2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

විගොඩ සණසේ 75 කෝටියක් ගල්කරලලු

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

මුලින්ම මම විගොඩ සණසට යද්දී අතේ සල්ලි තිබුණෙ නෑ. අනික සණසට යද්දී හවස හතරට විතර ඇති. මගේ සල්ලි තිබුණෙ ජාඇල බැංකුවක දාලයි. විස්තර අහගෙන එවෙලෙම මට කාර් එකක් දුන්නා දැන්මම සල්ලි අරගෙන එන්න කියලා. ඒ වෙලාවෙ බැංකුව වහලා නිසා කිරිබත්ගොඩ සිටි බෑන්ක් එකෙන් සල්ලි අරගත්තා. එදා සණස එකවුන්ට් එක ඕපන් කරද්දී රෑ අටට විතර ඇති. එදා දාපු ලක්ෂ 23ක් මගේ සල්ලි ගන්න තියෙනවා.

විගොඩ සණස තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් ටිරෝන් ශාන්ත ඩයස් මහතා කීවේ එවැන්නකි. විගොඩ සණස බැංකුවේ රුපියල් කෝටි 75ක මූල්‍ය වංචාවට තමන්ගේ මුදලත් කොල්ලකා තිබෙන බව කියන ටිරෝන් ශාන්ත මහතා මෙසේද කීය.

මම ගියා සල්ලි ඉල්ලන්න. අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා මඟහරිනවා. හැමෝටම එහෙමයි. සල්ලි තියා පොලිය දෙන්නටවත් සණසට දැන් සල්ලි නෑ. ඔඩිට් කරන්න ආපු අය කියනවා සල්ලිවලට වුණු දෙයක් නෑ කියලා. අපි සණස කොමසාරිස්ට ගිහින් කීවා. එයා කියනවා ගමේ අයට විතරයි සණසට සල්ලි දාන්න පුළුවන් කියලා. පිට අයට බෑ කියලා ව්‍යවස්ථාවේ තියෙනවලු. එයාලට කරන්න දෙයක් නෑලු. නඩු කියන්නලු.

විගොඩ සණස සංගමය සණස බැංකු ශාඛා අතර ඉහළින් කියවෙන නමකි. ගම්පහ දිස්ත්‍රික්කය තුළත් බස්නාහිර පළාතේත් විගොඩ සණස සංගමය පිළිබඳ තිබුණේ ජනතා ප්‍රසාදයකි. 350කට අධික ගනුදෙනුකරැවන්ගේ රුපියල් කෝටි 75කට අධික මුදල් වංචාව හේතුවෙන් විගොඩ සණස ගැන තබා සණස කොමසාරිස් පිළිබඳවත් දැන් ජනතාවට විශ්වාසයක් නැත.

සණස බැංකුවේ තැන්පතුවලට බදු මුදල් අයනොකරන බව ජනතා විශ්වාසයයි. බොහෝ පිරිස් තමන් සතු ධනය එකී බැංකුවේ තැන්පත් කර තිබුණේ එබැවිනි. විගොඩ සණස තැන්පත්කරුවන් සුරුකීමේ සංගමය දරන මතය අනුව සණස බැංකුව එම සංගමයේ පමණක් ලියාපදිංචිය ලබා ඇත. එය මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවීම නිසා තැන්පත්කරැවන්ගේ මුදල්වලට මහ බැංකුව හෝ වගනොකියන බවට ඔවුහු මැසිවිලි නගති. තම සල්ලිවලට සණස හෝ සමූපාකාර දෙපාර්තමේන්තුව වගකියන්නෙ නැති බවට ඔවුහු තවදුරටත් සිය අඳෝනා පවසති.

විගොඩ සණස බැංකුවේ මුදල් තැන්පත් කළ බොහෝ පිරිස ඇති හැකි අය නොවේ. එදාවේල හම්බකරගෙන ගෙදර වත්තේ ගහක හැදෙන ඵලදාව විකුණා රුපියල දෙක ඉතිරි කළ පිරිසය. ඇතැම් වයසක උදවිය ඔවුන්ට ලැබෙන පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අයයි. තවත් ජ්‍යෙෂ්ඨ පිරිස කාලයක් පුරා කළ රැකියාවෙන් විශ්‍රාම ගිය පසු ලද මුදල් ඉතිරි කළ අයයි. අද වනවිට ඒ සියලු දෙනාටම අත්වී ඇත්තේ එකම ඉරණමකි. සියලු සේසත සණස ගිණුමට දමා පොලිය අපේක්ෂාවෙන් සිටි අය අද කුසට අහරක් නොගෙන වැළපෙමින් සිටින බව විගොඩ සණස තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය කියා සිටියි.

