2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

තේවත්තේ පඩි හුටපටය!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

‘සිලෝන් ටී (Ceylon tea)’ ලෙස ලෝකය තුළ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ රැකියාවන්හි රටේ මුළු ජනගහණයෙන් 5%කට ආසන්න පිරිසක් නියැළී සිටිති. කඳු බෑවුම්හි වවා ඇති තේ පඳුරුවලින් දලු නෙලාගැනීමේ පටන් කර්මාන්තශාලාවන්හි තේ කොළ සැකසීම දක්වා සමස්ත නිෂ්පාදන කාර්යය සඳහා බොහෝ පිරිසක් සහභාගීවන අතර එය පරම්පරා කිහිපයක ජීවන වෘත්තියක් ලෙස හැඩගැසී තිබේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ 1867 වර්ෂයේදී තේ වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

මුලින්ම කම්කරුවන් විසින් දවස තුළ නෙලාගනු ලබන තේදලුවල බර කිරා මනිනු ලැබේ. දවසකට නියමිත කෝටාව අනුව දිනකට තේදලු කිලෝ 18ක් නෙලනු ලබන කම්කරුවකුට රුපියල් 600ක් පමණ උපයාගත හැකිය. කිලෝ දහඅටේ ඉලක්කය සම්පූර්ණ කළ නොහැකි තේ කම්කරැවකුගේ දෛනික ආදායම වන්නේ රුපියල් 300ක් පමණි.

වතු කම්කරැවන්ගේ දිනෙක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන මෙන් ඉල්ලා 2016 වසරේ සිට කම්කරුවන් ගෙන යමින් පවතින සටනේ වැදගත් පියවරක් ජනවාරි 23 වැනිදා සලකුණු කෙරිණි. අගනුවර සහ මධ්‍යම කඳුකරයේ නගර ගණනාවක දියත් කෙරුණු සහයෝගීතා ව්‍යාපාරයට වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් සහාය පළකළ අතර ඒකාබද්ධ සංවිධානයෙන් පෙළපාලි සහ උද්ඝෝෂණ සඳහා වතු කම්කරුවෝද විශාල වශයෙන් සහභාගි වූහ.

තුන් වසරකට ආසන්න කාලයක් තිස්සේ පිකටින්, උද්ඝෝෂණ, සංකේත වැඩවර්ජන, විරෝධතා, පෙළපාලි, පාගමන්, සත්‍යග්‍රහ හා දින නමයක වැඩවර්ජනයක් හරහා වතු සමාගම්වලටත්, ආණ්ඩුවටත් එල්ල කළ අඛණ්ඩ බලපෑම් හමුවේද මේ දක්වා කම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට වගකිවයුතු පිරිස් කටයුතු නොමැත. ඒ වෙනුවට තමන්ට දැරීමට සිදුවන අධික නිෂ්පාදන පිරිවැය නිසා රුපියල් 1000ක් දක්වා වැටුප් වැඩිකිරීමට නොහැකියැයි වැවිලිකරුවෝ මැසිවිලි නගති. ඔවුන් යෝජනා කරන්නේ පැමිණීමේ දීමනා හා දිරිදීමනා ඇතුළු අතිරේක දීමනා කිහිපයක් මගින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 940ක් පමණ උපයාගැනීමට හැකි බවය. ඒ වෙනුවෙන් කම්කරුවකු දිනකට දලු කිලෝ 22ක් කැඩිය යුතු අතර එම රුපියල් 940ක මුදල ගෙවීමට වැයකිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 27කි.

වතු කම්කරුවන් දැනට ලබන මූලික වැටුප රුපියල් 530කි. ඊට අමතරව ඔවුන්ට ලැබෙන විවිධ දීමනා එකතුවීමෙන් රුපියල් 800ක පමණ දිනක වැටුපක් ලැබීමේ හැකියාවක් ඇත. ඔවුන් විසින් දිනකට නෙලන තේ කිලෝ ගණන, පැමිණීමේ දීමනාව ඇතුළු දීමනා එම වැටුපට අයත්ය.

වතු කම්කරුවකුගේ දිනක මූලික වැටුප රුපියල් 600ක් දක්වා වැඩිකිරීමටත්, දැනට පැමිණීමේ දීමනාව වශයෙන් ගෙවන රුපියල් 60 දීමනාව රුපියල් 140 දක්වා වැඩිකිරීමටත් අනෙකුත් දෛනික දීමනා වැඩි කිරීමටත් යෝජනාවක් වතු හාම්පුතුන්ගේ සංවිධානය යෝජනා කර ඇත. ඒ අනුව දිනකට වතු කම්කරුවකුට රුපියල් 1012ක වැටුපක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් වතු කම්කරුවන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එයට පැහැදිලි හේතු ඇත.

එක් අතෙකින් මේ කියන ආකාරයෙන් දිනකට රුපියල් 1000ට වැඩි වැටුපක් ලැබීමටනම් තේදලු කිලෝ 22කට වැඩි ප්‍රමාණයක් කැඩිය යුතුය. වතු කම්කරුවන් පෙන්වා ඇති ආකාරයට වතු කම්කරුවන් කඩන දලු කිලෝ ගණන 22ට අඩුයැයි පෙන්වීමට සුපරීක්ෂකවරු විවිධ උපක්‍රම යොදා ගනිති. එක් ප්‍රධාන උපක්‍රමයක් වන්නේ තෙතමනය සඳහා සැබෑ බරින් කිලෝ කිහිපයක් අඩුකොට සටහන් කර ගැනීමයි. 2005 වසරේ සිට 2018 වසර දක්වා වසර 13ක කාලයේදී වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප වැඩිවී ඇත්තේ රුපියල් 365කින් පමණි. විශේෂ දීමනාව රුපියල් 100කින් සහ දිරිදීමනාව රුපියල් 175කින් වැඩි වී තිබේ.

