2019 මාර්තු 02 වන සෙනසුරාදා

කුඩු මතින් ගැලවෙන්න අත දෙන ‘මැල් මැඳුර’

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

ඔවුන් ජීවිතය වින්දේ නැත. ඒ වෙනුවට ඔවුහු ජීවිතය විඳවූහ. දවසින් දවස ශරීරය වැරහැලි වෙද්දී ඔවුන් මේ සමාජය මගින් කොන් කරනු ලැබූහ. ‘කුඩ්ඩෝ’ යනුවෙන් හැඳින්වූ ඔවුහු පැය ගණනකට පාට පාට ලෝකවල ජීවත් වූහ. ඒ පොඩි කාලයට අමුතු ‘කික්’ එකක් ගතට දැනුනත් ඇට ලේ නහර හරහා යන විෂ ශරීර ගත වෙද්දී බොහෝ තරුණ හදවත් නිරායාසයෙන් ජීවයෙන් තොර විය. සමාජය නිසා ඇතැම්හු මතට පුරුදු වූහ. කුතුහලයට තවත් සමහරු පුරුදු වූහ. මේ අතර තවත් සමහරු ජීවිතෙන් පලා යාමට මත් රකුසාගේ පිහිට පැතූහ. නමුත් මේ සියල්ල අවසානයේදී ඒ සැවොම ජීවිතයෙන් පරාජය ලද්දෝ වූහ.

මතට පුරුදු වී ජීවිතයේ බොහෝ දෑ අහිමි කරගත් කල්පනා අපිට මුණගැහෙන්නේ සුමිත්‍රයෝ මැල් මැඳුරේදීය. ආදරණීය සැමියාත් වයස අවුරුදු හතරක් වූ පුංචි මල් කැකුලක් වූ චූටි දියණියගේ ජීවිතයත් එක්ක ඔට්ටු අල්ලන්නට තරම් අකාරුණික වූ කල්පනාගේ ජීවිතය විනාශ කළේ මතු කුඩුය. කියවා බලන්න. මේ ඇගේ කතාවයි.

කල්පනා (අපි ඇයව එලෙසින් හඳුන්වමු.) හුරතල් පුංචි දියණියකගේ අම්මා කෙනෙකි. සැබැවින්ම හැඩකාරය. පාසල් යන කාලෙදිම ඇති වූ ප්‍රේමයෙන් ඇය පියල් සමඟ විවාහ විය. ඔවුන්ට පුංචි දියණියක් උපන්නේය. මොවුහු මොරටු ප්‍රදේශයේ ජීවත් වූහ. පියල් රජයේ ආයතනයක යම් උසස් තනතුරක් දැරූ නිලධාරියෙකි.

එමෙන්ම ඔහු රැකියාව දේවත්වයෙන් සැලකූ නිලධාරියෙකි. කල්පනා රැකියාවක් නොකළාය. නමුත් ඇයගේ ජීවිතේ හරි අපූරු හීන ගොන්නක් තිබුණි. පුංචි දියණිය සමඟ සැමියා සමඟ සුන්දර ජීවිතයක් ගතකරන්නට ඇය හීන දැක්කාය. එකල ඇය සැමියාට හොඳ බිරිඳක් ද, දියණියට ආදරණීය අම්මා ද වූවාය. කුඩා දියණිය පෙර පාසල් දැමීම සහ ගෙන ඒම ඇයට පැවරුණි. ඇය එය ඉතා කැමැත්තෙන් සිදු කළාය. පෙර පාසල අවසන් වනතුරු ඇය පෙර පාසල් ගේට්ටුව අසල රැඳී සිටියාය.

ඇගේ ජීවිතය වෙනස් වූයේ එතැනිනි.

“මොකෝ මේ මූණ රතු වෙලා? තාම ඊයේ රූ වෙච්චි දේවල් මූණෙන් පේනවා?”