මේ අසරණ තැන්පත්කරැවන්ට පිහිටට දැන් කවුරුත් නැත. ඔවුන් සංවිධානය වී මහපාරට බැස ඇත්තේ එබැවිනි. එසේ පාරට බැසගත් පිරිස පසුගිය දිනෙක වේයන්ගොඩ නගරයට නුදුරු නයිවල මංසන්දියේ උද්ඝෝෂණයක නිරත වූහ.

සභාපතියා පට්ට හොරා, බලධාරීන් මර නින්දේ යන සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එම ජනතාව විරෝධතාවය පළ කළහ.

මෙම විරෝධතාකරුවන් අතරසිටි සංගමය නියෝජනය කළ පුද්ගලයෙක් මෙසේ අදහස් දැක්වීය.

කෝටි 75ක් අතුරැදන් වෙලා. මේවා අහිංසක අපේ සල්ලි. ඔඩිට් කළේ මොනවාද කියලා දන්නේ නෑ. මේ සල්ලිවලින් කෝටි 75ක්ම සභාපති අරගෙනලු. සභාපතිගෙ නෝනා බැංකුවේ කළමනාකරුලු. දෙන්නාම හොරා කාලා. ආරංචි විදිහට තවත් සණස සමිති ගණනක මේ විදිහට මූල්‍ය වංචා සිදුකරලා තියෙනවා. තැන් තැන්වල සණස කියාගෙන මහල් නිවාස ගොඩනැගිලි හදනවා. මේ සල්ලි කොහෙන්ද? ඒවායෙන් එන ආදායම කෝ? වියදම කීයද? කොහොමද මේවා අපි දන්නේ? අපිට ඒවා නෙවේ, අපේ සල්ලි ටික ගන්නයි ඕනෑ. මේකෙ ලොක්කෝ පොලීසි ගිහින් හිරේ දාලා හරියන්නෙ නෑ. මොන දඬුවම දුන්නත් අපිට සල්ලි ලැබෙන්න ඕනෑ. බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ කරුණාකරලා අපිට විසඳුමක් දෙන්න කියලයි. යනුවෙන් පැවසීය.

ජීවිත කාලෙම හම්බකරපු සල්ලි ලක්ෂ 17ක් බැංකුවේ දැම්මා. සල්ලි හොයන්න පුළුවන් තරම් මහන්සි වුණා. දුක් වින්දා. අද ඒ සේරම ගඟේ ගියා වගේ. කොහොම හරි අපේ මුදල හරි ලබාදෙන්න කියලයි ඉල්ලන්නෙ.

මෙසේ පැවසුවේ සණස තැන්පත්කරැවකු වූ ගාමිණී ජයසිංහ මහතාය.

මේ අතර අදහස් දැක්වූ විගොඩ සණස සමිතියේ මහින්ද මහතා කීවේ මෙවැන්නකි.

මූල්‍ය අක්‍රමිකතාවක් නිසා විගොඩ සණස කඩාවැටිලා තියෙනවා. මම මේ බැංකුව කිට්ටුව ඇසුරු කළා. ඒ නිසා මම හිතන්නෙ නෑ, කෝටි 75ක් හොරකම් කළා කියලා. නමුත් අක්‍රමවත් කළමනාකරණය නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙන බව කියන්න පුළුවන්.

වෙහෙස මහන්සියෙන් හරිහම්බ කොටගෙන ජීවිතයේ සැඳෑ සමය යහතින් ගත කරන්නට පොලී මුදල මාසිකව ලබාගැනීමේ අරමුණින් සිටි පිරිසට අද ජීවිතය ගැටගසා ගැනීමට හැකියාවක් නැත. බොහෝ දෙනා අහස දෙස බලා හූල්ලන්නේ එබැවිනි. සිද්ධිය පිළිබඳ පැමිණිලි 250කට වැඩියෙන් වේයන්ගොඩ පොලීසිය සතුව පවතී. ගම්පහ සමූපාකාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරිය සිදුකළ පරීක්ෂණයේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද වාර්තා වේ. විමර්ශන කෙසේ සිදුකළත් කඩිනමින් තැන්පත්කරැවන් සතු මුදල් ලබාදිය යුතුව ඇති බව අපිද අවධාරණය කරමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර