2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

මධූෂ්ට ගැස්සුණු හැටි....

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 940

“ගෝඩ් ෆාදර්" චිත්‍රපටයේ රඟන මාලන් බ්‍රැන්ඩෝ මාෆියා කල්ලි නායකයකුගේ ස්වරූපය මැනවින් ප්‍රදර්ශනය කරයි. රටක් පාලනය කරන එම මාෆියා කල්ලියේ ගෝඩ් ෆාදර් ගිනි අවි, මත් ද්‍රව්‍ය, මිනීමැරුම් සියල්ල තමන්ගේ ස්වකැමැත්‍තට සිදුකරයි. ඔහුට උඩින් කිසිවකු නැත. ඔහුත් සමඟ එකට ගමනක් යනවා විනා ඔහු අභිබවා ගියොත් මරණය සොයාගෙන එනු ඇත. ඒ මේ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ නැමැති අද්විතීය සිනමා නළුවාගේ භූමිකාවය.

ඒ චිත්‍රපට කතාය. සැබෑ ජීවිතයේදී ගෝඩ් ෆාදර්ලා ඉන්නවාද? සරල උත්තරය ඔව් යන්නය. හරියටම මීට වසර 12කට පෙර මෙරට ගෝඩ් ෆාදර් කෙනෙක් බිහිවුණේය. ඔහු නමින් පාතාලයේ රජු ලෙස හැඳින්වූ නාවල නිහාල්ය. නාවල නිහාල්ට අතට පයට කොල්ලෝ සිටියා සේම ඔවුන් ආයුධ ළඟ තබාගනිමින් ආරක්ෂාව ද ලබාදුන්හ. මේ නිසා නිහාල් පාතාලයේ හැම කල්ලියකම ගරු සැලකිලි ලැබුවේය. එහෙත් නිහාල්ට වෙච්ච දේ අදටත් දන්නේ නැත.

එකී නිහාල්ගේ මරණයෙන් පසුව එක එක කණ්ඩායම් සහ පුද්ගලයන් නායකයන් වෙන්නට හැදුවත් ඒ හැමදෙනාටම අත්වූ ඉරණම හිතාගන්නටවත් බැරිය. මේ අතර 2006 දී නිහාල් අතුරුදන් වන විට දකුණේ තරුණ හාදයෙක් ඔලුව ඔසවන්නට වෙරදරමින් සිටියේය. ඔහු තරුණයෙකි. තරුණ උණ නිසාම ඔහු අතින් පළමු බිල්ල ලෙස දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති දැනී හිත්තැටිය ඝාතනය විය. එම ඝාතනයෙන් රටම කැළඹී ගිය අතර මෙකී ඝාතකයා පාතාලයට අලුතින් අත් පොත් තැබූ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් විය.

එම ඝාතනයෙන් පසුව ඩුබායි පැන්න මධූෂ් නැවත වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණෙන්නේය. එසේ පැමිණ වැඩිකල් ගියේ නැත. මධූෂ් තවත් එක් ඝාතනයක් සිදුකළේය. ඒ වන විටත් මධූෂ් දකුණේ එහෙන් මෙහෙන් ඔලුව උස්සමින් සිටියේය. එහෙත් උක්කුවා, අඩෝ, මනෝජ් මෙන්ඩිස්, ජූලම්පිටියේ අමරේ වැනි පාතාලයන් නිසා මධූෂ්ට හරි හැටි තැනක් ගොඩ නැගුණේ නැත. මේ නිසාම මධූෂ් යුධ සමයේදී එල්.ටී.ටී.ඊය සමඟ සබඳතා පටන් ගත්තේය.

මධූෂ් එල්.ටී.ටී.ඊයට දකුණේ තොරතුරු ලබාදුන්නේය. එයට ප්‍රතිඋපකාර වශයෙන් එල්.ටී.ටී.ඊයෙන් මධූෂ්ට ආයුධ ලැබුණි. මධූෂ් එම ආයුධ රැගෙන දකුණේ පාතාලයන්ට කුණු කොල්ලයට වික්කේය. මේ අතර මධූෂ් නොහිතපු මොහොතක 2012 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මධූෂ් අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මධූෂ්ට මාස ගණනක රැඳවුම් නියෝග ලබාගත්තේය.

මේ අතර මධූෂ් පොලීසියට ඔත්තුවක් දුන්නේය. ඒ මාතර මාකඳුරේ ඔහුගේ නිවසේ ආයුධ වළ දමා ඇති බවය. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු හයදෙනෙක් මාකඳුර බලා පිටත් වූහ.

