2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

මාසයකට කෝටි 2ක් ගෙවන කෘෂිකර්මේ සුදු අලියා

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

විගණකාධිපතිගේ මේ පිළිබඳ වර්තාව පදනම් කරගෙන 2016 අප්‍රේල් 07 දින රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙහි ඉදිරි කටයුතු නොකරන ලෙසද අදාළ ගිවිසුමට කාරක සභාවේ අනුමැතිය ලබා නොදෙන බවද කෘෂිකර්ම අමාත්‍යංශයට දන්වා තිබුණි.

එසේම විගණකාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන විගණන විමසුම්වලදී කමිටුවේ බලතල ප්‍රකාරව කටයුතු සිදුකිරීමට සිදුවන බවද අවධාරණය කර තිබේ. නීතිපතිගේ සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවටද නියෝග කර ඇත.
තත්ත්වය එසේ තිබියදී අවශ්‍යතාව ඉතා ඉක්මණින් බව සනාථ කරමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී. විජයරත්න විසින් රාජ්‍ය ගිණුම්කාරක සභාව රැස්වූ දිනට පසුදින එනම් අප්‍රේල් 08දා මෙම ගොඩනැගිල්ල ස්වකීය අමාත්‍යංශයට බදු ගැනීම පිළිබඳ ගිවිසුම අදාළ සමාගම සමඟ අත්සන් කර තිබුණි. 
මෙම බදු ගිවිසුම අනුව දෙපාර්ශවය එකඟවී ඇති කරුණු මෙසේය.
ගොඩනැගිල්ලේ සම්පූර්ණ වර්ගඵලය - වර්ග අඩි 103,000
බද්දට දෙන ප්‍රමාණය - වර්ග අඩි 90,000
මාසික සේවා ගාස්තු වර්ග අඩියට රැ. 60.00 බැගින් වර්ග අඩි 103,000 සඳහා රුපියල් 6,180,000.00
මාසික බද්ද වර්ග අඩියට රු. 167.50 බැගින් වර්ග අඩි 90,000 සඳහා රුපියල් 15,075000.00
මාසයක මුළු බද්ද රුපියල් 21255000.00
වට්ටම් මුදල රුපියල් 255000.00

මාසයකට ගෙවිය යුතු බද්ද රුපියල් 21000,000.00
මෙයට අතිරේක වශයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද වූ සියයට 2ක්ද, වැට් සියයට 11ක්ද ගෙවිය යුතු යැයි දැක්වේ.
මෙම ගොඩනැගිල්ල අමාත්‍යංශය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක 2015-12-01 දින මුල්වරට අමාත්‍ය මණ්ඩල පතිකාවක් ඉදිරිපත් කළ අතර එහි සඳහන් වූයේ ‍උපදෙස් පරිදි නිලධාරින්ද කැටුව ගොස් අලුත් ගොඩනැගිල්ල පරික්ෂා කළ අතර එහිදී කෘෂිකර්ම අමාත්‍යංශය සහ අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යන ආයතන කිහිපයක් මෙම ගොඩනැගිල්ලට ගෙනයාමට අදහස් කරන බවයි. ගොඩනැගිල්ලේ කුලිය පිළිබඳ තීරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් විශේෂ කමිටුවක් පත්කළ යුතු බවටද එයින් ඉල්ලා තිබුණි. 

හිස් ගොඩනැගිල්ලකට ජනතා මුදල් කෝටි ගණනක් යට කරලා

එසේ වුවද එහි සඳහන් කරැණු අනුගමනය කිරීමට පෙර අග්‍රාමාත්‍යවරයා විසින් 2016-02-17 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර මේ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණි. ගෙවිය යුතු බදු මුදල්, කුලි ගාස්තු හා සේවා ගාස්තු ආදි සියල්ල පිළිබඳ විස්තර එම කැබිනට් පත්‍රිකාවට අඩංගුව තිබුණු අතර මුළු ගොඩනැගිල්ල රුපියල් 21,000000.00 (දෙකෝටි දස ලක්ෂයකට) බදු ගත යුතු බවද සඳහන් කර තිබුණි. මෙහි සඳහන් විශේෂ කරුණ වූයේ මාස 24ක බදු කුලිය සහ මාස 3ක ආරක්ෂක අත්තිකාරමක්ද මුලින් ගෙවිය යුතු බවයි. එසේම වසර 5කට බදු ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතු අතර වසර 3කට පසු බදු කුලිය සියයට 15කින් වැඩි කරන බවද සඳහන් කර තිබුණි. අත්තිකාරම් ලෙස ගෙවූ මාස 24 බදු මුදල අවසාන වසර දෙකේදී කොටස් වශයෙන් අයකර ගත යුතු බවද මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ය.

