2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පිළිකාවට අභියෝග කළ නිරූපිකාවෝ

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

 

හුස්මක් සමඟම සුසුමක් නික්මෙන ඉරණම ජීවන අහසේ ලිව්වේ කවුදැයි කියන්නට අපි නොදන්නෙමු. තාරකා තීරකයා වූ ඒ දෛවය පෙර අකුසලයක්ය, නොඑසේනම් දෙවියන් වහන්සේගේ කැමැත්තයැයි සිතන ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ තත්පරය එක් අතකින් විස්මයකි. තවත් අතකින් අරුමයකි.

ගෙවී යන ජීවිතයේ ඊළඟ නිමේෂයේ ඔවුන්ට මරණය හමුවිය හැකිය. පිළිකාව යනු එවන් අවදානමකි. එහෙත් මරණයේ සීතල කළුපාට දැනී දැනෙන ළඟපාත ඉසව්වක ගැවසුණත් ජීවිතයේ අවසන් තත්ත්පරය තෙක් ජීවිතය හැර දමන්නට ඔවුහු නොසිතුවෝය. ප්‍රශ්න, කළකිරීම්, හැරයාම්, අහිමිවීම් හමුවේ තමා විසින්ම තමා ලද ජීවිතය හැරදාන්නට සිතන මිනිසුන් හිඟනොවන ලෝකයක ජීවිතය අපමණක් සොඳුරු වග පසක් කරන්නට යත්න දරන ඔවුන්ගේ විචිත්‍ර ජීවන සිතුවිල්ල ප්‍රසංශනීයව අගයමින් අපි මේ සටහනට අකුරු එකතු කරමු.

කවුරුවත් කතා කරන්නේ නෑ, පිළිකාවත් සමඟ ජීවිත්වීම ගැන. පිළිකාවක් සමඟ මියයාම ගැන තමයි හැමෝම කතා කරන්නේ. ඒ නිසා මෙවැනි වැඩසටහනක් මගින් පිළිකා රෝගීන්ට අවස්ථාව ලැබෙනවා ශක්තිමත් වෙන්න. අලංකාර ඇඳුම් ඇඳලා, කොණ්ඩෙට මෝස්තර දාලා ඉන්න ඔවුන් කිසිදාක නොලබපු අත්දැකීමක් ලබනවා.

පසුගියදා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් විලාසිතා සතිය වෙනුවෙන් පැවැත්වුණු සුවිශේෂ විලාසිතා දැක්මේ උත්සවයකදී එහි සංවිධායකවරියක් පැවසුයේ එවන් අදහසකි. පිළිකා රෝගීන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු මෙම විලාසිතා දැක්ම සඳහා සහභාගි වූ නිරෑපිකාවන් සියලුදෙනා පිළිකා රෝගීන් වූ අතර සාමාන්‍ය නිරෑපිකාවන් සේම අලංකාරව සැරසී සිටි ඔවුන් මෙවැනි දරුණු රෝගාබාධයකින් පෙළෙන බව පැමිණ සිටි අමුත්තන්ට පමණක් නොව ඔවුන්ට පවා මොහොතකට අමතක විය. මේ සඳහා සහභාගි වූ නිරෑපිකාවන් විවිධ අංග චලනයන් ඉදිරිපත් කරමින් ඉතා සැහැල්ලුවෙන් වේදිකාවේ සැරිසැරූ අතර ඇතැම් නිරූපිකාවන් වේදිකාව මත ගමන් කළේ තම රංගන හැකියාවන්ද ඉස්මතු වන අයුරිනි. කෙසේ වෙතත් එම රාත්‍රිය ඔවුන්ට ආශ්චර්යාත්මක රාත්‍රියක් වූ බව නම් කිව යුතුමය.

පිළිකාව යනු වසරකදී ලොව පුරා දසලක්ෂ ගණනකට මරු කැඳවන රෝගයකි. යම් පුද්ගලයකු තමන් පිළිකාවකින් පෙළෙන බවට දැනගත්දා පටන්ම ඔහු මානසිකව වැටෙන්නේ මරණය වෙනදාටත් වඩා ඉක්මනින් තමා ලුහුබඳින්නට පටන්ගෙන ඇති බවට දන්නා නිසාය. එහෙත් මෙවැනි මානසික තත්ත්වයකදී වුවද ඒ සියල්ල මොහොතකට හෝ අමතක කරමින් ජීවත්වන්නට හැකිනම් එය හැබෑම ආශ්චර්යයකි.

