2019 මාර්තු 02 වන සෙනසුරාදා

රත්ගම ඝාතන දෙකේ සුලමුල 2010 මිනී මැරුමක්ද?

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනයත් සමඟ රත්ගම තවමත් උණුසුම්ය. මේ ඝාතන පිළිබඳ චෝදනාව පොලීසියට එල්ලවන නිසා රත්ගම ජනතාව තවමත් නොසන්සුන්ය. ඔවුන් පාර අවහිර කරමින් පපුවට ගසාගනිමින් ඉල්ලන්නේ සාධාරණ පරික්ෂණයකි. මෙය පොලීසියේම වැඩක් නිසා මියගිය අයගේ ඥාතීනුත්, ගම්වැසියනුත් ඉන්නේ පොලීසිය ගැන සැකයෙන්ය. එය එක් පැත්තකින් සාධාරණය. කෙසේ වෙතත් අපේක්ෂා කළ නොකළ බොහෝ දේ දැනට සිදුවී හමාරය.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ තවමත් ඝාතනය ගැන නිෂ්චිත හේතුවක් සොයාගන්න නැති රත්ගම ඝාතනය ගැනය.

2010 වසරේ දෙසැම්බර් 10 දා ආණමඩුව ප්‍රදේශයේ ස්ටැන්ලි ජෝසප් නැමැති කොතලහිඹුටු ව්‍යාපාරිකයෙක් වෙඩිතබා ඝාතනය කෙරෙයි. එය පාතාලයේ වැඩක් වන අතර ඒ ඊට පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි. එම කොන්ත්‍රාත්තුවට අවශ්‍ය ගිනි අවිය ලබාදී තිබුණේ ගම්පහ ප්‍රදේශයේ දේශපාලකයකුගේ පාතාල හෙංචයියෙක් විසිනි. එම ගිනි අවිය එකී දේශපාලකයා සමඟ ගැටුණු නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනයට යොදාගත් ගිනි අවිය විය.

කෙසේ වෙතත් එම ඝාතනයට පිරිස කොටුවෙන්නේ ඊට අවුරුදු දෙකකට පසුවය. එම ඝාතනයේ එක් සැකකරුවකු යුධ හමුදා විශේෂ බලකායේ සෙබළෙකි. ඔහු වෙඩික්කරු බව පසුව සැලවිය. ඔහු නමින් මංජුය. එකී නඩුව තවමත් විභාග වෙමින් පවතියි. එකී මංජු වර්තමානයේ රත්ගමදී පැහැර ගනු ලැබූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකි. දෛවය නම් මංජු එම ඝාතනය කරන විටත් එම ප්‍රදේශය බාරව සිටි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා ද වූයේ රවී විජේගුණවර්ධන මහතා වීමය. එය පුදුම සහගත සිද්ධියකි.

ඒ මංජුය. 2012 වසරේ නොවැම්බර් 17 වැනිදා කොල්ලකෑමක් රත්ගම ප්‍රදේශයේ සිදුවිය. ඒ කොල්ලකෑමට තරුණයෙක් සම්බන්ධ විය. ඔහු රසින් නම් විය. රසීන්ට මීට පෙර 2008 වසරේදී ගල්කටස් ගිනි අවියක් ළඟ තබා ගැනිමේ චෝදනාවක් ද ඇත. එසේම ටී56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇත. මේ රසින් යනු මංජු සමඟ පැහැරගෙන ගිය අනෙක් ව්‍යාපාරිකයාය.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රවී විජේගුණවර්ධන මහතා පත්වීමෙන් පසුව ඔහු විශේෂ විමර්ශන ඒකකයක් සිය සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ කළේය. පසුව ඔහුට ලද තොරතුරකට අනුව මෙම දෙදෙනා ආයුධ ජාවාරමකට සම්බන්ධ බව පවසා එම ආයුධ සොයාගැනීමේ අරමුණින් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කර තිබිණි. එහෙත් එය ඇත්තමද? එය ඇත්ත නම් දෙදෙනාවම ඝාතනය කළේ ඇයිද යන්න ප්‍රශ්නයක් ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැනටමත් ලැබී ඇති සාක්ෂිවලට අනුව මෙම ලිපිය ලියන්නේ පාඨක ඔබට දැන ගැනීම පිණිසය.

ඉහළ නිලධාරීන්ගෙන් ලද නියෝග මත පොලීසියේ පිරිසක් මේ ව්‍යාපාරිකයන් දෙදෙනා සොයාගෙන ගියේ මාතර සිට ගාල්ලටය. ඒ යතුරුපැදියක ගිය දෙදෙනෙකි. එක් අයෙක් පොලිස් පරීක්ෂක නිශාන්තය. පසුව නිශාන්‍ත ගොනාමුල්ල ප්‍රදේශයට ගොස් ඔහුගේ මිතුරකු සතුව තිබූ කේ.ඩී.එච් වෑන් රථයක් ඉල්ලා ගන්නේ මෙම මෙහෙයුමට යාම සඳහාය. අක්මීමන පොලීසියේ රාජකාරි කරන සමයේ ඇති කරගත් මිත්‍රකමකට අනුව එය සිදුවිය. එම වෑන් රථය ගත් සැණින් නිශාන්ත එහි අංක තහඩුව මත වෙනත් අංක තහඩුවක් ඇලෙව්වේය. එසේ අලවා වෑන් රථයත්, මෝටර් රථය සහ කැබ් රථය ද ගෙන ව්‍යාපාරිකයන් දෙදෙනා සොයාගෙන ඔවුහු ගියහ. එසේ ගොස් දෙදෙනාගේ ඇස් බැඳ වෑන් රථයට දමා ගනු ලැබීය.