මෙහි සඳහන් වූ තවත් කොන්දේසි වන්නේ ගොඩනැගිල්ලට අවශ්‍ය විදුලිජනක යන්ත්‍ර බදුකරු සැපයීය යුතු අතර එයට අවශ්‍ය ඉන්ධන අමාත්‍යංශය මගින් සැපයිය යුතු බවයි. එසේම කාර්යාලය තුළ පවිත්‍රතා කටයුතු අමාත්‍යංශයට පවරා තිබූ අතර කාර්යාලයෙන් පිටත එම කටයුතු පමණක් කුලී හිමිකරුට අයිතිව තිබේ. තවද විදුලි බිල සහ ජල ගාස්තු බිලද අමාත්‍යංශය මගින් ගෙවිය යුතු බව දක්වා තිබුණි. 
මේ අනුව සියලුම ඉදිරි පියවර ගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය මගිනි. මාස 24ක අත්තිකාරම් මුදල සහ බදු ගාස්තු සියල්ල වශයෙන් රුපියල් 570,628,800.00ක මුදලක් (පනස්හත්කෝටි හය ලක්ෂ විසි අටදාස් අටසීයක්) ගෙවා තිබුණි. එසේම අප්‍රේල් මාසයේ කුලියද සමඟ මේවනවිට ගෙවා ඇති මුළු මුදල රුපියල් 49,266,000කි. 

මෙම මුදල් අවභාවිතය පිළිබඳ නියෝජ්‍ය විගණකාධිපති ඒ.එච්.එම්.එල්. අඹන්වල විසින් කෘෂිකර්ම ලේකම්වරයාගේ අවධානය යොමුකර නිකුත් කර ඇති විගණන විමසුම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලේකම්වරයා ඉල්ලා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය විචක්ෂණභාවයකින් තොරව ගෙන ඇතැයි* යන නිරික්ෂණයට පිළිතුරු නොදී නිහඬව සිටීමට* ඉඩදෙන ලෙසටය. එයට පිළිතුරු දෙන නියෝජ්‍ය විගණකාධිපති 2016-05-06 දින ලේකම්ට පෙන්වා දී ඇත්තේ ඔහුගේ පත්වීම් ලිපියේ කොන්දේසි අනුව ඔහුට නිහඬව සිටිමට ඉඩදිය නොහැකි බවයි. එයට හේතුව එම ලිපිය අනුව භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී රටට උපරිම ආර්ථික වාසි ලැබෙන අයුරැ කටයුතු කිරීම පිළිබඳ වගකීම දැරිය යුතු බවයි. එහෙත් මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමේදී ඒ ලෙසට ක්‍රියාකර නැතැයි විගණකාධිපති පෙන්වා දී තිබේ. 
ලේකම් තනතුරේ පත්වීම් ලිපියේ 12 වන වගන්තිය අනුව විගණකාධිපතිගේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිරීක්ෂණ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු නමුත් මෙම ගිවිසුමට කිසිවිටෙකත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අනුමැතිය ලබා නොදෙන බව අවධාරණය කර තිබියදී හිමිකරු විසින් ඉල්ලා ඇති මාසික කුලිය වූ මිලියන 21 ඒ ලෙසටම ගෙවීමට එකඟවීම බරපතළ අක්‍රමිකතාවක් බව දක්වා ඇත. එහෙත් ලේකම් ගිණුම් කාරක සභා රැස්වීමට පසුදා 16-04-08 දින කුලී ගිවිසුමට අත්සන් කර ඇති බව අවධාරණය කර තිබේ.