“කෙල්ලට තෙහෙට්ටු පාටයි. මොකෝ හස්බන්ඩ් ඊයෙ රෑ ඉන්න දුන්නෙම නැද්ද? ”

“අම්මා ඉන්නවා කියලා නෑ අනේ.. හස්බන්ඩ් මාව තුරුළු කරගන්නවා”

පාසල් අම්මලාගේ කියවිල්ල කල්පනාට කන්දොස්කිරියාවක්ම විය. ඇය එවැනි කතාවලට හූමිටි තැබුවා පමණි. නමුත් අනෙකුත් අම්මලාට ඒවා රස කතා විය.

“මොකෝ කල්පනා.. මහත්තයා ඊයෙත් නයිට්ද? ”

ඇතැමුන්ට කල්පනාගේ වෙනස ද තේරුණි.

පියල් සෑම උදෑසනකම රැකියාවට නිවසින් පිටත් විය. මහ රෑ නැවත ගෙදර පැමිණියේය. කල්පනා උයා පිහා තිබූ කෑමක් ගෙන ඇඟපත සෝදාගෙන “මට මහන්සියි මම නිදියනවා කල්පනා” යැයි පවසා නින්දට යයි. ඉඳහිට රූපවාහිනී තිරයේ යන ක්‍රිකට් තරගාවලියක් බැලුවද ටෙලි නාට්‍යයක් කිසිදාක බලන්නේ නැත. කල්පනාට ක්‍රිකට් තේරෙන්නේ ද නැත. අවසානයේදී එකම යහනක දෙපැත්තකට හැරී ඔවුහු නින්දට යති. මේ සුපුරුදු දින චර්යාවට කල්පනා අකමැතිය. ඔය අතර පෙර පාසල් අම්මලාගේ රස කතා කල්පනාව තවත් අසරණ කළාය.

“ඇඟට කික් එ‍ක දෙන දෙයක් ගෙනත් දෙන්නද?”

දිනක් අම්මා කෙනෙක් අමුතු යෝජනාවක් ගෙනාවාය. කල්පනා එකපයින් කැමති විය. එදිනම කල්පනා රුපියල් පන්සීයක් දීමට තරම් කලබල විය. පහුවදා උදෑසන ඇයට බඩු ලැබිණි.

“මෙතන දෙන්න බෑ. යමු අපේ ගෙදර ත්‍රීවිලර් එකකින්. මොන්ටිසෝරිය ඇරෙන වෙලාවට එමු.”

කල්පනා කිසිවක්ම නොසිතා ත්‍රීවිලර් රථයට ගොඩ වූවාය. ආදරණීය අම්මා කෙනකු වූ, යුතුකම් ඉටුකළ දයාබර බිරිඳක වූ කල්පනාගේ ජීවිතයේ ඉරණම ඒ ගමනින් සම්පූර්ණයෙන්ම වෙනස් විය. කල්පනා තම මිතුරියගේ නිවසේදී මුල්ම වරට හෙරොයින් පාවිච්චි කළේ එදිනය. එක දිගටම කැස්සක් ආවේය.

“ඔහොම තමයි. හැබැයි මාර කික් එකක් එන්නේ. තව පන්සීයක ටිකක් අරගෙන ගිහින් මහත්තයා එන්න ටිකකට කලින් අරගන්න. හෙට උදේට මහත්තයා රස්සාවට යන එකකුත් නෑ.”

කල්පනා එයද විශ්වාස කළාය. රුපියල් පන්සීයක් දී කුඩා කුඩක් ගෙන චූටි දියණියගේ පෙර පාසල් පොත් බෑගයේ දමා පරිස්සම් කරන්නට තරම් ඇය මව් පදවියට නිගා කළාය. ඇය පුදුම ජවයකින් වැඩ කළාය. තනිවම සින්දු කීවාය. අම්මාගේ හැසිරීම පුංචි දියණියට පුදුමය. අම්මා කුඩු මතින් සින්දු කියද්දී පුංචි දැරිය නොදන්නාකමට අම්මා සමඟ පද කියා නැටුවාය. පැයෙන් පැය ගෙවී යද්දී ඇගේ මතය අඩුවිය.

