2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ දෝණියැන්දාෙග් විලාසිතා අලකලංචිය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

 

අමෙරිකාවේ 45 වැනි ජනාධිපති ට්‍රම්ප් ලෝකය පුරා ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකුව සිටියි. දැන් ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ උදවියද ජනමාධ්‍ය උකුසු ඇසට නිබඳව ලක්වෙයි. එයට ගොදුරු වූ ජනාධිපති පවුලේ අලුත්ම සාමාජිකාව වන්නේ ඉවන්කා ට්‍රම්ප්ය. ඉවන්කා මාරි ට්‍රම්ප් ජනාධිපති ට්‍රම්ප්ගේ මුල් බිරියගේ දියණියයි. ඇය ව්‍යාපාරිකාවක්, ලේඛිකාවක්, රියැලිටි ෂෝ මෙහෙයවන්නියක් මෙන්ම විලාසිතාකාරියක්ද වෙයි. අලුත්ම කතාබහ මතුව ඇත්තේ ඇගේ විලාසිතා ගැනය.

ඉවන්කා ට්‍රම්ප්, කේට් මිඩ්ල්ටන් තරම්ම කතාබහට ලක්වන්නියක  බවත්, ඇය බොහෝවිට කේට්ට නොදෙවැනි වන්නට තරගයක් දෙන බවත් විවේචනයට ලක්වන කරුණුය. ඇගේ නවීන විලාසිතාවන්ගේ අපූරැව නිසාය. නමුත් දැන් අමෙරිකාව තුළම ඉවන්කාගේ මෝස්තර ජනප්‍රියතාවයෙන් අඩුවෙමින් පවතින අතර බොහෝ විලාසිතා ප්‍රදර්ශනාගාර තුළින් ඇගේ මෝස්තර එළියට විසිවී තිබේ. නැතිනම් කොන්කර දමා හමාරය. නෝර්ඩ්ස්ට්‍රෝම්, මාර්ෂල්ස් සහ හෙයිමන් මාර්ක්ස් බඳු සුප්‍රකට විලාසිතාගාර තුළින් ඉවන්කාගේ මෝස්තර ඉවතට විසිවී තිබේ. ප්‍රසිද්ධ විලාසිතා අලෙවි ආයතනයක් වන නොර්ඩ්ස්ට්‍රොම් මේ ගැන කියන්නේ විලාසිතාද ට්‍රම්ප්කරණය වීම වැළැක්වීම සිය අරමුණ බවය. අනෙක් කාරණය එම නිර්මාණ දැන් අලෙවිය අඩුව ඇති බවය. තවත් ප්‍රසිද්ධ විලාසිතා ජාලයක් වන Burlington ද ඇගේ විලාසිතා සිය වෙබ් අඩවියෙන් ඉවත් කරන්නට පසුගිය සතියේ කටයුතු කළේය.

ඉවන්කා තමන්ගේම වූ මෝස්තර ගණනාවක් හඳුන්වාදීමට සමත්වූ තැනැත්තියකි. ඇගේ නිර්මාණ වන අත්බෑග්, කාන්තා පාවහන්, ඇඳුම් සහ ස්වර්ණාභරණ කාලයක සිටම අමෙරිකානු වෙළඳපල කැළඹූ නිර්මාණ බවට පත්ව තිබුණි. නමුත්, ඇගේ විලාසිතා නිර්මාණවලට එරෙහිව කාලයක සිට එල්ල වූ විවේචනයක් වූයේ ඒවා ඇගේම නිර්මාණ නොව වෙනත් නිර්මාණකරුවන්ගේ විලාසිතාවන්ගේ කොපි බවටය. සාවුන්ගේ ලෝම යොදා නිර්මාණ කිරීම ගැන සත්ත්ව අවිහිංසාව සහ අයිතීන් පිළිබඳ ක්‍රියාකරන ආයතන රැසක්ම ඇයට එරෙහිව විරෝධය පළකර තිබුණි. පසුගිය වසරේ අමෙරිකානු පාරිභෝගික නිෂ්පාදන ආරක්ෂක කොමිසමද ඉවන්කා ට්‍රම්ප් නිපැයුමක් වන උතුරු සළුව වෙළඳපළෙන් ඉවත් කරන්නට කටයුතු කළේ ඒවා රටේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව කියමිනි. 2016 දී පරීක්ෂකයන් එළිදරව් කරගත් කාරණයක් වූයේ ඇගේ නිර්මාණ බොහෝමයක් අමෙරිකාවෙන් පිටතදී අඩු ප්‍රමිතියක් යටතේ නිපදවන බවය. ඉවන්කා සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම ඇගේ විලාසිතා සඳහා ප්‍රචාරයක් ලබාගන්නට එය උපයෝගී කරගෙන තිබුණි. රිපබ්ලිකන් නාම යෝජනා සඳහා ඉදිරිපත් වූ ට්‍රම්ප් වෙනුවෙන් අලුත් මෝස්තරවලින් සැරුසී ආ ඇය ඊළඟ දිනයේ සිය වෙබ් අඩවියේ දක්වා තිබුණේ Shop Ivanka හෙවත් Ivanka මාදිලි මිලදීගන්න යනුවෙනි. මේ ගැනද තදබල විවේචන එල්ල වී තිබුණි.