අමාත්‍යංශයේ දැනට සේවය කරන 300ක සේවකයන් සඳහා වර්ග අඩි 10,3000ක විශාල ගොඩනැගිල්ලක් බද්දට ගෙන ඒ සඳහා මාසිකව රුපියල් මිලියන 21ක මුදලක් ගෙවීම අර්ථවත්ද යන්න පිළිබඳවද විගණකාධිපති විමසා ඇති අතර මුදල් රෙගුලාසි 156(7) අනුව මාස 24 සඳහා අත්තිකාරම් වශයෙන් එකවර රුපියල් මිලියන 504ක් ගෙවීම අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරි වශයෙන් යෝග්‍යද යන්න සලකා බැලිය යුතුව තිබුණු බවද පෙන්වා දී ඇත. මූල්‍ය නිලධාරින් සියලුම ගනුදෙනු කිරීම්වලදී නිසි පිරිමැසුම් භාවයෙන් ක්‍රියාකළ යුතු අතර සත්‍ය ලෙසට අවශ්‍ය නම් විනා මුදල් ලබාගැනීමට ඉඩකඩ තිබූ පමණින් එම වියදම් නොදැරිය යුතු බවද පෙන්වා දී තිබේ. මෙය අනාර්ථික, විචක්ෂණ භාවයෙන් හා විනිවිදභාවයෙන් තොරව සිදුකර ඇති ගනුදෙනුවක් බවටද දක්වා තිබේ.

එසේම ගොඩනැගිල්ල සඳහා ගෙවීමට 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන සලසා නොතිබුණු අතර ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තු තුනක් මගින් රුපියල් 839,853,000 ලබා ගෙන ඇත. මේ සඳහා 2016 අංක 16 දන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යොදාගෙන අප්‍රේල් 08දා අයවැය සහය සේවා හදිසි අවස්ථා* ව්‍යාපෘතියෙන් මුදල් ලබා ගැනීමද වැරදි බව විගණකාධිපති පෙන්වා දී තිබේ. එසේම යම් ගිවිසුමකට එළඹීමට ප්‍රථම ප්‍රතිපාදන ඉල්ලීමට නොහැකිව තිබියදී මෙලෙස මුලින් ප්‍රතිපාදන ලබාගැනීම වැරදි සහගත බවද අවධානය ලක්කර තිබේ. විගණකාධිපති පෙන්වාදී ඇති වඩාත්ම විශාල වරදක් වනුයේ අත්තිකාරම් ලෙස ගෙවූ මිලියන 504 මුදල අත්තිකාරම් ගිණුමෙන් නොගෙවා සෘජු වැය ශිර්ෂයකින් ගෙවීමය. මෙසේ කර ඇත්තේ අත්තිකාරම් ගිණුමෙන් එය හෙළිදරව්වීම සැඟවීමට බවද විගණකාධිපති පෙන්වා දෙයි. 

මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් ප්‍රධාන වැරදි දෙකක් සිදුකර තිබේ. අප්‍රේල් මාසයේ මාසයේ සිට රුපියල් මිලියන 21 බැගින් සහ බදුද ගෙවා තිබුණද තවමත් ගොඩනැගිල්ලට අමාත්‍යංශය රැගෙන ගොස් නැතිවීම එකකි. ඒ සඳහා කිසිදු සැලසුමක්ද ඉදිරිපත් වී නොමැත. මෙම ගොඩනැගිල්ල මුලින් තනා ඇත්තේ වෙළෙඳ සංකීර්ණයකට වුවද දැන් එය කාර්යාල ගොඩනැගිල්ලකට අනුරුපී වනසේ වෙනස් කළ යුතුව ඇත. ගොඩනැගිල්ලේ කාර්යාල කාමර සකස් කිරීම, තිරරෙදි සහ සෙසු වියදම්, කොන්ක්‍රීට් බිම ටයිල් අල්ලා සකස් කිරීම ආදිය සඳහා වියදම් කළ යුත්තේ අමාත්‍යංශය මගිනි. ඒ සඳහා වියදම් ඇස්තමේන්තු සකස් කර ටෙන්ඩර් කැඳවීම් ආදි ක්‍රියාවලියකට මෙතෙක් යොමුව නැත. ඒ නිසා තව කොපමණ කාලයක් මෙය හිස්ව තබාගෙන බදු ගෙවීමට සිදුවේදැයි යන්න අවිනිශ්චිතය.
අනෙක අවිධිමත්ව විනිවිදභාවයෙන් තොරව කර ඇති ගෙවීම්ය. 