ඇයට දියණියගේ පෙර පාසල් පොත් බෑගය මතක් විය. දෙවරක් නොසිතාව මිතුරිය කියාදුන් පරිදි ඇය හුරුපුරුදු ගැහැණියක් ලෙසින් නැවතත් කුඩු බීවාය. ඇඟට දැනුණු කික් එකක් නැත. වෙනදාට වේලාසන නිදියන පියල් වෙනුවට කල්පනා ඇඳ බදාගත්තාය. අසනීපයක් යැයි සිතා පියා දියණියගේ සියලු කටයුතු කර මැදියමේ ඇඳට පැමිණ නිදාගත්තේය.

කල්පනාගේ ජීවිතය එතැනින්ම වෙනස් විය. ඇයට රුපියල් පන්සීයක කුඩු එක වෙලාවකට මදි විය. මාසේ වියදමට පියල් දුන් මුදල් සතියකදී අවසන් විය. දියණිගේ පෙර පාසලට දෙන පාසල් ගාස්තු ද හෙරොයින්වලටම අවසන් විය. ඇය තමන් සන්තකව තිබූ සියලුම රත්තරන් ආභරණ උකස් කළාය. පොලියට මුදල් ද ගත්තාය.

“කොහොමද කල්පනා.. දැන් මාර කික් එකක් නේද?”

“ඔව්. ඇඟට මාර ජොලියක් තියෙන්නේ.”

කල්පනා මිතුරු වෙසින් පැමිණි සතුරාට විස්තර කළාය.

“අනේ අමරසේන... දුවට සනීප නෑ. රිපෝට් එකක් කරගන්න තියෙනවා. පියල් කාගෙන්වත් ඉල්ලන්න කැමති නෑ. මට රුපියල් තුන්දාහක් දෙනවද?”

“අනේ මම දෙන්නම්. මූ පිස්සෙක්නේ. අපෙන් ඉල්ලුවනම් අපි නොදී ඉන්නවද? ඉක්මනට දුවගේ අසනීපෙ හොඳ කරගන්න.”

ඇය පියල්ට නොදන්වා ඔහුගේම මිතුරන්ගෙන් විවිධ හේතු ඉදරිපත් කර එසේ මුදල් ගත්තාය. ඒ සියල්ල මත් කුඩට යට කළාය. ටිකින් ටික ඇගේ අතින් සිදුවිය යුතු යුතුකම් මඟහැරැණි. ඇය දියණිය අමතක කර දවසක් ගෙදර ආවාය. තවත් දවසක් පුංචි දියණියගේ හිස් කෑම පෙට්ටිය බෑගය තුළට දමා පාසල් යැව්වාය. ඇය ණයකාරියක් වූවාය. මුදල් නැති සෑම දවසකම ඇයට එක දිගට දුරකථන ඇමතුම් ආවේය.

“බඩු ඇවිත් තියෙන්නේ. ඇයි ගන්න එන්නෙ නැත්තේ?”

ඇය මත්කුඩට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වූයේ එලෙසිනි. මත්කුඩු නැති වූ විට ඇයට නිදිමත දැනෙයි. අඟපත ගැහෙයි. වරින්වර වැසිකිළි යමේ අවශ්‍යතාවය ද දැනෙයි. ඇයට කෑම අප්‍රියය. නිතරම කුඩා දියණියට බැණ වැදුණාය. ඇය තුළින් සුන්දරකම ගිලී ගියේ ඇයටත් හොරාය. නෑමට ඇය අකැමතිය. මේ ලක්ෂණයන් තුළින් පියල්ට යම් සැකයක් ඇති විය. අවසානයේදී ඇය සියල්ලම පියල්ටත් අම්මාටත් අඬමින් පැවසුවාය.

අවසානයේදී ඇය “සුමිත්‍රයෝ මැල් මැඳුරට” කැඳවාගෙන යනු ලැබුවාය. ආයතනයට ඇය එනවිටදී ඇයගේ නියපොතුවල කුණු පිරී තිබුණි. ශරීරයෙන් අමුතු දුගඳක් පැතිරිණි. සැමියා මෙන්ම කුඩා දියණිය ද ඇයව ප්‍රතික්ෂේප කළාය. නමුත් මැල් මැඳුරේ පිහිටෙන් අද ඔවුහු සතුටින් ජීවත් වෙති. අද කල්පනා ඒ අතීතයට සාප කරන්නීය. මල් කැකුලක් වූ පුංචි දියණියගේ ආදරණීය අම්මා ඇයට ආපසු ලැබුණේ මැල් මැඳුරේ පිහිටෙනි.

