2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ජනපති මමයි

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 402

ජනපති සිහිනය එක් ඇසිල්ලක හෝ ලක්වාසී ඔබ දැක ඇතුවාට සැක නැත. මම ජනපති වුණොත් මෙහෙමයි කරන්නේ, ඒ වදන බොහෝ දෙනාගේ මුවින් වරක් හෝ පිටවී තිබේ. ජනාධිපතිවරණ උණුසුමක් ද ජනපති අපේක්ෂකයන් පිළිබඳ සංවාදයක් ද මේ සමයේ ඇතිව තිබේ. මේ වසර අවසානයේ මෙරට විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් ද පැවැත්වීමට නියමිතය. දේශයේ අපි ඊට සමගාමීව “ජනපති මමයි” නමින් නව විශේෂාංගයක් ඇරඹීමට තීරණය කළෙමු. මෙරට ප්‍රසිද්ධ චරිත කිහිපයක් ජනපති බවට පත්වුවහොත් කරන කියන දෑ පිළිබඳ තතු විත්ති අද සිට මෙලෙසින් අපි ඔබ වෙත රැගෙන එමු. 

පක්ෂ දෙකේම හොරු හිරේට යවනවා
- ජිප්සීස් නායක, ගායන ශිල්පී සුනිල් පෙරේරා

මම ජනාධිපති වෙන්න ඡන්දයක් ඉල්ලන්නේ නෑ. ඒ නිසා මට කවදාවත් ජනාධිපති වෙන්නත් බෑ. ඒත් මම ජනපති වුණොත් මෙහෙමයි කරන්නේ. දැන් අපි නිදහස ලබලා අවුරුදු හැත්තැ එකක්. අපි ලෝකෙටම ණයයි. මේකට වැරදි ජනතාවද පාලකයෝද? මේ පාලකයෝ තමා වැරදි. අපි මේ පාලනය වෙනස් කරන්න ඕනෑ.

මගේ කල්පනාවේ හැටියට මේ රට පාලනය කරපු පක්ෂ දෙකේම පිරිස බොහොම නරක විදිහට කල්පනා කරපු උදවිය. ඔය කට්ටිය ඉන්නකම් කුලල් කා ගන්නවා සදහටම. පාලනය කරපු හැමදෙනාවම හිරේ දාන්න ඕනෑ. එහෙමත් සුද්දවන්තයෝ දෙතුන් දෙනෙක් ඇති. දේශපාලනඥයින්ට දෙන වරප්‍රසාද නැති කරන්න ඕනෑ. මං ජනාධිපති වුණොත් කාර් පර්මීට් එක නැති කරනවා. කාර් එකක් දෙනවා හැමෝටම, පර්මීට් දෙන්නේ නෑ. දැන් කාර් පර්මීට් එක ලක්ෂ දෙසීය පනහට තුන්සීයට විකුණනවා. ඒ නිසා පර්මීට් නැති කරනවා.

කිසිම කෙනෙක්ට තමන්ගේ ඥාතියෙක්ව තමන්ගේ ඔෆීස් එකට ගන්න බැරිවෙන්න නීතියක් ගේනවා. තමාගේ බිරිඳ, දුව, බෑනා ඒ කිසිම කෙනෙක්ව ඔෆිස් එකට ගේන්න බැරිකරන්න ඕනෑ. එහෙම ගෙනාවම කරන්නේ ඔක්කෝම නරක වැඩ. කාර් දෙනවා අරවා මේවා දෙනවා. පිරිසිදු දේශපාලනයක් සඳහා ඔය පනින එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ පැත්තෙන් මේ පැත්තට පනිනවා කෝටි පනහක් අරගන්නවා.

ආර්ථිකය ගැන ආර්ථික විශේෂඥයන්ගේ මණ්ඩලයක් පත් කළ යුතුයි. මේ රටේ ආර්ථිකය ගැන දන්න මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ මිනිසුන්ගේ දැනුම ලබාගත්තා නම් මේවා පාඩුවට දුවන්නේ නෑ. ශ්‍රීලංකන් ගුවන් සමාගම බිලියන ගාණක් පාඩුයි. හැබැයි සිංගප්පූරුව ගුවන් සමාගම ලෝකේම දැවැන්තම ගුවන් සමාගමක් බවට පත්වෙලා. මේ දිහා බැලුවාම මොකක්ද පේන්නේ, ඉතාම නරක ක්‍රියාදාමයක් තුළ හොරකම් සිද්ධවෙනවා කියන එක. නැත්නම් මේ තත්ත්වයට වැටෙන්න බෑනේ. ඒ නිසා මේවා පාලනය කරන්න දැනුම තියන උදවියට දෙනවා.

