2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මාල කඩන ෆෝන් උස්සන ගෑනු පහේ කල්ලිය

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

රට වටේ හොරකම් කරන කල්ලි එමටය. පොකට් ගසන උන්, චේන් කඩන උන්, බෑග් උස්සන උන් ඕනෑවටත් වඩාය. ඒ නිසා මහ මග යන සාමාන්‍ය වැසියන් පවා ගමන් කළ යුත්තේ ඉතාමත් කල්පනාවෙනි. එසේ නොමැති වුවහොත් ළඟ තියෙන ඉදිකට්ට පවා අතුරැදන් වනු ඇත. ඒ නිසා මේ කියන්නට යන්නේ කාටත් හොරා ඇඟේ පතේ දේ අත ගාගෙන යන අපුරු කණ්ඩායමක් ගැනය.

මේ කණ්ඩායම කාන්තාවන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩයමකි. මිතුරියන් තිදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු එක්ව ගොඩනගන ලද මෙම කණ්ඩායම වෙන කිසිම දේකට නොව හොරකම පමණක්ම මූලික කරගත් කණ්ඩායමක් විය.

ගම්පහ, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවල සැරිසරන මොවුන් හොරකමේ යෙදෙන්නේ කිසිම කෙනකුට හොයා ගැනීමට නොහැකිවන ලෙසිනි. අප ඔබට පවසන්නේ මේ සංවිධානාත්මක කාන්තා කල්ලියේ හොරකම් කිහිපයක් ගැනය. ඒ ගැන අවධානයෙන් සිටින්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටිමින් මේ කතාව මෙලෙස දිග හරින්නෙමු.

මේ කාන්තාවන් පිරිස උදෑසනම එළියට බසින්නේ එකටය. ඔවුන් එක් එක් ස්ථාන සඳහා පිරිස පිටවන්නේ ඊට අදාළ ඇඳුම් ඇඳගෙනය. විශේෂයෙන් මාල කැඩීම සඳහා ඔවුන් ඇඳුම ලෙස තෝරාගන්නේ මුස්ලිම් කාන්තාවන් භාවිත කරන ලෝගුවකි. සම්පූර්ණයෙන් ඇඟ වසාගෙන පැමිණෙන පස්දෙනා සෙනඟ පිරුණු බස්වල තෙරපෙමින් ඇහැට කනට පෙනෙන රත්රන් මාලයක් පැළඳ සිටින කාන්තාවක හෝ පිරිමියකු අසලට සමීප වෙති. එලෙස සමීප වෙමින් බස් රථය ගැස්සෙන ගැස්සෙන වාරයක් පාසා ක්‍රමයෙන් මාලයද, පසුව මාලයේ ගාංචුව ද අල්ලා ගනු ලබයි. ඒ අතර තුර කාන්තාවන් සියලු දෙනා කලබලයෙන් බසයේ දඟලන අතර මාලය හිමි පුද්ගලයාගේ ද අවධානය වෙනතකට යොමුකර ක්‍රමයෙන් ඔහුට හෝ ඇයට හොරා මාලය ගලවා ගනු ලබයි. සැබවින්ම මෙය කියවන ඔබට ප්‍රශ්නයක් විය හැක. එහෙත් පුදුමය නම් එම අවස්ථාවට මුහුණ දුන් කිහිප දෙනෙක්ම පොලීසියට දන්වා තිබුණේ එවැනි අත්දැකීමක් වීමය. ඒත් සමඟ එක් කාන්තාවක් බස් කොන්දොස්තර සමඟ ගැටුමක් ඇතිකර ගනිද්දී පිරිස තකහනියේ බසයෙන් බැස යති. ඒ යන්නේ මාලයකට වැඩක් දෙමිනි. එසේම මාලයක් බැරි වුවහොත් පිරිස වට වී බෑගයකට අතපත හෝ දමති.