සුරේෂ්ගේ වයස අවුරුදු විසි හතරකි. අවුරුදු දෙකක් ඔහු විදෙස් රටක සේවය කළේය. විදෙස්ගතවීමට පෙර ගිම්හානි සමඟ ඔහුගේ ප්‍රේමයක් ගොඩනැගුණි. දෙපාර්ශවයේම මේ ආදර කතාවට ආශිර්වාදය ලැබුණි.

“අවුරුදු විසි පහ වෙනකොට මම ඔයාව කසාද බඳිනවා. ඊට කලින් අපි දෙන්නට ඕන කරන හැමදෙයක්ම මම ඔයාට අරගෙන දෙනවා. මම ඔයාව රැජිණක් කරනවා.” සුරේෂ් පොරොන්දු විය. පොරොන්දු වූවා සේම විදෙස් රටේදී උපයාගත් මුදලින් සුරේෂ් බොහෝ දෑ ගත්තේය.

“සුරේෂ් ඉක්මනට ලංකාවට එන්න. අඩුම ගානෙ නිවාඩුවටවත් පොඩ්ඩක් ඇවිත් යන්න”

ගිම්හානි නිතර නිතර සුරේෂ්ට ඇවිටිලි කළාය. ඔහු නිවාඩුවට ලංකාවට ආවේය. ඒ අතේ කරේ ඕනෑ තරම් රත්තරන් පුරවාගෙනය. ඔහුට අතමිට සරුය. ගිම්හානිට සතුට  නිම්හිම් නැති විය. මවුපියෝ සතුටු කඳුළු වැගිරූහ. ඔහු දින ගණනාවක්ම ඔහුගේ අලුත් මෝටර් සයිකලයෙන් එහේ මෙහේ ගියේය. පාසල් යන කාලයේදීම ඔහු දුම්වැටියට ලොල් වූ තරුණයෙකි. ගිම්හානි සමඟ ඔහු අලුතෙන් ඉදිවෙන නිවෙස ද බලන්නට ගියේය. ඉතිරි වැඩ වෙනුවෙන් අවශ්‍ය සිමෙන්ති, වැලි ඔහු ගෙන ආවේය.

“සුරේෂ් නැද්ද පාටියක්? ”

“ඔහොම තමයි හරි ගියාම”

“ලෝබ වෙන්න එපා මස්සිනා..”

සුරේෂ්ගේ යාළුවෝ නිතරම පැවසූහ. අවසානයේදී ඔහු තම මිතුරන්ට සාදයක් සූදානම් කළේය. පදමට රත් වූ යාළුවෝ සින්දු කියූහ. සමහරු නැටූහ. අනිල් සුරේෂ් ළඟට කිට්ටු විය. ඒ වනවිටත් සුරේෂ් ද යම් පමණකට මත් වී සිටියේය. ඔහු දුම්වැටියක් දැල්වීය.

“මචං මේවා මොනවද? නියම භාණ්ඩයක් තියෙනවා. ආයෙ නෑ සුපිරියි.. අපි ටිකක් ට්‍රයි කරමුද?”

අනිල් යෝජනා කළේය.

“වරෙන් යමං” දෙවරක් නොසිතාම සුරේෂ් බයිසිකලය පණ ගැන්වූවේය. සුරේෂ් ජීවිතයේ ප්‍රථම වතාවට අයිස් නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලුවේ ඒ ආකාරයටයි. එදා සිට ඔහු එයට ඇබ්බැහි විය. අවසානයේදී ඔහු හොඳ කුඩ්ඩෙක් විය. මුලින්ම ඔහු ලංකාවට ගෙන ආ මුදල්වලින් හෙරොයින් මිලදී ගත්තේය. ලීසිං කරගත් බයිසිකලයේ වාරික එකින් එක එකතු වුණේය. කෙටි නිවාඩුවකට ලංකාවට ආ සුරේෂ් විදෙස්ගත වන්නට මැලි වූවේය. ගිම්හානි සිතුවේ ඒ ඇය නිසා බවය. නමුත් ආරාබි රටවල හෙරොයින් කොහෙන්ද? ඒ නිසාම රට යාමේ අදහස සුරේෂ් අත්හළේය.

