2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ක්‍රිකට් මණ්ඩලේ වාහන වැරදි පාරේ

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

පසුගිය පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රමුඛත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විණි. ස්ථානය වූයේ ව්‍යවස්ථාදායකයේ උත්තරීතර කොත වූ පාර්ලිමේන්තු සංකීර්ණයයි. රටේ පොදු මහ ජනතාවගේ සතෙන් සතය එකතුකොට තනනා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් පිළිවෙළකට සුන්නද්ධූලි නොකොට වියදම් කිරීමටද වගකීම ඇත්තේ මේ අපූරු පාර්ලිමේන්තුවටය. 

අරුමය නම් රටේ සෑම කල්හිම වැඩිම මුදල් විනාශය සිදු කරන්නේද මේ පාර්ලිමේන්තුවේ සිටිනා සුදු ඇඳගත් රොත්තය. දැන් මේ ඒ රොත්තේ වැඩ කිඩ ගැන කියවුන කෝප් මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදීන්ට ලොකු විස්තරයක් කීවේය. ඒ ගිහින් රටේ ජනතාවට කියැන්නැයි කියමිනි.

පසුගිය වසර තුන තුළදී රාජ්‍ය ආයන 15ක සිදුවූ රුපියල් කෝටි 11,000ක පාඩුවට අදාළ තොරතුරැ දෙස බැලූ විට ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන බලතල මත අදාළ ආයතනවල එම වංචා හා දූෂණ සිදුව ඇති බව කී සභාපතිවරයා එම මූල්‍ය පාඩුව පිළිබඳ සිදුකළ යුතු පාර්ලිමේන්තු විවාදය ඉදිරියේදී සිදුකර රටට අහිමි වූ මුදල් නැවත අත්පත් කරදීමේ ක්‍රියාමාර්ගද කඩිනම් කළ යුතු බව ප්‍රකාශ කළේය. අදාළ කෝටි 11,000 ගැන විස්තර අසාගෙනම අපේ ප්‍රධාන කතාවට යාම සුදුසුය. ඉහත කී මූල්‍ය පාඩුව අනුව මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රුපියල් මිලියන 57,630ක්ද, විදුලි සන්දේශ හා නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන 1405ක්ද, රූපවාහිනි සංස්ථාව හරහා රුපියල් මිලියන 317ක්ද, ජාතික ලොතරුයි මණ්ඩලයෙන් දළ වශයෙන් රුපියල් මිලියන 147ක්ද, හම්බන්තොට වරායෙන් 2015 දී පමණක් රුපියල් මිලියන 37,186ක්ද, ඔලුවිල් වරාය ඉදිකිරීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 46 හා රුපියල් මිලියන 531ක්ද, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හරහා රුපියල් මිලියන 2594ක්ද ආදී වශයෙන් දැවැන්ත පාඩු සිදුවී ඇති බව ගණන් සාදා එහිදී කියැවී පෙන්වා දුනි.

දැන් අපි අපේ කතාවට පැමිණිය යුතුය. ක්‍රිකට් ආයතනය සම්බන්ධව එහිදී කියැවුණු අතර විශේෂයෙන්ම සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමට රුපියල් බිලියන 1.2ක් ඇස්තමේන්තු කර ඇති අතර එයින් රුපියල් මිලියන 200ක් ක්‍රිකට් ආයතනයෙන් හා රුපියල් බිලියන 1ක් රජයෙන් වෙන් කළ මුත් එහි රජයේ ඇස්තමේන්තුව රුපියල් මිලියන 915ක් බව පවසන සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිකිරීම් ආයතනයේ බිල්පත් අනුව රුපියල් බිලියන 2.8ක්ද, ඊට වසර තුනකට පසු විමර්ශනයකදී එම බිල්පත රුපියල් බිලියන 4.2ක්ද අද වනවිට බිල්පත රුපියල් බිලියන 5.4 දක්වාද ණය පොලී ඉහළ ගොස් ඇති බවයි. හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරන පරිදි සූරියවැව ක්‍රීඩාංගණය රටට පොලී වැඩි කරන ක්‍රීඩාංගණයක් මිස ක්‍රිකට් සඳහා වෙන්වූ ක්‍රීඩාංගණයක් නොවන බවත් අද වනවිට මෙම ක්‍රීඩාංගණයට වරාය අධිකාරිය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවන බවය.