කැබිනට් මණ්ඩලයට අගමැතිකමට මේ එක්කෙනෙක්ටවත් එන්න දෙන්නේ නෑ. ක්‍රිකට් ගහනකොට මොකටද තේරීම් කමිටුවක් පත්කරන්නේ. හොඳම ළමයි තෝරගන්න. එතකොට දේශපාලනයට හොඳම අය හොයන්න ඕනෑ නැද්ද? රට ඉදිරියට ගෙනියන්න ඕනෑ. විෂය ගැන දැනුමක් නැති මිනිස්සු හිතවත්කම්වලට තමා දැන් මේවා දීලා තියෙන්නේ.

හැබැයි මට බලය ලැබුණොත් ඕක තමයි මම කරන්නේ. අවුරුදු හැත්තෑ එකක් පාලනය කරපු පක්ෂ දෙකේ ඔක්කොමලාම හිරේ දාලා. හොඳ දැනුම ඇති පුද්ගලයන්ට රට දුවන්න සෙට්කරලා ඉවර වෙලා. අවුරුද්දකට පස්සේ රට හොඳ ක්‍රියාදාමයක සෙට්වෙලා තියෙනවා නම් ඡන්දකට යනවා.

රටේ නීතිය ස්ථාපිත කරනවා. වැරදි කරන හැමෝටම එක හැන්දෙන් බෙදන්න ඕනේ. මුදල් ඇමැතිද අර ඇමැතිද මේ ඇමැති ද නෙවෙයි වැරදි කරන හැමෝම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන විදිහට සිස්ටම් එකක් හදනවා. පළවෙනි පැය විසි හතරේ කරන්නේ ඒක තමයි. නීතිය ස්ථාපිත කරනවා. ඔය පක්ෂ දෙකේ කට්ටිය හිරේ දානවා. ඇත්තටම ඒ ගොල්ලෝ ඉන්නකම් කරන්න බෑ. මේ ගොල්ලෝ මෙච්චර කල් නිදහසෙන් පස්සේ අවුරුදු හැත්තෑ එකක් කෙරැවානේ. ආර්ථිකය ගොඩ ආවේ නෑනේ. හොඳ දැනුම, දැක්ම තියෙන අවංක මිනිස්සුන්ව ඉදිරියට ගේන්න ඕනා. එකට ඉදිරිපත් වෙන්නේ අලුත්ම කට්ටිය. අවම සුදුසුකම උසස් පෙළවත් සමත් වෙන්න ඕනා. ඒක ප්‍රජාත්‍රන්තවාදී නෙවෙයි කියල හිතෙනවා නම් අහන්න තියෙන්නේ මෙච්චර කල් මේ කට්ටිය කරපු දේවල් ප්‍රජාතන්ත්‍රවාදී ද කියලයි.

රටින් කෑම ගෙනඒම තහනම්
- පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක

මට මේ රටේ ජනාධිපති වීමේ කිසිම අපේක්ෂාවක් නෑ. එත් මේ රටේ ජනාධිපති වෙනවනම් මෙන්න මේ මූලික දේවල් ටික තියෙන්න ඕනෑ.

මේ රටේ ජනාධිපති වෙන මනුස්සයා කෘෂිකර්මය කරපු කෙනෙක් වෙන්න ඕනෑ. වැව් අමුණුවල වතුර ටික එකතු කරන කෙනෙක් වෙන්න ඕනෑ. වැවේ ඉන්න මාළු අල්ලා කන කෙනෙක් වෙන්න ඕනෑ. පොල් ගස් ටික හිටවා ගන්න ඕනෑ. රබර් ටික හදාගන්න ඕනෑ. ඉස්සර චීනෙන් හාල් ගෙනාවේ ලංකාවෙන් රබර් දීලා. අද අපි ලංකාවේ මිලියන ගාණක් වාහනවලට ටයර් පිටරටින්නේ ගේන්නේ. මෙච්චර රබර් තියෙන රටේ, අපිට ඕනා ගෑනු විකුණලා පිටරටින් ටයර් ගේන මනුස්සයෙක් නෙවෙයි.

