2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ජනපති මමයි

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 639

ජනපති සිහිනය එක් ඇසිල්ලක් හෝ ලක්වාසී ඔබ දැක ඇතුවාට සැක නැත. මම ජනපති වුණොත් මෙහෙමයි කරන්නේ, ඒ වදන බොහෝ දෙනාගේ මුවින් වරක් හෝ පිටවී තිබේ. ජනාධිපතිවරණ උණුසුමක් ද ජනපති අපේක්ෂකයන් පිළිබඳ සංවාදයක් ද මේ සමයේ ඇතිව තිබේ. වසර අවසානයේ මෙරට විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් ද පැවැත්වීමට නියමිතය. දේශයේ අපි ඊට සමගාමීව “ජනපති මමයි” නමින් විශේෂාංගයක් ඇරඹීමට තීරණය කළෙමු. මෙරට ප්‍රසිද්ධ චරිත කිහිපයක් ජනපති බවට පත්වුවහොත් කරන කියන දෑ පිළිබඳ තතු විත්ති මෙලෙසින් අපි ඔබ වෙත රැගෙන එමු. 

ඇමැතිවරු 15යි: පැන්ෂන් - වරප්‍රසාද නෑ

රජා ගුණරත්න - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 

රටේ ආර්ථිකය හදන්නේ නැතුව කිසිම රටක් දියුණු වෙලා නෑ. ලෝකයේ දියුණු වෙච්ච රටවල ජාතික වැඩපිළිවෙළ වුණේ ආර්ථිකය දියුණු කරන එක. හත් අවුරැදු සැලැසුම්, පස් අවුරුදු සැලසුම් ආදිය දියුණු වුණු ධනවාදී සමාජවාදී රටවල් අනුගමනය කරා.  අපිත් රටේ ආර්ථිකය දියුණු කරන්න සැලසුම් හදන්න ඕනෑ.

අපි ඒ සඳහා බලන්න ඕනෑ අපේ රටේ ආර්ථික විභවයන්, මොන සම්පත්ද අපිට තියෙන්නේ කියන කාරණාව. අපි දන්නවා මේ රට සම්පූර්ණයෙන්ම කෘෂි ආර්ථිකය මත තමයි සීයට අසූවක් පදනම් වෙලා තියෙන්නේ. අනුරාධපුර පොළොන්නරැව යුගයේ රජවරැ මේ රටේ ආර්ථික දියුණු කළේ කෘෂිකර්මයෙන්. අපි එකොළොස් වැනි ශතවර්ෂය ගත්තොත් ලෝවාමහාපාය හදලා තිබ්බා. එතකොට ඔය දියුණු රටවල ගල්යුගය. කෘෂිකර්මය කියන්නේ කැත්ත උදැල්ල අරගෙන ගිහින් කරන කෘෂිකර්මය නෙවෙයි. අද ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය විවිධාංගීකරණය, කර්මාන්තශාලා, ඇතිවෙලා කෘෂිකර්මය ආශ්‍රිතව. අපිත් අපේ තරැණ පරපුර අලුත් නිමවුම් මෙවලම් දැනුම දීලා මේවට යොමු කරවන්න ඕනෑ. ඒ තුළින් අපේ රැකියා ප්‍රශ්න විසඳෙනවා රට ස්වයං පෝෂිත වෙනවා. මිනිසුන්ට ස්වයං ශක්තියෙන් නැගී සිටින්න අවස්ථා දෙන්න ඕනෑ. ඒකට අද කරන්නේ මොකක්ද? කිසිදු සැලැස්මක් නැතුව සේවා අර්ථය මත රඳා පවතිනවා. අද කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා විශාල ප්‍රමාණයක් සේවා සපයනවා. අපට සියලු සම්පත් දැනුම ජවය හැකියාව  ශ්‍රමය බලකාය තියනවා මේ රට දියුණු කරන්න.

