2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ඒ.ටී.එම්.වලින් සල්ලි අදින ජාවාරම

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

රට තුළ අඩියක් අඩියක් ගාණේ දූෂණය, වංචාය, හොරම්කම්ය. ජනතාවට ඔළුව බේරාගෙන ජීවත්වීමම අභියෝගයක් වී ඇත. ඒ නිසා ජීවිතයේ ගතවන සෑම තත්පරයක් කෙරෙහිම අවධානයෙන් සිටීමට පුරවැසියාට සිදුවී තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට මේ තත්ත්වය අසීමාන්තික ලෙස ඉහළ ගොස් ඇති නිසා අනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් දැකීම දක්වා තත්ත්වය බරපතළ වී ඇත. එය දියුණු වෙමින් පවතින රටකට සංකීර්ණ ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ වර්තමානය තුළ ඇතිව තිබෙන බරපතළ තත්ත්වයක් ගැනය. ඒ ඔබත් මමත් භාවිතා කරන බැංකු ඒ.ටී.එම් යන්ත්‍ර හරහා මුදල් අදින ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වීමය. එය මෙරට පමණක් නොව වෙනත් රටවල පවා සංවිධානාත්මක අයුරින් සිදුකෙරෙන ජාවාරමක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් පසුගියදා පෞද්ගලික බැංකු කිහිපයකට සිය ගනුදෙනුකරුවන් හරහා පැමිණිලි ගලා එන්නට විය. එනම් තමන්ගේ ගිණුම්වල ඇති මුදල් තමන්ගේ දැනුවත්කමකින් තොරව පිරිසක් විසින් ලබාගෙන ඇති බවය. පසුව බැංකු නිලධාරීන් විසින් එම ගිණුම් පරීක්ෂා කිරීමේදී තහවුරැ වුණේ කිසියම් පිරිසක් විසින් එම ගිණුම්වලින් ඉතා රහසිගත ලෙස මුදල් ලබාගෙන ඇති බවය. කෙසේ වෙතත් වැඩේ එතනින් නැවතුණේ නැත. රටේ සමහර ප්‍රදේශවලින් ද පැමිණිලි ගලා එන්නට විය. අවසානයේ එම පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තෙක් ඇදී ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබීමත් සමඟ ඔවුන් මේ පරීක්ෂණය ගැන මූලික විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී හෙළිවුණේ මුදල් ලබා ගැනීම ඒ.ටී.එම් යන්ත්‍ර හරහා සිදුවන බවය. නිල කාඩ්පත ගිණුම් හිමියා සන්තකයේ නම් එලෙස කාඩ් පතෙන් මුදල් ලබාගන්නේ කෙසේද යන්න රහස් පොලීසියට පවා ප්‍රශ්නයක් විය. ඒ අනුව රහස් පොලීසිය ඒ පිළිබඳව සොයා බැලීමට තීරණය කළේය.

එසේ සොයා බලන විට මෙහි ඇතුළු කතාව සොයා ගැනීමට පොලීසියට හැකිවිය. එනම් එක්තරා සංවිධානාත්මක කල්ලියක් විසින් මෙය මෙහෙයවන අතර මෙහි පිටුපස සිටින්නේ ජාත්‍යන්තර ජාලයකි. එකා දෙන්නා විවිධ රටවලට විසිරෙමින් සිදුකරන මෙම වංචාව සම්පූර්ණයෙන්ම තාක්ෂණික මෙහෙයුමකි. එනම් ඔවුන් ඒ.ටී.එම් යන්ත්‍ර සඳහා විවිධ උපකරණ සවි කර ඒ හරහා අවශ්‍ය දත්ත ලබාගන්නා බව හෙළිවිය.

එනම් ඔවුන් කාඩ්පත ඇතුළු කරන ස්ථානය වෙත අමතර ඇතුළත් කිරීමේ දොරටුවක් සවිකරනු ලබයි. සාමාන්‍යයෙන් කාඩ්පත ඇතුළු කරන ස්ථානය යන්ත්‍රයෙන් ඇතුළට ගොස් තිබුණත් මේ අමතර ඇතුළත් කිරීමේ කොටස සවිකිරීමෙන් පසුව එම දොරටුව ඉදිරියට නෙරා එනු ඇත. එම කොටස සවිකළ පසු කාඩ්පත ඇතුළත් කරන විට කාඩ්පතෙහි වූ සියලු තොරතුරු සටහන් වන බව සඳහන් වේ. ඒ නිසා යම් ආකාරයකින් ඔබ කාඩ්පත ඇතුළු කරන තැන ඉදිරියට නෙරා ඇත්නම් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