එසේ යන අතර වාරයෙදී පොලීසියට මධූෂ්ගේ ගෝලයෙක් මහමගදී කොටුවන්නේය. අත්අඩංගුවට ගත් ඔහු පරීක්ෂා කිරීමේදී මධූෂ් ඔහුට ඇමතුම් ලබාදී ඇති බව තහවුරැ විය. එහෙත් ත්‍රස්ත විමර්ශනයේ සිටි මධූෂ් ඇමතුම් ගන්නේ කෙසේද? පොලීසිය සොයා බැලුවේය. එහිදී හෙළිවුණේ එම ඇමතුම ගත් අංකය ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැරයන්වරයකුගේ බවය.

රුපියල් ලක්ෂයක් ලබාදෙන බවට පවසා තම අරක්ෂාවට සිටි සැරයන්වරයාගේ දුරකථනයෙන් මධූෂ් ඇමතුමක් ලබාගෙන තිබූ බව තහවුරැ විය. ඔහු එම ඇමතුම ගෙන පවසා තිබුණේ මාකඳුරට පැමිණෙන පොලිස් නිලධාරින් සියලු දෙනා වෙඩි තබා ඝාතනය කරන ලෙසය. එය අසුවීම හේතුවෙන් එදින බිල්ලක් ගැනීම මධූෂ්ට වැරදී ගියේය.

මධූෂ් අවසානයේ බන්ධනාගාර ගතවන අතර මධූෂ් නැවත එළිබහින්නේ 2015 මහ මැතිවරණය සඳහාය. එකවරම එළියට එන ඔහු තිදෙනකුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධියේ වැඩ කළේය. මේ තිදෙනාම එවක ආණ්ඩුව නියෝජනය කළ තිදෙනෙක් වූහ. සැබවින්ම මධූෂ් ඒ තිදෙනාටම උදව් කළේ මෙරටින් පැන ගැනීමට ක්‍රමයක් සොයා ගැනීමටය.

ඒ අනුව මැතිවරණය අවසන් වූ සැණින් මධූෂ් මෙරටින් අතුරුදන් විය. ඒ බව ආරක්ෂක අංශ පවා දැනගත්තේ නඩු වාරවලට මධූෂ් නොපැමිණීම නිසාය.

පොලීසිය ඔහු සොයා යනවිට මධූෂ් ඩුබායි රාජ්‍යයට නැවතත් පැනගොස් තිබුණි. මේ පැනයන සමය වනවිට ලංකාවට කුඩු ගේන කතාව පිටුපස වෙලේ සුදා සහ සිද්ධික් සිටියෝය. එහෙත් ඔවුන් දකුණට අත ගැහුවේ නැත. එයට හේතුව වූයේ දකුණට කුඩු පැමිණීම පිටුපස දෙවුන්දර තමිල් සහ සේල් වසන්ත සිටීම නිසාය. මේ නිසා මධූෂ්ලාට ඉඩක් තිබුණේ නැත. එහෙත් මධූෂ් යනවිට තමිල්, වසන්ත, වෙලේ සුදා, සිද්ධික් පොලීසියට කොටුවී සිටි නිසා මධූෂ් බය නැතිව හෙරෝයින් ජාවාරමට පාකිස්තාන ජාතිකයන් සමඟ එකතු විය.

මේ අතර මධූෂ්ට පාතාලයේ ගෝඩ් ෆාදර් වීමේ උවමනාව ඉහළට එමින් තිබිණි. ඒ නිසා මධූෂ් දකුණේ සිටිනා පොඩි පොඩි පාතාල මැරයන්ට වෙඩි තබන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මධූෂ්ගේ හොඳම ගෝලයා වන ඩැනී හිත්තැටිය ඝාතනයේ යතුරැපැදිකරැව ඔබේසේකරපුරයේදී වෙඩි තබා මරා දමන්නේය.

කෙසේ වෙතත් මේ ඝාතනය දකුණේ කොන්ත්‍රාත්තුවක් මත කඩුවෙල සමයංගේ කණ්ඩායම විසින් සිදුකළ දෙයක් බව මධූෂ්‍ට දැනගන්නට ලැබිණි. මේ නිසාම මධූෂ් එහි පලිය ගැනීම සඳාහා සිය ගෝලයන් ලවා දරුවෙක් ලැබීමට සිටින සමයන්ගේ බිරිඳට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී වෙඩි තැබුවේය. එහෙත් එසේ වෙඩි තබා තිබුණේ සමයංගේ බිරිඳට නොවේ.

