2019 මාර්තු 02 වන සෙනසුරාදා

මධූෂ්ගෙන් පස්සේ කුඩු පාතාලේ කැළඹිල්ල

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

"කොට්ටෝරුවා කොටාගෙන කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කොටපු දවසට තමයි වැඩේ කියලා" යැයි ගමේ කතාවක් ඇත. අද මධූෂ්ටත් එයාගේ ගෝලයන්ටත් අත්ව ඇති ඉරණම කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට සිදුවූ ඉරණම හා සමානය. එහෙන් මධූෂ් ඇතුළු තෝර මෝරැ ඩුබායි හිරගෙදරය. අනෙක් පැත්තෙන් මෙරට සිටි මධූෂ්ගේ ගෝල බාලයන් පසුපස විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරීහු පන්නති. ඒ නිසා මධූෂ්ට කිසිදු සරණක් නැත.

මධූෂ් පමණක් නොව මධූෂ්ගෙන් ජීවත් වන දේශපාලනඥයන් ද දැන් සිටින්නේ ඇටිකෙසෙල් කාපු උගුඩුවන් මෙනි. දුරකථන හරහා සම්බන්ධ වෙමින් මධූෂ් සමඟ අනාගත සැලසුම් ඇඳී දේශපාලඥයන් අද මධූෂ් අඳුරන්නේද නැත. අහලත් නැත. එහෙත් මේ සියල්ල මධූෂ් මෙරටට පැමිණ වමාරන තෙක් පමණි.

කෙසේ වෙතත් මේ වනවිට ඩුබායි බන්ධනාගාරයේ සිටින මධූෂ් පසුගියදා (28) එරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් මධූෂ්ට හෝ කිසිවකුට ඇප ලැබුණේ නැත. නැවතත් මාසයකට සිරගෙට නියම විය.

මේ අතර ජනාධිපතිවරයා රහස් පොලීසියට නියෝගයක් ලබාදුන්නේය. ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රරණය අදාළව ලද හඬ පටයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් මධූෂ් යොදා මෙහෙයුම ක්‍රියාත්මක කළයුතු යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසටය. ඒ අනුව රහස් පොලීසිය තානාපති කාර්යාලය හරහා අවසරයක් ඉල්ලා යවා ඇත. ඒ මධූෂ්ගෙන් ප්‍රකශයක් ලබා ගැනීම සඳහාය. එම අවසරය ලබන සතියේ බොහෝ විට ලැබීමට නියමිතව අත.

මේ අතර මධූෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ දියමන්ති කොල්ලයේ සැකකරුවන් දෙදෙනෙකි. ඉන් එක් සැකකරුවකු මධූෂ්ගේ පියාගේ මළගෙදර සියලු වැඩකටයුතු සිදුකළ පුද්ගලයා විය. ඔහු කැලුම් නැමැත්තෙකි. මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු ඩුබායි සිට නැරඹුවේ මේ කැලුම්ගේ සීසීටීවී මෙහෙයුම නිසාය. එලෙස දියමන්තිය සොරාගන්නා තෙක් මධූෂ් එරට සිට නරඹා ඇත්තේ ද දුරකථනය හරහා සජිවීව නැරඹීමට ක්‍රමවේදයක් කැලුම් විසින් සැකසූ නිසාය. ඒ නිසා කැලුම් කඩුවෙලදී අත්අඩංගුවට පත්විය. අනෙක් සැකකරු මේ කොල්ලයේ රියැදුරු වූ අතර ඔහු මෙම කොල්ලයේ මහ මොළකරු විය. ඔහු දියමන්තිය රැගෙන මේවන විට පලාගොස් ඇත. ඒ අනුව එම දෙදෙනා දැන් ඉන්නේ අත්අඩංගුවේය.

