2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මධූෂ් කවුද? මොනවද කළේ?

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 318

මේ දිනවල රටම දන්නා නමක් වේ නම් ඒ සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ්ය. නම කිවූ පමණින් සාමාන්‍ය වැසියන් බිය නොවුවත් පාතාලයේ බොහෝ දෙනා මධූෂ්ගේ නමට පමණක් නොව ඔහුගේ ගෝලයන්ටද බයය. ඒ මධූෂ් කිසිදු අණක් ගුණක් නැති නිසාය. සරලවම කිව්වොත් කිසිදු හිතක් පපුවක් නැති නිසාය. ඒ නිසා මධූෂ් පාතාලයේ සමහරක්ට පමණක් නොව ආරක්ෂක අංශවලට පවා හිසේ රුදාවක් වී තිබුණි. ඒ ආරක්ෂක අංශවල සමාජිකයන්ටද තර්ජනය කිරීම නිසාය. එහෙත් පුදුමය නම් එවැනි අපරාධකරුවකුට එරෙහිව තවමත් ජාත්‍යන්තර රතු නිවේදනයක් නැති වීමය. ඒ මධූෂ්ට එරෙහිව හරි හැටි චෝදනාවක් තවමත් උසාවියේ තහවුරු නොවීම නිසාය.

ඩුබායි සිට මෙහෙයවමින් කුඩු ජාවාරම්, මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සිදුකළ මධූෂ් දැන් රොත්ත සමඟින්ම ඉන්නේ එරට කූඩුවේය. මේ නිසා බොහෝ දෙනෙක් සතුටුවනවා සේම තවත් පිරිසක් තමන්ට සිදුවූ හානි ගැන කම්පාවෙමින් දෙස් දෙවොල් ඉල්ලති. පුදුමය නම් මේ නිසාම බොහෝ දෙනෙක් ඇඟිලි ගනින්නේ මධූෂ් එරටදීම දඬුවම් ලැබෙතැයි සිහින දකිමින් වීමය.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ගෝඩ්ෆාදර් යැයි රටේ මාධ්‍ය කියන, එහෙත් හැංඟිහොරා මැරකම් කළ මහා පාතාල කල්ලි සාමාජිකයෙක් යැයි කියන මධූෂ්ගේ ඉරණම් කතාව ගැනය. එය කියවූ පසුව මධූෂ් අද මෙවැනි තැනකට වැටුණේ කාගේ වරදින්ද යන්න කියවන ඔබට විනිශ්චය කළ හැක.

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් 1979 පෙබරවාරි 24 උපන් අයෙකි. එනම් එළඹෙන ඉරිදා මධූෂ්ගේ 40 වැනි උපන්දිනය යෙදී ඇත. මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය යන ලිපිනයේ පදිංචි අයෙකි. කුඩා කාලයේදීම ජීවිතයේ ඛේදවාචකයක් වූ මධූෂ්ට තම මව අහිමි වන්නේ වයස අවුරුදු 8 දීය. ඒ ඇය ජනතා විමුක්ති පෙරමුණ සමඟ දේශපාලනය කළ බව පවසා සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙනි. මවගේ මරණයෙන් පසුව තම පියා වෙනත් කසාදයක් කරන්නා අතර ඔවුන් නැවත පදිංචි වන්නේ කරගොඩ උයන්ගොඩ ප්‍රදේශයේය.

එම ප්‍රදේශයේ පදිංචිව සිටි මධූෂ්ට පාසලක් හිමිවන අතර එය නාරංදෙණිය පාසලය. එම පාසලට කඹුරුපිටියේ පදිංචි ධනවත් පවුලක තරුණියක්ද ආවාය. ඇයගේ නම සඳහන් නොකරන්නේ ඇය කිසිදු අපරාධයට සහයෝගය ලබා නොදී අසනීප කුඩා දරැවකු සමඟ අන්ත අසරණ වී සිටින නිසාය. එම තරුණිය සමඟ පාසල් සමයේදීම ප්‍රේමයක පැටලෙන මධූෂ් අඩු වයසින්ම තම පෙම්වතියද රැගෙන පැනයන්නේ හිතුවක්කාරකමටය. මේ නිසා තරුණියගේ ගෙදරින් ඇයව අත්හරිනු ලබයි.