එසේම මොවුහු සුපිරි වෙළෙඳසල්වලින් බඩු සොරා ගැනීම ද සිදුකරති. ඒ සඳහා පස් දෙනාම සාරිය ඇඳගෙන පැමිණෙන අතර පස් දෙනා අවස්ථා කිහිපයකදී වෙළෙඳසලට ඇතුළු වෙති. එසේ ඇතුළු වන මොවුහු භාණ්ඩ රැස්කරන කූඩයක් ගෙන එයට භාණ්ඩ ඇතුළත් කරති. එසේ භාණ්ඩ දමන විට කුඩා කුඩා ආහාර ද්‍රව්‍ය තම සාරිය තුළට බහාගැනීම සිදුකරනු ලබයි. මෙලෙස ඔවුන් විදුලි උපකරණ පවා සොරාගත් අවස්ථා අප්‍රමාණය.

විශේෂයෙන් රත්රන් භාණ්ඩ, දුරකථන වෙළෙඳසල්වල මෙම කණ්ඩායම වැඩියෙන් ගැවසෙන බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථවල ඔවුන් විසිර ගොස් කොල්ල කෑ අවස්ථා ද ඇතැයි සඳහන් වේ. ඒ සමඟ කුඩා දරුවන් රැගෙන යන බවද වා‍ර්තා වී ඇත.

මෙම කණ්ඩායමේ හොඳම දෙය සිදුවන්නේ. රාත්‍රී දුම්රියේය. රාත්‍රී දුම්රියට නැගගන්නා මෙම පස්දෙනා වෙන් වෙන්ව දුම්රිය පෙට්ටිවල අසුන් ගනිති. එසේ වාඩි වී කිසිදු දෙයක් නොදන්නා පරිදි ගමන් කරති. රාත්‍රී දුම්රිය තුළ බොහෝවිට මගීන් ගැවසෙන ප්‍රමාණය අඩුය. යන මගීන්ගෙන් බාගයක්ම තෙහෙට්ටු වී නින්දේය. තවත් අය මත්පැන් බී තැන් තැන්වල වැටී මර නින්දේය. මේ සියල්ල අස්සේ ක්‍රියාත්මක වන කාන්තාව බොහෝ දෙනකු සතු ගමන් මලු, මුදල් පසුම්බි, ජංගම දුරකථන ආදියට වගකියනු ලබයි. එසේ සොරාගන්නා භාණ්ඩත් සමඟ දුම්රිය ස්ථානවලින් බැස ගන්නා පිරිස නැවත නිවෙස්වලට යන්නේ කදමලු පුරවගෙනය.

කෙසේ වෙතත් මේ කල්ලියට මනමාලකම් කරන්නට ගොස් නැතිවුණ අයද සිටිති. එනම් රාත්‍රී දුම්රියේදී තනියම යන එම කණ්ඩයමේ කාන්තාවන්ට මනමාලකම් කරන්නට ගොස් අතේ වූ මුදල් පසුම්බිය පවා නැති කරගත් අය සිටිති. එහෙත් ඒවා පොලිස් පොත්වල සටහන් වන්නේ නැත.

එම කණ්ඩායමෙන් කිහිප දෙනකු විවාහ වී සිටියත් ඇතැම් අය විවාහ වී නැත. විශේෂයෙන් මොවුන් සම්බන්ධයෙන් දන්න අය පවා මොවුන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නැත. එයට හේතුව මේ කාන්තාවන් ඔවුන් යන එන තැන්වල අය සමඟ සමීප සම්බන්ධයක් පවත්වන බවට තොරතුරු ලැබීම නිසාය.

කිසිම මොහොතක හඳුනාගත හැකිවන ලෙස මොවුන් හැසිරෙන්නේ නැත. ඔවුන් බස් රථයකට හෝ දුම්රියට ගොඩවන්නේ නම් කාන්තාවන් පස්දෙනා ඇතුළු වන්නේ අවස්ථා පහකදීය. තැන් තැන්වල සිටියත් ක්‍රමිකව හොරකම සිදුවන වෙලාවට පිරිස එක්වෙති. ඒ කාටත් හොරා කලබලයෙන් හොරකම සිද්ධ කරන්නටය.