කෙසේ වෙතත් මේ වන විට කුඩු පාතාලයම මධූෂ්ට එරෙහිව අවි අමෝරන්නට පටන්ගෙන ඇත. ඒ මධූෂ් මෙරට කුඩු ඒකාධිකාරයක් ගොඩ නගා තිබීම නිසාය. මේ නිසා මොරිල්ගේ ඔත්තුවෙන් මධූෂ් කොටු වූවා සේම වෙලේ සුදාගේ ඔත්තුවෙන් පසුගියදා මොරිල්ගේ හෙරොයින් තොගය කොටුවිය. මධූෂ් සියලු කුඩු පාතලයන්ට තමන්ගෙන් එහා යන්නට ඉඩ දුන්නේ නැත. මේ නිසා වෙලේ සුදා සිටියේ මධූෂ් සමඟ බද්ද වෛරයෙනි. සුදා පකිස්ථානය සමඟ ගනුදෙනු කරන ප්‍රබලයා නිසා සුදත් මොරිලුත් එකම මිත්‍රයෝ වෙති. මොරිල්ගේ කුඩු කිලෝ 128ක් මධූෂ් කොල්ල කෑම නිසා මොරිල් සහ පාකිස්ථන නඩය මධූෂ්ව ඩුබායි පොලීසියට අල්ලා දුන්නේය. එහෙත් මේ පිටුපස වෙලේ සුදා සිටිනා බව දැන් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ අතර මොරිල්ටත්, වෙලේ සුදාටත් එරෙහිව තවත් අයෙක් මෙරට කුඩු ජාලයට එක්ව සිටී. ඒ බංගලිදේශ ජාතිකයෙකි. මොරිල් සහ සුදා කුඩු කිලෝව රුපියල් ලක්ෂ 40 ට විකුණන විට බංගලි ජාවාරම්කරු කුඩු කිලෝව ලක්ෂ 30 ත් 35 අතර මිලකට මෙරට වෙළඳපොළට ලබා දී ඇත. මේ නිසා සුදා පසුගිය කාලය පුරාම පොලීසියට ඔත්තු ලබාදෙමින් බංගලිදේශ ජාතිකයාගේ කුඩු සියල්ල කොටු කරදී ඇත. මේ නිසා සුදා පසුගිය කාලයේ ආරක්ෂක අංශවල හොඳම ඔත්තුකරු ලෙස සිට ඇත.

කෙසේ වෙතත් මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ නැවත වෙලේ සුදාගේ මාර්කට් එක ක්‍රමයෙන් ඉහළට එමින් පවතී. මේ අතර මොරිල්ගේ කුඩු තොගයක් ද වෙළඳපොළට පැමිණීමට සුදානම්ව සිට ඇත. එහෙත් ඊට ඉඩ නොදුන් සුදා තම හොඳම යාළුවා වූ මොරිල්ගේ කුඩු තොගය ගැන ඔත්තුව ලබාදුන්නේය. මේ නිසා ලංකාවේ විශාලතම කුඩු තොගය පසුගියදා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මේ වනවිට සුදාගේ මාකට් එක හදාගෙන ඇති අතර සුදා බන්ධනාගාරයේ සිටිමින් දැන් නිදහසේ සිය ජාවාරම සිදුකරගෙන යන බව දැනගන්නට ඇත. එහෙත් සුදාලා හීන දැක්කාට මධූෂ් තවම සිය සටන අත් හැර නැත. මධූෂ්ට අයත් කුඩු කිලෝ 500කට ආසන්න තොගයක් විවිධ ස්ථානවල ගාල් කර ඇති බව දැනගන්නට ඇත. ඒ බව මේ වන විට රටේ ආරක්ෂක අංශ පවා දැනුවත්ව ඇත.

