2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

කිරිපිටි වල ඌරු තෙල් කතාවේ හරි වැරදි

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 184

පාර්ලිමේන්තුව උණුසුම් කළ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගේ කිරිපිටි කතාව හේතුවෙන් රට කරවන තැන සිටින මහජන නියෝජිතයෝ පිටිකළ කිරි නොබීමට තීරණය කළෝය. මුළු රටම මේ පිළිබඳ කතා කරන්නට පටන්ගත්තේ මේ සිදුවීම සමඟය. කිරිපිටි කතාව දේශපාලන වේදිකාවේ අද රසබර මාතෘකාවකි. අපද කිරිපිටිවල ඌරු තෙල් කතාවේ උණුසුම පහව යන්නට මත්තෙන් මෙම හෙළිදරව් කිරීමට තීරණය කළේ එබැවිනි. ලොක්කන් නොබොන පොඩ්ඩන් බොන පිටිකළ කිරිවල කතාව ඉතා පුළුල් වපසරියක පැතිර යන්නකි. මේ එහි එක පැතිකඩකි.

ආනයනය කරනු ලබන කිරිපිටිවල ඌරු තෙල් ලැක්ටෝස් අඩංගු බවට චෝදනා නැගුණේ අද ඊයේ නොවේ. එහෙත් ඒ පිළිබඳ රට හමුවේ අනාවරණය නොවීය. කිරිපිටිවල මෙලමයින් තිබෙන බවට 2008-2009 වකවානුවේ ඇතිවූයේ විශාල සමාජ ආන්දෝලනයකි. එහිදී හෙළිවූ තොරතුරැවල අනුව මෙලමයින්වලට අමතරව තවත් සංඝටක කිරිපිටිවල අඩංගු විය. එහෙත් ඒවා නිසිපරිදි සමාජගත නොවීය. විවිධ සංවිධාන හා පුද්ගලයන් දිගින් දිගටම නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න කරමින් සිටියෝය. එහෙත් ඊට සැලකිය යුතු හඬක් නොවිණි.

මීට දෙසතියකට පමණ පෙර කිරිපිටි ආනයනය සම්බන්ධ ගැටලුවක් මතුවිය. දැනට පවතින අධික බදු හේතුවෙන් ආනයනයේදී පාඩු සිදුවන බවත් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගොස් ඇති බවත් ආනයනය සමාගම් ප්‍රකාශ කළේය. ඒ අනුව ඔවුන් විසින් ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන ලදී. ඉන් පළමුවැන්න කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සැලකෙන බැවින් ඒ මත පනවා ඇති බදු අඩු කළයුතු බවයි. අනෙක වූයේ එසේ කළ නොහැකි නම් කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි. මෙම ඉල්ලීම් ඉටුවනතුරැ වරායේ තිබෙන ආනයනික කිරිපිටි තොග නිදහස් කර නොගැනීමට සමාගම් තීරණය කළේය. ඒ සමඟම කිරිපිටි හිඟයක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවිය. ඒ අතර රජයන්ද එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.

එම සිදුවීම සම්බන්ධවද පාර්ලිමේන්තුවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා කර්මාන්තය හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය. එහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පවසා සිටි කාරණා සමස්ත කථිකාව උඩුයටිකුරැ කළේ මෙසේය.

මගේ අමාත්‍යංශය යටතේ තිබෙන පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා කිරිපිටි නාමයෙන් ගෙන්වන දේවල තියෙන්නේ ඌරැතෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩුකරලා කිරිපිටි නමින් ගෙන්වනවා කියලා අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට නවසීලන්තයෙන්ම පමණයි කියන කිරිපිටි. අපි දන්නවා කිරි එරෙන්නේ පැටව් හම්බවුණු වැස්සියන්ටනේ. එහෙම නෙවෙයි මේ මොහොතේ උපදින වස්සෝ වැස්සියන්ගේ ඉඳලා මේ මොහොතේ මියයන වස්සෝ වැස්සියන්ට කිරි එරුණත් ලංකාවට අවුරුද්දකට එවන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ වාර්තා අනුව පේන්නේ.

