2019 මාර්තු 02 වන සෙනසුරාදා

ජිනීවා දංගෙඩියේ 40!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 16

ජිනීවා මානව හිමිකම් කොමිසමේ හතළිස්වැනි සැසිවාරය පසුගියදා ස්විට්සර්ලන්තයේදී ආරම්භ විය. රට තුළ මත්ද්‍රව්‍ය, පාතාලය හා වෙනත් දේශපාලන කාරණා ඉස්මතුවී ඇති නිසාවෙන් මෙවර ජිනීවා කතාවට සැලකිය යුතු අවධානයක් නොලැබූ සෙයකි. එහෙත් ඉදිරි සති කිහිපයේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ජිනීවා සමුළුව ප්‍රමුඛ පුවත් වන්නට ඉඩ තිබේ. එනිසාම අපි ශ්‍රී ලංකා මානව හිමිකම් අර්බුදය පිළිබඳ විග්‍රහය යෙදෙන්නට තීරණය කළෙමු.

මෙවර මානව හිමිකම් සැසියේදී සිදුවන්නේ කුමක්ද? අප ප්‍රථමයෙන් ඊට යම් අවධානයක් යොමුකරමු. ශ්‍රී ලංකාව පිළිබඳ කථිකාව ආරම්භ වීමට නියමිතව තිබුණේ මාර්තු දෙවැනිදාය. මෙවර සැසියේදී සිදුවන වැදගත්ම කරුණ නම් 2015 සැප්තැම්බර් 15 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙනා 30.1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට ලබා දී තිබූ කාලය අවසාන වීමයි. කරුණු විස්සකින් යුතු මෙම යෝජනාවේ ඇතැම් දෑ ඉටුකිරීම ශ්‍රී ලංකා රජය මේ වනවිටත් සමත්ව සිටී. එය යම් වාසි සහගත තත්ත්වයක් ලෙසද සැලකිය හැක. තවද ඉතිරි යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය පළකරමින් ශ්‍රී ලංකා රජය ප්‍රතියෝජනාවක් ගෙන ඒමට යන බවටද ආරංචි තිබේ. මීට අමතරව උතුරේ ජනතාවගේ අත්සන් දසලක්ෂයකින් යුතු පෙත්සමක්ද මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අතුරුදන් වූවන් පිළිබඳ කටයුතු කිරීමට රජය අසමත් වී ඇති බව දක්වමිනි.

අප දැන් සූදනම්වන්නේ ලංකා මානව හිමිකම් කතිකාවේ අක්මුල් සොයා යන්නටයි. එවිට වර්තමානයේ සිදුවෙමින් පවතින දේ ඔබට හොඳින් විග්‍රහ කර ගැනීමට හැකිවනු ඇත.

යුධ සමය පුරාවට රටක් ලෙස අප විවිධ විදෙස් බලපෑම්වලට ලක්වූ බව නොරහසකි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අතිමහත් බහුතර දමිළ ජනතාව දෙස අනුකම්පා සහගතව බැලූ අතර ඔවුන් ශ්‍රී ලංකා අර්බුදය විමුක්ති සටනක් ලෙස විග්‍රහ කරගෙන තිබුණි. කාලයේ ඇවෑමෙන් මෙය ත්‍රස්ත උවදුරක් ලෙස ලෝකය හඳුනාගත්තේය. එහෙත් විදේශගත දමිළ ප්‍රජාව නොහොත් දමිළ ඩයස්පෝරාව ප්‍රබල ලෙස සංවිධානය වී තිබිණි. ශ්‍රී ලංකා රජයට එරෙහි මතවාද ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ සවිමත්ව ගොඩනැගීය. ලාංකීය රාජතාන්ත්‍රිකයන් ජාත්‍යන්තරය දිනාගැනීමට දිගින් දිගටම අසමත් විය. යුද්ධය අවසාන කාලේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවගෙන් දැඩි බලපෑමක් එල්ල විය. එවක රජය එය නොතකා ක්‍රියා කළේය. කෙසේ හෝ තිස්වසරක් පුරා විහිද ගිය යුද්ධය 2009 මැයි 19 වන දින අවසන් වූ බව අපි දනිමු.

ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයන් පසු 2009 මැයි 26 සහ 27 යන දිනවල මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ සැසිවාරයක් පැවැත්වූයේ මෙරට සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මානව හිමිකම් අර්බුදයේ ආරම්භය එය වූයේය. මෙහිදී ලංකාවේ යුද්ධය අපරාධ චෝදනා ගැන වගවීමේ කි‍්‍රයාදාමයක් ආරම්භ කරන ලෙස ජර්මනිය ප‍්‍රමුඛ රටවල් 17ක් මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් මේ වනවිට මානව හිමිකම් සමුළුවේ සංයුතිය ශ්‍රී ලංකාවට වාසිසහගතව පැවතිණි. ජර්මනියේ යෝජනාව අභියෝගයට ලක්කරමින් ප්‍රතියෝජනාවක් විය. ඊට රටවල් 29කගේ සහය ලැබුණි. ජර්මානු යෝජනාවට එකඟවූයේ රටවල් 12ක් පමණකි. මෙහිදී රටවල් 6ක් ජන්දය මෙන් වැළකී සිටියේය. යුද්ධය අවසානයත් සමග එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ලංකාවට පැමිණි බව අපට මතකය. පසුව ඔහු විසින් විශේෂඥයන් කමිටුවක් ශ්‍රී ලංකාවේ ‍යුද්ධය සම්බන්ධ තම පෞද්ගලික දැනුවත්වීම සඳහා කරුණු එකතු කිරීමට පත්කරන ලදී. ඒ ඉන්දුනීසියානු හිටපු නීතිපති මර්සුකි දරුස්මාන්ගේ ප්‍රධනත්වයෙනි. දරුස්මාන් වාර්තාව ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ බව අපට මතකය. එයින් කියවුණේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට සිතීමට කරැණු ඇති බවයි. මෙම වාර්තා සැකසුණේ ශ්‍රී ලංකාවෙන් පිටතදී කළ කරුණු සොයාබැලීම් හරහාය. කෙසේ නමුත් දරැස්මාන් වාර්තාව නිල පිළිගැනීමක් සහිත වාර්තාවක් නොවීය. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ නොහැකි විය. එහෙත් Channel 4 සිදුවීම් ආදිය මත පදම් වූ මෙම වාර්තාව ජාත්‍යන්තර වශයෙන් අවාසි සහගත විය. දරුස්මාන් වාර්තා පිළිතුරු ලෙස ශ්‍රී ලංකා රජයද ජාත්‍යන්තර යුධ විශේෂඥයෙන් ලවා වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. ඊට අනුව දරුස්මාන් චෝදනා නිශේධනය විය. නමුත් මෙම වාර්තා දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ මානව හිමිකම් කවුන්සිලයේ නිල පිළිගැනීමට ලක් නොවීය.

2009 දී ඇරඹි මානව හිමිකම් අර්බුදය ඉදිරියට ඇදෙමින් තිබුණු අතර දමිළ ඩයස්පෝරාව මෙය තම වාසිය පෙරළා ගත්තේය. මෙම කාලය තුළ ලොව ප්‍රකට දේශපාලනඥයන්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද ඔවුහු සිය ආර්ථික දේශපාලන හැකියාවන් මත ග්‍රහණය කර ගත්හ. ඒ අනුව මීළඟ තීරණාත්මක මොහොත එළෙඹියේ 2012 වසරේදීය. නැවතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බටහිර රටවල් යෝජනාවක් රැගෙන ආවේය. එයින් ලංකාවේ යුධ අපරාධ සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි. තවද එම සොයා බැලීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබුණි. ඉතා සූක්ෂම ලෙස සැකසුණු මෙම යෝජනාව ජිනීවාහිදී සම්මත විය.

ඉන්පසුව පිළිවෙළින් 2013, 2014 යන වසරවලදී ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවන් බටහිර රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයට වෙත ගෙන එන ලදී. එම යෝජනා සැලකීමේදී මේතාක් එල්ලවූ යුධ අපරාධ චෝදනාවට අමතරව මාධ්‍ය නිදහස උල්ලංඝණය වීම්, පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් ආදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා එල්ල විය. යෝජනාවලියේ ක්‍රමික විකාශය කෙරෙහි ඩයස්පෝරාවේ මෙන්ම මෙරට දේශපාලන හැසිරීම හා විදේශ ප්‍රතිපත්තිද බලපෑම් කළේය.

2014 වසරේ ඉදිරිපත් වූ යෝජනාව වඩාත් දේශපාලනික මුහුණුවරක් ගත්තේය. එහිදී ලංකාවේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා බලය විමධ්‍යගත කළ යුතු බව දක්වා තිබිණි. තවද මෙයින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය හරහා නියෝග ලබාදෙන ඉල්ලා සියේය. ඒ අනුව නිල වශයෙන් ලංකාවේ යුධ අපරාධ පිළිබඳ විමර්ශන කිරීමට කමිටුවක් පත් කෙරුණි. OISL වාර්තාව (OHCHR Investigation on Sri Lanka) ලෙස හඳුන්වන්නේ මෙම කමිටු වාර්තාවයි. කෙසේ නමුත් 2014 වසරේ මෙම යෝජනාව කවුන්සිලය තුළ සම්මත කරගන්නට බටහිර රටවල්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඉන්දියාව පකිස්ථාන ඇතුළු බොහෝ රටවල් මෙය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ බලපෑමක් ලෙසය. ඔවුන් ඊට විරැද්ධ වූ නමුත් මෙවරද කවුන්සිලයේ සංයුතිය බටහිර රටවලට වාසිදායක විය.