Nordstrom ඇතුළු විලාසිතා අලෙවි ජාලයන් තුළින් ඉවන්කාගේ නිර්මාණ ඉවත් කිරීම පිළිබඳ තදින්ම කතාකර තිබුණේ නව ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයද මෙහෙයවූ උපදේශිකාවක වන කෙලීඇන් කොන්වේ ය. ඇය කියා තිබුණේ ඉවන්කා ට්‍රම්ප්ගේ විලාසිතාවලට පහර ගසන්නේ ජනාධිපති ට්‍රම්ප්ට කෙළින් පහර දෙන්නට නොහැකි නිසා බවය. ඇගේ මේ ප්‍රකාශයට එරෙහිවද බොහෝ විවේචන එල්ල වූයේ එය ව්‍යවස්ථාවද උල්ලංඝනය කරන රාජ්‍යතාන්ත්‍රික නොවන පක්ෂග්‍රාහී ප්‍රකාශයක් ලෙසටය. ජනාධිපති ට්‍රම්ප් මේ ගැන ට්විටර් අඩවියේ ප්‍රකාශ කළේ මගේ දෝණි ඉවන්කාට Nordstrom අසාධාරණ ලෙස සලකා ඇති බවය.

මේ අන්දමට ඉවන්කා ප්‍රසිද්ධ විලාසිතාගාරවලින් ප්‍රතික්ෂේප වී යද්දී ඒ හේතුවෙන්ම, අනියම් අයුරින් ඇගේ විලාසිතා සඳහා ප්‍රචාරයක්ද ලැබී තිබේ. ජ්‍යෙෂ්ඨ විලාසිතා සහ අලෙවි විශ්ලේෂිකාවක වන කෙයිටී ස්මිත් පෙන්වා දී ඇත්තේ ඉවන්කා ට්‍රම්ප්ගේ විලාසිතාවලට ලැබී ඇති කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන් එහි අලෙවිය අවම වේදැයි යන්න කියන්නට තවමත් කාලය පැමිණ නැති බවය. ඇගේ වෙබ් අඩවිය ප්‍රධාන පෙළේ අලෙවිකරුවන් වන Amazon, Dillard’s, Lord of Taylon වැනි ආයතනවල වෙබ් අඩවි සමග කෙලින්ම සම්බන්ධව තිබීම නිසාත් දැන් මේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසාත් මෙතෙක් ඉවන්කාගේ විලාසිතා ගැන අසාවත් නොතිබූ අය ඒ ගැන උනන්දු විය හැකි බව ඇය පෙන්වා දී තිබේ. මේ අතර ඉවන්කා වෙනුවෙන් සටන් වදින අභීත කාන්තා කණ්ඩායමක් ගැනද අපූරු වාර්තාවක් ඉදිරිපත් විය. ඇරිසෝනාවේ Nordstrom අලෙවිහලකට කඩා වැදුණු එහි ලියාපදිංචි පාරිභෝගිකාවන් වන කතුන් පිරිසක් ද්වේෂයට ද්වේෂ කරනු යැයි කියමින් ඉවන්කාගේ විලාසිතා ඉවත් කළ මේ ආයතනය සමග පැවැති සිය ගිනුම් අත්හිටුවා නැවත මුදල් ලබාගන්නා ආකාරය ඔන්ලයින් ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

අවුරුදු 30ක් මම Nordstrom එක්ක ගනුදෙනු කරනවා. නමුත් ඉවන්කාට කළ කැත වැඩේ නිසා ආපහු මම මේ පළාතේ එන්නේ නෑ. මගේ සැමියා එන්නේ නෑ. මගේ දරැවෝ 9 දෙනා එන්නෙත් නෑ. මුණුපුරු මිණිපිරියෝ 9 දෙනා එන්නෙත් නෑ. එයින් එක් කාන්තාවක් ප්‍රකාශ කර තිබුණි. මේ නිසා ඉවන්කාගේ විලාසිතා රැල්ල දැන් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන් රැල්ලත් පරදන තරම් විශ්මිත ප්‍රචාරක සැඩපහරක් බවට පත්වන ලකුණු පහළ වී හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00