ගිණුම් කාරක සභා රුස්වීමේදී අවධාරණයට ලක්කර ඇත්තේ රජයේ තක්සේරුකරු ගොඩනැගිල්ලේ වර්ග අඩියක කුලිය රුපියල් 150.00 ලෙස තක්සේරුකර තිබියදී හිමිකරු ඉල්ලා තිබූ මුළු කුලිය රුපියල් 167.50 බැගින් ගෙවීමට එකඟවීම පුදුම සහගත බවය. එම කුලියට එසේම ගෙවනවා නම් ප්‍රධාන තක්සේරුකරු ලවා තක්සේරුවක් ලබාගත්තේ කුමටද යන ගැටලුව පැනනගී. එසේම තරගකාරී මිල ගණන් ලබාගැනීමකින් තොරව වසර 5කට මිලියන 958ක කුලියක් ගෙවීමට එකඟවීමද පුදුමසහගතය. බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්ටයාරයක පමණ ඉඩමක් අමාත්‍යංශයට අයිතිව තිබියදී එහි ගොඩනැගිල්ලක් නොතනා පිට කෙනකුගෙන් අනවශ්‍ය තරම් විශාල ගොඩනැගිල්ලක් කුලියට ගැනීමද විමතියට කාරණයකි. තවදුරටත් සොයා බැලුවහොත් ගොඩනැගිල්ලේ මාසික වෙළෙඳ කුලිය රුපියල් මිලියන 13.5ක් ලෙස ප්‍රධාන තක්සේරුකරු කත්සේරු කර තිබියදී හිමිකරැ ඉල්ලා ඇති මාසිකව රුපියල් මිලියන 21ක කුලිය ගෙවීමට එකඟවීමද බරපතළ අක්‍රමිකතාවක් වන්නේ නියමිත කුලියට වඩා මසකට රුපියල් මිලියන 7.5ක් වැඩිපුර ගෙවන නිසාය. එසේම පාර්ලිමේන්තු කාරක සභා දැනටමත් පාර්ලිමේන්තුවේ පවත්වාගෙන යන අතර ඒවා සඳහා වෙනත් ස්ථානයක් අවශ්‍ය නැති බවටද මත පළවේ.
මේ ආදී කරුණුවලින් අනාවරණය වන්නේ මෙම ව්‍යාපෘතිය නිසා විශාල ලෙස මහජන මුදල් අවභාවිත වී ඇති බවය. අවුරුදු 5ක් තිස්සේ තවදුරටත් මෙය මෙසේම සිදුවුවහොත් තවත් සුවිශාල මුදලක් අපතේ යනු ඇත. වර්තමානයේ රටේ පවතින දුර්වල අනාර්ථික තත්ත්වය හා රජ්‍ය ආදායම උපයා ගැනීම දුර්වල වී ඇති අවස්ථාවක මෙවැනි කුප්‍රකට ව්‍යාපෘති සඳහා මුදල් නාස්ති කිරීම විශාල අපරාධයක් බව තතුදත්තෝ පවසති. එසේ වුවද විගණකාධිපතිවරයා හැරුණු විට යහපාලන සංකල්පය අගයන සමාජ සංවිධාන සහ දූෂණ විරෝධීන් මෙම විනාශය පිළිබඳ එතරම් ප්‍රබල හඬක් නගනවාද යන්න සැකයට තුඩුදී තිබේ. මුදල් වියදම් කිරීමේ පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව තුළ පවා මෙම සිද්ධිය ගැන සාකච්ඡා කර විධිමත් පියවරක් නොගැනීම කනගාටුවට කරුණක් බව මැදහත් විචාරකයෝ පෙන්වා දෙති.

 යසවර්ධන රුද්රිගු