මෙහිදී අපට තවත් අපූරු කතාවක් සිහිවේ. ඒ සූසන් ස්පෙන්සර් - වෙන්ඩෙල් නම් ජනමාධ්‍යවේදිනියගේ ජීවිත කතාවයි. තමන් දරුණු ස්නායු රෝගයකින් පෙළෙන බවට සූසන් ස්පෙන්සර් - වෙන්ඩෙල් හඳුනාගත්තේ 2011 වසරේදීය. ලස්සන පවුල් ජීවිතයක් ගතකළ ඇයට තමන්ගේ රැකියාවට සමුදෙන්නට සිදුවන්නේත් මේ හේතුව නිසාමය. වෛද්‍යවරුන් ඇයට දැනුම් දුන්නේ ඇය ජීවත් වන්නේ තවත් වසරක් පමණක් බවයි. මෙය දැනගත් සූසන් එයින් කලබල වූයේ නැත. ඇය අදිටන් කරගත්තේ ගෙවන හැම තත්ත්පරයක්ම තමන්ට හැකි උපරිම හොඳින් ජීවත්වීමටයි. මේ අතරතුර කාලයේ ඇය අතින් Until I Say Goodbye (සිංහල පරිවර්තනය - ජීවිතයට ආයුබෝවන්) නමින් කෘතියක්ද රචනා වූ අතර මරණය අභිමුවේ සිටියත් ගත වූ කාලයේ ඇය තුළ ජීවත් වූ ඒ ශක්තිමත්, පිරිපුන් කාන්තාවගේ චරිත ස්වභාවය මැනවින් කෘතියෙහි අන්තර්ගත විය. මරණයට අභියෝග එල්ල කරමින් ඇය මැරෙන තුරුම ජීවිතය හා ජීවත් වූවාය.

රෝගී වූ පමණින්ම අපගේ සිහින බිඳී යන්නේද නැත. ඇමෙරිකාවේ ජීවත් වන වයස අවුරුදු දහයක් පමණ වූ කුඩා ඉසබෙලා හාවීගේ සිහින කුමාරිය වූයේ සුරංගනා කතාවල එන සිණ්ඩරෙල්ලා චරිතයයි. සිණ්ඩරෙල්ලාගේ රුවින් සැරසීමට අවැසි වුවද ඉසබෙලාගේ ඒ සිහිනය බොඳව යන්නේ සුන්දර ළමාවියේදීම ලියුකේමියා පිළිකාවකට ගොදුරු වීමත් සමඟය. කුඩා ඉසබෙලාට සිදුකෙරෙන ප්‍රතිකාරයත් සමඟ ඇගේ කොණ්ඩය ඇයට අහිමි වීම නිසා බොරු කොණ්ඩයක් (Wig) ඇය පුරුදුව ඇති අතර කිසිවිටෙකත් එය ගැලවීමද ඇය ප්‍රතික්ෂේප කළාය.
ඉසබෙලාගේ මව නිව්යෝර්ක්හි පිහිටා ඇති ගායනා නිකොල්ස් හාර්ට් ඔෆ් හෝප් නම් පිළිකා රෝගීන්ගේ චිත්ත ශක්තිය දියුණු කරන සංවිධානයක් වෙත ගියේ කායික හා මානසික වේදනාවෙන් අඩුකිරීමේ අරමුණ ඇතිවය. මෙම ආයතනයෙන් ඒ සඳහා අපූරු විසඳුමක් යෙදුවේය. වෘත්තීය කැමරා ශිල්පියෙක් ගෙන්වා ඉසබෙලාගේ සිණ්ඩරෙල්ලා සිහිනය සැබෑකරගන්නට ඔවුන් කටයුතු කළේය.

මෙහිදී ඉසමේලාගේ වැඩිමල් සොයුරිය කොණ්ඩය වැසෙන ආකාරයට බොරු තට්ටයක් පළදා සින්ඩරෙල්ලා සුරංගනාවිය මෙන් ඉසබෙලා අසලට පැමිණියාය. මේ දුටු ඉසබෙලාට ඇස් අදහාගත නොහැකිවිය. තම සිහින කුමරිය තමන් ඉදිරිපිටය. ඇයටද කොණ්ඩය නොමැති බව දුටු ඉසබෙලා තමා මෙතක් පැළඳ සිටි බොරැ කොණ්ඩය විසිකර දැමුමාය. 

පුංචි ඉසබෙලාත් පුංචි සුරංගනාවියගේ ඇඳුම් ඇඳ හැඩ බැලුවාය. තට්ටයද ඇයට ගැටලුවක් නොවිනි. පිළිකා රෝගයෙන් පෙළුණත් මේ සිදුවීම නිසා ඇගේ මානසිකත්වය ශක්තිමත් විය.

