2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ලෝකය කැළඹූ දළමු වසංගත

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

දළඹු සේනාව කඩා වැදුණේ හිටි අඩියේමය. ඉරිඟු වගා බිම් මඬිමින් එය කඩිනමින් පැතිර ගියේ අනෙකුත් බවබෝග ද වනසා දමන වසංගතයක ලකුණු පහළ කරමිනි. ඒවන විට අපේ අය එයට අමුතු නමක් ද දී තිබුණී. සේනා දළඹු වසංගතය හැටියටය. සමහරු මේ නම නිසා ඇතැම් ලොකු ලොක්කන් දෙස උපහාසයෙන් බලන්නට ද වූහ. කොරහෙත්  කිඹුලන් දක්නට සමත් තවත් අයෙක් විදේශ කුමන්ත්‍රණ, ආර්ථීක ආක්‍රමණ, ජෛව ත්‍රස්ත ප්‍රහාර  ගැන දොඩමලු වූහ. මේ අතර බෙහෙත් නාහන “සේනා” දළඹු සේනාව රට පුරා සිය ආක්‍රමණය මෙහෙය වූයේ පල නෙළන්නට  ඔන්න මෙන්න කියා තිබූ වගා බිම් අක්කර ගණනාවක් පාඩු පිට වනසා දමන්නට සලස්සවිමිනි. අපේ රටට ආගන්තුක වගා පාළුවෙක් වුවත් “සේනා”දළඹූවා ලෝකයට අමුත්තෙක් නොවේ. එසේම ලෝක ඉතිහාසයේ මෙබඳු  වගා පාළු කරන, මිනිසාට  හානිකර සත්ත්ව හා ශාඛ වසංගත පැතිර යාම ගැන වාර්තා වන්නේ ද අද ඊයේක සිට නොවේ. 

හදිසියේ ඇති වූ “සේනා” දළඹු කඩාවැදීම අපේ මතකයට ගෙන එන්නේ බයිබලයේ සඳහන් ඉපැරැණි සිදුවීමකි. එහි නික්මයාම කොටසේ සඳහන් ඊජ්ප්තුවට කඩා වැදී රට පාළු කර දැමූ මහා පළඟැටි සේනාව පිළිබඳ කතාවටය. කිව්වා නාහන පුරාජේරුකාරයෙක් වූ පාරාවෝගේ බල බිඳින්නට මෝසස් කළ සාපයකට අනුව කඩා වැදුණු පළඟැටි සේනාව පිළිබඳ කතාවටය. අල් කුරාන ග්‍රන්ථය ද  එම පළඟැටි සේනා වසංගතය ගැන සඳහන් කරයි. නමුත් සමහරු මේ කතාව ගෙතූ කතාවක් ලෙසත් පළඟැටි සේනාව මෝසස්ගේ ඇස්බැන්දුමක් ලෙසත් සලකති. නමුත් මෙවර අපේ රටට ආ “සේනා” දළඹු සේනාව මෙරටට ගොඩ බසින්නට පෙර බොහෝ දුරක් ගමන් කර තිබූ සැබෑ සේනාවකි. එකී දළඹු සේනාවට හේතුකාරක කෘමියා වන Spodoptera frugiperda, සලබයා උපන් රට අමෙරිකාවයි. එරට ඝර්ම කලාපීය බිම්වල සිට ලෝකය පුරා පැතිරෙන්නට වූ මේ කෘමියාගේ බාල අවධිය වන දළඹුවා අප්‍රිකානු භූමිය කරා එන්නේ 2016දී පමණය. ඒ කාලයේ නයිජීරියාවෙන් වාර්තාගත වූ මේ දළඹුවා වේගයෙන් කඩා වදින හමුදාවක් ලෙස සියල්ල වනසමින් මහා අප්‍රිකා භූමිය පුරා පැතිර යන ආකාරය නිසා Fall Armyworm නමින් පතල වූහ. ඉන්දියාවට  Armyworm ගොඩ බැස ඇති බව වාර්තා වූයේ පසුගිය වසරේ මැයි මාසයේදිය. අපේ රටේදී  “සේනා” නම ලැබුණේ මඳක් කල්පහු වී පැමිණි මේ Armyworm හටය.