පළවෙනි පැය විසිහතර ඇතුළත පිටරටින් ගේන ආහාර ටික සම්පූර්ණයෙන්ම නතර කර ගන්නවා. හරක් ලක්ෂ දහතුනක් ඉන්න රටක ලක්ෂ දෙකහමාරක විතරයි කිරි ගන්නේ. රටේ මිනිසුන්ට කියනවා ඉන්න වැස්සියෝ ටික ගැටගහගන්න කියලා. එතකොට ඒ සල්ලි ටික ඉතුරු වෙනවානේ. සෙවණගල, හිඟුරාන, කන්තලේ, පැලවත්ත ඔය හතර විතරක් වවලා ලංකාව සීනිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්නේ. කන්න දෙක තුනක් යනකොට. ඇයි අපි සීනි ගෙනැල්ලා කන්නේ?

මේවා කරන්නේ නැතුව ඉස්සරහනුයි පස්සෙනුයි වාහන විසිපහක් දාගෙන ඇම්බියුලන්ස් එකක් දාගෙන යන්න අපිට ඔළුවෙ අමාරුවක් ඇත්තේම නෑ. ඩී.එස්. සේනානායක මහත්තයලත් හිටියනේ. පොලිස්කාරයෙක් එක්ක විතරයිනේ ඒ දවස්වල ගමනක් යන්නේ. ලංකාවේ ජනාධිපති නම් ලංකාවේ මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනෑ නෑ වටේටම හමුදාවල් දාගෙන.

යාපනයට බණ්ඩාරනායක මැතිනිය ගිය වෙලාවේ මල්මාලා දැම්මේ මිරිස් කරල් වලින්. එතකොට යාපනය ලූනු මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බේ. ඒ ගොල්ලෝ ඉල්ලන්නේ නෑ ඊළමක්. අපි ඊළම් ඉල්ලන තැනට ඒ මිනිස්සුන්ව තල්ලු කරලා තියෙනවා. මොකද ඒ මිනිසුන්ට වවාගන්න දේ විකුණගන්න බෑනේ. මිනිසුන්ට වඩා හරක් ඉන්න යාපනේ හැමතැනම විකුණන්නේ පිටින් ගේන කිරිනේ.

ආර්ථික ප්‍රශ්නයෙන් එහා ගිය ප්‍රශ්න තියෙන්නේ පණ්ඩිත මිනිසුන්ට. ව්‍යවස්ථාවට ඉස්සෙල්ලා බඩගින්නට බත් කන්න එපැයි. අපි ඔක්කොම එක්ක එකතුවෙලා රට හදාගන්නා ඕනෑ. ඉස්සෙල්ලාම අපි ස්වයංපෝෂිත වෙලා ධන ආර්ථිකයක් හදාගන්න ඕනා. ඊටපස්සේ වැඩි වැඩ කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි ගේ ගිනි ගන්නවා නම් ගෙයි ගින්න නිවාගන්න එපැයි.

සෝබන වැඩවලට තිත තබනවා
- ලංකා ගුරු සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ

මම ජනපති නම් හැමෝටම සමානව ජීවත්වෙන්න පුළුවන් සාමාජ ආර්ථික දේශපාලන පසුබිමක් නිර්මාණය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා සෑම ළමයෙක්ටම සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබාදෙන එක වගේ දේවල් කරනවා. ජනාධිපති වෙන්න පුළුවන් නම් මේ දේවල් කරන්න පුළුවන්. මොනවද මෙතෙක් ජනාධිපතිවරු කළේ?