සමයංගේ පිරිසගෙන් දිගින් දිගටම තම පිරිසට එල්ලවන ප්‍රහාර හමුවේ දැඩි ලෙස වැටුණු මධූෂ් සමයං ඝාතනයට සූදානම් වන්නේය. ඒ සඳහා යොදාගන්නේ සමයංට බන්ධනාගාරයේදී පහරදුන් අංගොඩ ලොක්කාය. ඒ පහරකෑම සම්බන්ධව ලොක්කා හිටියේ දරාගත නොහැකි තරහකිනි. මේ නිසාම මධූෂ් සහ ලොක්කා එක්ව කළුතර එතන මඩල ප්‍රදේශයේදී සමයං ඇතුළු පාතාලයේ රුලකුත් බන්ධනාගාර නිලධාරීනුත් වෙඩිතබා ඝාතනය කළහ. එම ඝාතනයෙන් පසුව මධූෂ්ගේ නම ගෝඩ් ෆාදර් ලෙස ස්ථාවර විය.
එම ඝාතනයෙන් පසුව අංගොඩ ලොක්කා ද මෙරටින් පැනගිය අතර මධූෂ් එන්න එන්නටම ප්‍රබල වෙමින් සිටියේය. ඉන් අනතුරැව මධූෂ් කිලෝ ගණනින් හෙරොයින් ගෙන ඒමට පටන් ගත්තේය. ඒ ව්‍යාපාරයට මධූෂ්ගේ හොඳම මිත්‍රයෙක් වන කුඩු ව්‍යාපාරික මොරීන් උදව් කළේය.

මේ අතර මධූෂ්ගේ හෙරොයින් කිලෝ ගණනින් වැටලීම කෙරෙහි මධූෂ්ට එවකට මත් ද්‍රව්‍ය නශක කාර්යංශයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති නියෝමාල් රංගජීව සමඟ බද්ද වෛරයක් තිබිණි. ඒ එක් හේතුවක් වූ අතර අනෙක් හේතුව වූයේ ඔහුගේ වර්තමාන බිරිඳ වන 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය ඇතුළෙදී වෙඩි වැදී මියගිය කළු තුෂාරගේ බිරිඳ සතුටු කිරීමය. එනම් කළු තුෂාරට වෙඩි තැබුවේ රංගජීව යැයි මධූෂ්ලා සැකකළ නිසා රංගජීව ඝාතනයට සූදානම් විය. මේ නිසාම රංගජීවට කුඩු ගැන ඔත්තුවක් ඇතැයි පවසා එළියට එන්න යැයි කියා පිළියන්දල ප්‍රදේශයේදී වටකර වෙඩි තබනු ලැබීය. එයින් පොලිස් නිලධාරියෙකුත්, කුඩා දැරියකුත් මියගිය අතර රංගජීවට බරපතළ තුවාල සිදුවිය.

ඉන් නොනැවතුණු මධූෂ් කෙසෙල් වත්ත දිනූකගේ ප්‍රශ්නයකට මැදිහත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාතාල සමාජිකයකුගේ ඔලුව කෙසෙල්වත්තෙනුත් කඳ මාකඳුරෙනුත් හමුවිය.

එන්න එන්නටම මධූෂ් සීමාව ඉක්මවා යමින් රට පුරා මිනිස් ඝාතන සිදුකළේය. මේ නිසා මධූෂ් ඇල්ලීමට නොයෙකුත් උපක්‍රම යෙදිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මධූෂ්ට එරෙහිව රතු නිවේදන පවා ගනු ලැබීය. එහෙත් වැඩක් වුණේ නැත. එයට හේතුව වූයේ මධූෂ් ඩුබායි රාජ්‍යයේ සිටිම නිසාය. සැකකරැවන් හුවමාරු කරන උදර්පණ නීතියට ඩුබායි රාජ්‍ය අත්සන් කර නැති නිසා මධූෂ් නිදැල්ලේ සිටියේය.

කෙසේ වෙතත් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප අවස්ථාවක එහි ගොස් රැකවල්ලා සිටියත් මධූෂ් ගැන තොරතුරක් තිබුණේ නැත. ඒ වෙනුවට මධූෂ් මෙරට පොලිස් නිලධාරින්ට ඇමතුම් ලබාදෙමින් මරණ තර්ජනය කළේය. තමන් පසුපස පැමිණීමෙන් ජීවිතය පවා නැතිවිය හැකි බව මධූෂ් කීවේය.