“සේනා” දළඹු වසංගතය ඊට පෙර පැමිණි බෝහෝ වසංගත අතරට එක් වන කෘමිනාශක විරෝධී ජාන ශක්තිය වර්ධනය කරගත් කෘමී සතුන් පිළිබඳ ලියැවෙන ඉතිහාස කතාවේ නවතම පරිච්ජේදයයි. මිනිසා විසින්ම ස්වභාවධර්මය විකෘති කරමින් තමන්ගේ වළ කපා ගන්නා අයුරු පෙන්නා දෙන අලුත්ම නිදසුනයි. මීට පෙර අත්දැකීම් සමහරවිට වඩාත් භයංකාරය.

දළඹු සේනා වසංගත අතර මෑත කාලයේ ලොව තුළ මහා කැළඹීමක් ඇති කළ වසංගතය වාර්තා වන්නේ 2006 වසරේදීය. එය ප්‍රසිද්ධ වූයේ “තක්කාලි ඉබෝලාව” හැටියටය. මේ වසංගත දළඹුවාද අමෙරිකාව නිජබිම කරගත් සලබයකු නිසා හට ගන්නා ජීවියෙකි. තක්කලි කොළ සිදුරු කරන්නා Tuta absoluta, නමැති මේ දළඹුවාද දකුණු අමෙරිකාවේ සිට අත්ලාන්තික් සයුර ද තරණය කර ස්පාඤ්ඤය හා අප්‍රිකානු රටවල් කරා ද ව්‍යාප්තව ගිය වගා බිම් පාළුවෙකි. තක්කාලි ඉබෝලා යන නම මේ වසංගතයට වැටුණේ 2016 වසරේ නයිජීරියාවේ වගා බිම්වලට සිදු කළ දරුණු හානිය නිසාය. මේ වනවිට තක්කාලි ඉබෝලා දළඹු සේනා මුළුමහත් යුරෝපයත්, අප්‍රිකාවේ වැඩි කොටසකුත්, මැදපෙරදිග සහ මේ නොබෝදා වන විට ආසියාවත් ආක්‍රමණය කර හමාරය.

උතුරු අමෙරිකානු බඩඉරිඟු වගා අතර තවත් මාරක දළඹු සේනාවක් සැඟව සිටිති. බටහිර ඉරිඟු මුල් පණුවා හැටියට හැඳින්වෙන මේ දළඹුවා Diabrotica virgifera virgifera කුරුමිණියාගේ ලාබාල අවධිය නිරූපණය කරන්නාය. වසරකට ඩොලර් බිලියනයක ආදායම් අහිමි කිරීමට තරම් විනාශයක් දැනටමත් සිදුකරන්නෙකි. මේ වනවිටත් අක්කර 30, 000,000 මේ වගා පාළුවාට ගොදුරුව තිබේ. මේ කුරැමිණියා වඳ කිරීම ඉතා අපහසුව ඇත්තේ ඉක්මනින්ම කෘමි නාශක සඳහා ප්‍රතිරෝධය වර්ධනය කරගන්නා හෙයිනි.

කොලරාඩෝ අර්තාපල් කුරුමිණියා ලෙස හැඳින්වෙන Leptinotarsa decemlineata දැක්විය හැක්කේ ලෝකයේ කෘමිනාශක විරෝධී අංක 01 හැටියටය. බුරුතු පිටින් අවුත් අල වගා වනසන වගාපාලුවෙක් ලෙස ප්‍රකට මේ කුරුමිණියා වසර 50ක් තිස්සෙ නිපදවන ලද විවිධ කෘමි නාශක වර්ග 52ක් සඳහා ප්‍රතිරෝධය දක්වා ඇත. කොටින්ම සයනයිඩ් පවා ඌ හට තවදුරටත් වසක් නොවේලු.

කඳුකර පයින් කුරුමිණි වසංගතය 2006 වසරේදි කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවල හෙක්ටයාර් මිලියන 13ක පයින් ආර්ථීක ශාඛ වගාව වනසා දැමුවේය. Dendroctonus ponderosae නමැති කඳන් කන කුරුමිණියා සහ ඌ සමඟ සහජීවනයෙන් වෙසෙන දිලීරයක් මේ වගා හානියට හේතුවිය.

ඉතා මෑතකදී දළඹු සේනා වසංගතයක් ඉන්දියාවෙන් වාර්තා විය. ඉන්දියාවේ ආර්ථික වගාවක් වන පුළුන් වගාවට හානිදායක දළඹු ආක්‍රමණයක් හේතුවෙනි. රෝස පුළුන් පණු වසංගතය ලෙස ප්‍රසිද්ධ මෙයින් වැඩියෙන්ම හානි වූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය. පසුගිය වසර මුල ඇරුඹුණු මෙහි දැඩිම හානිය අවුරංඟාබාද් වෙතින් වාර්තා විය. පුළුන් වගාවෙන් සියයට 84ක්ම රෝස පුළුන් පණුවාගේ ගොදුරු බවට පත්ව තිබුණි.