කෙසේ වෙතත් ඒ අනුව ඉතා උත්සාහවන්තයෙන් දියුණුවන්නට උත්සාහ දරණ මධූෂ්ව නැවත මධූෂ්ගේ බිරිඳගේ නිවසින් පිළිගන්නේ ඇයටත් මධූෂ්ටත් සමාව ලබාදෙමිනි. ඒ අනුව මධූෂ් මුල්වරට මාකඳුරට යන්නේ අලුතින් බිරිඳගේ මහගෙදර පදිංචි වීම සඳහාය. කෙසේ වෙතත් මෙම තරුණියගේ පවුල ප්‍රබල එජාප පවුලක් වුණු අතර එම නිවෙස පක්ෂ රැස්වීම්, හමුවීම්වලින් නිතර පිරී තිබුණේය. මේ නිසා මධූෂ්ගේ බිරිඳත් ක්‍රමයෙන් එජාප ක්‍රියාකාරිනියක් වූවාය. එජාප කාන්තා සංවිධානයේ ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කළාය. ඒ 1998-1999 වසර කාලයේදීය.

කෙතරම් දේශපාලන සබඳතා, ශක්තිය තිබුණත් මධූෂ්ට හරි හැටි රස්සාවක් තිබුණේ නැත. මධූෂ් නොයෙකුත් ව්‍යාපාර කරමින් කාලය ගත කළේය. කලක් මධූෂ් සිල්ලර කඩයක් කළේය. තවත් වරෙක කරවල කඩයක් කළේය. ඊටත් පසුව දර වික්කේය. ඒ හැමදේම තාවකාලික ව්‍යාපාර වූ එකක් හෝ මධූෂ්ට ගොඩයාමට හේතුවූයේ නැත. එහෙත් මධූෂ් වැරදි වැඩ කළේ නැත.

මේ අතර දිනක් මධූෂ් පාරේ ගමන් කරන විට වේගයෙන් ආ යතුරු පැදියක් කිසිම අණක් ගුණක් නොමැතිව මධූෂ්ගේ කකුල උඩින් ගියේ මධූෂ්ටත් හිතාගත නොහැකිවය. මේ නිසා මධූෂ්ට තරහා ගියේය. යතුරු පැදිය ධාවනය වූ පුද්ගලයා සමඟ මධූෂ් ඒ මොහොතේදී වාග් හුවමාරැවක් සිදු විය. යතු‍රුපැදිකරු වැරදිකාරයා වුණත් ඔහු මධූෂ් සමඟ එකට එක කියමින් ගැටුණේය. අවසානයේ දෙදෙනා අතින් පයින් ගහගන්නා තැනට වැඩේ ගොස් ඒ රණ්ඩුව නිමවුණේය. කෙසේ වෙතත් මෙලෙස ගැටුණේ මාකඳුරේ ප්‍රබල දේශපාලන පවුලක් වූ දකුණු පළාත් සභා ඇමති ඩැනී හිත්තැටිය මහතාගේ නැගණියගේ ස්වාමියා සමඟය. එහෙත් ඒ ගැටුම ඔවුන් දෙදෙනා සාමකාමිව විසඳාගත්හ.

එලෙස ඒ දෙදෙනා ගැටුම අවසන් කළත් ඩැනී හිත්තැටියත්, ඔහුගේ බිරිඳගේ සහෝදරයාත් මේ ප්‍රශ්නය අත් හැරියේ නැත. දිනක් බිරිඳගේ සහෝදරයා මධූෂ්ගේ නිවස අසලට ගොස් කෑ ගැසුවේය. එදා මධූෂ් නිවසේ සැඟවී සිටියේය. අවසානයේ එන්න එන්නටම කරදර නිසා මධූෂ් එම නිවස අතහැර ගොස් රජයේ ඉඩමක පදිංචි වුණේය. එහෙත් ඩැනී හිත්තැටිය ඔහුට එහිද යහතින් ඉන්න දුන්නේ නැත. ඒ වනවිටත් ඩැනී හිත්තැටිය දකුණු පළාත් සභාවේ ඉඩම් ඇමති නිසා රජයේ ඉඩමක මධූෂ් පදිංචි වී ඇති නිසා ඔහු එළවන්නට කටයුතු කළේය. ඒ සඳහා දිනක් ඩැනී හිත්තැටිය තම මස්සිනා සමඟ තුවක්කුවත් රැගෙන විත් අහසට වෙඩි තබා මධූෂ්ව මරන්නට උත්සාහ ගෙන තිබිණි. එදින අනූනවයෙන් ජීවිතය බේරාගත් මධූෂ් නිවසෙන් එළියට බැස මීගමුවට පළා ආවේය.