එහෙව් ක්‍රිකට් ආයතනයේ අලුත්ම පුවත වූයේ කෝටි ගණනින් මුදල් විනාශ කර වාහන අවභාවිතා කරනා බවය. දැනට ක්‍රිකට් ආයතනයේ මහපුටුව හොබවන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම අයෙකි. හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායකයා සමඟද මොකද්දෝ වචන පැටලැවීමක් ක්‍රිකට් ආයතනයේ මහ පුටුවට තිබූ බව මතකය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තිබූ ට්‍රැක්ටර්ද ලැයිස්තුවට දමා ඒවා අවභාවිතා කළායැයි කියමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිරේ ගොස් දැන් මහලොකු කාලයක් නැතගක්‍රිකට් ආයතනය සතු වාහන රැසකි. සමහර වාහන ආයතනය සතු ඒවා වන අතර සමහර වාහන කුලී පදනම මත ගත් ඒවාය. දැනට මෙහි ඇති වාහන රටේ ප්‍රධාන අමත්‍යාංශවල පවා නොමැත.
ක්‍රිකට් යනු හුදෙක් උන්මාදයක් බැවින් පැරැණි වාහන හෝ තත්ත්වයෙන් බාල වාහන හෝ ක්‍රිකට් ආයතනයට ගන්නේ නැත. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙහි පැමිණියේ මීට මාස 4 කට පමණ පෙරය. එම සංචාරයේ කටයුතු වෙනුවෙන් බව කියමින් ඒ දිනවල සුඛෝපභෝගී වෑන් හා කාර් කිහිපයක්ම ආයතනය සතු වාහනවලට අමතරව කුලී පදනමට ගත් අතර ඕස්ට්‍රේලියානු සංචාරය නිමවා  පිටත්ව ගියද, මාස ගණනක් ගෙවී තිබුනද මේ වාහන තවමත් ක්‍රිකට් ආයතනයේ මුදලින් දුවන්නේ මාසිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න කුලියක් ද ලබා ගනිමිනි. අරුමය නම් මෙලෙස කුලී පදනමට ලබාගත් වාහනවල සැබෑ අයිතිකරුවන් ආයතනයේම සේවකයින් වන අතර සමහර ඒවා ඔවුන්ගේ හිතවතුන්ගේය. කෙසේ හෝ අතු ක්‍රිකට් ආයතනයේ තිබියදී මුල් ඇද ඇත්තේත් ක්‍රිකට් ආයතනයටමය.

ආයතනයේ ප්‍රවාහන කටයුතු බාර නිලධාරියාටද මෙලෙස වාහන අවභාවිතාව යන චෝදනාව එල්ල වී තිබේ. පසුගිය සමයේ වාර්තා වූ ආකාරයට ලිපිකරුවෙකු ලෙස සේවයට පැමිණි ප්‍රවාහන නිලධාරියා උපයාගත් දේපලවල ප්‍රමුඛ තැනක වාහන කිහිපයක්ද වේ. එසේම ඔහුට වාහන අලුත්වැඩියා සහ නඩත්තු සමාගමකටද සමීප සබඳතා ඇතැයි කියවේ. අපූරු කරුණක් වන්නේ ක්‍රිකට් ආයතනයේ වාහන නඩත්තු කටයුතු මෙම ස්ථානයෙන්ද සිදු වීමය. ක්‍රිකට් ආයතනයේ වාහනවලට ආයතනයේ වියදමින් ඉන්ධන පුරවා පසුව එම ඉන්ධන බාහිර පාර්ශවයන්ට විකුණාදමනා බවටද චෝදනා එල්ලවී තිබේ. දරැණුම චෝදනාව වන්නේ ආයතනයේ වාහන ආයතනයේ පිරිස් විසින් බලතල ඉක්මවා භාවිත කිරීමය. ක්‍රිකට් ආයතනයේ වාහන පෞද්ගලික මට්ටමින් භාවිතා කළ හැක්කේ විධායක මට්ටමේ පිරිසට පමණක් වුවද මේවන විට ක්‍රිකට් ආයතනයට එය අදාළ නීතියක් නොවන බවද කියවේ.

ක්‍රිකට් ආයතනයට විශාල වශයෙන් පිරිස් බඳවාගත් බවටද පසුගිය සමයේ චෝදනා එල්ල විය. ක්‍රිකට් ආයතනයේ නැති තනතුරු සාදමින් එසේ නව බඳවාගැනීම් සිදුකර ඇති බවත්, එලෙස බඳවාගත් පිරිසට ඉහළ පැකේජයන් ලබාදී ඇතිබවත් කියැවුණි. මේ සම්බන්ධව අප පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. ක්‍රිකට් ආයතනයේ සමහරැ තම භාවිතයට ආයතනයේ වියදමින් කුලී පදනමට ගත් වාහනවල සැබෑ හිමිකරුවන් ද වීම වහාම විමර්ශනයට ගත යුතු කාරණයකි. ඒ ඔවුන් හට එසේ ආයතනයේ මුදල් අවභාවිතා කරන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න විමර්ශනය කිරීමටය. ක්‍රිකට් ලොක්කන්ගේ වෙනත් ආයතනවල ප්‍රධානීන් පවා ක්‍රිකට් මුදලින් වාහන භාවිත කරනවා යන්නද වගකිවයුතු අංශවල අවධානයට ලක්විය යුතු කාරණයකි.

ක්‍රිකට් ලොකු පට්ටම ලබාගැනීමට උපකාර කළවුන්ට අනුන්ගේ මුදලින් කුට්ටි බෙදීම දිනෙක රට හමුවේ නිරාවරණය වනු ඇත. මීට පෙරද තමන්හට ලොකු පුටුවේ වාඩිවෙන්නට උපකාර කළ අය වෙනුවෙන් රටේ ජනතා මුදලින් කුට්ටි බෙදූ අය සිටියේය. දැන් ඒවා බෙදූ ලොක්කට ගැටලුවක් නැත. බෙදූ දෑ කෑ උන් හැමදාම එක්කෝ FCID නැත්තම් CID එසේත් නැත්තම් උසාවියේ ය.

 විමුක්ති රත්නමලල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00