1860 ගණන්වල ප්‍රංශයේ වයින් වතු වසංගතයකට ගොදුරු විය. වතුයායවල් පිටින් පිළිස්සී ගිය ලකුණු දක්නට ලැබිණි. අවසානයේ හේතුව එළිදරව් විය. අමෙරිකාව නිජබිම කරගත් කූඩිත්තෙක් වැනි කෘමියෙක් මගින් පැතිර යන දිලීරයක් මේ මහා වසංගතයට හේතු වූ බවයි. එදා සිට ප්‍රංශ වයින්වල රසය ද වෙනස් වූ බවට මතයක් ද පැතිර තිබේ.

1845 - 1852 කාලයේ පැතිර ගිය Phytophthora infestans නමැති දිලීර වසංගතයක් හේතුවෙන් අර්තාපල් වගා වැනසී ගිය අතර කුණු අල කෑ මිලියනයක් පමණ මරුට බිලි වූහ. අර්තාපල් අංගමාරය නමැති මෙම වසංගතය පැතිර ගිය අයර්ලන්තයේ ගොවිබිම් හැරදා දසලක්ෂයක් පමණ රටින් ද පලාගියහ.

මෙබඳුම තිත්ත මතකයක් 1800 ගණන්වල අග භාගයේ අපේ රටේ වගා කරන්නට ආ සුදු ජාතිකයන්ට තිබේ. ක්‍රිස්ටීන් ස්පිට්ල් වින්සන් ලියූ ‘The bitter berry” නමැති, දැන් අනුලා ද සිල්වා ලේඛිකාව විසින් තිත්ත කෝපි නමින් සිංහලයට ද පෙරළා ඇති නවකතාවේ මේ තිත්ත කතාව රසවත්ව ඉදිරිපත් කර ඇත. එදා ලංකාවේ කෝපි වෙනුවට තේ වගාව සඳහා  ආර්ථීක පෙරැළියක් ඇති කළ පසුව අද දක්වා දිවෙන දේශපාලනික ගැටලුවක් පවා උත්පාදනයට හේතුභූත වූ කෝපි දිලීරය Hemilaea vastatrix, ඇති කළ රෝගය යුග පෙරැළියකට ද මුල පෑදුවේය. එංගලන්තයේ කෝපි කෝප්පයට තේ සංස්කෘතිය ආදේශ වූයේ ද ඒ හේතුවෙනි.

ඉන් වසර 100කට පමණ පසුව මේ කෝපි මාරකය හදිසියේම බ්‍රසීලයෙන් හිස එසැවූයේය. දශකයක් ගතවන්නට පෙර දකුණු සහ මධ්‍ය අමෙරිකානු ගොවිබිම් පුරා පැතිර ගියේය. 2012 වන විට මධ්‍ය අමෙරිකානු කෝපි වගාව බිඳ දමන්නට තරම් බලවත් බවට පත් වූයේය.

හිතාමතා රටක ආර්ථීකය අඩපණ කිරීම සඳහා ජිවියකු යොදා ගත් අවස්ථාවකට කදීම නිදසුනක් මෑත කාලයේදී බ්‍රසීලයෙන් වාර්තාගත විය. රටේ ප්‍රධාන ආර්ථීක බෝගයක් වන කොකෝවා වගාවට එල්ල කළ ජෛව විද්‍යාත්මක ප්‍රහාරයයි. කෝකෝවා සල්ලිකාරයන්ගේ දේශපාලන බලය බිඳ දැමීමත්, ලෝක ආර්ථීකයේ  තුන්වැනි කෝකෝවා  සපයන්නා ලෙස  බ්‍රසීලය දිනා සිටි කීර්තිය බිඳදැමීමත් මේ ප්‍රහාරයේ සැඟවුණ අරමුණු අතර විය. ප්‍රහාරය සඳහා යොදා ගත්තේ Crinipellis perniciosa නමැති දිලීරයේ වැඩි දියුණු කළ ආකාරයකි. අපට තේරෙන බාසාවෙන් “බටකොළ ආච්චිගේ කොහු මිටේ” රෝගය (witches’ broom disease of cocoa) ලෙස හැඳින්විය හැකි මෙම රෝගය බ්‍රසීලය පුරා කෝකෝවා වගාවෙන් සියයට 75ක්ම කාබාසිනියාකර දැම්මේය. ආර්ථීක ප්‍රහාරකයාගේ අරමුණ ඉෂ්ට සිද්ධ කරමින්  බ්‍රසීලය ලෝක වෙළඳපොළේ 03 වැනි කෝකෝවා සපයන්නා ලෙස දිනා සිටි තැනින් 13වැනි තැනට ඇද වැටුණේය. තාමත් ඒ වැටුණු වැටිල්ලෙන් නැගිටීමට බ්‍රසීලය සමත්ව නැත.