2015 වසර ශ්‍රී ලංකාවට සෑම අතින්ම තීරණාත්මක වූ අතර එතෙක් පැවති පාලනය බිඳවැටුණි. නව ජනාධිපතිවරයෙක් නව ආණ්ඩුවක් බිහිවිය. මේ අතර නැවත 2015 රුස්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ වනවිට නිත්‍යානුකූල පිළිගැනීමක් සහිත OISL වාර්තාව ඉදිරිපත් විය. එහෙත් සැබෑවටම මෙම වාර්තාව පදනම් වී තිබුණේ පෙර දරුස්මාන් වාර්තාව මතය. නමුත් එය මෙවර නීත්‍යානුකූල විය. ඒ අනුව පළමුවරට ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වූයේය. සැප්තැම්බර් 15 වැනිදා වාර්තා ඉදිරිපත් වූ අතර සැප්තැම්බර් 16 වැනිදා ලංකා රජය එය පිළිගනු ලැබීය. නව රජයේ ප්‍රතිපත්ති වෙනස් වී තිබීම ඊට නව තීරණය හේතු වූවේය.

ඒ සමඟම මෙවර ඉදිරියට පැමිණියේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන් මෙම වාර්තා මත පදනම් වී ශ්‍රී ලංකාවට යෝජනාවලියක් ඉදිරිපත් කළේය. අප කතාව ආරම්භයේදී සඳහන් කළ 30.1 යනු එම යෝජනාවලියයි. ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දක්වමින් එකඟත්වය පළකරන ලදී. ඒ අනුව අනෙක් රටවල්වලටද ලංකාවේ මෙම යෝජනාවට විරුද්ධ වීමට ඉඩකඩක් නොවීය. පසුගිය කාලයේ විදෙස් අධිකරණ කතා, නව පනත්, ව්‍යවස්ථා වෙනස්කම්, ඉඩම් පවරාදීම් ආදිය සියල්ල පිළිබඳ දේශපාලන කතිකාවතක් නිර්මාණය වූයේ මෙම යෝජනාවේ ඇතුළත් කරුණු අනුවය.

දැන් අප නැවත වර්තමානය දෙසට හැරෙමු. මෙවර සැසිය ආරම්භයේදී එක්සත් රාජධානියේ නියෝජිතයා වන විදේශ කටයුතු අමාත්‍ය ලෝඩ් අහමඩ් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රසාදයෙන් කතාකර තිබේ. උතුරේ ජනතාවට ඉඩම් ලබාදීම හා ප්‍රතිසංධාන කාර්යාල පිහිටුවීම සම්බන්ධයෙනි. ඒ අනුව එංගලන්තය, කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ යන රටවල් විසින් ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසංධානය මානව හිමිකම් ප්‍රවර්ධන යන තේමා ඔස්සේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කියැවේ. 2015 ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වන ලද යෝජනාවට මෙම රටවල්ද අනුග්‍රහය දක්වනු ලැබීය. කෙසේ නමුත් මේ හරහා 30.1 යෝජනාව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට යෝජනා විය හැකිය.

සමස්ත සිදුවීම පිළිබඳව අප මෙම සංෂිප්තව කරුණු ගොනු කරමු. අවසාන විග්‍රහය ඔබට බාරය. කෙසේ නමුත් සිහිපත් කළ යුතු කරුණු කිහිපයකි. 2015 දී අපට යෝජනා ගෙනා ඇමරිකාව මේ වනවිට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී තිබේ. ඒ එහි පක්ෂපාතී යැයි චෝදනා කරමින් මානව හිමිකම් කවුන්සිලය අසූචි වළකට සමාන කරමිනි. ලොව බොහෝ බලවත් රටවල් තමන්ට චෝදනා එල්ල වනවිට හැසිරෙන ආකාරයට මෙය කදිම උදාහරණයකි.

අප මේ සටහන ලියන මොහොතේ පවා දෙමළ ඩයස්පෝරාව ජිනීවාහිදී සක්‍රීයව කටයුතු කරමින් සිටී. ලංකාවේ දෙමළ ජනතාව අදටත් ඝාතනය කරන බව කියමින් ඔවුහු ජාත්‍යන්තරයට කරුණු දක්වති. අප තානාපති නිලධාරීන් බොහෝවිට ඒවා ඉදිරියේ නිහඬ සිටින්නේ දේශපාලන ප්‍රතිපත්තින් මත විය යුතුය. ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් මෑතක සිට ජිනීවා නියෝජනය කරමින් රට වෙනුවෙන් හඬ නගති. එය කොතරම් සාර්ථකදැයි අප නොදනිමු. සැබෑවටම රට තුළ දේශපාලනිකව විසඳාගත යුතු මානවවාදීව බැලිය යුතු ප්‍රශ්නයක් තිබේ. එය විසඳිය යුත්තේ කෙලෙසදැයි තීරණය කළ යුත්තේ ජාත්‍යන්තර හෝ දේශපාලකයන් නොව ලාංකීය මහ ජනතාවයි.

චමිඳු නිසල් ද සිල්වා

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30