2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

පොඩි හාමුදුරුවො පණ දුන් ගංඟාරාමයේ මහ පෙරහර

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

ගංගාරාමයේ පුදබිමට පා තබද්දී නෙතට හුරු දසුනක් වූයේ ඇතුළු විහාර ද්වාරය අභිමුව වඩා උස නැති පුටුවක් තබාගෙන හිඳගෙන සිටින ගංගාරාමයේ පොඩි හාමුදුරැවන්ගේ දසුනයි. කවුරුන් හෝ කළ වරදක්, අතපසුවීමක්, අපිළිවෙළ වැඩක් නිසාවෙන් අර්හත් නොවූ යතිවර සිතේ මොහොතකට නැගුණු සියුම් කෝපයක හැකිලුණු රේඛා අප ඒ මුවග දුටුවානම් ඒ ඉතා කලාතුරකිනි. හැමදාමත් නෙත විඳි දසුන වූයේ මුව පුරා සිනා සී “හා කොහොමදැයි” ‍ළෙංගතුව විමසමින් පන්සල් භූමියට පැමිණෙන දායක දායිකාවන්ගේ සුව දුක් විමසන අපේ හිතාදර පොඩි හාමුදුරුවන්ය. ගැනීමට නොව දීමටම හුරු වූ පුණ්‍යවන්ත හද මඬලක් සහ දෑතක් උන්වහන්සේ ගෙන ආවේ සසර පුරුද්දටයැයි සිතෙන තරමට ත්‍යාගශීලී ගුණයක් උන්වහන්සේ සතු වූහ.

සංවේදී විය යුතු කවර තැනක වුව සංවේදී වූ උන්වහන්සේ සිංහයකු වෙසින් යෝධ පෞරුෂත්වයකින් නැගී සිටිය යුතු තැන නොබියව නැගී සිටියහ. ඒ උදෙසා උන්වහන්සේගේ පැවිදි ජීවිතය ඇසුරෙන් ගෙන හැර දැක්විය හැකි සාක්ෂි සංසිද්ධි එමටය. එහෙයින්ම ඒ එක් සාක්ෂියක් දෙකක් අකුරු බවට පරිවර්තනය කරන්නට මට නොසිතේ.

දේශමාමක, ජාතිමාමක හැඟීමෙන් කතා කළ, යුතු තැන නොපැකිලව කතා කළ අභියෝග කළ යුතු තැන නොසැලී අභියෝග කළ, සිටුවර වෙසින් සිටින්නකුට වුව කිවයුත්ත නොවලහා ප්‍රකාශ කළ ගංගාරාමයේ නෙක සම්පත් ඇසුරේ නැති බැරි දනන් හට අනේක ජීවනෝපායන් සලසමින් තම පැවිදි ජීවිතය ශාසනය උදෙසා පමණක් නොව සමාජීය, ආර්ථික, දේශපාලන සේවාවන් කන්දරාවක් වෙනුවෙන්ද මිඩංගු කළ, කැප කළ උන්වහන්සේට දොහොත් මුදුන් දී දීර්ඝායුෂ සුව සෙත තුනුරුවන් සරණින් ලැබේවායි ආශිර්වාද කර ගංගාරාමයේ 40වැනි නවම් මහා පෙරහර වෙනුවෙන් දේශයේ අපි අකුරු අමුණමු.

සංස්කෘතික අංගයක් ලෙසින් පමණක් නොව ආශිර්වාදාත්මක ආගමික පිංකමක් ලෙසින් ද පවත්වන ගංගාරාමයේ නවම් පෙරහර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් නමින් අප හඳුන්වන ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤානිස්සර හාමුදුරුවන්ගේ යාවජීව සහභාගීත්වයෙන් තොරව පවත්වන පළමුවැනි වතාව මෙයයි. ඒ මේ වෙද්දී උන්වහන්සේ රෝගී තත්ත්වයක් හේතුකොට ගෙන ප්‍රතිකාර ලබන හෙයිනි. එහෙත් උන්වහන්සේ නැති අඩුව, හිස්තැන එකම එක අංශුමාත්‍රයකින්වත් නොදැනෙන්නට හතළිස් වැනි නවම් පෙරහර සංවිධානය වෙමින් පවතී. ඒ උන්වහන්සේගේ ගෝල යතිවරයාණන්වහන්සේලා වූ ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය පාලටුවාවේ ජිනරතන හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි ඇතුළු යතිවරයාණන්වහන්සේලාගෙත් ගංගාරාම පුදබිමට සදා ළැදි දායක දායිකාවන්ගේ අප්‍රමාණ උත්සාහය, කැපවීම, සංවිධාන ශක්තිය හා අරමුණ කරණ කොටගෙනය.