දරුණුතම හානියක් මිනිස් වර්ගයාට ගෙන එන්නට සමත් වූ මහා වසංගත තුනක් ගැන ලෝක ඉතිහාසයේ සඳහන්ය. යුරෝපයේ සහ ආසියාවේ මිනිස් ජිවිත මිලියන 200ක් කෙළින්ම බිලිගත් එදා මෙදා  වාර්තාගත දරුණුතම ඛේදවාචකය ලෙස සටහන්ව ඇත්තේ “කළු මරණය” ලෙසින් හැඳින්වූ මහාමාරිය වසංගතයයි. එයට හේතුකාරක වූ Yersinia pestis  නමැති  බැක්ටීරියාව ලෝකය පුරා රැගෙන ගියේ මීයන් වැනි ගෘහාශ්‍රිත සතුන්ගේ සිරුරු මත එල්ලීගත් මැක්කන්ය. 1346 සහ 1353 අතර කාලය මේ වසංගතය හේතුවෙන් ලෝකයම එකම මළගෙයක් බඳුවිය. යුරෝපයේ සහ අප්‍රිකාවේ ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් මේ වසංගතය මගින් බිලිගත්තේය.

ඊළඟට වාර්තාගත වසංගතය බලපෑවේ සේනා දළඹු ආක්‍රමණය මෙන්ම බවබෝග සම්පතටය. ඒ 1875 වසරයි. එය අදටත් හැඳින්වෙන්නේ පළඟැටි ආක්‍රමණ වසර නැතිනම් Year of the Locust ලෙසිනි. ප්‍රමාණයෙන් විශාල පළඟැටි යෝධ රංචු එක පොදියට ඇදී විත් තිරිඟු යායන් මුළුමනින්ම කා දමා මහා විනාශයක් සිදු කළේ එම වසරේදීය. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව සැතපුම් 1800ක් දිගැති සහ සැතපුම් 110ක් පුළුලැති එකම තනි යෝධ කළු වළාකුලක් ලෙසින් මේ විනාශකාරි පළඟැටි පොදිය ඇදී ආහ. මෝසස්ගේ සාපය නැවත ක්‍රියාත්මක වූ ලෙසින් හදිසියේම කඩා වැදුණු මේ විශාල පලඟැටි මහා සේනාව තිරිඟු වගා පමණක් නොව සියලු වෘක්ෂලතාදිය ද වෙනෙකක් තබා ලී දඬු යොදා තැනූ සීමා වැටවල් ද හප කර දැමූහ. NewYork Times, වාර්තාවට අනුව පුරා දින පහක් පළඟැටි සේනාවෝ මේ මහා ආලාපාළුව සිදු කළහ. හරියටම සාපයක් ගෙවී ගියාක් මෙන් හරියටම පස්වැනි දින උදේ සහමුලින්ම පළඟැටි හමුදාව අතුරුදන්ව තිබුණි.

වසංගත අතර මිනිසා තවමත් අනතුරේ හෙලනා රෝගය වී ඇත්තේ මැලේරියාවයි. 2015 දී මැලේරියා වසංගතයට ගොදුරු වූ මිලියන 214ක් ගැන වාර්තා වී ඇති අතර වාර්තාගත මරණ ගණන 438,000කි. මේ තරම් දියුණු ලෝකයේත් මැලේරියාව මිනිසා පරදවා හිස ඔසවා ඇත්තේ ඖෂධවලට ප්‍රතිරෝධී අලුත් මාදිලි දිනෙන් දින බිහිවන නිසාය. ඒ නිසාම ලංකාව තුළ පාලනයකට ලක් කර ඇතත් ඇසට නොපෙනෙන තනි සෛලයකින් තැනුණ සත්ත්වයකු නිසා හට ගන්නා මැලේරියාව තවමත් ලෝක ජනගහනයෙන් අඩකට එනම් බිලියන 3.2කට අනතුරු කිරීමේ අවදානම සහිත මාරකයක්ව පවතින බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

 සුගත් පී කුලතුංග ආරච්චි

 

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30