ඇත්තටම අපි ඉස්කෝලවල වැඩකරනකොට දැකලා තියෙනවා. සමහර ළමයි අලී පොත් බෑග් එකක් උස්සාගෙන ඉස්කෝලේට එනවා. මෙච්චර පොත් ගොඩක් ගෙනාවට මේ ළමයි අවසානෙදී අරගෙන යන්නේ මොනවාද කියලා මම කල්පනා කරනවා. ජීවිතය ජයගන්න ඉස්සරහට යනකොට මේ ලබන අධ්‍යාපනය මේ ළමයින්ට වැඩක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒක නිසා අධ්‍යාපනයේ පුළුල් වෙනසක් කරන්න ඕනෑ.

ජනාධිපති වෙලා පළවෙනි පැය විසිහතර ඇතුළත රටේ කෙරෙන සෝබන වැඩ ඔක්කොම නතර කරනවා. මේ දේවල් තනියම කරන්න බෑ. මේ ගමන යන්න හොඳ ටීම් එකක් තෝරාගන්නවා. අගමැති කැබිනට් මණ්ඩලය මට ඕනෑ අය දාන්න බෑනේ.... තියෙන ව්‍යවස්ථාවට අනුව තමයි කටයුතු කරන්න ඕනා. මං මට ඕනෑ අය තෝරගත්තොත් ඊටපස්සේ අනික් අය පෙරළි කරන්න පටන් ගන්නවා. ඊටපස්සේ බහුතරේ නැතිවෙනවා. ඒ නිසා ඉතාමත්ම උපක්‍රමශීලීව මේ ගමන යන්න අවංක කැපවීමක් තියෙන අය තෝරගන්න ඕනෑ.

දැන් ඉන්න ඇමැතිවරු ඔක්කොම හිතන්නේ ඒගොල්ලෝ නැත්නම් මේ රට ගෙනියන්න කෙනෙක් නෑ කියලා. ඒ ගොල්ලෝ නැතුව කරන්න බෑ කියලා. ඒ නිසා අපු දවසේ ඉඳලා පටන්ගන්නේ තමන්ගේ සුඛ විහරණය මිසක් සමාජයට යමක් කරන්න නෙවෙයි. ඇමැතිකම් නොලැබුණු අය ලැබුණු අය ඒ ගොල්ලෝ හිතන්නේ එයාලා තමා මේ රටේ ඉන්න අතිදක්ෂම අය කියලා. එහෙම එකක් නෑ. ඒ නිසා මේක උපක්‍රමශීලීව කල්පනාවෙන් කළ යුතුයි.

රටට ගැලපෙන දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැමඑකක්ම පිටරටින් ගත්ත ඒවනේ... යටත් විජිත යුගයේ ඉඳලා වෙනත් අය සම්පාදනය කරපු ඒවා තමා තිබ්බේ. 1972න් පස්සේ දේශීය ආණ්ඩුක්‍රමයක් කියලා හැදුවත් ඒකත් සෝල්බරි අනුරුවක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දැන් හදන්න යන එකත් ඒ වගේ. ඉන්දියාව හදාගෙන තියෙන්නේ ඉන්දියාවට ගැලපෙන ව්‍යවස්ථාවක්. සුද්දගෙන් ගත්ත එක නෙවෙයි. ඒ වගේ අපේ රටේත් පැරැණි රජ දවස ඉඳන් එන සම්ප්‍රදායන්ට ගරු කරමින් දේශීය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් හදන්න ඕනෑ.

දේශපාලකයන් සියයට පනහට බස්සනවා!
- පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි

මම ජනාධිපති වෙනවා නම් මැතිවරණයේදී ඉතාම වැදගත් වෙන්නේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒක මම සකස් කරන්නේ රටේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති මොනවාද කියන එක පිළිබඳව පුළුල් සංවාදයක් එක්ක. ඒ පිළිබඳව අදහස් දෙන්න පුළුවන් විද්වතුන්, විවිධ ක්ෂේත්‍රවල සිවිල් ක්‍රියාධරයෝ, දේශපාලනඥයෝ මම තරග කරනවා නම් ඒ පක්ෂයේ සාමාජිකයන් ආදී අය සමඟ යම් සංවාදයක් පූර්වගාමීව සිදුකරනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, විදේශ ප්‍රතිපත්තිය ආදී කාරණා සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒක තමයි මගේ මැතිවරණ ප්‍රකාශය බවට පත්වන්නේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් පළමුවන පැය කිහිපය මට ගතකරන්න වෙන්නේ මම ජනතාවට දීපු පොරොන්දු ඉටුකරන්න ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළ දිහා බලන්න. ඒකේදී පැතිකඩ දෙකක් බලන්න වෙනවා. එකක් තමයි දැනට රට කොතැනද තියෙන්නේ මොනවාද බරපතළ ගැටලු කියන එක. අපේ රට ගත්තොත් වංචා දූෂණය බරපතල තත්ත්වයක තියෙන්නේ. ඒ වටා නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධ අධ්‍යයනයක් කරනවා. අනික් කාරණාව තමයි නායකයාට තිබෙන්නේ දර්ශනයක්. ඒක මෙහෙයවා ගන්න කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.