අතේ තිබූ වටිනා බ්‍රේස්ලට් එක උකස් කඩේට සින්න විය. සිමෙන්ති කොට්ට, වැලි, ගල් අඩු ගානට විකුණුවේය. ගෙයි අත්තිවාරම් උඩ තණකොළ හැදුණි. ඔහු දිනකට පන්දහසක පමණ කුඩු බීවේය. සුරේෂ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහු ඇතැම් දිනවල වමනය කළේය. කෑම කෑමට අප්‍රිය විය. ඉතා අලස පුද්ගලයකු වූ සුරේෂ් බඩු නොමැති වූ විට ‘සික්’ එකට බිලි විය.

අවසානයේදී අම්මා, තාත්තා, අක්කාගේ රත්තරන් බඩු උකස් කඩවලට සින්න විය. ගිම්හානි වෙනතක් බැලුවාය. ඔහුට ගාණක් නැත. නමුත් දරුවෙක් නිස්කාරණේ විනාශ වෙනවා බලාගෙන ඉන්නට ශක්තිය ඇත්තේ කොයි අම්මා, තාත්තාටද?

අවසානයේදී ඔවුහු සුරේෂ් මැල් මැඳුරට කැඳවාගෙන ආහ. ඔහුට අලුත් ජීවිතයක් ගත කරන්නට ඕනෑ විය. මහලු පියාගේ ලැබෙන විශ්‍රාම වැටුප් මුදල් හොර රහසේ ගත් කාලය ගැන, අක්කාගේ මාලය නිදි ඇඳේදීම ගලවාගෙන ගිය දවස, අම්මාගෙන් කරදර කරමින් මුදල් ගත්තු කාලය අමතක කරන්නට සුරේෂ්ට ඕනෑ විය. ඔහු සුමිත්‍රයෝ මැල් මැඳුරෙන් පිහිට පැතුවේය. ඔවුන්ගෙන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලැබුණි. නුදුරු දවසකදී සුරේෂ් නැවතත් විදෙස්ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටී.

මෙවන් ඇබ්බැහිවූවෝ බොහෝමයක් අද “සුමිත්‍රයෝ” පිහිටෙන් සම්පූර්ණයෙන්ම මිදී සිටිති. ඇබ්බැහිවූවකු එයින් මිදීම එතරම් ලෙහෙසි නැත. නමුත් අමාරු ද නැත. ඒ වෙනුවෙන් මූලිකවම අවශ්‍ය වන්නේ ඕනෑකමයි.

කල්පනාලා, සුරේෂ්ලා ඕනෑතරම් අද මේ සමාජයේ වෙසෙති. ජීවිතේ සතුට යැයි මවාපාන ඇතැමුන්ගේ මඟ පෙන්වීමෙන් තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අද ද වල්මත් වී හීන ලෝකවල ජීවත් වෙති. එවන් වැනසෙන ජීවිතවලට වටිනාකමක් එක්කරන්නට සුමිත්‍රයෝ මැල් මැඳුර සූදානම්ය. ඇබ්බැහි වීම්වලින් මිදීමට ප්‍රමාද නොවී ඔවුන් සමඟ අලුත් ගමනක් යාමට සූදානම් ඕනෑම අයකුට පිහිට වීමට ‘මැල් මැඳුර’ සූදානම්ය.

 

විශේෂ ස්තූතිය -

ප්‍රසාද් ගුණවර්ධන

ක්ෂේත්‍ර වැඩසටහන් නිලධාරී

සුමිත්‍රයෝ - මැල් මැඳුර

►සටහන - දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00