මේ ආදී වශයෙන් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා  දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. එය ප්‍රථම වතාවට මෙම අර්බුදය පාර්ලිමේන්තුව උණුසුම් කිරීමට හේතුවිය. ඉහත සිදුවීමත් සමග අපි පළමුව මේ පිළිබඳ තොරතුරැ දැන ගැනීමට පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරගතිමු. පාර්ලිමේන්තුවේ ජීවන වියදම් අනුකමිටුවෙන් ලැබුණු නියෝගයට අනුව විද්‍යාගාර පරීක්ෂණ සිදුකිරීම සූදානම් වන බව අපට දැනගන්නට ලැබුණි.  පාරිභෝගික සංවිධාන බොහෝමයකින්ද මේ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය සතුව විද්‍යාගාර පහසුකම් නොමැති අතර රජයේ හෝ පෞද්ගලික විද්‍යාගාරවලින් ඔවුන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු වේ.

සැබෑවටම ඌරු තෙල් කතාව නම් යම් පරීක්ෂාවක් තුළින් හෙළිකර ගත යුත්තකි. එහෙත් ලැක්ටෝස් පාම් ඔයිල් කතාව මේ වනවිටත් තහවුරැ වී තිබේ. නවසීලන්තය ලොව විශාලතම පාම් ඔයිල් ආනයන කරුවාය. එරට වසරකට මෙක්ට්‍රික් ටොන් 2300 පමණක් ආනයනය කරයි. මේ පිළිබඳ තහවුරු වන්නේ ඇමෙරිකානු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2018 වර්ෂයේ ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුවය. තවද නවසීලන්තය රජය කිසිදු අවස්ථාවක ලැක්ටෝස් පාම් ඔයිල් චෝදනාව ප්‍රතික්ෂේප කළ බවක් අපට දැන ගන්නට නැත. නවසීලන්තය රජයේ වාර්තාවලට අනුව කියැවෙන්නේද දියුණු වෙමින් පවතින රටවල වෙළෙඳ පොළවල්වලට යැවෙන්නේ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් නොවන බවයි. එසේනම් අප වැනි රටවලට මේ ලැබෙන්නේ පෝෂ්‍යදායී නොවන සෞඛ්‍යයට අහිතකර කිරිපිටි වර්ගද?

අපට ඕස්ට්‍රේලියාවේ සහතිකය තිබෙනවා

අප මේ පිළිබඳව විමසීමට කිරිපිටි ආනයනය කරන ආරිය කිරි සමාගම් විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා සම්බන්ධ කරගතිමු.

අපිට නම් ඕස්ට්‍රේලියාවෙන් සහතික කරලා දීලා තියෙනවා. මං හිතන්නේ ඔය කතා පෞද්ගලිකයි. SLS එකෙන් චෙක් කරලා තමා බඩු එන්නේ. මං දන්නේ නෑ අනෙක් ප්‍රඩක්ට්වල කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවෙන් නම් සහතිකයක් දෙනවා මොනවත් කලවම් කරලා නෑ කියලා. මං හිතන්නේ ඒවා අනිවාර්ය කළා නම් පාරිභෝගිකයට සැකයක් නැතුව බඩුවක් ගන්න පුළුවන්නේ. මෙතැන තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිරීති මාලාවේ අඩුපාඩුවක්. අපි ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ආරිය කිරිවල තියෙනවා හන්ඩ්‍රට් ප්‍රසන්ට් නැචුරල් ප්‍රඩක්ට් කියලා තහවුරු කරලා.

නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන සමාගම්ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරු නමුත් සාර්ථක නොවීය.

බොහෝ ආහාර ද්‍රව්‍ය සඳහා ඌරු තෙල් යෙදීම නව ලෝක ප්‍රවණතාවයකි. කල්පැවත්මට මෙන්ම යොදය සහිත බව පෙන්වීමේ අරමුණින් එසේ කරන බව කියැවේ. එහෙත් කිරිපිටිවල ඌරැ තෙල් කතාව තහවුරු කර නොගත්තකි. ලොකයේ විවිධ මාධ්‍ය වාර්තා ඌරු ගැටලුව පිළිබඳ පළව තිබේ. මුස්ලිම් ජනතාවට මෙය බරපතළ අර්බුදයක් වීමට ඇති ඉඩකඩ බොහෝය. මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එය මතු කළේය. එහෙත් බහුජාතික සමාගම් අප වැනි රටවල් මත පටවන ආධිපත්‍යය මත මෙවන් කාරණා යටපත් වේ.