අනිවාර්යයෙන්ම මම ජනාධිපති වුණොත් මේ රටේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් කරන්න වෙනවා. මොකක්ද මේ දේශපාලනඥයින් ප්‍රමාණය සීයයට පනහකින්වත් අඩු කරන්න වෙනවා. අද හැම දෙදහස් දෙසීය පනහකටම එක් මහජන නියෝජිතයෙක් වගේ ඉන්නවා. මේ අය නඩත්තු කිරීම සඳහා මහජනයා දරන වියදමට කිසිසේත්ම සාධරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. කැබිනට් මණ්ඩලයක 20ක 25ක ප්‍රමාණයකට අඩුකරනවා. විෂයානුබද්ධ දැනුම සහ ප්‍රායෝගික දැනුම තියෙන පිරිසක් තමා පත්කරන්නේ. පාර්ලිමේන්තුවේ 225ක් හිටියාට 25ක් විතර තමයි පාර්ලිමේන්තුව මෙහෙය වන්නේ. අනික් පිරිස එන්නේ නෑ. ඒ නිසා කිසියම් නිර්ණායකයක් අවශ්‍යයි නැවත ඒ අය මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් ජනතාව ඔවුන් පාර්ලිමේන්තුව තුළ කරපු කියපු දෑ දැනගන්න.

රාජ්‍ය නායකයාට රටේ ආර්ථිකය පිළිබඳ දැක්මක් තියෙන්න අවශ්‍යයි. ඒක ක්‍රියාත්මක කරන්න නම් ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුම තියෙන පිරිස එකතු කරගන්න වෙනවා. අපේක්ෂකත්වය ලබන වෙලාවේ ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්ති අනුව තමා වැඩකරන්න වෙන්නේ. ඒකට යම් ප්‍රමාණයකට විදේශ ප්‍රතිපත්තිත් වැදගත් වෙනවා. ලංකාව කියන්නේ කෘෂිකාර්මික ආර්ථිකයක් තියෙන සරු පසක් තියන රටක්. ජලය පිළිබඳ දැනට අපිට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා දැනට තියෙන දේශීය සම්පත් ප්‍රයෝජයට ගන්නේ කොහොමද කියලා බලන්න වෙනවා.

මොන ජනවර්ගයක් වුණත් ඒ හැමදෙනාටම තමන්ගේ ජාතිය ආගම ගැන අභිමානයක් තියෙනවා. ඒ අභිමානය රැකෙන විදිහට හැමදෙනාම ශ්‍රී ලාංකික කියන පොදු එකඟතාවට පෙළගස්සවන වැඩපිළිවෙළක් අපි සකස් කරගන්න අවශ්‍යයි.

මේ සමස්ත ක්‍රියාවලියේම මූලික පදනම ලෙස සහභාගීත්ව ක්‍රමවේද තමයි පාවිච්චි කරන වෙන්නේ. ආර්ථිකය, විදේශ ප්‍රතිපත්තිය හෝ සමාජ සංස්කෘතික පරිහානිය වළක්වා ගැනීම වෙනුවෙන්, ඒ පිළිබඳව යම් ප්‍රමාණයක දැනුම තියන පිරිස් හා මේ රටේ අයිතිකරුවන් වන පුරවැසියන් සමඟ විධිමත් සංවාදයක් ඇතිකර ගන්නවා.

චමිඳු නිසල් සිල්වා