2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

හල්දුමමුල්ලේ ගමකටම උණ

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

අප දැන් මේ පසුකරන්නේ ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් සිය සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරෙන අවධියකි. වරාය නගර, තාක්ෂණික නගර, සේවා නගර, අධිවේගී මාර්ග ඇතුළු තවත් දැවැන්ත වැඩසටහන් රාශියක්ම නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මේ වනවිටත් ක්‍රියාත්මක වේ. නාගරික ප්‍රදේශ මෙසේ දියුණු වුවද රටේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශයන්හි තත්ත්වය එතරම් සතුටුදායක නොවන බවට අපට හැඟී යන්නේ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරුත් සමඟය. ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට යාමට ඇති අපහසුතාවයක් නිසා මුළු ගමක්ම රෝගීවූවා කිවහොත් එය එක්තරා නාගරික පැලැන්තියකගේ පුදුමයට කාරණාවක්ද වනු ඇත.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌව කොස්ගම බදුලුදෙන ගම්මානයේ පදිංචි සියලුදෙනා උණ රෝගයකින් පෙළෙන බවට අපට දැනගන්නට ලැබුණේ පසුගිය සතියේය. මුලින්ම ගමේ කිහිප දෙනකුට උණ රෝගය වැළඳී ඇති අතර පවතින ගමන් දුක්ෂරතාවය නිසාම ඔවුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල වෙත යාම ප්‍රතික්ෂේප කර ඇත. පසුව බෝවන රෝගයක් වූ එය මුළු ගම පුරාම පැතිර ගොස් ඇති අතර අපට වාර්තා වූ අවස්ථාව වනවිටත් ගමේ සියලුදෙනා පසුවූයේ රෝගී තත්ත්වයේය. උණ, කැස්ස, හිසරදය, කෑම අරුචිය යන රෝග ලක්ෂණයන්ගෙන් පෙළෙන මෙම රෝගීන් ප්‍රතිකාර නොගැනීම නිසාම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය ද දුර්වල මට්ටමක ඇති බවට අපට දැනගන්නට ලැබිණි.


ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර ගම්මාන අතර බදුලුදෙන ගම්මානයද අයත් වන්නේ අතිදුෂ්කර ගම්මාන යටතටයි. ගමන් අපහසුතාවය සේම වල්අලි ගැටලුව ද ඔවුන් මුහුණපාන ප්‍රධානතම ගැටලුවයි. කොළඹ - බදුල්ල මාර්ගයේ මරන්ගහවල හන්දියට පිවිස එතනින් ඌව කොස්ගම මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ ගමන් කිරීමෙන්  අනතුරුව බදුලුදෙන ගම්මානය හමුවේ. මෙම ගම්මානයේ එක් කොටසක් ඌව පළාතටද, තවත් කොටසක් සබරගමු පළාතට ද අයත් වේ. ගම්මානයට යන මාර්ගය අයත්වන්නේ ද ඌව හා සබරගමු යන දෙපළාතටයි. ගම්මානයට පිවිසෙන මාර්ගය පිළිසකර කිරීම සඳහා නිශ්චිත වගකිවයුත්තෙක් නොමැත්තේ මේ පළාත් බෙදීමයි. එබැවින් සංවර්ධන කටයුතු සිදුකෙරෙන බොහෝ අවස්ථාවලදී මෙම ගම මඟහැරී යයි.

මේ වනවිට හුදෙකලාව පවතින බදුලුදෙන ගම්මානය මීට කලකට ඉහතදී බොහෝසෙයින්ම සශ්‍රීකව පැවැති ගම්මානයකි. දිනෙන් දින මතුවන දුෂ්කරතාවයන් හමුවේ සැලකිය යුතු පිරිසක් ගම අතහැර ගිය අතර දැනට පදිංචිව සිටින්නේ පවුල් 14කි. මෙහි ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36ක් වන අතර කුඩා දරැවන් 15ක්ද ඒ අතර වේ. බදුලුදෙන ගම්මානයේ දරැවන් අකුරු කරන්නේ බදුලුදෙන ප්‍රාථමික විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ ගුරුවරුන් හත්දෙනෙකු ද සේවයෙහි නියුතු වේ.

“මුලින්ම වැඩිහිටියන් කිහිපදෙනෙකුට තමයි උණ හැදුණේ. සාමාන්‍යයෙන් උණක්, හෙම්බිරිස්සාවක් හැදුනම කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් තම්බලා බොන්නයි අපි පුරුදුවෙලා ඉන්නේ. මොකද බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යනවානම් ලොකු දුරක් ගෙවාගෙන යන්න ඕන. පාරේ අලි ඉන්නවා. ගමන් දුෂ්කරතාවයනුත් එක්ක ඒක අපිට කරන්න අමාරුයි. ඔහොම ඉන්න අතරේ ගමේ හැමෝටම උණ බෝවුණා. ඉස්කොලෙ ගුරුවරු හතර දෙනෙකුටත් උණ හැදුණා.*
මෙලෙස දේශයට අදහස් ඉදිරිපත් කළේ උණ රෝගයෙන් පෙළෙන ගම්වැසියෙකි. උණ රෝගීන් සඳහා සායන පවත්වමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගොඩනැංවීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකරන හල්දුම්මුල්ල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපාලි වීරරත්න මහතාගේද අප අදහස් විමසීමක් කළෙමු.