එසේ මීගමුවේ සැරිසරමින් ජීවිතය සොයමින් සිටි මධූෂ් විවිධ අපරාධවලට සම්බන්ධ වන්නට විය. ගෙවල් බිඳුම් කොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ රැසක් සිදුකරමින් ගම්පහ, මීගමුව, සීදුව, ජාඇල ප්‍රදේශවල සැරිසරන්නට විය. ඒ අතරතුර මධූෂ් පොලීසියටද කිහිප වතාවක් කොටුවිය. මේ අතර මධූෂ් අපරාධකාරයකු වූ නිසා මධූෂ්ගෙන් ඩැනී හිත්තැටියට මරණ වරෙන්තුව ආවේය. හිත්තැටියට බයේ පැන දිවූ කොල්ලා අවසානයේ හිත්තැටියට පරිස්සම් වී සිටින ලෙස දැනුම් දුන්නේය. මේ අතර හිත්තැටියගේ මස්සිනා ඝාතනය විය. එය මධූෂ්ගේ වැඩක් යැයි සියලු දෙනා සිතූහ. හිත්තැටියද එසේ සිතුවේය. මේ නිසා හිත්තැටිය හම්බන්තොට ප්‍රදේශයේ චණ්ඩි හතර දෙනකු තම ආරක්ෂාව සඳහා යොදවා ගත්තේය. එහෙත් මධූෂ් කිහිප වතාවක් හිත්තැටියට අභියෝග කළේ පරණ කෝන්තරය නිසාය. මේ අතර හිත්තැටිය මධූෂ්ට එරෙහිවද පොලීසියට ඔත්තු දුන්නේය. මේ අතර මධූෂ් මීගමුව බන්ධනාගාරයට ගියේය. ඒ මූල්‍ය ආයතන තුනක් මංකොල්ල කෑම චෝදනාව නිසා 2005 ජූලි 25දා අත්අඩංගුවට පත්වීමත් සමඟය.

2006 පොසොන් පොහොය එළඹිණි. තිස්සමහාරාමයේ පොසොන් පෙරහර පැවැත්වෙන නිසා හිත්තැටියගේ ආරක්ෂාවට ආ හම්බන්තොට හාදයෝ තිස්සමහාරාමය බලා පිටත්වූහ. ඒ ගෙයින් එළියට නොයෙන ලෙස ඩැනීට දැනුම් දෙමිනි. එහෙත් හිත්තැටිය හන්දිය කඩයට පත්තරය ගැනීම සඳහා ගියේය. සිගරැට්ටුවක් දල්වාගත් හිත්තැටියට වැඩිදුරක් එන්නට හැකිවුයේ නැත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් හිත්තැටියට වෙඩි වරුසාවක් තබා පැන ගියහ. හිත්තැටිය එතැනමය.

මේ ඝාතනය මධූෂ්ගේ වැඩක් බව දැන ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. වෙඩික්කරු මධූෂ් ඇප තබා එළියට ගත් කොමාන්ඩෝ නිශ්ශංකය. එහෙත් අවසානයේ නිශ්ශංක මිනුවන්ගොඩදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය අතර, යතුරුපැදිය පැදගෙන ආ පුද්ගලයා ඔබේසේකරපුර ප්‍රදේශයේදී සමයංගේ කණ්ඩායම විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. කෙසේ වෙතත් ඩැනී හිත්තැටිය ඝාතනයෙන් මධූෂ් නිදහස් වූයේ සාක්ෂි නොමැති වීම නිසාය.

මෙම සිද්ධියෙන් පසුව මධූෂ් රට කළඹමින් රටේ නැති අපරාධ සිදුකිරීම ආරම්භ කළේය. 2012 වසර වනවිට මධූෂ්ට තවත් චෝදනාවක් එකතු විය. ඒ යුද්ධය පැවති සමයේදී මධූෂ් දකුණේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියාකර ඇති බවය. ඒ අනුව මධූෂ් 2012 වසරේදී ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් දින 90ක් පමණ රඳවාගෙන ප්‍රශ්න කෙරිණි. ඒ අවස්ථාවේදී බොරු ඔත්තුවක් ලබාදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් එළියට ගෙන ඔවුන් ඝාතනයට ගත් උත්සාහයද හරිගියේ නැත.