මේ අතර පසුගිය වසරේ එක්තරා දවසක මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබුණේය. ඒ දෙවුන්දර ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 128 මුහුදු මාර්ගයෙන් පැමිණෙන බවය. ඒ දැනගත් පොලීසිය එදින වැටලීම සඳහා පිටවිය. ඒ සඳාහා නියෝජ්‍ය පොලිස්පතිවරයා ද ගියේය. එසේ ගොස් වටලන විටත් එහි හෙරොයින් තිබ්බේ නැත. එවිට එහි සිටි පිරිස, කීවේ මීට පෙර කණ්ඩාමක් පැමිණ නාකොටික් කියා සියලු හෙරොයින් රුගෙන ගිය බවය.

මොරින්ගේ හොඳම ගෝලයා වූ ඩිලයිට් සහ විල්බට් අත්අඩංගුවට ගත්තේ මෙහිදීය. කෙසේ වෙතත් කුඩු කිලෝ 128ක් එන බව දැන සිටියේ මධූෂ් නිසා මොරිල් මේ හෙරොයින් පැහැර ගැනීම මධූෂ්ගේ වැඩක් බවට සැක කළේය. ඒ බව පාකිස්තාන මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවන්‍ට ද කීවේය. මේ නිසාම මොරිල් සිටියේ මධූෂ් බද්ද වෛරයකිනි.

මේ අතර මොරින් තොරතුරක් ලැබුණේ කළු තුෂාරගේ බිරිඳට දාව ඉපැදුණු මධූෂ්ගේ පළමු දරුවා වූ දියණියගේ පළමු උපන්දින සාදය එරට තරැ හයක හෝටලයක ගන්නා බවය. ඒ බව මෙරට ආරක්ෂක අංශද දැන සිටියේය. මේ නිසා මොරින් සහ පාකිස්තාන පිරිස සිතුවේ මධූෂ් ඇතුළු පිරිස රුල පිටින්ම කොටුකළ හැකි එකම ක්‍රමය මෙය බවය. පිරිස නියත වශයෙන්ම හෙරොයින්, කොකේන් භාවිත කරන නිසා මොරින් ඇතුළු පිරිස සිතුවේ කෙසේ හෝ මේ අවස්ථාවේ ඔවුන් එරට පොලීසියට කොටුකර දියයුතු බවය.
කෙසේ වෙතත් මෙම පාටියට තවත් හේතුවක් ලෙස සැල‍කෙන්නේ විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එදින විශ්‍රාම යාමත් බව සඳහන් වේ. ඒ නිසා ඒ සාදය ද මේකට හේතුවක් බව කියවේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරැ ලබාදී යම් හෙයකින් ඩුබායි පොලීසිය නොපැමිණියා නම් නියත වශයෙන්ම මධූෂ් එම ස්ථානයේම ඝාතනය කිරීමට එම සැලසුමේ එක් කොටසක් වී ඇත. ඒ සයිනයිඩ් ශරීර ගතකර බවට තොරතුරැ දැනගන්නට ඇත.
කෙසේ වෙතත් බොහෝ දෙනා අරමුණු කරගත් සාදය ආරම්භ වී ඇත්තේ පාතාලයේ කුඩු ලෝකයේ රජවරැ සමඟය. එතැනට පැයකට පසුව මධූෂ් පැමිණ ඇත. මධූෂ් සාදයට ඇතුළුවීමට පෙර දහදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් පැමිණ සියලු ආරක්ෂක කටයුතු තහවුරු කර ගොස් තිබිණි. ඉන් අනතුරැව මධූෂ් ශාලාවට පැමිණ ඇත. ඒ වනවිටත් මොරින්ගේ දෙදෙනෙක් ශාලාව තුළ සිට ඇති අතර ඔවුන් දෙදෙනා එළියේ පිරිසට දැනුම් දී ඒ හරහා එරට පොලීසියට දැනුවත් කර ඇත. ඒ අනුව පොලීසිය කඩාපැන තිබේ.