“බදුලුදෙන කියන්නේ බොහොම දුෂ්කර ගමක්. හරියට තනිවුණ ගමක් වගේ කැලේ මැද තියෙන්නේ. මේ දවස්වල හල්දුම්මුල්ල පැත්තෙ බෝවෙන වෛරස් උණක් තියෙනවා. ඉතින් මේ ගමේ මිනිස්සුන්ට ගමන් අපහසුතාවය නිසා ඉස්පිරිතාලෙකට එන්නෙ නෑ. ගොඩ වෙදකම් කර කර ඉන්නවා. මේ සම්බන්ධයෙන් දැනගත්තට පස්සේ මම මුලින්ම පී.එච්.අයි. මහත්තයාව බදුලුදෙන ගම්මානයට යැව්වා. ඔය ගමනෙදි ඔහු අනතුරකටත් ලක්වුණා. ඒ තරමටම පාරවල් දුෂ්කරයි. ගමේ ජීවත්වෙන පවුල් දහහතරටම උණ හැදිලා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි පසුගිය 12 වැනිදා එම ප්‍රදේශයට ගිහිල්ලා රෝගීන් සඳහා සායනයක් පැවැත්වූවා. ඔය දිනවල දිග නිවාඩුවකුත් ආව නිසා අපිට බෙහෙත් ලබාගන්න බැරිවුණා. ඒ නිසා මම පෞද්ගලිකව බෙහෙත් ටිකක් ලබාගෙන තමයි ඒ රෝගීන්ට ඒවා අරගෙන ගියේ. දැන්නම් රෝගීන්ගේ තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා.

මේ රෝගීන්ට තද උණ වගේම හිසරදයක් තියෙනවා. සමහරුන්ට වමනෙ තියෙනවා. කැස්ස, මස්පිඩු වේදනාවත් ඔවුන්ගේ දක්නට ලැබුණා. මේ අයව රෝහලට ගෙන්වාගැනීමේ අපහසුව තමයි අපිට තිබුණේ. රෝහල්ගතව වුණානම් අපිට හොඳින් ප්‍රතිකාර කටයුතු සිදුකරන්න පුළුවන් ලේ පරීක්ෂා කිරීම් ආදිය සිදුකරලා. ක්ෂණික පියවරක් විදිහටයි අපි ඔවුන්ගේ ගමට ගියේ ගිහින් ප්‍රතිකාර කටයුතු සිදුකළේ රෝගීන් පරීක්ෂාකරන්න මම ආයෙත් ඒ ගමට යනවා. එහිදී රෝගීන්ගේ රුධිර සාම්පල ලබාගෙන විත් ඒවායේ පරීක්ෂණ කටයුතු සිදුකරලා වසංගත රෝග විද්‍යා අංශයට අදාල තොරතුරු ලබාදෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට නම් අසාධ්‍ය රෝගීන් පිළිබඳව වාර්තාවීමක් සිදුවෙලා නෑ.*

බදුලුදෙන ගම්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. එහෙත් වල් අලින්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඔවුහු ගොවිතැන් කටයුතු සිදුකරන්නේ මහත් අපහසුවෙනි.  අතරම මොනරුන්ගෙන්ද ඔවුන්ගේ වගාවට සිදුවන්නේ දැඩි බලපෑමකි. මෙලෙස අසීරුවෙන් ජීවිකාව පවත්වාගෙන යන ඔවුහු අද වනවිට උණ රෝගයෙන්ද පීඩා විඳිති. දේශපාලනයේ වගකිවයුත්තන් හට බොහෝ විට මෙවැනි දුෂ්කර ගම්මාන මතක්වෙන්නේ ඡන්ද කාලවලදී පමණි. ගම්වාසීන් පවසන ආකාරයට ඡන්ද කාලවලදී ඒ ඒ පක්ෂවල දේශපාලන නියෝජිතයන් මෙම ප්‍රදේශවලට පැමිණ විවිධ වූ පොරොන්දු ලබාදෙන අතර ඡන්දයෙන් පසු එවැනි ගමක් තිබුණද කියාවත් ඔවුන්ට මතක නැත. රටක් දියුණු කිරීමේදී දැවැන්ත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ යුතු බව සැබෑය. එහෙත් ඒ ගමනේදී මෙවැනි දුෂ්කර ගම් කෙරෙහිද අවධානය යොමුකර අඩුම තරමේ ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් ගැටලුවකින් තොරව සපුරා ගැනීමට හැකියාව සලසා දෙන්නේ නම් එයත් මහා සේවාවකි.

 හේමමාලා කුමාරි රාජකරුණා
| පසුබිම් විස්හර හා ඡායාරූප - සමන් පාලිත නානායක්කාර