මේ පිළිබඳ පොලීසියේ ඉහළ පෙළේ  නිලධාරියකුගෙන් විමසූ කළ ඔහු කියා සිටියේ මෙම පිරිස සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් එහෙත් ඔවුන් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු නිශ්චිත නොමැති බවත්ය. විශේෂයෙන් එම කාන්තාවන් පිරිස වෙස් වලා ගනිමින් සැරිසරන නිසා නිශ්චිත ඡායාරූපයක් පවා නොමැති බව එම නිලධාරියා කීය. ඔවුන් කොටුකර ගැනීමට මහජනතාවගේ උදව් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිරිසගේ වැඩක් ගැන එයට ගොදුරැ වූ කාන්තාවක් ලියුම්කරැ සමඟ ප්‍රකාශ කළේ මෙසේය.

මම ගම්පහ පැත්තේ බස් එකකට නැග්ගා. මම නැගපු හෝල්ට් එකට ඊළඟ හෝල්ට් එකෙන් මුස්ලිම් අය පස් දෙනෙක් නැග්ගා. ඒ අය කළු ඇඳගෙන හිටියේ. බස් එකට සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න මේ කට්ටිය මගේ වටේ හිටියේ. එක පාරටම අර ගෑනු කෙනෙක් කොන්දොස්තර ඇඟට හේත්තු වුණා කියලා කෑ ගහන්න ගත්තා. හෙණ රණ්ඩුවක්. මේ අතර එක් මුස්ලිම් කාන්තාවක් මගේ කරට අත තියාගෙන හිටියේ. ඒ වෙලාවේ මගේ බෙල්ල ඇදෙනවා වගේ ලාවට දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නෑ. අන්තිමට මේ අය කොන්දොස්තරට රණ්ඩුව දාලා බැස්සා. එහෙම බැහැලා ගිහින් ටිකක් වෙලා යනකොට මම බෙල්ල අත ගෑවා. එතකොට තමයි දන්නේ මාලය නෑ කියලා. ඒ අය ගලවගෙන. ඒක පවුම් තුනක මාලයක්. ඒත් ඒ අය හොයාගන්නවත් නෑ.

මේ පිරිසගේ කරදරයට පත්වූ ව්‍යාපාරිකයෙක් මෙසේ කීය.

දවසක් අපේ ෆෝන් කඩේට ඇවිත් එක්කෙනෙක් ෆෝන් බලන්න ඕනේ කිව්වා. ඉතින් බැලුවා. ඒ බලනකොට දරැවෙක් එක්ක තව ගෑනු කෙනෙක් ආවා.. ඊටත් පස්සේ තව දෙන්නෙක් ආවා. දැන් මේ තුන් ගොල්ලෝ මාරුවෙන් මාරැවට ෆෝන් බැලුවා මට එක එක ඒවා කිය කියා. අන්තිමට එක එක්කෙනා මාරු වුණා. පස්සේ බලද්දී මේස උඩ තිබ්බ රුපියල් 30000ක ෆෝන් එකක් මේ අය උස්සලා.

මේ අත්දැකීම් පිරිසකගේ කතාය. එහෙත් මේ ගැන නොකියන අයද ඇත. කෙසේ වෙතත් මේ පස්දෙනා හැමතැනම දැන් ජනප්‍රිය වී ඇත. එහෙත් පොලීසියට පවා වැලි ගසමින් ඔවුහු සැඟවී සිටිති. එපණක් නොව මේ දිනවල ඔවුන් ගැන තොරතුරක්ද නැත. පසුගිය නිවාඩු සමයේදී මේ පස්දෙනා සිදුකළ හොරකම් රැසක් අසන්නට ලැබුණත් ඔවුන් කවුද යන්න නිශ්චිතව හඳුනාගත නොහැකි වී ඇත. ඇතැම් අවස්ථාවල විවිධ ලෙස කොණ්ඩ මාරු කරමින් පැමිණෙන මේ කණ්ඩායම් අදටත් ප්‍රශ්නයක්ය. ඒ ප්‍රශ්නය විසඳන්න මහජනතාවගේ සහය පොලීසියට ලැබිය යුතුය. ඒ නිසා දැන්වත් අවධානයෙන් සිට මේ කණ්ඩායම ගැන තොරතුරු ලබාදීම කාගේත් වගකීමයි.

 අසංක කළුබෝවිල