2019 මාර්තු 02 වන සෙනසුරාදා

ඉංග්‍රීසියට බය රුසියාවේ කෝටිපති හිතුවක්කාරයා

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

ගිය සතියේ පළවු ලිපියේ ඉතිරි කොටස...

2010 දිනක ලෝකප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් මෙන්ම ප‍්‍රකට නළු නිළියන් වන කෙවින් කොස්ට්නර්, ජෙරාඩ් ඩෙපර්ඩ්‍යු සහ ෂැරොන් ස්ටෝන් සහභාගී වූ ප‍්‍රසංගයකදී පුටින් ගීතයක් ගයා සෝවියට් යුගයේ පියානෝ වාදනයක් ඉදිරිපත් කරන්නට උත්සාහ කළේය. ගායනය සාර්ථක වුවත් වාදනය මග ඇණ හිටියේය.

මෙබඳු සෙල්ලක්කාර යකඩයකු ලෙස තමන්ගේ ප‍්‍රතිරෑපය ගොඩනගා ඇති පුටින්ට උපහාර හැටියට වරක් ග්‍රොස්නි ජාතික ස්වදේශික පිරිසක් එකටඑක්ව වර්ණවත් යෝධ රුසියන් ධජයක් නිර්මාණය කර තිබුණි. මහපාරේ අඩි 2000ක් දිගට විවිධ වර්ණවලින් සැරසුණු ස්වදේශිකයෝ ධජය සෑදෙන සේ පෙළගැසී සිටියහ. ඒ සමග පාලමකින් පහළට එල්ලා තිබූ බැනරයක වූයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා පුටින්ගේ රූප සහිත ටී - ෂර්ටයක් පැළඳ සිටින අයුරුය.

2010 වසරේදී පුටින් තවදුරටත් වීරයෙක් වූයේය.  රයාසාන් පළාතේ හටගත් කැලෑ ගින්න නිවන්නට ගිනි නිවන ගුවන්යානයක් ගින්න මැද්දට පදවා යමින් ලීටර් දහස් ගණනක ජලය මුදාහැරීමට කටයුතු කරමිනි. පසුව වාර්තාවූ අන්දමට පුටින් සහිත ගුවන් යානය වෙනත් නියමුවකු විසින් පදවනු ලැබ තිබුණි. නමුත් පුටින් එදාද ජනතා වීරයා බවට පත්වූයේය.එසේ වුවද ඔහු බලපත්‍රලාභී නියමුවකු බවටද වාර්තා තිබේ. ඔහුගේ පෞද්ගලික රථ වාහන එකතුව අතරට ගුවන්යානා 58ක්ද හෙලිකොප්ටර්යානා 15ක්ද පවතින බව සඳහන්ය. එසේ වුවද  පොළොවේ පය ගසා ජීවත් වන්නට හපන් ඔහු වෙලාවකට සිය දෙවැනියා වන මෙද්වදෙව් සමඟ පාපැදි පැදගෙන ද පාරවල් දිගේ යන්නේය. එසේම ඔහු සතු මහාමන්දිර ගණන 20ක් පමණ වන බවටද කළු මුහුද අසල ප්‍රස් කොවිච්කා ගමේ ඇති ලොකුම මන්දිරය ඩොලර් මිලියන 978ක් වටිනා බව ද සඳහන්ය.

ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික පවුල් ජීවිතය ගැන එළිදරව්වී ඇත්තේද බොහොම ටිකකි. පුටින්ගේ ගෙදර ආරංචි හඹාගිය රුසියානු මාධ්‍යවේදීන් රැසකට රැකියා අහිමිව ගියේය. පුටින්ගේ හිටපු බිරිය ලූද්මිලාගේ මෑතකාලීන තොරතුරුද අඳුරේ සැඟවී පවතියි. මේ දෙදෙනා තිස් වසරක විවාහ දිවියකින් පසු 2013 ජූනි මස දික්කසාද වූහ. ඉන්පසු වාර්තා වූයේ ලූද්මිලා 2016 වසරේදී ඇයට වඩා වසර 20කින් ලාබාල, ආතර් ඔචේරෙන්ටි සමඟ විවාහ වූ බවය.