පොලීසිය එන විට පිරිසක් කොකේන් පානය කරමින් සිට ඇති බවත් ඇතැම් අය පානය කර නොතිබූ බවත් කියති. මධුවිතවලින් පිරි සාදය තුළ පිරිස තැන් තැන්වල කතා බස් කරමින් විනෝද වෙමින් සිටියදී සංගීත මිහිරියාව ලබාදී ඇත්තේ අමල් පෙරේරත් ඔහුගේ පුත් නදීමාල් පෙරේරාත් ය. ඔවුන්ට ඒ සඳහා ආරාධනා කර ඇත්තේ දඹුල්ලේ රංගය. රංග යනු ඩුබායි රාජ්‍යයට පනින අපරාධකාරයන්ට ඉන්න හිටින්නට උදව් කරන තැනැත්තාය. රංගට මෙම උත්සවය සූදානම් කරන්නයැයි පවසා ඇති අතර ඔහු මෙරට බොහෝ කලාකරැවන්ගේ මිත්‍රයාය. ඒ නිසා රංග මොවුන්ට ආරධනා කර ඇත.

මේ අතර ටෙලිනාට්‍ය නළු රයන් නැමැත්තාද එහි සිට කොටු වී ඇත. කෙසේ වෙතත් පොලීසිය පැන වටලන විට පාතාලයේ රජකම් කළ මධූෂ්, මාලිගාවත්තේ (කන්ජිපාණි) ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, රණාලේ චුට්ටේ, අලුත්කඩේ අජ්මී, අලුත්කඩේ ගිල්බා, සියාම්, මිරිස්සේ සුද්දා, රොටුන්ඩේ අමිල යන අයද එහි වූහ. කෙසේ වෙතත් පොලීසියෙන් පනින අවස්ථාවේ අංගොඩ ලොක්කා සිට ඇත්තේ එළියේ දුම්වැටියක් පානය කරමිනි. මේ නිසා ඔහු දශමයෙන් බේරී ඇත. නැතිනම් මධූෂ්ගේ දකුණු අතද දැලේය.

කෙසේ වෙතත් පිරිස, අත්අඩංගුවට ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබිණි. ඉන් බහුතරයක් ජනප්‍රිය අයද ඇතුළුව කොකේන් පානය කර සිටි බව තහවුරැ වී ඇත. මේවා නිල නොලත් ආරංචිය. මේ වනවිට සියලු සැකකරුවන් අල් රෆා පොලිස්ථානයට රුගෙන ගොස් රැධිර සාම්පල ලබා ගැනීමෙන් අනතුරැව සියලු දෙනා අබ්හිල් අල්මුල්ලා ප්ලාසා සිර මැදිරියේ රඳවා ඇතැයි සඳහන් වේ.

සැකකරැවන් සම්බන්ධයෙන් එරට රජය ගන්නා තීන්දුවට කිසිදු අභියෝගයක් මෙරටට සිදු නොකළ හැකි අතර මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු ප්‍රශ්නයක් වී ඇත. මේ වනවිට මධූෂ්ගේ සබඳතාවලට ප්‍රාදේශීය සභා, පළත් සභා, පාර්ලිමේන්තු තෙක් මන්ත්‍රීවරැන්ගේ නම් ගම් පැටලී ඇතයි වාර්තා වේ. ඒ දුරකථන සබඳතා හරහාය. එහෙත් ඒ කවුද යන්න නිශ්චිතව හඳුනා ගෙන නැත. ඒ නිසා සැකකරුවන් මෙරටට ගෙන ඒම තුළින් කාගේ කාගේත් ඇත්ත මුහුණු එළියට එනු ඇත. ඒ නිසා හැකි ඉක්මනින් එය කළ යුතුව ඇත.

කෙසේ වෙතත් මධූෂ් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් ඔහුගේ ඡායාරෑප එළියට ආ අතර සැබැවින්ම මේ මධූෂ්දැයි යන්න හැමෝටම ප්‍රශ්නයක් වන තැනට පෙනුම වෙනස් වී ඇත. අවංක යන නමින් පෙනී සිටි මධූෂ් කිසිදු අවංකකමක් තබා මනුස්සකමක් නැති පිසාචයකු බවට පත්ව ඇත. ඒ නිසා දැන් කළ යුත්තේ වෙනත් අය පස්සෙන් යාමට වඩා මධූෂ් පස්සෙන් ගොස් මේ සැඟවුණු කතා සෙවීමය. එහෙම නැත්‍නම් ඒ කතා මගින් මධූෂ්ලා ඉබේ වැසී යනු ඇත.

 ගයාන් ගාල්ලගේ