අවසානයේ බන්ධනාගාරගත වී පසුව එළියට පැමිණෙන මධූෂ් දකුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනකු සමීපයේ වැඩ කළේය. ඒ අතර එක් දේශපාලඥයෙක් මධූෂ් තමන් සමීපයේ සේවය කරන බව දැනගෙන එළවා දැමුවේය. එහෙත් අනෙක් දේශපාලඥයා මධූෂ් ළඟ තබා ගත්තේය. පසුකලෙක දේශපාලන බලයෙන් පෝෂණය වූ එම දේශපාලනඥයා හරහා මධූෂ් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසා ඩුබායි රාජ්‍යයට පැනගත්තේය. ඒ ඉදිරිකටයුතු මෙහෙයවීම සඳහාය.

මධූෂ් විදෙස්ගතව තමාට හිතවත් නැති විරුද්ධ කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම ආරම්භ කළේ මේ සමයේදීය. මධූෂ්ගේ ප්‍රහාරවල විශේෂත්වය වූයේ ඔහුගේ ප්‍රහාරක කණ්ඩායම ආරක්ෂක අංශ ලෙස වෙස්වලාගෙන පැමිණීමය. කිහිපවතාවක් මධූෂ්ගේ පිරිස යුධ හමුදා ඇඳුම්, පොලිස් ඇඳුම් සහිතව පොලීසියට කොටු වූහ. එහෙත් මධූෂ් අර අඳින ඝාතනය කුමක්ද යන්න පැහැදිලි වූයේ නැත.

මේ අතර ඩැනී හිත්තැටිය ඝාතනයට සම්බන්ධ යතුරු පැදිකරු ඔබේසේකර පුරයේදී මරා දැමීමත්, මධූෂ්ගේ හිතවතෙකු වූ අංගොඩ ලොක්කාට බන්ධනාගාරය තුළදී පහරදීමත් හේතුවෙන් මධූෂ් කඩුවෙල සමයං සමඟ බද්ධ වෛරයෙන් සිටියේය. මේ නිසා මධූෂ් සමයංගේ පවුලේ උදවිය පස්සෙන් පැන්නුවේය. ඒ අතර සමයංගේ බිරිඳ යැයි සිතා වෙනත් ගැබිණි කාන්තාවකට මධූෂ්ගේ කණ්ඩයම වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට වෙඩි තැබුවේය. අවසානයේ මධූෂ් සමයංගෙන්ම පළිය ගැනීමට සිතුවේය. ඒ අනුව සමයං ඇතුළු පිරිස කළුතර බන්ධනාගාරයේ සිට කොළඹ අධිකරණයට රැගෙන එමින් සිටියදී පොලීසිය ලෙස වෙස් වලාගෙන විත් සමයං ඇතුළු බස් රථයේ පිරිස වෙඩිතබා ඝාතනය කළෝය. ඒ සඳහා අංගොඩ ලොක්කාද සහභාගි විය. පසුව ලොක්කා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැනගත්තේය.

මේ අතර මධූෂ් ඩුබායි සිට පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය හරහා කුඩු ජාවාරම ආරම්භ කර තිබුණි. ඒ සඳහා මධූෂ් කලක් මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි මොරිස් ද සම්බන්ධ කරගෙන තිබිණි. හොඳින් සංවිධානය වූ මධූෂ් නැව් ගණනින් මෙරටට කුඩු ආනයනය කළේය.

මේ සියල්ල මැද මධූෂ්ගේ පියාගේ මරණයද සිදු විය. එය මරණයකට වඩා උත්සවයක් බවට පත් වී තිබිණි. පැමිණි සියලුදෙනාටම ඉස්තරම්ම මත්පැන්වලින් සංග්‍රහ කෙරිණි. මිනීවල වටා සවිකළ කැමරාවලින් ඩුබායි සිට මධූෂ් අවමඟුල් උළෙල නැරඹුවේය. හෙලිකොප්ටරයෙන් මල් ඉසුවේය. කොටින්ම කියතොත් දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නේය. මේ මරණ ගෙදරට පැමිණි එක්තරා දේශපාලඥයෙක් රෑ එළිවෙනකල් තමන්ගේ පවුලේ අයකු ලෙස නිදිමැරුවේය. ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් මරණයට ගුණකථනය කළේය. ඒ දෙදෙනාම මරණ ගෙදරට කැපවී වැඩ කළහ.