පුටින් සහ ලූද්මිලා විවාහ වූයේ 1983 වසරේදීය. ඒ වනවිට පුටින් 30 වන වියේද ලූද්මිලා 25 වියේද පසුවූහ. ලූද්මිලා භාෂා ගණනාවක් බුහුටිව භාවිතා කළ හැකි රූමත් ගුවන් සේවිකාවකි. රුසියානු එරෝෆ්ලොට් සේවයේ සිටි ඈ හට ප‍්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ භාෂා රුසියන් බසට අමතරව දක්ෂ ලෙස භාවිත කළ හැකි තැනැත්තියකි. ලූද්මිලා සහ පුටින් මුල්වරට හමුවන්නේ එකල ලෙනින්ග‍්‍රාද් ලෙස හැඳින්වූ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේදීය. ’80 මුල් අවදියේ දෙදෙනාගේම මිතුරකු මගිනි. මේ දෙපළට දාව දූවරුන් දෙපළකි. මාරියා සහ කැටරියා නම් වූ මේ දෙදෙනා පිළිවෙළින් 1984 සහ 1985 කාලයේ උපන් අතර ඔවුන් පිළිබඳ විස්තරද එළියට ලබා දී නැත. ඔවුන් සරසවි අධ්‍යාපනය ලද බව කියන නමුත් ඔවුන්ගේ හැඳුනුම්පත් පවා ඉදිරිපත් කර ඇත්තේ වෙනත් නම්වලිනි.

අසූ ගණන්වල පුටින් KGB ඔත්තුකාරයකු ලෙස කටයුතු කළ පසු මේ දෙපළ නැවත පීටර්ස්බර්ග් වෙත පැමිණ තිබුණි. පුටින් තවදුරටත් රජයට වැඩකරමින් දේශපාලනයට එක්විය. ලූද්මිලාට තිබුණේ වෙනම අරමුණුය. රටේ ජනාධිපති බිරිය වන්නටත්, උත්සව සම්භාෂණවලට සම්බන්ධ වීමටත්, විවිධ අමුත්තන් හා ගැවසීමටත්, ජනතාව ඉදිරියේ කැපී පෙනෙන්නටත් ඇය කැමැත්තක් දක්වා නැත. රට වටා සහ ලෝකේ පුරා සවාරි යාමත් ඈ ප‍්‍රිය කළ ජීවිතයක් නොවේ. හොඳ ගෘහණියක් ලෙස දරැවන්ද සැමියාද සමග ගෙදරට ගාල් වූ නියම රුසියන් ගැමිජීවිතයක් ඈ බලාපොරොත්තුව සිට ඇත. ඒ අතර ‘ජනාධිපති ආර්යාව’ නම් වූ බරසාර පදවිය අකමැත්තෙන් වුව ඇගේ හිසමත කඩා පාත්ව තිබේ.

පුටින් - ලූද්මිලා වෙන්වීම පිළිබඳ නිවේදනය කෙරුණේද අපූරු ආකාරයටය. ක්‍රෙම්ලිනයේ බැලේ නාටකයක් වූඛ් පැර්කා හි විවේක කාලයේදී මේ නිවේදනය ලෝකයා වෙත නිකුත් කරන්නට යෙදුණි. ‘‘ව්ලැද්මිර්ව්ලැද්මිරෝවිච් තමන්ගේ වැඩටම ඇලිලා. මගේ දූවරු දැන් ලොකු ළමයි. ඇත්තෙන්ම මම වැඩිය එළිපහළියේ ගැවැසෙන්න කැමැති කෙනෙක් නෙමෙයි.’’ලූද්මිලා එදා ප‍්‍රසිද්ධියේ කීවාය. ඈ එසේ කී ලෙසම ඉන්පසු ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. 2016 තමන්ට වඩා 20 වසරක් බාල ආතර් ඔචෙර්ට්නි සමඟ විවාහ වූ බව ප‍්‍රසිද්ධ වූවාට පසු ලෝකයට ඈ ගැන නැවත අසන්නට ලැබුණේ මේ ජෝඩුව ප‍්‍රංශයේ මහා විලාවක් මිලදී ගන්නවා යැයි පළවූ කටකතාව හේතුවෙනි. මේ මහා මන්දිරය ඩොලර්මිලියන 7.46ක් වූ බව වාර්තා විය.

මේ සියල්ල පුටින් විසින් ලබාදුන් බවට මතයක් පැතිර ගිය අතර ඒ සමඟ පුටින්ගේ වත්කම් ගැනද කතාබහක් ඇරැඹිණි. රුසියානු රජයේ උපදේශකයකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු වරක කීවේ පුටින්ගේ වත්කම ඩොලර් බිලියන 70ත් පන්නා ඇති බවය. මූල්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුටින්ගේ විරුද්ධවාදියකු වන විශාරදයකු පවසා තිබුණේ ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට අධික විය යුතු බවයි. එය සත්‍යයක් නම් පුටින් යනු එසේ මෙසේ ධනවතකු නොව ලෝකයේ සුපිරිම ධනවතුන් අතර ඉහළින්ම සිටින කෙනකු බවට පත්වෙයි. නමුත් පසුගියදා පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ පුටින් විසින් ප්‍රසිද්ධ කරන ලද ඔහුගේ වත්කම් ප්‍රකාශයට අනුව ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් 112,000ක් වැනි ප්‍රමාණයකි.