මම ජනාධිපති වුණෝතින්  පළවෙනි පැය විසි හතර තුළදී ජනාධිපති වීම වෙනුවෙන් ජනතාවට ලබා දුන්න පළවෙනි පොරොන්දු ඉටුකරන්න ක්‍රියා කරනවා. ඒ පොරොන්දුව මේ රටේ කෘෂිකර්මය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්න එක.
ඉතා පැහැදිලිව කියනවා මගේ ඇමැති මණ්ඩලය පහළොවකට සීමා වෙනවා ඊට වඩා වැඩි වෙන්නේ නෑ. අපේ රටේ මුල් කාලේ ඇමැති මණ්ඩලය ගත්තාම කීයද ඇමැතිවරු හිටියේ. දැන් මේ රටේ ඇමතිවරයා කියන්නේ රටේම පල් හොරා කියලා චෝදනා තියෙනවා. ජනතා මුදල් කොල්ල කන, දූෂිත ව්‍යාපාර කරන පාතාල ක්‍රියා කරන හොරු අතමයි අද තනතුරු වල ඉන්නේ. මම ඇමතිවරුන්ට දෙන පැන්ෂන් සැම්පූර්ණයෙන් නවත්වනවා. ඇමැතිවරයෙක් වෙන්න අවම අධ්‍යාපන සුදුසුකමක් නියම කරනවා. වැටුපට අමතර ඔක්කොම වරප්‍රසාද කපනවා. බිරිඳ ලේකම් කරන එක, සහෝදරයා, මස්සිනා පෞද්ගලික කාර්ය මණ්ඩලයට ගන්න එක නවත්වනවා.

මම විශ්වාස කරන්නේ මේ රටේ ජාතික ප්‍රශ්නයක් නෑ. මම ඒකට කියන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය. ජනවාර්ගික ප්‍රශ්නයක් මේ රටේ නෑ. තියෙන්නේ අවි ගත්ත ගෝලීය බල දේශපාලනයේ නියුතු ත්‍රස්තවාදීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්නයක්. මම ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා. උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොකක්ද කියලා අර අරුණ් කියන තරුණයා කියනවා. විශ්ව විද්‍යාලයේ උගන්වන නිසා මම යාපනයේ යනවා මඩකලපුව යනවා අපිත් දන්නවා. ඒත් වෙන්නේ ප්‍රශ්න ඇති කරලා පිරිසක් ඡන්දය ලබාගෙන සිංහල ජනතාව සමඟ අමනාප කරලා ඒ විරසකය තුළින් ඔවුන්ගේ දේශපාලන ගමන යෑම. සාධාරණ විදිහට රැකියා අවස්ථා බෙදීම පිළිබඳ සම්පත් බෙදී යාම පිළිබඳව ප්‍රශ්න තියනවා. අපි ඒවා සාධාරණ විදිහට විසඳනවා.

මම විශ්වාස කරනවා මේ රටේ තවදුරටත් විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕනා. අද ලෝකයේ දියුණු වෙච්ච බොහෝ රටවල විධායක ජනාධිපති ක්‍රමය තියනවා. අමෙරිකාව, ප්‍රංශය, රුසියාව මේ හැම රටකම මේ ක්‍රමය තියනවා. විධායක ක්‍රමය කියන්නේ රටකට විතරක් නෙවෙයි. ගෙදරකට වුණත්  ප්‍රශ්නයක් ආවම පහළ ආයතනවලට විසඳන්න බැරිනම් යම් පුද්ගලයෙක් ඉන්න ඕනා සාධාරණ විදිහට ප්‍රශ්න විසඳන්න.

පැය විසිහතරෙන් බලතල කපා දානවා

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

හිටපු ජනාධිපතිවරැන්ගේ වැඩ දිහා බැලුවාම ජනපති නොවේවා කියලා  ප්‍රාර්ථනා කරනවා. නමුත් මගේ තේමාව ප්‍රධන වශයෙන්ම ව්‍යවස්ථා වෙනස අවශ්‍යයි. ව්‍යවස්ථාමය වෙනසකින් තොරව මේ රටට ඉදිරියට යන්න බෑ. ජාතිවාදයෙන් තොර ඊනියා ජාත්‍යාලයෙන් තොර සමාජයක්  විදිහට කොහොමහරි රට දියුණු කරන්න බලනවා. ඊට අමතරව විශේෂයෙන්ම රජයෙන් අසාධාරණයට ලක්වෙනවා නම් මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්. අනෙක් එක ඔය කියවෙන සංග්‍රහයන්ගෙන් තොරව ජනතාව රැවටවීම හා දේශපාලන ව්‍යාපෘතිය සඳහා පෙළඹවීමකින් තොරව තනිකරම තමන්ගේ වෘත්තීය විදිහට රට නියෝජනය කිරීම සිදු කළ යුතුවෙනවා.  ඒ වගේම  තමන් සතු සියලු විධායක බලයන් පාර්ලිමේන්තුවට පැවරීම අදී කාරණා තමයි මූලික වශයෙන් ඉටු කළ යුතුවෙන්නේ. යම් කිසි විධයක බලයක් තබා ගත යුත්තේ පළාත් පාලන ආයතන වැඩිදුරටත් තිබේ නම් ඒවාට මැදිහත් වීමට. ආණ්ඩුකාරවරු පත්කිරීමට පමණයි.