ඒ එකමුතුවේ ශක්තිය කොතෙක්ද යත්, තිස්නව වතාවක් පුරා පැවැත්වූ නවම් මහා පෙරහරටත් වඩා නව අංග රැසක් මෙවර නවම් මහා පෙරහර වෙනුවෙන් සංවිධානය වී තිබේ. නවම් මස 18, 19 යන දෙදින තුළ කොළඹ නවම් මාවත ඇතුළු මාවත් ගණනාවක් පුරා විදි සංචාරය කෙරෙන දෙස් විදෙස් බොදුනුවන්ගේ සහභාගීත්වයෙන් අති උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන ඒ පෙරහර අප එකී කී කාරණාව වෙනුවෙන් සාක්ෂි දරනු ඇත.

ගංගාරාම නවම් පෙරහර යනු සංස්කෘතික අංග රැසක එකමුතුවක් මෙන්ම ගංගාරාමය හා එක්වී සිටින නොයෙක් තරාතිරමේ දායක දායිකාවන්ගේ එකමුතුවේ හා ශක්තියේ සංකේතයක් වැන්න. ගංගාරාමයේ අස්සජි හාමුදුරුවන්, ජිනරතන හාමුදුරැවන් හා රතනසාර හාමුදුරුවන් පෙරටුව ගංගාරාමයට හිතැති දහස් සංඛ්‍යාත උවැසි උවැසියන් සත් හැඟීමෙන් ඒ කාර්යය හා අත්වැල් බැඳගන්නේ බල කිරීමකින් නොවේ. නිසඟයෙන්ම හද මඬල දලුලන සාදු සිතුවිල්ලකිනි. ගංගාරාමයේ බෝධීන් වහන්සේට හාකෝවිල්හි වැඩ සිටින දෙවිවරුන්ට බාරහාර වීමෙන් චාරිත්‍රානුකූලව සහ සම්ප්‍රදායානුකූලව ඇරඹෙන නවම් පෙරහර සම්ප්‍රදායික සියලුම නර්තන අංගවලපාහේ අපූර්වතම සම්මිශ්‍රණයකි. සැබැවින්ම ගංගාරාමයේ පෙරහර නිසාම නිර්මාණය වූ නැටුම් කණ්ඩායම් රැසකි. එමෙන්ම අභාවයට යන නර්තන සම්ප්‍රදායන් සහ සංස්කෘතික අංග යළි යළිත් ජීවමාන කරමින් ඔවුන්ට ආර්ථිකව හවුහරණක් සදන්නට ද නවම් පෙරහර මඟ කියයි. පෙරහරකදී පමණක් දක්නට ලැබෙන බොරු කකුල්කාරයන්, කසකරුවන් අපට අපේ සංස්කෘතිය හා බැඳි කලා අංග යළි මතක් කරවයි. ගංගාරාමයට කොළොම්තොටට පමණක් නොව අප ඡන්ම ලාභය ලද මහ පොළොවේ හැම බිම් අඟලකටම මේ විශ්වයේ හැම අහුමුල්ලකටම ගංගාරාම පුදබිමේ සිට සුගැයෙන මහ පිරිතක ආශිර්වාදාත්මක බල සෙන් පැතිරේවායි පැතුම ගංගාරාම නවම් පෙරහරේ එක් පූජනීය තේමාවකි.