නමුත් ඔහුගේ විවේචකයන් පවසන්නේ පුටින් සතු ධනය පිළිබඳව මෙම වත්කම් ප්‍රකාශවල සඳහන් තොරතුරුවලින් කිසිදු සැබෑ අදහසක් ගත නොහැකි බවයි. පුටින් යනු අතිශයින් දූෂිත නායකයකු බවට චෝදනා එල්ල කරන ප්‍රධාන චරිතයක් වන්නේ ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියාද වන ඇලෙක්සි නවල්නි ය. පුටින් මෙන්ම ඔහු වටා සිටින ඔහුගේ සමීපතම මිතුරන් ඇතුළත් කවයද නිතර නවල්නිගේ ප්‍රහාරයට ලක්වන පාර්ශ්වයකි. මෙම මිතුරන්ට පුටින් හරහා බිලියන ගණන් වටිනා රජයේ කොන්ත්‍රාත් ආදිය ලැබෙන බවත් ඒ හරහා පුටින්ටද වාසි අත්වන බවත් මෙම දූෂණ විරෝධීන් නඟන සුලබ චෝදනාවක් වී තිබේ. පුටින් ධන කුවේරයකු වී ඇත්තේ මෙවැනි දූෂිත ගනුදෙනු හරහා බව ඔවුහු පෙන්වා දෙති.

පුටින්ගේ දූවරුන් අතරින් කැටරිනා රැසියානු ව්‍යාපාරිකයකු වන කිරිල් ෂාමලෝව් සමග විවාහව සිටියි. ඇය නර්තනවේදිනියක වන අතර, ජාතික බුද්ධි සංවර්ධන පදනම හා සමීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරියකි.

පුටින්ගේ දූවරුන් අතරින් වඩාත්ම අබිරහස් තැනැත්තිය මාරියාය. වෛද්‍ය පර්යේෂිකාවක් වන ඈ නෙදර්ලන්ත ව්‍යාපාරිකයකු වන ජොරිට් ෆාසේන් සමග සම්බන්ධ බවට පුවත් පලවී තිබේ.

මේ සියල්ල අතර පුටින්ගේ නවතම රහස් ප්‍රේමයක් ගැනද තොරතුරු එළියට ආවේය. ජිම්නාස්ටික්කාරියක සහ හිටපු පාර්ලිමේන්තු නියෝජිතවරියකුද වන අලීනා කබායිවා සමග ඔහු රහස් ආලයක වෙලී සිටිය අතර ඔහුට දාව ඇය ස්විට්සර්ලන්තයේ ටිඩිනෝ ප‍්‍රභූ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කළ බවට කතාවක් පැතිර තිබේ. ඒ 2015 වසරේදීය.

2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී රුසියාවට රන් දිනා දුන් ජිම්නාස්ටික් ශූරිය වන අලීනා පසු කලෙක මැදැඟිල්ලේ රිදී මුද්දක් පැළඳ සිටින ආකාරය ද මාධ්‍යයේ විපරම් ඇසට හසුව තිබුණි. ඇය මේ වනවිට ක්‍රෙම්ලිනයට සහාය දෙන මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නියකි.

2018 ජනාධිපතිවරණයට ඡන්දය දෙන්නට මධ්‍යම මොස්කව් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි ඈ මංගල මුදුවක් හා සමාන රිදී මුදුවක් පැළඳ සිටි අතර මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ‘ඔහු නිසැකවම ජයග‍්‍රහණය කරනවා’ යැයි අනාවැකි පළ කළාය. ඒ   අනාවැකිය  සනාථවු අතර  ඇය දැනට රුසියාව තුළ නිල නොවන ලෙස හැඳින්වෙන්නේ ජනාධිපති ආර්යාව නැතහොත් රටේ පළමු කාන්තාව ලෙසටය.

මේ සියලූ දේ අතර පුටින් ගැන අසන්නට ඇති දූෂමාණ කරුණක් වන්නේ ඔහු ඉංග‍්‍රීසියට භීතිකාවක් දක්වන බවයි. ජර්මන් බස චතුර ලෙස හැසිරවුවත් පුටින්, ඉංග‍්‍රීසිය දුටු තැන පැකිලෙයි. ඔහුට එතැනදී භාෂා පරිවර්තකයෙක් නැතුවම බැරිලු!

සුගත් පී. කුලතුංග