අගමැති කැබිනට් මණ්ඩල තීරණය කිරීම පාර්ලිමේන්තු විසින් සිදු කරන්න ඕනා. තවදුරත් ඊට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු නෑ. ජනාධිපතිවරයා ආණ්ඩුව හරියට පාලනය කරනවා ද කියලා බලන්න ඉන්නේ. ඒ වගේම ජනතාව වෙනුවෙන් වග කියන්න ඕනා.  අනෙක් රටවල් වෙනුවෙන් වග කියන්න ඕනා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සියලු බලතල සියලුම පළාත් සභාවලට ලබාදිය යුතුයි.  උතුරට, බටහිරට, දකුණට එම පළාතට තියන සම්පත් පරිහරණය කිරීමට හා හුවමාරැ කරගැනීමට හැකිවිය යුතුයි. මධ්‍යම රජය පුළුවන් යම් සංචිතයකින්  බෙදාහරින්න යම් සාධාරණ විදිහකට. බලය විමධ්‍යගත කිරීම කළයුතුමයි. කොළඹ කේන්ද්‍රයීය සංවර්ධනයෙන් මිදිලා සියලුම පළාත්වලට පුළුවන් තම තමන්ගේ සංස්කෘතිය අනන්‍යතාව රැගෙන වෙනස් වෙන්නෙ කොහොමද කියලා තීරණය කරන්න. 

තනිකර ජනතාවගේ මැදිහත් වීමකින් කෙරෙන ඡන්ද ක්‍රමයක් තියෙන්න ඕනා. සමානුපාතික ඡන්ද ක්‍රමයේ වාසියක් තියනවා. එහෙත් එය මිශ්‍ර ක්‍රමයක් වෙන්න ඕනා. හැබැයි මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අත්හල යුතු වෙනවා. ජනතාවට වගකියන මන්ත්‍රීවරයෙක් පත්විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද කියන එක නිශ්චය කළ යුතුයි. මන්ත්‍රීවරයා ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථාමය කරුණු සම්පාදනය කරන පුද්ගලයා විය යුතුයි. නැතුව ඔහු රැකියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයෙක් නොවෙයි. පාර්ලිමේන්තුවට එන විට ඔවුන් ඔවුන්ගේ වෙනත් කටයුතුවලින් ඉවත්විය යුතුයි. සමහරු තමන්ගේ බිස්නස් කරන අය ඉන්නවා. ඒ නිසා එහෙම කරන්න බෑ. තනිකරම වෘත්තීය දේශපාලනයක් කළ යුතුව තිබෙනවා.

සමහරැ ඉන්නවා මහාචාර්ය තනතුරු තියන අය. ඒ දිහා බැලුවාම මට මහාචාර්යකම තියාගන්නත් ලැජ්ජයි වගේ. ඒ තරමට නින්දාවට පත්වෙලා තියනවානේ. උදාහරණයක් විදිහට පේනවනේ එක එක පාක්ෂික අවශ්‍යතාවන් මත තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරපු මහාචාර්යවරු ඉන්නවා. 

පළවෙනි පැය විසිහතර ඇතුළත දැනට තියන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන යෝජනාව සම්මත කර ගන්නවා. ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම අහෝසි කරනවා.  මේක පළවෙනි පැය විසි හතර ඇතුළත කරන්න පුළුවන් පාර්ලිමේන්තුව එක්ක එකඟ වෙලා. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් සඳහා එකතු වෙන්න කියලා කියනවා. රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය දැනට ගොඩක් ගොනුවෙලා තියන අදහස් එකතු කරලා පාර්ලිමේන්තුවටත් බාහිරව වෙනත් සිවිල් සංවිධනත් නිර්මාණය කරන ව්‍යවස්ථාදායකය කමිටුවකින් මම හිතනවා හරි පාරක් ඇති වේවි.