මෙම වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පිළිබඳව පාර්ශ්ව කිහිපයකින් ‘දේශය’ අපි විමසීමක් කළෙමු.

තෙරේසා කෝදේශ්වරී - හැටන්

“අපිට මේ ජීවන වියදම දරාගන්න බැහැ. කෑමටවත් ප්‍රමාණවත් නැති වැටුපෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න බැහැ. අපිට සල්ලි ණයට ගන්න බල කරනවා. මේ වතාවේ දවසකට රුපියල් 1000කට අඩු වැටුපක් අපට පිළිගත නොහැකියි. අපි ආණ්ඩුවට ඡන්දය දුන්නත් ඒගොල්ලො අපිව අමතක කළා. අපි දවසකට රුපියල් 730ක පඩියක් ගන්න දලු කිලෝ 16ක් කඩන්න ඕන. ඒක කරගන්න බැරිවුණොත් ඒ අය ඒක පඩියෙන් කපනවා. ගිය මාසේ මට පඩි හම්බවුණේ රුපියල් 400ක් විතරයි. මගේ මහත්තයට හම්බවුණෙත් ඒ ගාණ. මේ මුදලින් අපි ජීවත්වෙන්නෙ කොහොමද? අපිට ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙ අධ්‍යාපනයට අඩුම ගාණේ මාසෙකට රුපියල් 20000ක්වත් ඕන.”

රාජේස්වරී ප්‍රගීතා - හැටන්

“ලැබෙන පඩිය අපිට ජීවත්වෙන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අපි වැඩ කරන තරමට අපිට මුදලක් ලැබෙන්නෙ නැහැ. දැන් රටේ බඩුමිල එක්ක අපි ඕනෑ තරම් වේල් ගණනක් නොකා ඉඳලා තියෙනවා. අපි වතු කම්කරුවෝ නිසාද රජයේ බලධාරීන් අපිට මේ විදියට සලකන්නෙ? රුපියල් 1000ක පඩියක් අපිට ලැබෙනවනම් ඒක හොඳයි. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා අපිට මේකට ඉක්මනින් විසඳුමක් ලබාදෙන්න කියලා.”

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්

“දිනකට රුපියල් 1000ක් දක්වා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමක් ඕන බවට අපි දැන් වසර ගණනාවක සිටම පැවසුවා. නමුත් ලැබුණු ඒ දීමනා ඔක්කොම කප්පාදු කරමින් රුපියල් 20කින් පමණයි පඩි වැඩිවීමක් සිදුවෙලා තියෙන්නෙ. 2016 වසරේදී වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස රුපියල් 730ක මුදලක් ලැබුණා. මෙවර සාමූහික ගිවිසුම් මගින් එය රුපියල් 750ක් දක්වා පමණයි වැඩිවී තිබෙන්නෙ. මෙය ඉතිහාසයේ සිදුවුණු විශාලතම පාවාදීමක්. ඇත්තටම පසුගිය කාලයේ සාමූහික ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඊට මැදිහත් වූ නව වෘත්තීය සමිති නායකයන්ට මල්මාලා පළඳවා හරසරින් පිළිගත්තා. කම්කරුවන් රට පුරා සෑම වතුයායකම කළුකොඩි ඔසවලා කළු විරෝධතාවයක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා.”

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ හාම්පුතුන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි

“අපි ලබන ආදායමට වඩා දැනටමත් තේ නිෂ්පාදනයේ වියදම වැඩියි. ඒ නිසා කම්කරුවකුට දිනකට රුපියල් 1000ක මුදලක් දෙන්න අමාරුයි. අපි වෘත්තීයවේදීන්. දේශපාලකයන් වගේ ජනතාව රවටන පොරොන්දු අපිට ලබාදෙන්න බැහැ. මේ කම්කරුවන්ට දෙන්න පුළුවන් පඩිය තීරණය වෙන්නෙ අපි කොළඹ වෙළෙඳපොළෙන් ලබන ආදායම අනුවයි. දෛනික පඩි ක්‍රමය අවුරුදු 150කටත් වඩා පැරණි ක්‍රමයක්. මේ ක්‍රමය නිසා කම්කරුවන්ගේ ඵලදායීතාව දිරිමත් කරන්නෙ නැහැ. අපි කම්කරුවන්ට කැමැති විය හැකි විකල්පයක් දීලා තියෙනවා.”

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම්

“වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන්න ස්ථිර තීන්දුවක් ගත්තෙ නැහැ. වතු කම්කරුවන් තමයි මේ රටේ දැනට අඩුම පඩියක් ගන්නෙ. දිගින් දිගටම මොවුන් රවටන්න බැහැ. ඒ නිසා මොවුන්ට හැකි ඉක්මනින් මේ ගැටලුවට විසඳුමක් ලබාදිය යුතුයි.”

►හසිත් අංජන