණාරත්න ගමගේ

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30