පසුගියදා නිව්යෝර්ක්හි විලාසිතා සතිය වෙනුවෙන් පැවැත්වුණු විශේෂි විලාසිතා දැක්මෙනුත් සිදු කෙරුණේ මේ ආකාරයේම කටයුත්තකි. හැමවිටම වේදනාව ගැන, ප්‍රතිකාර ගැන නැතිනම් රෝහල් සහ දොස්තරවරු ගැන සිතමින් කාලය ගතකළ යුතු නෑ. ඔබ පිළිකාව සමඟ මැරි මැරී ගතකළ යුතු නෑ. ජීවත්විය යුතුයි. ඒක තමයි අපි මේ කරන්නේ. ඒ මෙම විශේෂ කටයුත්ත සංවිධානය කරවූවන්ගේ අදහසයි.

මෙම විලාසිතා දැක්මේ නිරූපණ කටයුතු සඳහා එකොළොස් දෙනෙකු සහභාගි වූ අතර ඒ සියලු දෙනාම පිළිකා රෝගීන්ය. 34 වියැති Tiffany Schwantes මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම රාත්‍රිය තමන්ට කිසිදා අමතක නොවන රාත්‍රියක් බවය.

මම පිත්ත ප්‍රනාලයේ හා අක්මාගත පිළිකාවකින් පෙළෙන බව දැනගත්තේ 2012දී. එතකොට මට වයස අවුරැදු 29යි. මගේ දුව ලැබිලා අවුරුදු දෙකකට පස්සෙ තමයි මම ඒ බව දැනගත්තේ. ඇත්තටම මම හිතාගෙන හිටියේ මම හරිම සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් කියලයි. නමුත් රෝගී බව දැනගත්තට පස්සේ මට විශාල කණගාටුවක් ඇතිවුණා. තරැණ බිරිඳක් විදිහට, මවක් විදිහට මට ලොකු වැඩ කොටසක් කරන්නට තියෙනවා. මගේ ප්‍රතිකාරයත් සමඟ මට සතියට කිහිප වරක් වෛද්‍යවරයා හමුවන්නට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මගේ දරුවන් හරියට බලාගන්න බැරිවෙනවා නේද කියලා ලොකු කනගාටුවක් මගේ හිතට දැනෙනවා. නමුත් සෙනසුරාදා රාත්‍රියේ පැය කිහිපයකට මම මේ හැම දෙයක්ම අමතක කළා. මෙතෙක් කල් පිළිකා සඳහා කෙරෙන ප්‍රතිකාර අතරේ හිරවුණු අපි අද බොහොම නිදහසින් විසිතුරු ඇඳුමෙන් සැරසිලා ආභාරණ පළදලා සුමියුරු සංගීතයට Catwalk ගමනින් වේදිකාවේ ඇවිද ගියා. ඒක අපිට වෙනස්ම විදිහේ අත්දැකීමක්.

අපි හැමෝම මැරෙනවා. පිළිකා රෝගියෙක් ඉක්මනට මැරෙනවා. නමුත් අපි ජීවිතය අත්හරින්න හොඳ නෑ. ටික කාලෙ හරි ජීවත් වෙන්න ඕනෙ. අද අවුරුදු ගානකට පස්සේ මම මේ වගේ තැනක ඉන්නවා. මගේ දරුවන්ට මාව පේනවා ඇති. ඒ වගේම මගේ දරුවන්ටත් මම ගැන පොඩි බලාපොරොත්තුවක් ඇති. ඇය වැඩිදුරටත් අදහස් දැක්වූයේ එලෙසය. Bill Ramey ද මෙම අවස්ථාවට සහභාගි වූයේ මහත් උද්දාමයෙනි. නිල් පැහැති ඩෙනිමකින් හා කළු පැහැති ජර්සියකින් සැරසී සිටි ඔහුගේ ජර්සියේ Live Life, love Life ලෙසද සඳහන්ව තිබුණි.
මම පිළිකාවකින් පෙළෙන බව දැනගත්තේ 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී. මගේ දියණියගේ උපාධි පිරිනැමීමේ අවස්ථාවවත්, ඇගේ විවාහ උත්සවයවත් දැක ගනන්ට ලැබෙන්නේ නෑ නේද කියලා තමයි ඒ වෙලාවේ මට හිතුණේ. මම සමහර විට මේ පිළිකාවෙන් මැරෙයි. ඒත් මට තවත් ටික දවසක් ඉන්න තියෙනවා. දෙවියන් වහන්සේ මට කාලයක් දීලා තියෙනවා. මේ වැඩසටහනෙන් අනෙක් අයත් ප්‍රබෝධමත් වෙයි
ඔහු වේදිකාව මත වචන හැසිරවූයේ සිනහවෙන් හා වඩාත් හැඟීම්බරවය.

හේමමාලා කුමාරි රාජකරුණා.