කුල මල, උස් මිටිකම්, පන්ති පරතර සෝදා හල සාදු සමාජයක මිනිස් වගක් බිහි කිරීම උදෙසා අතීත කාලයක් මුළුල්ලේ වගකීම් සම්භාරයක් දෙවුර දැරූ ගංගාරාම ඉතිහාසය ඇති කළ එක් සමාජ මෙහෙවරක් වන්නේ ජිනරතන කාර්මික අභ්‍යාස විද්‍යාලයයි. විශේෂයෙන් අතරමග අධ්‍යාපන කඩඉම් අතහැරෙන දරුවන්ට ජීවිත අරමුණු සාක්ෂාත් කරගන්නට විනයවත් හැකියාවන්ගෙන් පූර්ණ දරු පරපුරක් බිහි කරන්නට ජිනරතන අධ්‍යාපන ආයතනය එදා මෙදා තුර ලබා දුන් දායකත්වය කිසිදු ලෙසකින් සුළුකොට තැකිය නොහැකිය. සිහල, දමිළ, මුසල්මානු මේ ඕනෑම දරුවකුට දොර හැරිය ජිනරතන කාර්මික අභ්‍යාස විද්‍යාලයේ දරුවන් තුළ ජාති, ආගම්, කුල මල භේදවලින් තොරව සැබෑ සංහිඳියාව ඇති කරන්නට නවම් පෙරහර මහඟු දායකත්වයක් ලබා දේ. ඒ සියලු දරුවන් මේ මගේ ආගම නොවේ, මේ මගේ ජාතිය නොවේ යන ආගම්වාදී වර්ගවාදී කිසිදු භේදාත්මක චින්තනයකින් තොරව ගංගාරාම පුදබිමට පැමිණ යතිවරයාණන්වහන්සේලාගේ අනුශාසකත්වය පිළිගනිමින් පෙරහර වෙනුවෙන් ලබාදෙන දායකත්වය සැබැවින්ම දුටු සතුටු දසුනකි.

ගංගාරාමය අවට ජීවත් වන පාපැදියක් හිමි තරාතිරමේ පුද්ගලයාටත් අති සුඛෝපභෝගී රෝද හතර හිමි පුද්ගලයාටත් ගංගාරාමයේ දොරටුව මෙන්ම නවම් පෙරහරේ මාවත ද විවෘතය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ඒ සැබෑ සංහිඳියාව ගැන කතා කළේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූයේ අද විවිධ තරාතිරමේ අය විවිධ අරමුණු උදෙසා සංහිඳියාව යන වචනය භාවිත කරන්නට බොහෝ කලකට පෙරාතුවය. උන්වහන්සේ කෙදිනකවත් හුදු ධර්ම දේශකයෙක් පමණක් වූයේ නැත. ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි කාර්යයන් ගැන දහසක් බණ පද වදාළේ ද නැත. උන්වහන්සේ නිතර කතා කළේ සමාජ ප්‍රගමනය උදෙසා හිස් ඉඩමක පැළයක් හෝ රෝපණය කළ හැකිනම් ඒ ගැනය. ගංගාරාමයට දායක දායිකාවන් පූජා කළ අක්කර දහස් ගණනක වතු උන්වහන්සේ හුදු සින්නක්කර පන්සල් උරුමයන් ලෙස තබාගත්තේ ද නැත. රැකියා විරහිත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනී ජනයාට රැකියා උත්පාදනය කරන මහා සාර බිම් බවට උන්වහන්සේ ඒ බිම් පරිවර්තනය කළහ. වළඳන්නට, සැතපෙන්නට, පුද පූජා සත්කාර ලබන්නට නොව ජන්ම ලාභය ලද මහ පොළොව නව චින්තනයක සාරවත් බිජුවට වපුරා අස්වද්දන්නට යතිවර දිවියම කිසිවක්ම නොඉල්ලා කැප කළ විරල ගණයේ යතිවර නමක් වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ හතළිස් වැනි නවම් පෙරහර පවත්වද්දී රෝගීව සයනයක් මත වැතිර සිටියත් උන්වහන්සේගේ ආශිර්වාදය නිති අප සමඟ යැයි සිතෙන තරම්ය. දැනෙන තරම්ය. ගංගාරාමයේ පෙරහර සරසන්නට පෙරහරේ ගමන් කරන සධාතුක කරඬුව වඩම්මන සද්දන්ත කුලයේ හස්තිරාජයාණන්ට පෙරටුව ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නම් මහා යතිවර හස්තිරාජයා වැඩම කරතැයි අපට සිතෙන තරම්ය. දැනෙන තරම්ය. හැඟෙන තරම්ය.

ඒ මහා යතිවර ඇත්රජිඳුට හරසර දක්වනු පිණිසම  කොළඹට ඉහළ අහසේ මොහොතකට තරැ මඟහැර සිහිල් සිහින් වැහි බින්දු පෙරහර රාත්‍රියේ මහ පොළොව සිඹිනු ඇතැයි සිතෙන තරම්ය. දැනෙන තරම්ය. හැඟෙන තරම්ය.

- සංජීවිකා සමරතුංග