කෙසේ වෙතත් මේ අතර මධූෂ්ගේ නම ජනාධිපති ඝාතනයට ගෑවුණේය. නාමල් කුමාර පවසන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මධූෂ් සමඟ ගනුදෙනු කර ඇත. එය සනාථ වූයේ ඊයේ පෙරේදාය. රහස් පොලීසිය උසාවියට දන්වා සිටියේ බුද්ධි ප්‍රධානියා වූ නාලක මධූෂ් සම්බන්ධ තොරතුරු සිතා මතා වසන් කළ බවය. එසේම මධූෂ් සමඟ අත්අඩංගුවේ සිටින අමල් පෙරේරා සමඟ නාලක සමීප සම්බන්ධයක් තිබූ බවද ඔවුහු පැවසූහ. එසේ නම් නාලක සිල්වා යනූ රජයේ බුද්ධි ප්‍රධානියාද නැතහොත් මධූෂ්ගේ බුද්ධි ප්‍රධානියා ද යන්න සැකයක් ඇත. මධූෂ්ට එම සම්බන්ධතා නිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව ඝාතනය කරන්නට උත්සහ ගත්තේ ද යන සැකයක්ද දැන් ඇත.

කෙසේ වෙතත් මධූෂ් ඩුබායි පොලීසියට කොටුවීමෙන් මෙරට ආරක්ෂක අංශයත්, පාතාලයත් සතුටු වුවත් මාකඳුරේ ජනතාවට නම් එහි සතුටක් නැත. එයට හේතුව වූයේ මධූෂ් ගමේ මිනිහාට ආදරය කළ නිසාය. හැමදෙනාටම මුදල් හදිසියකදී මධූෂ් සල්ලි ලබාදුන්නේය. ත්‍රිරෝද රථ දුන්නේය. දානයකට, මළගෙයකට, මඟුලකට මධූෂ්ගෙන් උදව් ලැබුණේය. කොටින්ම පිටගමකින් හයිරමක් මාකඳුරට ආවේ නැත. ඒ මධූෂ් නිසාය. ඒ නිසා මාකඳුරේ ජනතාව සිටින්නේ දැන් කරදර වැඩිවෙතැයි සිතමිනි. ඒ නිසා ඔවුන්ට මධූෂ්ගේ කොටුවීම සතුටක් නැත.

කෙසේ වෙතත් කුඩු කිලෝ 128ක් තම සමීපතම සගයා වූ මොරිස්ගෙන් කොල්ලකෑම මධූෂ්ට මෙවැනි ඉරණමක් ලැබීමට හේතුවිය. එය මොරිස් පමණක් නොව පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලයම ගැස්සී ගිය සිදුවීමක් විය. ඒ නිසා මොරිස් ඇතුළු පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලය එක්ව මධූෂ්ට ප්‍රතිප්‍රහාරය එල්ල කළේය. ඒ නිසා දැන් මධූෂ් ඩුබායි පොලීසියේ කූරැ ගනින්නේය. මධූෂ්ගේ ඉරණම ඇත්තේ දැන් ඩුබායි ආරක්ෂක අංශයේය.

කෙසේ වෙතත් තමන්ගේ පාඩුවේ ජීවත් වූ තරුණයෙක් නරුමයෙක් බවට පත්කළේ අශීලාචාර දේශපාලන සංස්කෘතිය විසිනි. තමන්ට දිගින් දිගට එල්ලවන ප්‍රහාර හමුවේ මධූෂ් ආයුධ අත දරන්නට වූ අතර ඔහුට අභියෝග කළ අයට මරණයද උරුම වුණේය. ඒ නිසා මෙකී පාදඩ දේශපාලන සංස්කෘතිය මගින් බෝ කළ මධූෂ්ලා එමටය. තවත් බිහිකරන්නේය. අවසානයේ පාතාලය බෝ කළ උන්ම පාතාලය නසන්නට ඕනෑ යැයි කෑ මොර දෙති.

►ගයාන් ගාල්ලගේ