ඇස් බැඳි ව්‍යාපාරිකයන් දෙදෙනාව ද රැගෙන ගිය වෑන් රථය එය ඉල්ලාගත් පුද්ගලයාගේ නිවස ඉදිරියේ නතර කෙරිණි. පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනා වෑන් රථයෙන් කැබ් රථයට මාරු කොට වෑන් රථය හිමිකරුට බාරදී ඔවුහු යන්නට ගියහ.

පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් දෙදෙනා අක්මීමන ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් රඳවා තබා ගෙන තිබිණි. එසේ රඳවා තබාගෙන දරුණු ලෙස ඔවුන්ට පහරදී ඇත. එසේ පහර දෙන විට මංජුල මිය ගිය බවත් මේ සිද්ධිය දුටු නිසා අනෙක් පුදගලයා ද පහර දී ඝාතනය කළ බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් මේ ඝාතනයෙන් පසුව මළ සිරුරු දෙක රැගෙන ගොස් වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයකට දමා ගිනිතැබූ බව හෙළිවිය. එම ස්ථානය රහස් පොලීසිය මගින් පසුගිය සිකුරාදා සොයාගත් අතර එහි අස්ථි කොටස් ද තිබී හමුවිය.

කෙසේ වෙතත් මේ සියලු කතා හෙළිකරන්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත නොව. ඔහුගෙන් පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂක විරාජ් විසිනි. විරාජ් අවුරුදු හතරක පොලිස් සේවයක නිරත වී සිටි අයෙකි. ඔහුව ද මේ ඝාතනයට ගිය කණ්ඩායමේ රැගෙන යන අතර ඔහු ඊට සහභාගි වන්නේ නැත. ඔහු එහෙත් මේ සිද්ධිය දැකීම නිසා දැඩි කම්පාවකින් සිටින බව කියති. මේ නිසාම ඔහු මේ ඝාතනය ගැන සියලු තොරතුරු රහස් පොලීසිය හමුවේ වමාරන බවද සඳහන් වේ.

ඒ තොරතුරු අනුව මෙම ඝාතනයෙන් පසුව පොලිස් නිලධාරීන්ගේ ලේ තැවරුණු කාකි ඇඳුම් මාතර සුසිර වලව්වේ පාළු වතුර ටැංකියකට දමා ගිනි තබනු ලබයි. එසේ ගිනි තබන්නේ ද ඩීසල් යොදාගෙනය.

මේ අතර මෙම පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය ලබාගත් ස්ථානයේ සීසීටීවී දත්ත ගබඩාව පොලිස් පරීක්ෂක නිශාන්ත විසින් ඊට දින දෙකකට පසුව ඉල්ලා තිබිණි. එවිට හිමිකරැ ඒ පිළිබඳව විමසා ඇතත් ඔහු පවසා ඇත්තේ පසුව කරදර විය හැකි නිසා එය ගලවා ගන්නා බවය. ඒ අනුව නව දත්ත ගබඩාවක් හිමිකරු විසින් 13000ක මුදලට සවිකරගෙන ඇති අතර පැරණි  දත්ත ගබඩාව නිශාන්ත වෙනත් පුද්ගලයකු ලවා රුගෙන ගොස් ඇත්තේ ද රුපියල් 13000ක මුදලක් ලබා දෙමිනි.

කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් ඝාතනය කළ නිවසේ තිබූ ලේ පැල්ලම් ද වලව්වේ තිබී ලේ තැවරුණු කාකි ඇඳුම් කොටස් කිහිපයක් ද පසුව රහස් පොලීසිය විසින් සොයාගනු ලැබීය. විශේෂයෙන් පොලිස් ඇඳුම් හමු වූ නිවෙස පාළු වලව්වක් වුවත් පොලිස් පරික්ෂක නිශාන්ත නැවතී සිට ඇත්තේ එම නිවසේ බවද පසුව හෙළි විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස නිශාන්ත අත්අඩංගුවට ගත්තත් මේ ඝාතනයක් නොවන බව නිශාන්ත පවසයි. එසේම ඝාතනය කළ ආකාරයක්වත් ඔහු පවසන්නේ නැත. ඒ නිසා මෙම මරණ සැකමුසු මරණ දෙකකි. මේ දෙදෙනා ඝාතනය වූ දින සිට අද දක්වා මේ ඝාතනයට හේතුවක් නැත. එහෙත් සැකකරුවන් පවසන්නේ මේ පොලිස් පරීක්ෂණයක් අතරතුර සිදූවු දෙයක් ලෙසය. එය එසේ විය හැකිද? පෞද්ගලික වාහන ලබා ගන්නත්, ඒ වාහනවල නොම්බර වෙනස් කරන්නත්, ප්‍රශ්න කරන්නට පෞද්ගලික නිවසක් යොදවා ගන්නත් හේතු මොනවාද යන්න ගැන සැකයක් ඇත. ආයුධ ලෙස සැකකරුවන් යුධ ටැංකි තබාගන්නේ නැත. එසේ නම් මේ ආකාරයෙන් දරුණු ලෙස පහර දී ඔවුන් ඝාතනය කළේ කාගේ වුවමනවාකටද යන්න ප්‍රධානම සැකය වී තිබේ. ඒ සැකය නිරවුල් කරගත හැක්කේ නිශාන්තගේ හෙළිකිරීම් මතය.

►ගයාන් ගාල්ලගේ

 
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30