එසේ කාඩ්පතෙන් තොරතුරු ලබාගත් පසුව කාඩ් පතේ රහස් අංකය ලබා ගැනීම ද ඒ ආකාරයෙන් සිදුකරන බව සඳහන්ය. එනම් රහස් අංකය සටහන් කරන අංක තහඩුවට උඩින් එවැනිම ව්‍යාජ අංක තහඩුවක් සවිකරනු ලබයි. එසේ සවිකිරීමෙන් පසුව ඔබ අප යොදන අංකය එහි සටහන් වනු ඇත. එවිට කාඩ් පතේ තොරතුරැ සමඟ රහස් අංකයත් සැකකරැවන්ට ලැබේ. ඒ අනුව එම සියලු තොරතුරු ඇතුළත් කර ව්‍යාජ කාඩ්පතක් සකසා ඒ හරහා මුදල් ගැනීම ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබයි.
දෙවැනි ක්‍රමය වන්නේ සැකකරැවන් ඒ.ටී.එම්. යන්ත්‍රය පරීක්ෂා කිරීමට පැමිණි නිලධාරීන් ලෙස හැසිරීමයි. කවුරුන් හෝ අයකු එහි සිටින විට තමන් බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍ර පරීක්ෂා කිරීම සඳහා පැමිණි බව දැනුම් දෙයි. විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුව මුදල් ගැනීමට සිටින අයකු ඇතුළට කැඳවා යන්ත්‍රය වැඩකරනවා දැයි පරීක්ෂා කිරීමට කාඩ්පත යොදා මුදල් ගන්නා ලෙසට යෝජනා කරනු ලබයි. බොහෝ දෙනා මේ පිළිබඳව නොදන්නා නිසා බැංකු නිලධාරීන් යැයි සිතා කාඩ්පත අතට ලබාදෙනු ඇත. මේ අවස්ථාවේ සැකකරැවන් තමන්ගේ උපකරණ හරහා කාඩ්පතේ තොරතුරුත්, රහස් අංකයත් ගනුදෙනුකරැවන්ගෙන් ලබාගන්නේ කාටත් සැක නොසිතෙන ලෙසය. මේ හරහා ලබාගන්නා තොරතුරු තුළින් සැකකරුවන් නැවත ව්‍යාජ කාඩ්පත ලබාගෙන මුදල් ගැනීම සිදුකරනු ලබයි. ඇතැම් ගනුදෙනුකරැවන්ගෙන් රැපියල් ලක්ෂ 2ක මුදල් පවා සැකකරැවන් විසින් මේ වංචනික ක්‍රියාව හරහා ලබාගෙන ඇත.

කෙසේ වෙතත් මේ ජාත්‍යන්තර මෙහෙයුම නිසා මෙරට පමණක් නොව ලෝකය පුරා විසිරී පවතින බැංකු රැසක් අන්ත අසරණ වී ඇත. නිමක් නොවන මේ මූල්‍ය ජාවාරම් හේතුවෙන් ඇතැම් බැංකුවල ගනුදෙනුකරැවන් තමන් සතු ගිණුම් එම බැංකුවලින් ඉවත් කර ගෙන ඇත. මේ නිසා බැංකු බොහොමයක් අසරණ වී ඇත.

දැනට ලංකාවේ එවැනි වංචාවන් සිදුකළ චීන ජාතිකයන් දෙදෙනෙක් සහ යුක්රේන  ජාතිකයෙක් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එසේම ඔවුන් සන්තකයේ තිබී ඒ.ටී.එම් කාඩ්පත් දෙසීයකට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත. එම කාඩ්පත් සියල්ලම ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව පොලීසිය පවසයි.

දැනට මෙම ජාවාරම කෙරෙහි ජනතාව පූර්ණ අවධානයෙන් සිටින ලෙසට පොලීසියත් බැංකුවටත් ජනතාවට දැනුම් දෙයි. ඒ. ටී. එම්. යන්ත්‍ර අසල යම් සැකකටයුතු පුද්ගලයෙක්, සිදුවීමක් දුටුවොත් ඒ පිළිබඳව බැංකු ආරක්ෂක අංශයට හෝ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසත් රහස් පොලීසිය දන්වයි.

දැනට රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, කොටුව ආදී ප්‍රදේශවල මෙම ජාවරාම වැඩිපුර සිදුවන බවට තොරතුරැ ලැබී ඇතැයි සඳහන් වේ. ඒ තොරතුරැවලට අනුව ඔවුන් හැම මොහොතකම එක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ඇත්තේ එක් වරක් පමණි.

විමර්ශනවලට අනුව දැනට මෙම සිද්ධියට මෙරට කිහිපදෙනකුද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ දැනට ලැබී තිබෙන තොරතුරැ අනුව මේ ජාලයේ පිරිස් මීට පෙර මෙරටට පැමිණ විශාල වශයෙන් දත්ත තොරතුරු රැස් කරගෙන ගොස් ඇති බවය. එසේ ලබාගත් තොරතුරුවලට අනුව එක් එක් අවස්ථවල මුදල් ගනු ලබන බවද සඳහන් වේ. ඒ නිසා ගනුදෙනුකරැවන් නිතර එස්.එම්.එස් පණිවිඩ සේවාව සක්‍රීය කරගැනීම හරහා කවුරැන් හෝ අයකු මුදල් ලබාගන්නවා නම් ඒ පිළිබඳව සැණකින් තොරතුරැ ලබා ගත හැකි නිසාය. ඒ නිසා ඒ ගැන අවධානයෙන් සිටිනා ලෙසට පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් වැඩේ තවම ඇත්තේ ආරම්භක අවදියේය. ඒ නිසා මෙය හැකි ඉක්මනින් අවසන් කිරීම මේ රටේ සමස්ත බැංකු පද්ධතියේ අනාගතයම රැකෙන වැඩකි. නැතහොත් ඒ.ටී.එම්. යන්ත්‍ර වහන්න සිදුවනු ඇත.

 අසංක කළුබෝවිල

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30