කෙසේ වෙතත් මීට අමතරව මොහොමඩ් සිද්ධික් ද කුඩු ජාවාරම නැවත සිදුකරගෙන යන බව ආරංචිය. ඊට අමතරව විදෙස් ගතව සිටින දෙමළ ව්‍යාපාරිකයකු සම්බන්ධව ද මේ කතාව ඇත. එහෙත් මේ සියල්ලේම පොදු හතුරා මධූෂ්ය. හැමෝම සිහින දකින්නේ මධූෂ් මේ කතාවෙන් අවසන් ගමන් යනතෙක්ය. එසේ ගියහොත් ඔවුන්ට සිය කුඩු ව්‍යාපාරය සිදුකරගෙන යාමට නිදහස ලැබේ. එසේම පසුගිය දවසක මොරිල් හදිසියේම එංගලන්තයට ගොස් ඇත. ඒ එහි සිටි තවත් කුඩු ව්‍යාපාරිකයකු බැහැ දැකීම සඳහාය. ඔහු ද මේ කුඩු කතාවේ එක් පරිච්ඡේදයකි. ඔහු ද උත්සාහ කරන්නේ කුඩු බිස්නස් එකට ඇතුළු වීමටය. ඒ මොරිල් හරහාය.

කුඩු පාතාලයේ බොහෝ දෙනෙකු මධූෂ්ට බය වී ඇත්තේ මධූෂ් කොන්ත්‍රාත් මිනීමරුවකු නිසාය. මධූෂ්ට ඉහළින් යන ඕනෑම අයකුට මධූෂ් මරණය ලබාදීම සාමාන්‍ය දෙයක් වී ඇත. ඒ නිසා වෙලේ සුදාලා පවා මධූෂ් සමඟ පැටලුණේ නැත. සුදාට අවශ්‍ය වී ඇත්තේ කුඩු ඒකධිකාරය තමන් සතු කර ගැනීමටය.

මේ අතර මධූෂ් වෙනුවෙන් කොන්ත්‍රාත් මිනීමැරුම් කළ දකුණ පාතාලයේ පිරිස් කොළඹ පැමිණ සිටින බවත් කොළඹ පිරිස් දුර බැහැරට පළාගොස් සිටින බවත් කියති. ඔවුන්ට තවම නායකත්වයක් ගැනීමට මධූෂ් නොමැති නිසා එකිනෙකා සැඟවී සිටීමට තීරණය කර ඇති බවත් ඒ මධූෂ්ගේ පෙර සැලසුම් අනුව බවත් සඳහන්ය.

කෙසේ වෙතත් මධූෂ්ගේ පිරිස් ඔහු සම්බන්ධව ඔත්තු ලබාදෙන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකරන බව සඳහන් වේ. එලෙස විශේෂ සොයා බැලීමක් කරන්නේ මධූෂ්ගේම ගෝලයන් ගැනය.

දෙබරයට ගල්ගැසුවාක් මෙන් සතර සැරිසරන මධූෂ්ගේ අන්ත අසරණ ගෝලයෝ තැන් තැන්වල පිස්සු බල්ලන් සේ එහේ මෙහේ දුවති. ඒ ඔවුන්ගේ ආරක්ෂාවට එල්ල වී ඇති ආරක්ෂක අංශ වැටලීම් තර්ජනය හේතුවෙනි.

කෙසේ වෙතත් දැනට මධූෂ්ගේ හොඳම සහ මෙරට ප්‍රධානියා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඔහු දිනකට බට්ටා ලොරියකින් වටේ කැරකී කුඩු ආදායම වශයෙන් ලක්ෂ 40ක මුදල් සොයාගෙන එන බව දැනගන්නට ඇත. එම මුදල එදිනම උණ්ඩියල් ක්‍රමයට ඩුබායිවලට යවන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් දැන් එන්න එන්නම තත්ත්වය දරුණු වෙමින් පවතින අතර මධූෂ්ගේ හෙංචයියන් ද ඉන්නේ වෙඩි කෑ ඌරන් ලෙසය. ඒ නිසා කොයි මොහොතක හෝ කවුරැන් හෝ බිල්ලක් ගැනීමට ඇත්තේ ලොකු ඉඩකඩකි.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00