රිපෝට්ස් තාම නෑ

මෙම ගැටලුවට දීර්ඝකාලීනව මැදිහත් වී සිටින පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතාද සම්බන්ධ කර ගතිමු. මේ මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

නවසීලන්තයේ මිනිස්සු කිරිපිටි බොන්නේ නෑ. කිරි ගත්තාම වැඩිපුර තියෙන කිරි ටිකෙන් බටර් ටික හදලා එංගලන්තෙට යවනවා. ප්‍රෝටීන් ටික වෙනම ගන්නවා. එතකොට ඉතුරැවෙන මොනවාත් නෑ. ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ වාර්ෂික වාර්තාවේ කියන්නේ. තුන්වෙනි ලෝකයේ රටවල් දුප්පත් නිසා ෆුල් ක්‍රීම් මිල්ක් බොන්න සල්ලි නැති නිසා අපි උඹලාට කටු පොල්තෙල් දාපුවා ලැක්ටෝස් දාපුවා දෙනවා කියලයි. අපි පැමිණිලි කරලා තියනවා පාරිභෝගික අධිකාරියට ජූලි මාසේ තාමත් රිපෝට් නෑ.

දීර්ඝකාලීනව මෙම කිරිපිටි භාවිතය විශාල සමාජ ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බව ඒ මහතාගේ අදහසයි. ළමා දියවැඩියාව මෙහි බරපතළම තත්ත්වයකි. ඇති හැකි රටවල්වලට එක ආකාරයකටත් තුන්වැනි ලෝකයේ අපවන් රටවලට තවත් ආකාරයකටත් සැලකීම පිළිගත නොහැක.

ආනයනික කිරිපිටිවල බදු අඩුකිරීමට සමාගම් රජයට එල්ල කරන ලද පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගැටලු කරලියට ආ බව අපි නැවත සිහිපත් කරමු. බදු අවුල නිමාවූ පසුව මේ පිළිබඳ කතිකාවතද නිමාවන්නට ඇති ඉඩකඩ බොහෝය.
කෙසේ වුවද මෙරට ආහාර ප්‍රමිති නියෝග 1991 අගෝස්තු 01 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ හඳුන්වා දී තිබේ. ඒ අනුව කිරි යනු එළදෙනුන්ගෙන් හෝ මීදෙනෙකුගෙන් ලබාගත් කිරි විය යුතුය. ඊට වෙනත් යමක් මිශ්‍ර කිරීම සිදු නොකළ යුත්තකි. මෙම කරුණු සනාථ වුවහොත් මෙය ශ්‍රී ලංකා රජයේ නීතිය ඉහත සමාගම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව තහවුරු වනු ඇත. වයඹ සරසවියේද මේ පිළිබඳ පරීක්ෂණයක් කොට වාර්තා එළිදක්වා ඇත. තවත් පරීක්ෂණ වාර්තා කිහිපයක්ද තිබේ. ඒ සියල්ලෙන් මෙම අර්බුදයට තුඩුදෙන කරුණු සනාථ වී තිබේ. කෙසේ නමුත් රජයේ පාර්ශවයෙන්ද තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. දැන් එය සිදුවෙමින් පවතී. එසේ නම් අප රටක් ලෙස අවදියෙන් සිටීම වැදගත්ය.

කිරිපිටි සමාගම් මෙසේ කියයි

කිරිපිටි සම්බන්ධව ඇතිවූ අර්බුදයත් සමඟ ෆොන්ටෙරා, මැලිබන්, ඩයමන් යන සමාගම් පුවත්පත් දැන්වීමක් හරහා විශේෂ මහජන නිවේදයක්ද නිකුත් කර තිබුණි. ඊට අනුව කියැවුණේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආනයනික කිරිපිටිවල සුරක්ෂිතතාව සහතික කොට ඇති බවයි. එළවළු තෙල් හෝ වෙනත් මේද වර්ග තම නිෂ්පාදනවල අන්තර්ගත වී නොමැති බවද ඔවුන්ගේ දැන්වීමෙහි දක්වා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරමාණුක බලශක්ති මණ්ඩලය ආදී තාක්ෂණික ආයතන තවදුරටත් මෙය තහවුරු කර ඇති බවද එහි දක්වා ඇත. නවසීලන්ත රජයද කිරිපිටිවල ගුණාත්මකභාවය තහවුරු කර ඇතැයිද එහි සඳහන් වේ.

 

 

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00